සැරසිලි වලින් පිරි වෛර්ණවත් කාල වකවානුවක් වන වෙසක් කාලයට වෙසක් සැරසිලි අලෙවි කරන තාවකාලික වෙළඳ කුටි වලින් නගර ගම් පිරී පවතී. කුඩා දරුවන් ගෙදර නැත ද, යටි හිතේ පවත්නා කැමැත්ත හෝ පුරුද්ද නිසා මහනුවර විලියම් ගොපල්ලව මාවතේ අටවා ගත් ''වෙසක් කඩයක් '' ඉදිරියේ නතරව මා සිට ගත්තේ කිසිදු අරමුණකින් තොරව හැඟීම් බරව ය. මා මෙසේ නතර වුණේ ඉහත කී සංස්කෘතික අවශ්‍යතා මිල දී ගැනීමට හෙවත් ''කඩේ යාම''ටය. එසේ නොවේ නම් කොලය විසින් මා කඩේ යවා ඇත.

අප ජීවත්වන විසි එක්වෙනි සියවසේ චිරාගත සම්ප්‍රදාය අනුව, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකතට තෙල් තාච්චියක් ලිපේ තියා කැවුම් කොකිස් අතිරහ මුං කැවුම් හදා ගත් කුටුම්බයක් සොයා ගත නොහැකි තරම් ය. එසේ හරස් වී ඇත්තේ කාලයේ තාලය පමණක් නොවේ. මෙයින් වසර හැට හැත්තෑවකට ඉස්සර දෙන්නා දෙ මහල්ලන්ට අමතරව දරුවන් හත් අට දෙනෙකු ගෙන් පිරී පැවති ලංකාවේ සාම්ප්‍රදායික කුටුම්බය වර්තමානයේ සමහර විට වයෝවෘද්ධ මා පියන් දෙදෙනා පමණක් තනි වී සිටීම හේතුවෙන් ජන ශුන්‍ය වීමත් ඊට තදින් බලපා තිබේ.
විශේෂයෙන් අතීතයේ ලාංකේය ගම් දනව්වල හැදී වැඩුණ, බහුතරයක් දරු දැරියන් පාසල් ගියේද ගෙදර සිටය. නගරයේ නවීන පාසලකට හෝ පිටිසර ගම්වල ස්ථාන ගත කළ මධ්‍ය විද්‍යාලයක අකුරු සත ඉගෙණීමට උපන් ගෙදරින් නික්ම ගොස් නේවාසිකාගාරවල නතරව සිටියේ දරු දැරියන් අතලොස්සකි. එ නිසා දෛනික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සහාය, අත් උදව් හෙවත් ශ්‍රම සහභාගිත්වය උවමනා ප්‍රමාණයටත් වඩා තිබිණ. තම්බා ගත් වී මුට්ටියක් අව්වේ වේලා ගැනීමට මිදුලේ එළිමහනේ එළූ පැදුරවල ඇතුරූ අම්මලා සතුන් ගෙන් වී පැදුර රැක ගැනීමට ගමේ අම්මලා පවරන්නේ එළිමහනේ සෙල්ලම් කරන හීන් එවුන්ට ය. කුඩා එවුන් එවැනි වගකීම් සිය ක්‍රිඩාවේ කොටසක් හැටියට දරුවන් පවරා ගත්තේ ඉතා කැමැත්තෙනි. කූපන් පොතට කඩෙන් ගෙනා සහල්වල වී ඇහිළීමටත් මේ ආකාරයටම ගෙදර බාල එවුන්ගේ සහාය ලබා ගත්තාත් මට මතකය. දරුවන් උදෑසන පාසල් ගිය පසුව බොහෝ ගමේ අම්මලා ඒ ඉස්පාසුවෙන් දර ටිකක් වතුර කළයක් ගෙට ගැනීමට යුහුසුළු වන්නාහ. අද කාලයේ ලිඳෙන් දොළෙන් වතුර කළයක් හෝ කැලෙන් දර මිටියක් ගෙන ඒමක් සිද්ධ වන්නේම නැත. අදටත් ආදිවාසි සංස්කෘතික උරුමය වෙනුවෙන් පෙනී සිටින බිම්තැන්න පත්තුවේ වැදි ගමකවත් මේ පැවැත්ම දැකිය නො හැකිය.
නගුල, පෝරුව, දෑකැත්ත, උකුණු ගහ, නැළිය, කුරුණිය, කාර්තුව දැක නැති අද ජීවත්වන පරම්පරා ගණනාවක ගම්වල ජීවත්වන අම්මලාවත් ගොයම් පැල සිටුවීමක්, වල් නෙලීමක්, ගොයම් කැපිමක් හෝ කොළ බැඳිමක් දැකලාවත් නැත.
මේ විස්තර කරන අතීතය අප ජීවත්වන වර්තමානයට ගලපා විස්තර කරයි නම් එකී සුන්දර මතක පිරී ගිය ගම් ගෙවල් ඇත්තේම නැත. ඉහතින් සඳහන් කළ ආකාරයට මා නො දැනුවත්වම ''වෙසක් කඩයක්'' ඉදිරියට පමුණුවනු ලැබුයේ කාලයේ වේගය නිර්මානය කළ ඒ උඩුයටිකුරු කිරීම ය.

මේ ''වෙසක් කඩේ'' අලෙවියට තබා තිබූ අට පට්ටම් තාරුකා එළිය පෙට්ටි ආදි නම් වලින් හැඳින්වූ විවිධ හැඩයෙන් යුක්ත සාම්ප්‍රදායික වෙසක් සැරසිලි අපට ඒ අතීතයේ මෙන්ම උණ බට පලා කපා රැහැ ගත් හීන් උණ ලී කූරු කපා (එදා මෙන් කපු නූලෙන් හෝ ගෝණි සඩම්බුවෙන් නොව රබර් බෑන්ඩ් වලින්) බැඳ, එකී වෙසක් නිර්මාන වලින් වැඩි කොටසක් සුදු කරදාසියෙන් ද තවත් ප්‍රමාණයක් වර්ණවත් කොළ වලින්ද සරසා තිබිණ. වෙසක් සැරසිලි මිලදී ගැනීමට පැමිණ සිටි වයෝවෘධ තැනැත්තෙකු සමග යම් කතාබහකට යොමු වී සිටි ''වෙසක් කඩ කාරයා'' මා දෙස බැලුවේවත් නැත.
''ඇයි මහත්තයා කොළ අලවපු කූඩු අරන් යන්නකෝ. ඒක ලේසියි නේද? ඒ ''වෙසක් කඩ කාරයා''ගේ හඬය.
''නෑ මට ඕනැ ගෙදර ගිහින් අපි කැමති විදියට කොළ අලවලා සරසලා පත්තු කරන්නයි හිතුවේ. ඒකයි කොළ ඇලෙව්වේ නැති කූඩුදෙක තුනක් ඉල්ලූවේ.''
''අපි වෙසක් කූඩු හදන්නේ කොළ අලවලාම විකුණන්න නේ. අද මේ කූඩු ටික හදන්නේ ලොකු හෝටල් දෙක තුනක ඕඩරයකට. තව ටිකකින් ඒ ගොල්ල මේවා අරන් යන්න එයි. අනික කොළ ඇලෙව්වේ නැති කූඩුවක පෙනුමක් නෑ. කීයක් කියන්නද? අපිට ලාබ තියෙන්නේ කොළ අලවලා වික්කාම.'' වෛසක් අසිරිය අමතක කළ මම මේ අපූරු දෙබසට සවන් දී සිටින අතර, වෙසක් පෝය දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ.... ගීතයද ඒ සමග කොහෙන්දෝ ඇසිණ. බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා ගිය ගෙවි ගිය තම අතීත අත්දැකීම ''වෙසක් කඩෙන්'' ගෙදර ගෙන යාමට පැමිණි වැඩිහිටියා තුළ පවත්නා කැමැත්ත අලෙවි ක්‍රියාවලිය සමග ගලපා ගැනීමට මේ අසරණ වෙළෙන්දා නො හැකි වී තිබේ.

අවුරුද්දට කැවුම් කොකිස් කඩෙන් මිල දී ගෙන යාමට සිදු වූ රටේ මේ සිද්ධ වෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය සව් කරදාසිවල ඔතා රුපියල් සත වලට විකිණීමකි. මුදල් දී කඩෙන් වෙසක් කූඩු ගෙන ගියාට ඒ සමග බුද්ධාලම්බන ප්‍රීතිය සංස්කෘතික මිනිසුන්ගේ හිත්වලට කාන්දු නොවේ. නාගරීකරණයට හසු වූ මගේ පාරම්පරික සංස්කෘතික උරුමයේ කොටස් කරුවෙකු වූ මේ මිනිසාද ඇතු`ථ අප කාටවත් ඒ අතීතයේදී මෙන්, ග`ග අද්දර ඉබේ වැඩුණ උණ පඳුරකින් ගසක් දෙකක් කපා ගෙන ගෙදර මිදුලේ වැඩි වී උණ බම්බුව හීන් තීරු වලට කපා සාදා ගත් උණ කූරු වලින් දරු මල්ලන් වට කර ගෙන විසිතුරු වෙසක් කූඩු නිර්මානය කර ගෙ මිදුල සරසා බලා සිටි ඒ අතීතයේ විඳි සතුට අහිමිය.
හාල් පොල් එලවළු වෙළඳ පොළෙන් මිලදී ගෙන ගෙදර ගෙන ගොස් උයා පිහා ගැනීම හෝ කඩේකට පැමිණ අසුන් ගෙන ආහාර ගැනීම හෝ පාර්සල් කර ගෙදර ගෙන යාමේ පාරිභෝගික අයිතිය හෝම් මේඩ් වෙසක් කාල වකවානුවේ වැඩිහිටි අපට නැතිය. තරුණ පරම්පරාවන්ට එවැනි උවමනාවක් පිළිබඳ අදහසක් ඇත්තේද නැත. වෙසක් කූඩු ගෙදර ගොස් අලවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි ඒ අවාසනාවන්ත වැඩිහිටියා මා දෙස බලා ලාවට සිනාසිණ.

''දුව පොඩි එවුන් දෙන්නත් එක්ක ලංකාවට ඇවිත් ඉන්නවා. මං කල්පනා කළේ කූඩු විතරක් අරන් ගිහින් පොඩි එවුන් දෙන්නා එක්ක කොළ කපලා අලවන්න කියලා. එහෙම වුණා නම් දරුවන් මෙහෙම දෙයක් කරන හැටි දැක බලා ගන්ඩ තිබුණා.'' මට ඔහු ගැන පමණක් නොව මගේ පරම්පරාවේ අසරණකම ගැන මහා වේදනාවක් දැනිණ. ඔහුගේ අපේක්ෂාව කොතරම් අහිංසක කල්පනාවක්ද? මා වසර ගණනක් වෙසක් සතුට අත් විඳින්නේ වෙසක් සැරසිලි කළ ගෙ උයනෙහි වීඩියෝවක් කුඩා අයේන්ට පෙන්වන්නැයි කියා යැවීම පමණකි.

''ඔව්. ඉතින් ඉස්සර එහෙමනේ සිද්ධ වුණේ. ගමේ ළමයි ගිහින් උණ ගහක් දෙකක් කපා ගෙන ඇවිත් උණ කූරු සුද්ධ කරලා ගානට මිම්මට කපා ගෙන අට පට්ටම් තාරකා අහස් යාත්‍රා කූඩු හදලා පාට සව් කරදාසි අලවලා හවස එල්ලනවා මටත් මතකයි. අපි පොඩි කාලේ එහෙමනේ.'' එසේ කී මම සිනාසුනෙමි.
''එහෙනම්.....'' මා සිහිපත් කළ පැරණි වෙසක් අතීතය අසා සිටි ඔහු බර හුස්මක් පිට කළේ මහත් තෘප්තියකින් බව දැනිණ.
''වෙසක් කූඩු ගන්නද ආවේ....... '' අමුත්තා මගෙන් විමසා සිටියේය.
''එහෙමමත් නෙවෙයි. වෙසක් කූඩු දැක්කාම මට හිතුණා නතර වෙලා බලන්න. එකයි නැවතුණේ.'' ඉහතින් විස්තර කළ කතාබහ මා තුළ ඇති කළ දෙ ගිඩියාව ඔහුට විස්තර කිරීමට මගේ සිත මට ඉඩ දුන්නේ නැත.
''ගිය වෙසක් එකට දුවලා හිටියේ පිටරට. මම වෙසක් කූඩු බකට් පත්තු කරලා පොටෝ අරන් දුවලාගේ දරුවන්ට බලන්න යැව්වා. දැන් දරුවන්ට තේරෙනවා. මම කල්පනා කළේ කූඩු ටිකක් අරන් ගිහින් සව් කොළ කපලා අලවලා ඒ අයට ඒවා කරන හැටි කියලා දෙන්ට.''
''ඔය මහත්තයා මේ ළඟ ද? ''ඔහු මගේ වතගොත දැන ගැනීමේ ආසාවෙන් කතා කරයි.
''ඔව් වැඩි ඈතක නොවෙයි.... '' මා කළ යුත්තේ ඔහුගේ හිත සන්සුන් කිරීම වුවද මාද සිටින්නේ අවුලකිනි.

''ගෙදර ගිහින් උණකූරු ටිකක් කපා ගෙන දරුවන්ට වෙසක් කූඩු හදන විදිය කියලා දෙන්න. අපට වෙසක් වුණාට මේ අයට මේක වෙළඳාමක් විතරයිනේ.... ''
''කියලා වැඩක් නැහැ. මම දවස් ගානක් එහෙමත් කල්පනා කළා. ඒත් උණ ගහක් කපා ගන්නත් පර්මිට් ගන්න එපාද? එසේ කී හෙතෙම සිනාසිණ. බුද්ධාලම්බන ප්‍රීතිය ඇත්තේ කඩේ හෝ වර්ණවත් කොළවල නොව සහභාගිත්වයෙන් ඇතිවන සතුට තුළ බව වටහා ගත් මම හුස්මක් පිට කර නිහඬ වීමි. ජී.බී. සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව කියවූ පසුව දැනුණේත් මේ මනෝ භාවයම විය හැකිය.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com



