The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හැට පිරුණ ජවිපේ ඉතිහාසයේ එක පිටුවක් මෙන්න | ලොකු කුමා

T

The Leader Desk

May 16, 2025 • 8:37 AM

හැට පිරුණ ජවිපේ ඉතිහාසයේ එක පිටුවක් මෙන්න | ලොකු කුමා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60 සම්පූර්ණ කෙරුවේය.
  • හැට පිරුණත් වඳුරා බිම ගමන් නැති බව පැවසෙන්නේ අපේ ජන ප්‍රවාදයේය.
  • ඉන් ඇඟවෙන්නේ හමුදාව හැමදාම තරුණ බවය.
  • සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම ප්‍රසිද්ධ රැළිය පවත්වන ලද්දේ 1970 අගෝස්තු මාසයේ 10 වන දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60 සම්පූර්ණ කෙරුවේය. හැටත් වයසක්ද යන්න සමාජයේ නිතරම විනෝදය⁣ට ඇසෙන ප්‍රශ්ණයකි. හැට පිරුණත් වඳුරා බිම ගමන් නැති බව පැවසෙන්නේ අපේ ජන ප්‍රවාදයේය.


All Ranks military youth යැයි කියමනක් හමුදාවේ වේ. ඉන් ඇඟවෙන්නේ හමුදාව හැමදාම තරුණ බවය. ජනතා විමක්ති පෙරමුණට හරියටම ගැලපෙන්නේ ඒ කියමනය. අවුරුදු හැට සම්පූර්ණ කෙරුවාට ජනතා විමුක්ති පෙරමුණ තවමත් තරුණය. එය හෙටටත් අනිද්දාටත් වලංගුය.

download 19

ජනතා විමුක්ති පෙරමුණෙහි හැ⁣ටවන සංවත්සරය ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංඟ පීඨයේදී පැවැත්විනි. සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම ප්‍රසිද්ධ රැළිය පවත්වන ලද්දේ 1970 අගෝස්තු මාසයේ 10 වන දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදීය. එදින ජනතා විමුක්ති පෙරමුණ මෙරට දේශපාලන පිටි⁣ය පිවිසීමෙන් ⁣පසුව ලෙයින් හා දාදියෙන් කැලතුන බොහෝ දුෂ්කර කටුක අභ්‍යාසයන් වල නිරතව සිට ආණ්ඩු බලය ලබා ගත්තේ ඉන් අවුරුදු ගණනාවක් ගෙවී යාමෙන් පසුවය.

 

හැට වන සංවත්සරයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හට පක්ෂයේ, අතීතය ගැන ආශ්වාදයෙන් සිහිපත් කරන්නට හැකි විය. එය ආශ්වාදය මෙරට වෙනත් කිසිදු පක්ෂයකට නැති බව හැඟේ. පක්ෂය ආරම්භයේ සිටම සම්බන්ධ වූ සියළු සාමාජිකයන් කැපවීමෙන් අවංක බවින් හා ජීවිත පරිත්‍යා⁣ගයෙන් කටයුතු කර තිබීම මෙරට වෙනත් දේශපාලන පක්ෂයක දැක ගත නොහැකි තරමේ සම්භාව්‍ය සළකුණකි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ගැනීම දක්වා මෙදවස දක්වා ආ ගමන සුන්දර නොවීය. ඒ ඉතිහාසය පුරාම ඇත්තේ පක්ෂය අපේක්ෂාවන් වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළ සහෝදරවරුන්ගේ වේදනාත්මක හඬය. හිරගෙවල්වල අනේක දුක් විඳි සහෝදරවරුන්ගේ අත් දැකීම්ය. පක්ෂයේ ජයග්‍රහණය සඳහා හෙළන ලද දාදිය කඳුළු පැල්ලම්ය.

JVP 11

කුසට සාගිණි හදට සෝ ගිණි
ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ  
අඳුර දිනු කාලය  ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
නුඹලගේ වාරය ඇවිල්ලා

 

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් හේතුවෙන් සිර ගතව සිටි සහෝදරයෙකු මේ කවිය රචනා කරන ලද බව පැවසේ. කවිය ලියා තිබුණේ මැගසින් බන්ධනාගාරයේ සිර මැදිරියක බවද සඳහන්ය. මේ කවිය තුළ මෙරට දේශපාලන භූමිය තුළ විවිධ දුෂ්කරතා මැදින් හා උස් පහත් වෙමින් ඉදිරියට ඇදෙන ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි අපේක්ෂාවන් ගොනු වී තිබෙන බව පැහැදිලිය. එය අව්‍යාජය.අවංකය.කවුරුන් කෙසේ චෝදනා කළද ඒ තුළ පවතින අපේක්ෂාව දුක් විඳින ජනතාව ඉහළට ඔසවා තැබීම මිස අන් යමක් නොවේ.

Ambalangoda c S.Deshapriya 011 696x804පියසිරි ගුණරත්න ජවිපෙ ආරම්භකයෙකි
scan 20210101 3 දේපොළ වත්කම් කිසිවක් නොමැතිව මිනිසුන් කෙරෙහි පමණක්ම විශ්වාසය තබා රෝහණ විජේවීර සහෝදරයා විසින් නිර්මාණය කරන ලද ජනතා විමුක්ති පෙරමුණ මෙරට ආණ්ඩු බලය ලබා ගැනීම පවා අතිශය විශ්මය ජනක කාර්යයකි. ඒ අරුතෙන් විග්‍රහ කරන විට ජනතා විමුක්ති පෙරමුණ තනි මිනිසෙකුගේ සිහිනයකි. ඒ සිහිනය සැබෑ කර ගැනීමට රෝහණ විජේවීර සහෝදරයා තැබූ පළමු පියවර ගැන ඉතා හොඳින් දැන සිටි අම්බලන්ගොඩ ගුස්තිඤ්ඤ වඩු පියසිරි ගුණරත්න සහෝදරයා මෑතකදී ජීවිතයෙන් සමුගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය ගැන හොඳින් දැන සිටි පියසිරි ගුණරත්න සහෝදරයා ජීවිතයෙන් සමු ගැනීමට පෙර ” මගේ මතක සටහන් – ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල” යනුවෙන් ග්‍රන්ථයක් පල කෙරුවේය. ඔහු ⁣ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීම සදහා පුරෝගාමී වූ සිව්දෙනා ගෙන් එක් අයෙක් විය.

ජනතා විමුක්ති පෙරමුණෙහි ආරම්භය ගැන බොහෝ දෙනා කතන්දර පොත් ලියා තිබේ. ඒවා කතන්දර⁣ පොත් යැයි ලීවේ ඒ කර්තෘ වරුන් ගේ හිතළු එම පොත් වල සඳහන් කර ඇති නිසාය. එහෙත් පියසිරි ගුණරත්න සහෝදරයා ⁣ලියා ඇති පොතෙහි අන්තර්ගතය අනෙකුත් කතන්දර පොත් වල සඳහන් කරුණු වලට වඩා සත්‍යය  බව පැහැදිලිය. ඒ ග්‍රන්ථයේ ඇත්තේ පුරාජේරු පුරසාරම් කයිවාරු නොවේ. තමන් සක්‍රීයව සහභාගි වූ දේශපාලන ක්‍රියාවලියක අත් විඳි සැබෑවය.

cpslcpsl

පියසිරි ගුණරත්න සහෝදරයා මෙරට දේශපාලනයේ මුල් අත් පොත තබා ඇත්තේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්⁣ෂයෙනි. එහෙත් පසු කාලයකදී කොමියුනිස්ට් පක්ෂය බිඳී ගොස් ඇති අතර ඉන් වෙන්වී ගිය පිරිසක් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල යනුවෙන් දේශපාලන කටයුතු අරඹා තිබේ. එම පක්ෂයේ නායකයා වී ඇත්තේ එන්. ශන්මුගනාදන් සහෝදරයාය.

කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයේ නිරතව සිටි පියසිරි ගුණරත්නද චීන පිලට එක්වී ඇත්තේ පසුකාලීනන ජවිපේ අරඹීම සඳහා මුල් වූ විජේසේන ජී. විතාන නොහාත් සනත් බොරළුකැටිය සිරිල් දහනායක යන සහෝදරවරුන් සමගය. කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ මූලස්ථානයට යන එන අතර තුර ඔහුට එහිදී රෝහණ විජේවීර සහෝදරයා මුණ ගැසී තිබේ. මේ දෙදෙනා අතර දැඩි සමීපතාවක් ඇති වන්නේ විජේවීර සහෝදරයා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ශිෂ්‍යයකු වීම නිසාය. විජේවීර සහෝදරයා ඒ වන විටත්  පූර්ණකාලිනයකු ලෙස පක්ෂයේ තරුණ තරුණ කටයුතු වලට සම්බන්ධ වී සිට ඇත.

WhatsApp Image 2025 05 15 at 15.15.46 0f312ca6ව.පියසේන සහ විජේසේන ජී. විතාන
1964 වර්ෂයේ දිනක විජේවීර සහෝදරයා පියසිරි ගුණරත්න සමග කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පක්ෂයේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක කර ඇති අතර විජේවීර සහෝදරයා එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ පක්ෂයේ සංවිධාන කටයුතු ඉතා දුර්වල මට්ටමක පවතින බවය. මේ සම්බන්ධයෙන් විජේවීර සහෝදරයා සනත් බොරළුකැටිය හා දහනායක යන සහෝදර වරුන් සමගද සාකච්ඡා කරන ලද බවද එහිදී අනාවරණය වී ඇත.

මෙහිදී විජේවීර සහෝදරයා පියසිරි ගුණරත්න සහෝදරයාගෙන් ඉල්ලා ඇත්තේ අනෙක් දෙදෙනාද එකතු කර ගනිමින් සාකච්ඡාවක් පැවැත්වීමට දිනයක් හා ස්ථානයක් සංවිධානය කරන ලෙසය. ඒ ඉල්ලීමට අනුව පියසිරි ගුණරත්න සහෝදරයා එම සාකච්ඡාව 1965 මාර්තු මාසයේදී දිනයක සිය නිවසේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර නියමිත දිනයේ විජේවීර සහෝදරයා ඇතුළු අනෙක් සහෝදරයන් දෙදෙනා එම නිවසට පැමිණ ඇත. තම නිවසේ ඉඩ කඩ හා පහසුකම් අවම හෙයින් පියසිරි ගුණරත්න සහෝදරයා එම නිවස ආසන්නයේ පන්සලේ සාකච්ඡාව පැවැත්වීම සඳහා එහි විහාරාධිපති පටබැඳි මුල්ලේ බුද්ධ ශ්‍රී හිමියන් ගෙන් අවසර ගෙන තිබේ. එම දිනය පුරාම ඔවුන් සතර දෙනාම සිය පක්ෂය වූ කොමියුනිස්ට් චීන පිල පිළිබඳව සාකච්ඡා කරන ලද බව සදහන්ය.

1971 JVP
අනතුරුව ඔවුන් සිව් දෙනාම තීරණය කර ඇත්තේ පක්ෂයේ වැඩිහිටි ක්‍රියාකාරිකයකු වූ වඩුගේ පියසේන සහෝදරයා සමග මේ ප්‍රශ්ණ සාකච්ඡා කර ඔහුගෙන් උපදෙසක් ලබා ගත යුතු බවය. වඩුගේ පියසේන සහෝදරයා විදුහල්පති වරයකු වූ අතර ඔහු පක්ෂයේ හඳුන්වා ඇත්තේ ව.පියසේන සහෝදරයා ලෙසය. ඒ වන විටත් ව.පියසේන සහෝදරයා සිට ඇත්තේද පක්ෂය ගැන කළකිරීමෙනි.

අනතුරුව එදින රාත්‍රී ආහාරය ගෙන පියසිරි ගුණරත්න සනත් බොරළුකැටිය රෝහණ විජේවීර හා සිරිල් දහනායක යන සතර දෙනාම අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ඇල්පිටිය පාරේ පිහිටි ව.පියසේන සහෝදරයාගේ නිවසට ගොස් ඇත්තේ ඔහුගෙන් උපදෙස් ගැනීමටය.

පියසිරි ගුණරත්න ස⁣හෝදරයා සිය ස්වයං චරිතාපදානයේ ඒ සිදුවීම විස්තර කර ඇත්තේ මෙසේය.

Reflecting on 34 Years The JVP and the Legacy of Comrade Rohana Wijeweera

“……අපගේ ගෙදරින් රාත්‍රී ආහාරයද ගෙන අපි පියසේන සහෝදරයාගේ නිවසට ගියෙමු. එවකට ඔහු පදිංචිව සිටියේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ගමේ ඇල්පිටිය පාරට මුහුණලා තිබූ නිවසකය. පියසේන සහෝදරයාගේ බිරිඳ ද ඉතා සුහද ශීලී කාන්තවක වූ ඇන්ටි නෝනා මහත්මියයි. ඇයද ගුරුවරියක වූ අතර මේ වන විටත් මා හා සනත් ඇය දැන හඳුනාගෙන තිබුණි. පියසේන සහෝදරයා සනත් සහෝදරයාට උගන්වා තිබූණි. ටික වේලාවක් කතා කර කර සිට පියසේන සහෝදරයාට අපි ආ කාරණය කීවෙමු.

පසුව පැදුරු කීපයක් ගෙන ගෙයි ඉදිරිපස කොටසට පැමිණ දොර වසා ගෙන නිදා ගන්නා ලෙස ඔහු බිරිඳට හා දරුවන්ට කීවේය. අප එදා එළි වෙන තුරුම සාකච්ඡා කළෙමු. එහිදී අප එදින උදයේ කරන ලද සාකච්ඡාව පිළිබඳව ඔහුට කීවෙමු. අද රටේ තත්වය හා ලංකාවේ වාමාංශික පක්ෂ ක්‍රියාකරන ආකාරය ගැන හොඳ විස්තරයක් ඔහු ඉදිරිපත් කෙරුවේය. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සිට චීන පිලට ආවේත් එම පක්ෂය විප්ලවවාදී ලෙස කටයුතු කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බව කීවේය.

ශන්මුගදාසන් සහෝදරයාත් පක්ෂය විප්ලවවාදී ලෙස සංවිධානය කරන බව නොපෙනෙන නිසා කළකිරීමෙන් සිටින බව කීවේය. දොස්තර වික්‍රමසිංහ සහේදරයා නායකයා වූ කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිල) ක්‍රියා කරන ආකාරය ගැනද ඔහු හොඳ විස්තරයක් කෙරුවේය. ඔවුන් ධනේශ්වර  පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි පමණක් බලා ගෙන වැඩ කරන බවත් ,නිර්ධන පන්තිය දැනුවත් කර පක්ෂය ගොඩ නැගීමට උනන්දුවක් නොමැති බවත් කී ඔහු ෂන්මුගදාසන් සහෝදරයා නායකත්වය දරන චීන පිලත් එම ක්‍රියා මාර්ග යටම වැටී ඇති බවත් කීවේය.

ඒ ඒ රටවල විප්ලවය සිඳු වූ ආකාරයටද ,ඒ ඒ රටවල එවකට තිබූ සමාජ තත්වයන්ද පියසේන සහෝදරයා විස්තර කළේය. බටහිර යුරෝපයේ ,මැද පෙරදිග,අග්නිදිග ආසියාවේ හා ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂ පක්ෂවල තත්වය හා කොංගෝවේ ලුලුම්බා සහෝදරයාට වූ දෙයත් එම පැහැදිලි කිරීම් වලට ඇතුළත් විය. අද රටේ පවතින තත්ත්වය අනුව පවතින ධනපති ක්‍රමය විනාශ කර සමාජවාදය ගොඩ නැගීම සදහා වන පක්ෂයක් සදහා සමාජයේ හිඩැසක් පවතින බවත් ඔහු අපට පෙන්වා දුන්නේය. පසුව අපි උදේ සාකච්ඡා කර ගත් නිගමන ඔහුට කීවෙමු…..”


(උපුටනය අවසන්)

wijeweera1රෝහන විජේවීර
ඉන් අනතුරුව ගෙවී ගිය කාලය තුළ වඩුගේ පියසේන සහෝදරයා සමග පියසිරි ගුණරත්න සහෝදරයාත් විජේවීර සහෝදරයාත් නිතර නිතර සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කිරීම සඳහා අදහස මුල්වරට සාකච්ඡා කළ අයවළුන් වූයේ නන්දසිරි විජේවීර නොහොත් රෝහන විජේවීර, වි⁣ජේසේන විතාන නොහොත් සනත් බෙරළුකැටිය, එල්.එම්. දිනෝරිස් නොහොත් සිරිල් දහනායක හා ජී.ඩබ්ලිව්. පියසිරි ගුණරත්න නො⁣හොත් සරත් ගුණදාසය. පියසිරි ගුණරත්න අනුරාධපුරයේ අතුල යන නමින්ද හඳුන්වා ඇත.

නව පක්ෂයක් ඇරඹීමේ අපේක්ෂාව හිස තුල දරමින් මේ සියළුම දෙනා තව දුරටත් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල තුළ දේශපාලනයේ නිරත වූ බව පියසිරි ගුණරත්න සඳහන් කරයි.⁣ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි දේශපාලන ක්‍රියාකාරකම් වල සිටියදීම විජේවීර සහෝදරයා රට පුරා දේශපාලනිකව සංවිධානගත වීම සඳහා පන්ති පහක් සකස් කර තිබේ. මෙහිදී අවශ්‍ය කෙරෙන දැනුම ලබා ගැනීම සදහා වඩුගේ පියසේන සහෝදරයාගේ පොත් එකතුවේ තිබු දේශපාලනික පොත් විජේවීර සහෝදරයා විසින් ගොස් ඇත.

 

image 5a57e3b2c7
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය පිළිබඳව සඳහන් කරන විට එහි දේශපාලන කටයුතු අරඹමින් අක්මීමන පවත්වන ලද ඓතිහාසික සාකච්ඡාව හා කඳවුර ගැන පියසිරි ගුණරත්න සිය ග්‍රන්ථයේ  මෙසේ සඳහන් කර සිටී.

“…… අක්මීමන කඳවුර නමින් ප්‍රකට වූ අක්මීමන ප්‍රදේශයේ සංවිධානය කළ දේශපාලන කඳවුරකට මමද සහභාගි වූවෙමි. මට මතක හැටියට මෙම කඳවුර පැවැත්වූයේ කඳුගැටයක් මත පිහි⁣ටි ඉන්කම් ටැක්ස් කරුට අයත් ඉඩමක පිහිටි නිවසකය. එහි ජීවත් වූයේ ඔහුගේ පියා පමණි. ඒ 1968 අග හෝ 1969 මුල් භාගයේදීය. අක්මීමන කරු සහෝදරයා කල් වේලා ඇතුව එම නිවසට ගොස් අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණි. අප එහි ගියේ ඉන්පසුව එහෙත් වෙන වෙනමය.අ ක්මීමන කඳවුරට  සහභාගිවන ලෙසට මට ඇරයුම් කරන ලද්දේ සනත් සහෝදරයාය.

මෙම අවස්ථාව සාකච්ඡා⁣ දෙකක් සදහා යොදා ගත්තෙමු. පළමුව අප මුල සිටම වාගේ එකට එක්වී සාකච්ඡා කළ සනත්, විජේවීර, දහනායක, කරුනාරත්න,ලොකු අතුල හා මා සහභාගිවන සාකච්ඡාවය.

දෙවනුව කැඳවූයේ සියලු දිස්ත්‍රික් ලේකම් සහෝදරවරු හා යම් යම් අංශ නියෝජනය කරමින් කටයුතු කළ සහෝදරයන් සඳහාය. අප බලාපොරොත්තු වූයේ මෙය ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභාව බවට පත් කිරීමටය. පළමු දින රාත්‍රී අපි එකතු වී සාකච්ඡා කළෙමු. පළමුව අපගේ කටයුතු පිළිබඳව ස්වයං විවේචනයන් පැන නැඟුණු කරුණු ,ඒ ඒ අයගේ අතපසුවීම් ආදිය ගැන සාකච්ඡා කෙරුවෙමු. ව්‍යාපාරයේ පූර්ණ කාලීනයන් අතුරින් ආයුද පුහුණුව වැනි කාර්යයන් සඳහා තෝරා ගැනීමේදී ඉතාමත් සුපරීක්ෂාකාරී විය යුතු බව මෙහිදී සාකච්ඡා කරන ලදී. සිරිල් දහනායක සහෝදරයාගේ මතය වූයේ එවැනි විශේෂ කටයුතු සඳහා පමණක් නොව තරුණයන් පවා සොයා බලා කටයුතු කළ යුතු බවයි. ඉන්පසුව ඉදිරි කටයුතු හා පසු දින පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව සාකච්ඡා කළෙමු.

 

rohana wijeweera 2
පසුදිනට යොදා ගෙන ඇති සාකච්ඡාව මෙහෙයවීම සදහා අම්බලන්ගොඩ පියසේන සහෝදරයාට බාර දීම  සුදුසු බව විජේවීර සහෝදරයා යෝජනා කළේය. ඔහු පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කර කළ යුතු දේ පහදා දීමට විජේවීර සහෝදරයාට බාර දෙන ලදී. පසු දින උදේ නමය වන විට සහෝදරයන් වැඩි පිරිසක් පැමිණ සිටියහ. ලොකු අතුල සහෝදරයාද පේරාදෙණියේ සිට පැමිණ තිබුණි. සාකච්ඡාව මෙහෙයවීම පියසේන සහෝදරයාට භාර කරන ලදී. පියසේන සහෝදරයා සාකච්ඡාව ආරම්භ කරමින් විමධ්‍යගතව ඇති ව්‍යාපාරයේ කටයුතු මධ්‍යගත කිරීම සඳහා මෙය කැඳවා ඇති බව ප්‍රකාශ කරන ලදී. සහෝදරයන් විසි පහක් තිහක් පමණ පැමිණ සිටි අතර ස්වයං විවේචන ආරම්භ කරන ලදී.

මේ අක්මීමන දේශපාලන කඳවුරේදී නාවුක හමුදාවේ තිලකරත්න සහෝදරයා රයිපලයක ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කෙරු⁣වේය. මෙහිදී ශාරිරික ව්‍යායාම වලට අමතරව ආත්මාරක්ෂක සටන් ක⁣රාටි හා චීන අඩි පිළිබඳ පුහුණුවක්ද ලබා දෙන ලදී. මගේ මතකයේ හැටියට එම පුහුණුව ලබා දුන්නේ ලොකු අතුල හා නාවුක හමුදාවේ සහෝදරයකු විසින්ය.සාකච්ඡාව අවසානයේ විජේවීර සහෝදරයා ඒ ඒ දිස්ත්‍රික්කවල කටයුතු පිළිබඳව දේශනයක් කරන ලදී.

මෙම සාකච්ඡාවේදී විශේෂ සිදුවීමක් විය. එනම් එහි සිටි වයස්ගතම සහෝදරයා වූයේ සාකච්ඡාව මෙහෙයවූ පියසේන සහෝදරයා වීමත් මෙම සාකච්ඡාවට සහභාගිවූ ලාබාළම සහෝදරයා (පසු කලක) බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද දේශප්‍රිය සහෝදරයා පියසේන සහෝදරයාගේ දෙවන පුත්‍රයා වීමත් ඔවුන් දෙදෙනා සහභාගි වන බව දෙදෙනාට දෙදෙනා දැන ගෙන නොසිටීමත්ය. පසු දින සවස 5.00වන විට සාකච්ඡාව අවසන් වූයෙන් දෙතුන් දෙනා බැගින් ආපසු පිටව යන ලදී.මෙම සාකච්ඡාවට විසි පහක් තිහක් පැමිණ සිටියහ……..”

(උපුටනය අවසන්)

 

ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනය
මෙහි සඳහන් කෙරුණ ව.පියසේන සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කිරීමේ අදහසට රෝහණ විජේවීර සහෝදරයා සමඟ එක් වූ අයකු ලෙසද සැළකිය හැකිය.

ව. පියසේන සහෝදරයාගේ වැඩිමහල් දරුවන් හතර දෙනාම, එනම් ආනන්ද දේශප්‍රිය, සුනන්ද දේශප්‍රිය, කමනී අසෝකා සහ මහින්ද දේශප්‍රිය යන අය ජනතා පෙරමුණ හා සංවිධානාත්මකව සම්බන්ධ වී සිටියෝය.

ව.පියසේන නැතහොත් වඩුගේ පියසේන නම් මේ විදුහල්පතිවරයා ගැන ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සාමාජිකයන්ට දැනුමක් අවබෝධයක් නොතිබෙන්නට පුළුවන. එහෙත් බොහෝ දෙනා විමතියට පත්  විය හැකි අනන්‍යාතාවක් ⁣හා පියසේන සහෝදරයා වර්තමානයට ගැට ගැසෙන ප්‍රසිද්ධ චරිත තුනක් අප සමාජයේ සිටී.

වයසක් හැටක් සපුරා සිටින ජනතා විමුක්ති පෙරමුණු තරුණයාගේ ඉපදීම වූයේ එහෙමය. මේ තරුණයා ආණ්ඩුකරණයේ ශිල්ප දැක්වීම අරඹා මාස හයකට ආසන්න වෙමින් තිබේ.එහිදී එල්ල වෙමින් චෝදනා සුළු පටු නොවේ.

රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ගත් මුල් අවදියේ ප්‍රචාරණයේදී යොදා ගත් ප්‍රසිද්ධ වැකියක් තිබුණි. ඒ බල්ලන් බිරුවාට තවලම ඉදිරියට ඇදේ යන්නය. ජාජබ ආණ්ඩුවටද දැන් සිදු වී ඇත්තේ ඒ වැකිය පුනුරුච්චාරණය කිරීමටය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ | ගාමිණී වියන්ගොඩ

 

එහෙත් මෙහිදී ආණ්ඩුවේ ඇත්තන් අවධානයට ගත යුත්තේ හැමදාම නත්තල් නැති බවය. ජනතාව හැමදාම දක්කා ගෙන යන්නට ආණ්ඩුවටත් නොහැකිය. ජනතාව ආණ්ඩු තෝරා ගන්නේ පක්ෂ ප්‍රතිපත්ති බලා නොවේ. ආණ්ඩුව සිටින්නේ තමන්ගේ පැත්තේ යැයි ජනතාව විශ්වාස කරන තුරු බලය රැක ගෙන සිටින්නට ඕනෑම ආණ්ඩුවකට පුළුවන්ය. හැට පිරුණු ජනතා විමුක්ති පෙරමුණ හොට බිම ඇණ ගන්නේ නැතුව ආණ්ඩුව ගෙන යාමට නම් ඒ විශ්වාසය රැක ගත යුතුමය. එය අනිවාර්ය කොන්දේසියෙකි.


(සටහන | ලොකු කුමා)

(උපුටා ගැනීම -  srilankabrief.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හැට පිරුණ ජවිපේ ඉතිහාසයේ එක පිටුවක් මෙන්න | ලොකු කුමා | The Leader