The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මේ පොල් ගහ මගේ දුව කියලා හිතලා තමයි මම ඉන්නේ'

T

The Leader Desk

May 18, 2025 • 6:54 AM

'මේ පොල් ගහ මගේ දුව කියලා හිතලා තමයි මම ඉන්නේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පොල්ගහ දූ තමයි කියලා හිතලා තමයි මම ඉන්නේ.
  • යුද්ධය අවසන් ව වසර 16ක් ගතවන මේ මොහොතේ යුද්ධයේ දරුණුතම සටන් පැවති මුලතිවු, ඔඩ්ඩුසුඩාන්, පරන්තන්, ධර්මපුරම්, විශ්වමඩු හා කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශවල අපි සංචාරය කළෙමු.
  • මහජන ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීම සඳහා පොලිසිය යොදවා සිටින අතර, රථ වාහන රාජකාරී සඳහාද පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා ඇති අයුරුද දක්නට ලැබිණි.
  • අතුරුදන්ව සිටින තම දියණිය ගැන ශෝකයෙන් පසුවන විජය ලක්ෂ්මි "දැන් අවුරුදු 16ක් මගේ දූව හොයනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පොල්ගහ දූ තමයි කියලා හිතලා තමයි මම ඉන්නේ. මේක කපන්න හොඳ නැහැ, මේ ගහ මගේ දූ තමයි කියලා හිතාගෙන ඉන්නවා." යැයි කිලිනොච්චිය නගරයට ආසන්නව ම පිහිටි ආනන්දපුරම් ගම්මානයේ වෙසෙන, යෝගේෂ්වරම් විජය ලක්ෂ්මි මව අප වෙත පැවසුවාය.

55 හැවිරිදි ඇය දරුවන් හතර දෙනෙකුගේ මවක වන අතර ඇගේ ස්වාමි පුර්ෂයා ද දැන් ඇය හැර ගොසිනි.

යුද්ධය අවසන් ව වසර 16ක් ගතවන මේ මොහොතේ යුද්ධයේ දරුණුතම සටන් පැවති මුලතිවු, ඔඩ්ඩුසුඩාන්, පරන්තන්, ධර්මපුරම්, විශ්වමඩු හා කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශවල අපි සංචාරය කළෙමු.

 


යුද්ධයෙන් නටඹුන් වූ ගොඩනැගිලි දැන් එහි දක්නට නැත. වව්නියාවේ සිට මුලතිවු හරහා කිලිනොච්චිය දක්වා අප පැමිණි ගමනේදී ආරක්ෂක මුර කපොලු කිසිවක් ද දැක ගැනීමට නොහැකි විය.

ඔඩ්ඩුසුඩාන්හි ග්‍රාමීය ප්‍රදේශයකදී හමුදා ට්‍රැක්ටරයක ගමන් ගත් ටීෂර්ට් හැඳගත් භට පිරිසක් හැර හමුදා සාමාජිකයින් දැන් මෙම ප්‍රදේශවල දක්නට නොමැති තරම් ය.

මීට වසර කිහිපයකට පෙර අප මුලතිවු වෙත ගමන් ගත් සංචාරයට වඩා මෙවර ගමන බොහෝ සෙයින් වෙනස් වූයේ, කලින් පැවති හමුදා මුර කපොලු දක්නට නොලැබීම නිසාය.

මහජන ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීම සඳහා පොලිසිය යොදවා සිටින අතර, රථ වාහන රාජකාරී සඳහාද පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා ඇති අයුරුද දක්නට ලැබිණි.


යුද්ධයෙන් දහස් ගණනකට ජීවිත අහිමි විය. හමුදා සාමාජිකයින්, එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මෙන් ම දෙමළ, සිංහල හා මුස්ලිම් සිවිල් වැසියෝ ද ඒ අතර වූහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. අත්පා අහිමි වූ පිරිසද අති මහත්ය.

මෙම පිරිසට අමතරව තවමත් අතුරුදන්ව සිටින තම දූ පුතුන් ගැන තොරතුරක් බලාපොරොත්තුවෙන් පසුවන මව්පියන් ගණනාවක් උතුරේ මෙන්ම දකුණේ ද දිවි ගෙවති. එවැනි මව්වරුන් කිහිප දෙනෙකු කිලිනොච්චිය සහ මුලතිවු ප්‍රදේශවල කළ සංචාරයේදී අප හට හමු අතර විජය ලක්ෂ්මි ද ඒ අතුරින් කෙනෙකු වූවාය.

බැලූ බැලූ අත ගොයමින් වැසී ගිය මුලතිවු හි සශ්‍රීක කෙත්වතු පසුකරමින් අප පළමුව පැමිණියේ කිලිනොච්චිය නගරයට ආසන්නව ම පිහිටි ආනන්දපුරම් ගම්මානයේ වෙසෙන, යෝගේෂ්වරම් විජය ලක්ෂ්මිගේ නිවස වෙතය.

කරුන්කා කැපීමෙන් ජීවිකාව ගෙන යන ඇය තවමත් තැවෙමින් සිටින්නේ, අතුරුදන්ව සිටින තම දියණිය ගැන සිතමිනි.

 

da23423අතුරුදන්ව සිටින තම දියණිය ගැන ශෝකයෙන් පසුවන විජය ලක්ෂ්මි

"දැන් අවුරුදු 16ක් මගේ දූව හොයනවා. දැන් රජය තමා අපිට කියන්න ඕනේ එයා කෝ කියලා. අපි වව්නියාවේ තියෙන කඳවුරු ඔක්කොට ම ගියා. ඒ ගියා ම මේ දරුවා නෑ කිව්වා. අපි ගෙනාවේ නැහැ, වෙන කොහේහරි ගිහිල්ලා බලන්න කියලා කිව්වා. පස්සේ තමා මම බූස්සට ගියේ. ඒ ගිහාම ඒගොල්ලො තමා කිව්වේ මෙහෙ අනූෂා කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒත් තාත්තගේ නම වෙනස් කියලා කිව්වා, මම කිව්වා මේ දරුවා පෙන්නන්න. මම දොර ළඟ ඉදලා බලලා යන්නම් කියලා. එහෙම පෙන්නන්න බැහැ කියලා කිව්වා. මම අවුරුදු තුනකට පස්සේ ආයිත් ගියා. එතෙකාට ඒ ගොල්ලෝ කිව්වා ඔයාට පිස්සු… අම්මා කියලා. අපි කියනවානේ ඔයාගේ දරුවා මෙහෙ නැහැ කියලා, කියන්න ඇයි මෙහෙ එන්නෙ කියලා කිව්වා. ඔයාට පිස්සු හැදුණද කියලා මාව එවනවා. එහෙම කිව්වට පස්සේ මම ආයේ ගියේ නැහැ." විජය ලක්ෂ්මි දැඩි වේදනාවෙන් පැවසූවාය.

"2009 අප්‍රේල් මාසේ, උඩිනුත් බෝම්බ වැදුනා, බිමිනුත් බෝම්බ වැදුනා, අපිට කොහොට යන්න ද කියලා දන්නේ නැතිව හිටියේ. කොහෙට යනවදා කියලා දන්නේ නැතිව අපි ඉස්සරහට ගියේ. කටිටිය වෙන වෙන ම ගියේ. කඳවුරට ගියා, හමුදාව ගත්තා අපිව. මම ගිහිල්ලා දවස් තුනකට පස්සේ තමා අපේ මහත්තයාත් ආවේ ඒ කඳවුරට. ඒයා ආවට දූ ආවේ නැහැ."

යෝගේෂ්වරම් අනූෂා යනු විජය ලක්ෂ්මිගේ දියණියයි. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක වන ඇය අතුරුදන් වන විට 18 හැවිරිදි වියේ පසුවූ බව විජය ලක්ෂ්මි සඳහන් කළාය.

"අපි කඳවුරට ගිහිල්ලා දින කිහිපයකට පස්සේ අක්කා කෙනෙක් කිව්වා දූ තුවාල වෙලා වව්නියාව හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නවා කියලා. ඩක්ගාල එන්න බැහැ නේ. අපි හිටියේ කඳවුරේ නේ. හමුදාවට කියන්න ඔනේ. ඒ කියලා මේ කියලා නේ අපි එළියට එන්න ඕනේ. ඒ වෙන කොට දවස් තුනක් ඉවර වුණා හමුදාව අපිව එළියට දාන කොට. ඒ ඇවිල්ලා හොස්පිටල් එකට ඇවිල්ලා බලනකොට එයා හිටියේ නැහැ. ඒ හිටිය කට්ටිය කිව්වා හමුදාව ගෙනාපු කට්ටිය ගෙනිච්චා කියලා. කොහෙට ගෙනිච්ච ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි ගියා එක එක කඳවුරට ගිහිල්ලා බැලුවා. බූස්ස කඳවුරටත් දවස් තුනක් ගියා."

dac34

කරුන්කා කැපීමෙන් ජීවිකාව ගෙන යන ඇය තවමත් තැවෙමින් සිටින්නේ, අතුරුදන්ව සිටින තම දියණිය ගැන සිතමිනි.

 

'ජනාධිපතිවරු පස් දෙනෙක් ආවා, කවුරුත් අපේ දරුවන්ට මොකද්ද වුණේ කියලා කිව්වේ නැහැ.'

"දැන් ජනාධිපතිවරු පස් දෙනෙක් ආවා, කවුරුත් අපේ දරුවන්ට මොකද්ද වුණේ කියලා කිව්වේ නැහැ." ඇය මදක් ආවේගශීලි විය.

"ඡන්දය ආවම කියනවා අපි ඔයාලගේ දරුවා කෝ කියලා හොයලා දෙන්නම්. පස්සේ කවුරුත් අපිට ඒ ගැන කිව්වේ නැහැ."

"දැන් ඉන්න ජනාධිපති මොකද කිව්වේ. ඔයාලාගේ දරුවා කෝ කියලා අපි විස්තර කියන්නම් කියලා. දැන් එයාට මතක තියෙනවද කියලා දන්නේ නැහැ. දැන් ඉන්න ජනාධිපතිට අපි ඡන්දේ දාන්න යන කොට කිව්වනේ, ඔයාලට මොකද්ද ඕනේ කියන එක, අපි කරනවා කියලා. එයාට ඒක මතක තියෙනවද කියලා දන්නෙ නැහැ." ඇය පැවසුවාය.

"රජය ළඟ තමා දරුවා ඉන්නේ. වෙන කොහෙද ඉන්නේ. මට දුකයි මොකද දන්නවාද? පූතා නම් කමක් නැහැ. මෙයා දූ නේ. දූට එයාලා මොකද්ද කළේ කියලා මට දන්නේ නැහැ. දැන් දන්නවා නේ වෙන දේ ගැහැනු දරුවන්ට. මෙයා ගෙනිහිල්ලා මෙයාට මොකද්ද කලේ කියලා මට දන්නේ නැහැ. ඉන්වද කියලා දන්නෙත් නැහැ." සිංහල බස චතුරව කතා කළ නොහැකි විජය ලක්ෂ්මි ඇයට හැකි අයුරින් අප වෙත සඳහන් කළාය.

 

da546569 9

විජය ලක්ෂ්මි, දියණියගේ කුඩා කල ඡායාරූපයක් පෙන්වමින්

'ආයිත් ඒ වගේ යුද්ධ එපා'

"ගාසවල, ඉන්දියාවේ, පකිස්ථානයේ රංඩු කරනවා දැන්. ඒ රංඩු කොහොමද කියලා මං දන්නේ නැහැ. එ රංඩු නෙමේ අපි දැක්කේ. මැරිච්ච අයගේ ඇඟ උඩින් කකුළ තියලා අපි ගියේ."

"අපි යුද්ධ වලට කැමති නැහැ. ආයිත් ඒ වගේ යුද්ධ එපා. ඉන්න දරුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඕනේ. මේ ඉන්න දරුවෝ රංඩු නැතිව සංතෝෂයෙන්, මේ භූමියේ ඉන්න ඕනේ. රංඩුවට අපි කවුරුත් කැමති නැහැ. අපි කොච්චර දුක්වින්දදා ද. රංඩු එපා අපිට." විජය ලක්ෂ්මි සංවේදී ව පැවසුවාය.

(සටහන | සම්පත් දිසානායක සහ ෂර්ලි උපුල් කුමාර කිලිනොච්චියේ සිට)

උපුටා ගැනීම - BBC සිංහල සේවය



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...