The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වරෙන්තු නාඩගම පොලීසියේ බැරිකම ද- රැවටිල්ල ද ? | ලොකු කුමා

T

The Leader Desk

May 18, 2025 • 7:57 AM

වරෙන්තු නාඩගම පොලීසියේ බැරිකම ද- රැවටිල්ල ද ? | ලොකු කුමා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුඩා උන් දවස්වල අප බොහෝ සතුටින් කළ ක්‍රීඩාවකි හැංඟි මුත්තා සෙල්ලම.
  • දැන් මේ ක්‍රීඩාව ලොකු උන්ද කරන බව පෙනෙන්ට තිබේ.ලොකු වුන් කිව්වාට උන් සෙල්ලම් පුතයන්ද නොවේ.
  • අවුරුද්දේ මාතර වැලිගම පිහිටි W 15 හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කරන ලද ඒ පොලිස් ලොක්කා උසාවිය මග හැර සිටින විට වරෙන්තු නිකුත් කෙරිණි.
  • අප මුලින් සඳහන් කරන ලද පොලිස් ලොක්කාද වෙනින් කවුරුවත් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කුඩා උන් දවස්වල අප බොහෝ සතුටින්  කළ ක්‍රීඩාවකි හැංඟි මුත්තා සෙල්ලම.

මුත්තා ඇස් වහගන්ටත් පෙර අපි හැංගෙන්නට දුවමු.

දැන් මේ ක්‍රීඩාව ලොකු උන්ද කරන බව පෙනෙන්ට තිබේ.ලොකු වුන් කිව්වාට උන් සෙල්ලම් පුතයන්ද නොවේ. පහුගිය ආණ්ඩුව වල හිටි කෙරුම්කාරයන්ය. මේ අයියලා හැංගිමුත්තම් සෙල්ලම් කරන්නේ පොලීසිය සමගය. මේ හැංගිමුත්තන් සෙල්ලම පටන් ගත්තේ පොලීසියේ ඉහළම තානාන්තරයේ හිටිය පොලිස් ලොක්කාය.

 

GCqv3wobEAACHO4

2023 අවුරුද්දේ මාතර වැලිගම පිහිටි W 15 හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කරන ලද ඒ පොලිස් ලොක්කා උසාවිය මග හැර සිටින විට වරෙන්තු නිකුත් කෙරිණි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙනි. මේ පොලිස් ලොක්කා කවරෙක්ද යන්න මේ රටේ මොනිටසෝරි දරුවෙක් ගෙන් පවා අසා දැන ගත හැකිය.

ඉස්සර සිනමාවට සම්බන්ධව ලෙනින් මොරායස් නම් චිත්‍රපට නිෂ්පාදකයෙක් සිටියේය. ඔහුගේ චිත්‍රපට ගැන ගුවන් විදුලියේ ප්‍රචාරය වූයේ වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරායස් ගේ චිත්‍රපටයක් මෙන්න යනුවෙනි. අප මුලින් සඳහන් කරන ලද පොලිස් ලොක්කාද වෙනින් කවුරුවත් නොවේ. දේශබන්දු තෙන්නකෝන්ය.2023 පෙබරවාරි 27වන දින දේශබන්දුට එරෙහිව මාතර අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.

ඒ වෙන තුරු මෙරට උසාවි වලින් වරෙන්තු නිකුත් කෙරුණේ නඩු වලින් කට්ටි පනින අයි.ආර්.සී කාරයන්ටය. මේ  වරෙන්තු කාරයන් අල්ලන්නට එහෙට මෙහෙට දිව්වේ පොලීසියයි. ඒ ⁣වරෙන්තු කාරයා ගෙදර නැති නම් අඩුම ගානේ ගෙදර අඹුව හෝ අම්මා අප්පාවත් කුදලා ගෙන පොලීසියට ගෙන ඒමේ සිරිතක් පොලීසියට තිබුණි. පොලීසිය ඒම කෙරුවේ තොවිල් කරන කට්ටඬි ගුරුන්නාන්සේලා යක්ෂයින්ට බිල්ලට බිල්ලක් දීමේ සිස්ටම් එක පුරුද්දට අරගෙන වාගේය.

 

තමුන්ගේ හිටපු ලොක්කාට එරෙහිව වරෙන්තු නිකුත් වීමෙන් පසුව පොලීසිය⁣ට ඒ ගැන බොහොම සීරු මාරුවට රාජකාරි කරන්නට සිද්ධ විය. හිටපු පොලිස් ලොක්කාගේ බිරින්දෑ හාමු කුදලා ගෙන ගෙන එන්ටත් බැරිය. ඒ නිසාම වරෙන්තු කළ පොලිස් ලොක්කා උසාවිය මග හරිමින් මාසයකට ආසන්න කාලයක් හැංඟී සිට උසාවියට බාර විය. ඒ කෙරුම්කාරයා උසාවියට බාර වෙන තුරුම හැංගී සිටියේ කොතැනකද යන්න පොලීසියට බැරි විය. ඔහු ඇල්ලීමට පොලිස් කණ්ඩායම් හයක් යොදවා සිටි බවද ආරංචි විය.

ඒත් එම පොලිස් කණ්ඩායම් හයට තමන්ගේ හිටපු පොලිස් ලොක්කා හොයා ගන්නට බැරි වීම ගැන ලියන්⁣නට ඇත්තේ පොලීසියේ එවැනි බබා හුකුම් පාට් වලින් මේ රටේ නීතියට වංගු ගහන්නට පුළුවන් වුනාට ජනතාව නම් නොරැවටෙන බව පමණය.

 

Prasanna Ranaweera 1200x675px 07 05 25 1000x600
ඊළඟ වරෙන්තුකාරයා වූයේ පහුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ ප්‍රසන්න රණවීරය. ප්‍රසන්න රණවීර මැටි කර්මාන්ක ඇමතිවරයා විය. කිරිබත් ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්නට රණවීරට එරෙහිව මහර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරිණි.

එම වරෙන්තුව සමග ප්‍රසන්න රණතුංග අන්තරස්දාන වූවේය. ඒ පහුගිය මාර්තු මාසයේ 07 වනදා සිටය.පොලීසිය හැංගි මුත්තන් සෙල්ලම පටන් ගත්තේය. ඔහු සිටින තැන් සොයා විවිධ ස්ථාන සෝදිසි කළ බවටත් පොලීසිය උසාවියට කරුණු වාර්තා කරන ලදී.

එහෙත් ප්‍රසන්න රණවීර ඒ අතරේ සිය පාස්පෝට්ටුව අළුත් කර ගැනීම සඳහා පාස්පෝට් ඔෆීසියට ගොස් තිබුණි.

මේ කාර්යාලයේ පොලිස් හා හමුදා බුද්ධි ඒකක පවා රාජකාරියේ නිරත වී සිටී. එහෙත් ඒ නිළමෙලා කිසිවෙකු ගේ දෑසට නොපෙනී තමන්ගේ පාස්පෝට්ටුව අළුත් කරවාගෙන ගෙදර යන්නට ප්‍රසන්න රණවීරට හැකි විය. එය ⁣එසේ මෙසේ හපන්කමක් නොවේ.

 

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නට බංකුවක් අරගෙන එන්න යැයි පොර බයිලා කියන ආරක්ෂක නියෝජ්‍ය ඇමති උන්නැහේට ප්‍රසන්න රණවීරගේ ඒ හපන්කම ගැන මොනවා හිතෙන්නට ඇද්දැයි අපි නොදනිමු. ඒත් ඒ සිතීම තුළ ලැජ්ජාවක් නැති බව නම් ෂුවර්ය. එහෙම ලැජ්ජාවක් දැනුනානම් ඒ ආරංචිය ආ පැයේම බංකු බංකු උන්නැහේ ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුය.

පාස්පෝට් ඔෆීසිය අයිති මහජන ආරක්ෂක අමාත්‍යංශයටය. වරෙන්තුකාර ප්‍රසන්න රණවීර එතැනදී අල්ලා ගන්න බැරි වීම ගැන මහජන ආරක්ෂක ඇමති ඩබලත් වග කිව යුතුය. එහෙම බලන විට ඩුබායි වල සැඟව සිටින පාතාල මැරයන් ඇල්ලීම හීනයක් විතරය.

අළුත්ම වරෙන්තුව නිකුත් කර ඇත්තේ හිටපු ඇමති මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිවය. ඔහු උසාවියට බාර වෙනු ඇතැයි සිතන්නට බැරිය. පොලීසිය හැංගි මුත්තම් සෙල්ලම පටන් ගන්නට සූදානම් වෙනවා වෙන්නට පුළුවන. පොලිස් කණ්ඩායම් හය හතකට ⁣ලංකාව පුරාම ඇවිදින්න⁣ට චාන්ස් එකක් ලැබෙන්නේය.

මේ වෙලාවේ ඇමති පට්ටම් එපා - මහින්දානන්ද
මහින්දානන්ද බොසා වැඩියෙන් ගැවසෙන්නේ නුවර පැත්තේ නිසා ඒ පොලිස් කණ්ඩායම් වලට නුවර ෂැපක් විඳින්නටද පුළුවන. බටා පාරක් දාගන්නටද හැකිය. ඒ නිලමක්කාරයන්ට එරෙහිව උසාවියෙන් නිකුත් කරන වරෙන්තු වලින් පොලීසියට පෑදෙන ඉල්ලමය.

මහින්දානන්ද බොසා පොදු ජන පෙරමුණේ ප්‍රබලයකි. පොලීසියේ ඉහලම තැනක ඉන්නා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තල්දූව උන්නැහේ කන්නේ බොන්නේ සිංදු කියන්නේ පොහොට්ටුවේ ලොකු ලොක්කන් එක්කය. ඒ වගේම ඒ උන්නැහේගේ බිරින්දෑ හාමු පොදු ජන පෙරමුණේ නීති උපදේශිකාවය. ඉතින් මහින්දානන්ද බොසා තමන්ට එරෙහිව උසාවිය නිකුත් කර තියෙන වරෙන්තුව ගැන නීති උපදෙස් ගන්නට ඕනෑ ඒ ලොකු පොලිස් ගේ බිරින්දෑ නෝනා හාමුගෙනි. ඒ නිසාම මහින්දානන්ද බොසා වරෙන්තුව අධෝවාතයක් තරමේ ගනන් ගන්නේ නැත. තමන්ට කැමති දවසක උසාවියට එන තුරු ලොකු පොලිස් ගේ ගෙදරට වී කකා බිබී ඉන්නට මහින්දානන්ද බොසාට පිණ තිබේ. ඒ තැන ගැන පොලීසියේ එක අයියා කෙනෙක්වත් ඇහැක් ඇර බලන්නේ නැති බවත් සහතිකය.

කෙසේ වෙතත් තල්දූව උන්නැහේ වැනි රාජපක්ෂ ජානගත පොලිස් ලොක්කන්ට මහජන ආරක්ෂක ඇමති බොසා ලව් කරන බව හොඳ හැටි අසන්නටත් පෙනෙන්නටත් තිබේ. ඒ ලව් එක ගැට ගැහෙන්නේ ටිරාං අයියාට ආණ්ඩුවේ තියෙන ෂපෝට් එක නිසා බව දැන් දැන් හොඳ හැටි රටේ ජනතාවට වැටහී තිබේ.

පුවත් - Results from #504
මේ අතරේ ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නැමැත්තියට එරෙහිවද වරෙන්තු නිකුත් කර තිබේ. ඇය අතුරුදන් වූයේ පහුගිය පෙබරවාරියේදීය.⁣ ඉෂාරා සෙව්වන්දි සිටින බවට සැක කරමින් දිවයිනේ ස්ථාන 200 කට අධික සංඛ්‍යාවක් පොලීසිය සෝදිසි කළ බව අධිකරණයට වාර්තා කර තිබුණි. ඒත් මේ වන තුරු ඇය ගැන හාංකාවිසියක තොරතුරක් නැත.

පොලීසිය කරන මේ ⁣වරෙන්තු සෙල්ලම හරිම අපූරුය. මේ රටේ ග්‍රාම සේවා වසම් ඇත්තේ 14022 කි. ඔය හැංගෙන එවුන් හැංගෙන්නට ඕනෑ කොහේ හෝ වසමකය. මෙරට බුද්ධි සේවාවන් හැට හුටාමාරක් තිබේ. පොලිස් මිල්ටෙරි නේවි එයාර්ෆෝස් ඇස්ටීඑෆ් ප්‍රිසන් ආදී ලෙෆ්ට් රයිට් සරඹ කරන හැමතැනකම බුද්ධි අංශ ක්‍රියාත්මකය.

වරෙන්තු වෙන කෙරුම්කාරයන් හැංගී සිටින තැන් මේ බුද්ධි සේවාවන් නොදන්නවා යැයි කවරකු හෝ සිතන්නේ නම් ඒ උන්දෑට ඔළුවේ අමාරුවක් තියෙන්නට ඕනෑය. ප්‍රශ්ණය තියෙන්නේ වරෙන්තු කාර කෙරුම්කාරයන් සැඟව ඉන්නා තැන් නොදන්නා කම නොවේ. පොලීසිය⁣ට හරි හමන් කොන්දක් නැති කමය.

වෛද්‍ය නජිත් ඉන්දික සහ මාධ්‍යවේදිනී තුශාරා සොයා පොලිස් කන්ඩායම් එයි !

 

මේ කෙරුවාව ගැන සිතන විට සිහිපත් වන්නේ පරණ අවුරුදු ක්‍රීඩාවකි.කොටියා වැට මායිම⁣ට පැමිණ එළුවන් කන්ටයි මං ආවේ යැයි පවසයි.එළුවන් රකින්නන්  එළු බෙටි කාපං කුන්දීරේ යැයි ඌට සරදම් කරයි. මේ ක්‍රීඩාව ඕනෑ නම් මේ විදියට කරන්නටද පුළුවන.

“ලොක්කා අල්ලන්ටයි අපි ආවේ” පොලීසිය කියයි

‘උඹලට පිස්සුද පලයව් යන්න⁣ට ආ පාරේ’ වරෙන්තු කාර කෙරුම්කාරයා කියයි.

අපි නාහෙන් අඬමින් ඒ නාඩගම බලා සිටිමු.

(සටහන | ලොකු කුමා)

උපුටා ගැනීම - Sri Lanka Brief



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...