The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් පීපල්ස්

T

The Leader Desk

May 18, 2025 • 9:49 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් පීපල්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ ළමා කාලේ නම්, ගමේ තරුණ පෙළ වෙසක් ළං වෙද්දි කළේ කූඩු තැනීමට උණ බට කැපීමය.
  • දන්සලට ඇත්තේ දිගු ඉතිහාසයකි.
  • ඔහුගේ බ්ලඩ් ෂුගර් මට්ටම 300 පැන්නේ ඊයේ පෙරේදාය.
  • සවස් වරුවේ කඩල දන්සලකට හා මඤ්ඤොක්කා දන්සලකටද ගොඩවැදුණේ කාගේ හෝ මල් වට්ටියකට අතගැසීම පවා පිනක් වන බව දන්නා නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපේ ළමා කාලේ නම්, ගමේ තරුණ පෙළ වෙසක් ළං වෙද්දි කළේ කූඩු තැනීමට උණ බට කැපීමය. දැන් සිදුවන්නේ දන්සල් දැමීමට සම්මාදම් දැමීම නොහොත් ආධාර එකතු කිරීමය.

 

551106 341475199257713 1693703117 n

දන්සලට ඇත්තේ දිගු ඉතිහාසයකි. අතීතයේදී දන් දුන්නේ සිංහල රජවරුය. ඊට වෙසක් පොසොන් කියා දින නියමයක් නොතිබුණි. හැම දිනකම පුර දොරටු අසල දන්සල්ය. ඒ දුගී මගී යාචකයන්ටය.

දැන් නම් එහෙම වෙනසක් නැත. පන්ති භේදයකින් තොරව, උස් පහත් භේදයකින් තොරව සියලු දන, දන්සල් පෝලිමේ යති.

වෙසක් දිනට පසු දා තරුණයකු තැබූ ෆේස්බුක් සටහනකි මේ.

 

ලෝක වාර්තාවක් තැබිය හැකි අපේ දන්සල්වලට ඇයි මේ කෙනහිලි? – (සුනිල් කන්නන්ගර)
“උදෑසනම නැගිට පන්සලට ගොස් බුදුන් වැන්දෙමි. ඉන්පසු, ඒ අසලම මහ පාරේ පසෙක තිබූ කොළ කැඳ දන්සලෙන් හිස් බඩට කරපිංචා කැඳ එකක් බීවෙමි. ඉන්පසු ටවුම දෙසට පිය නගන්නට වීමි. ටික දුරක් යන විට, කිරි කෝපි දන්සලක් දැක උණු උණු කෝපි එකක් ද බිව්වෙමි.

වැඩි දුරක් යාමට ලැබුණේ නැත. කිරිබත් දන්සලකි. උදෑසන හීල ඉන් පිරිමසා ගතිමි.

දහයට පමණ බෙලිමල් දන්සලකට ගොඩ වැදුණෙමි.

ටවුමේ පාලම අසල දිග පෝලිමකි.

මොනවද දෙන්නෙ?”

මම ඇසුවෙමි.

“ෆ්‍රයිඩ් රයිස්”

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව

දෙපැයක් පමණ පෝලිමේ ගත කර, ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවෙමි. ඩස්බින් එකක් පිරෙන්නට තිබූ ඉවතලූ ඉඳුල් ගොඩෙන් බල්ලාටද පාර්සලයක් ඔතා ගතිමි. පාරෙන් එහා පැත්තේ අයිස්ක්‍රීම් දන්සලකි. පෙරේරා මහත්මයා ද වටපිට බලමින් එහි සිටී. ඔහුගේ බ්ලඩ් ෂුගර් මට්ටම 300 පැන්නේ ඊයේ පෙරේදාය. සවස් වරුවේ කඩල දන්සලකට හා මඤ්ඤොක්කා දන්සලකටද ගොඩවැදුණේ කාගේ හෝ මල් වට්ටියකට අතගැසීම පවා පිනක් වන බව දන්නා නිසාය.

486090872 957620309894114 7857056565238433803 n

 

සවස 4 ට පමණ රොටී දන්සලක්ද සීනි සම්බල් පාන් දන්සලක්ද “වැඳ” ගත්තෙමි. රාත්‍රී ආහාරය සඳහා සරල කෑමක් සුදුසු බැවින් වැඩිපුර රොටී කිහිපයක්ද ඉල්ලා ගතිමි.

ආපසු එද්දී නිවෙසට හැරෙන තැනම කෝපි දන්සලකි. ගමේ උන්ට “නෑ බෑ” කීම හරි නැත.

ගෙදරට ගොඩවන්නට ලැබුණේ නැත. මෝටර් බයිසිකලයක් හඬ නගාගෙන පැමිණ මා අසල නතර කෙරුණි.

“අයියේ... යමු පාටියට.”

“මොන පාටියක්ද අද වෙසක් දවසෙ?”

 

මත්පැන් සමාගම් 09කින් කෝටි 600ක බදු පොල්ලක් !

“දවල් බත් දන්සල් කරපු ධර්මෙලා ලාබෙන් පාටියක් දානවා... යමු යමු.”

මම බයිසිකලයට නැගුණෙමි.

ධර්මෙලාගෙ ගෙදර මත්පැන් දන්සලකි.

මා ආපසු එන විට දොළහ පහුවෙලාය.

බල්ලාට ගත් බත් එක තවමත් අතේය.

 

දේශීය සුනඛයන් වල් බල්ලන් සේ හැඳින්වීමට ඔබ එකඟ ද ? - (තිලක් සේනාසිංහ)
මා එන අයුරු දුර තියාම දුටු ඌ, මහත් කෝපයෙන් උඩු බුරන්නට ගත්තේය.

ඇත්තටම එය අසිරිමත් වෙසඟකි.”

මේ තරුණයාගේ පෝස්ටු ඉන්පසු නම් දැක්කේ නැත. කෙසේ වෙතත් එදින ඔහු සුව සේ නිදන්නට ඇතැයි සිතමි. නොඑසේ නම්, රාත්‍රියේදී “සුවසැරියක”ට ගොඩවන්නට ඇත.

මැයි මාසයෙන් පසු තවත් දන්සල් සමයක් උදා වේ. ඒ පොසොන් දන්සල්ය. ඒ කාලයට වැඩිපුරම දන්සල් ඇත්තේ අනුරාධපුර පාරේය. වෙසක් කාලේදි රට පුරා දන්සල් දුන් අයට පොසොන් සමයේදි අනුරාධපුර අටමස්ථානෙත් වැඳ පුදාගෙන අනුන්ගේ දන්සල්වලින් කා බී, පින් ලබා, පින් දී ආ හැකිය.

7EPrzUWlmqPg8fS2 cover

 

වෙසක්වලින් පසු දුටු FB කොමෙන්ටු බොහොමයකින් දොස් පැවරුණේ දන්සල් නිසා ඇතිවූ රථවාහන තදබදයටය. බෞද්ධ කොඩියක් දමා එක් රථයක් නැවැත්වූ විට ඒ පසුපස රථ පෙළක්ම ඇතිවෙයි. මෙම “දන්සල් ට්‍රැෆික්” නිසා කලට වෙලාවට ගමනක් බිමනක් යාමට නම් නොහැකිය.

පැහැදිලිවම නූතන වෙසක් උළෙල විනෝදකාමීන්ගේ සැණකෙළියකි. එහි ආගමික ස්වරූපය බිඳවැටී ඇත. හැම තැනකම “ශබ්ද පූජා” ය. දන්සලක් ඇති බව මුලින්ම අඟවන්නේ උදේ සිටම ඇසෙන ශබ්ද විකාශන හඬිනි.

මඳ කලකට ඉහත ගමක විසූ මැදිවියේ පුද්ගලයෙක් ප්‍රකටව සිටියේ “යකඩ කටා” නමිනි. ඊට හේතුව, ලවුඩ් ස්පීකරයක් ඇති ඕනෑම තැනක ඔහු ගීතයක් ගායනා කිරීමට ඉදිරිපත් වීමය.

c4h56
ගමේ වෙසක් දන්සලක් පැවති අවස්ථාවක ‘මොහිදීන් බෙග්’ට කෙටි විරාමයක් දුන් මොහොතක, යකඩ කටා මයික්‍රෆෝනය බාර ගත්තේය. ඔහු තරමක් බීමත්ව සිටියේය. උස් හඬින් ගීතය ගායනය පටන් ගැනුණි.

“බුදුන්ගේ අමා ධර්මේ...”

ගීතය එකම තැනය. නැවත නැවතත් “බුදුන්ගේ අමා ධර්මේ”මය. යකඩ කටාට වචන මතක නැත.

“යකඩ කටේ හිරවෙලා”

කොල්ලෝ හූ කියමින් කෑ ගැසූහ.

ඉන්පසු යකඩ කටෙන් ඇසුණේ කොල්ලන්ගෙ මව්ගුණ සැමරෙන වදන් මාලාවකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව
“දන්සල් පීපල්ස්” කොමෙන්ටු තවමත් ඉවරයක් නැත.

 

“ලබන සැරේ අපිත් දෙමු, අලුත් විදිහෙ දන්සලක්.”

මගේ මිතුරෙක් යෝජනා කළේය.

“මොන විදිහෙද?”

“අලුත් පක්ෂයක් හදලා, නොමිනේෂන් දන්සලක් දෙමු.”

“ඒක කොහොමද අලුත් අදහසක් වෙන්නෙ?”

දන්සල් යෝජනාව එතැනම වැළලුණි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රතිඵල ආවා(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් පීපල්ස් | The Leader