ලෝක බලවතුන් ගේ, කලාපීය බලවතුන් ගේ බලපෑම්වලට, බලහත්කාරයට යට නොවී, කටයුතු කළ දේශපාලන නායකත්වය ද ඒ හා ම ගෞරවයෙන් සිහිපත් කරමු!!
රජය, පසුගිය මැතිවරණවල දී සැබෑ ජයග්‍රාහකයා තමන් ය යි කියාගන්නා පක්ෂ, ඒ සඳහා කටයුතු කරන්නේ ද? දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, චින්තන පර්ෂදය ඇතුළු ජාතික සංවිධාන රැසක් 18 දින උදෑසන තිස්සමහාරාමයේ දී මේ විජයග්‍රහණය සැමරීමට කටයුතු යොදා තිබේ. ජාතික නිදහස් පෙරමුණ එ දින සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඒ සඳහා කටයුතු කරන බව නිවේදනය කර ඇත. විජයග්‍රහණයේ සමරුව පක්ෂ දේශපාලනයේ බොල් බව මතු කර ජාතික දේශපාලනයක අවශ්‍යතාව කියාපාන්නේ ද? කෘතගුණ දන්නා ජාතිහිතෛශීන් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරදවා, රටේ ඒකීයභාවය හා භෞතික අඛණ්‌ඩතාව රැකදීම සදා සමරනු ඇත!

එහෙත් ඒ ප්‍රමාණවත් ද? විජයග්‍රහණයේ සමරුව අපි අර්ථවත් කළ යුත්තේ කෙසේ ද? විජයග්‍රහණයේ සමරුව අපි අර්ථවත් කරගත යුත්තේ කෙසේ ද?
පළමු ව ත්‍රස්තවාදය අවියක් කරගෙන ඒකීය රාජ්‍යයට, අප මවුබිමේ භෞමික අඛණ්‌ඩතාවට එරෙහි ව සම්මත කෙරී ඇති අණ-පනත් පිටු දැකිය යුතු ය. ඒ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන පිටුදකින ව්‍යවස්ථාවක් අප මවුබිමේ මුලික නීතිය බවට පත් කරන තෙක්, අපි රණවිරුවන් ගේ උත්තම පරිත්‍යාගයන්ට යුතුකම් ඉටු කළා ය යි කිව නොහැකි ය.
එ තෙක් අපි ත්‍රස්තවාදය අවියක් කරගෙන සම්මත කෙරී ඇති අණ-පනත්, ව්‍යවස්ථා බලගැන්වීම හැකි පමණින් වළක්වා ගත යුතු ය. මේ තාක් ක්‍රියාත්මක නොවූ අණ-පනත්, ව්‍යවස්ථාවේ වගන්ති ක්‍රියාවට නොනැඟිය යුතු ය; ක්‍රියාවට නැඟීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු ය. ඒ වගේ ම, ඒකීය රාජ්‍ය ව්‍යුහයට පටහැනි ආයතන පෙර ක්‍රියාවට නැඟුවේ වුව ද, අද අක්‍රීය ව ඇති නම්, ඒ කිසිවක් යළි සක්‍රීය නොකළ යුතු ය; සක්‍රීය කිරීමට ඉඩ නොදිය යුතු ය. ගැමුණු මහරජතුමා අනුරාධපුරය ජයගන්නා තෙක් ශ්‍රී මහා බෝධිය රැක ගත්තේ යම් සේ ද, එ ලෙස ම මවුබිමේ එකීයභාවය හා භෞතික අඛණ්‌ඩතාව මේ ව්‍යාකූල මොහොතේ අප රැකගත යුතු ය.
ඒ අනුව, 13 වන සංශෝධනයේ එදා-මෙදා ක්‍රියාත්මක නොවුණු පළාත් සභාවල පොලිස් බලතල, ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීම කිසිවිට සිදු නොකළ යුතු ය. ඇත්තට ම, පළාත් සභා සුදු අලියන් අක්‍රිය ව දැන් වසර 6 වඩා කාලයක් ගෙවී ගොසිනි. වසර 6ක් යනු පළාත් සභාවක ව්‍යවස්‌ථාපිත ධූර කාලය යි. ඒ අනුව සම්පූර්ණ ධුර කාලයක් රටේ එක ද පළාත් සභාවක් හෝ ක්‍රියාත්මක වීමකින් තොර ව ගත වී ඇත. එසේ නම් පළාත් සභා යළි සක්‍රීය කළ යුතු ද?

පළාත් සභා අක්‍රීය වූ පසුබිම ද, වඩා නිවැරැදි ව කියන්නේ නම් පළාත් සභා අක්‍රීය කළ පසුබිම ද අප මෙහි දී සලකා බැලිය යුතු ය. ඇත්තට ම පළාත් සභා අක්‍රීය කළේ ඇයි? පළාත් සභා අක්‍රීය කළේ කවුද?
පළාත් සභා අක්‍රීය කළේ, දෙමළ ජනයා ගේ අභිලාෂ ඉටු කිරීම වෙනුවන් උපරිම ලෙස බලය බෙදිය යුතු ය යි කියන දේශපාලන පක්ෂ සියල්ල එකතු වී ය. ඔව්, සම්බන්දන්, සුමන්දිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකකාරකාදීන් අත ඔසවා අනුමත කිරීමෙන් ය. ඒ වගේ ම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් ගේ සක්‍රීය දායකත්වයෙනි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඔවුන ගේ අනුගාමිකයන් සියල්ලෝ ඒ සඳහා එකඟවෙමින් ඡන්දය දුන්හ.ඒ විතරක් ද, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්... මේ අය ද පළාත් සභා අක්‍රීය කිරීමට ඡන්දය දුන්හ.
ඇයි? උපරිම බලය බෙදීමක් ඉල්ලන දෙමළ බෙදුම්වාදීන් නොවේ නම්, පෙඩරල්වාදීන් පළාත් සභා අක්‍රීය කිරීමට ඡන්දය දුන්නේ ඇයි? අද විවිධ විජාතික න්‍යාය පත්‍රවලට යට ව, පළාත් සභා බලතල පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ය යි තමන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කර ඇති (වි)ජාතික පක්ෂ එදා එ සේ පළාත් සභා අක්‍රීය කිරීමට ඡන්දය දුන්නේ ඇයි? ඒ පළාත් සභා ඡන්ද පැවැත්තුවොත්, ඒ වනවිට නිර්මාණය වෙමින් තිබූ පොහොට්ටු පක්ෂය බලවත් වෙති යි යන කුකුස නිසා ය. එ වැනි සැකයක්, කුකුසක් මත බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් හඬ නඟන සියල්ලෝ එකතු ව අක්‍රීය කළ පළාත් සභාවක් අප රටට කුමට ද?
මේ ගැන ජාතික ජන බලවේග ආණ්ඩුව ද බරපතල ලෙස සිතනු ඇතැයි අපි කල්පනා කරමු. තමන් ගේ ඡන්ද ලක්ෂ 23ක් අහිමි කරගෙන සිටින මේ අවස්ථාවේ, ආර්ථික අර්බුදයට ඉක්මන් විසඳුම් සෙවිය යුතු ව ඇති මේ අවස්ථාවේ, තවත් ඡන්දයකට මුදල් කාබාසිනියා කළ යුතු ද? ඊටත් වඩා බරපතල කාරණය වන්නේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල නිවැරැදි ව කිය වුවහොත්, පළාක් සභා ඡන්ද පැවැත්වුව හොත්, එය රට ම එක සංවර්ධන මාවයකට යොමු කරගැනීමේ අවස්ථාව අහිමි කරගැනීමක් වනු ඇති බව පෙනුම් කිරීම ය. අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්‌ඩුව, මුළු රට ම ඔසවා තැබීමට ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු ජනවරම අහෝසි කරගැනීමට ඉක්මන් නොවිය යුතු ය.
රණවිරුවන් මවුබිමට ලබාදුන් විජයග්‍රහණය මේ සංක්‍රන්ති කාලයේ දී ආරක්ෂා කරගත හැකි වනු ඇත්තේ ප්‍රතිපත්තිගරුක වීමෙනි; ස්වාර්ථය යටපත් කර පරාර්ථය ඉස්මතු කිරීමෙනි. පක්ෂ අභිලාෂවලට ඉහළින් ජාතික අභිලාෂ ඔසවා තැබීමෙනි.
(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
gevinducumaratunga@gmail.com



