ප්‍රාදේශීය මට්ටමින් ජයග්‍රාහී අපේක්ෂකයින් අතර ඇති කර ගනු ලබන එකඟතාවයකින් මිස, ජාතික මට්ටමේ එකඟතාවයකට මේ වන විට ඉඩක් ඇත්තේම නැති තරම් ය. ඒ අනුව, ජාතික ජනබලවේගයට පළාත් ආයතන 275 කට ආසන්න ප්‍රමාණයක සභාපති, නගරාධිපති, උප සභාපති සහ නියෝජ්‍ය නගරාධිපති තනතුරු ලබාගත හැකි වනු ඇත.
ආණ්ඩුව කොක්කෙන් හෝ කෙක්කෙන් පළාත් පාලන ආයතන බලය ලබා ගැනීමට උත්සහ කරමින් සිටී. පළාත් පාලන ආයතනයක මුලික තනතුරු සඳහා පුද්ගලයින් පත් කර ගැනීමේ ක්‍රමවේදයෙන් පිට අරමුදල් සම්පාදනය නතර කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය යොදා බලපෑම් කිරීම, තර්ජනය, බලහත්කාරය සිදු විය හැකිය.
මාලිමාවට මහා මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ස 23 ක් අහිමි වී ඇති නමුත්, පොදුවේ රටම ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ය. ඔවුන් ලබා ඇති ඡන්ද ප්‍රමාණය ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයකි. මින් පෙර කිසිදු පක්ෂයක් ලබා නොමැති අසම සම ජයග්‍රහණයකි.
මාලිමාව, ලංකා ඉතිහාසයේ වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් (265) ජයග්‍රහණය කළ පක්ෂය බවට පත්ව ඇත. පළාත් පාලන ඡන්දයක දෙවන ස්ථානයට පත් වූ පක්ෂයක් ජයග්‍රහණය කළ අඩුම පලාත් පාලන ආයතන සංඛ්‍යාව (14) මෙවර සජබට හිමිව ඇත. සජබට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබූ නමුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට පලාත් පාලන ආයතන 36 ක වැඩිම ඡන්ද හිමිවී ඇත. (ඔවුන්ට එයින් කොටසක සභාපති/උප සභාපති බලය හිමි නොවනු ඇත) මුස්ලිම් කොන්ග්‍රසයට පළාත් පාලන ආයතන 6 ක බලය පමණක් හිමිවී ඇති නමුත් ඔවුන් ට ආයතන 10 ක සභාපති/උප සභාපති ධූර ලබා ගත හැකි වනු ඇත.
සුවිශේෂම ප්‍රගතිය වාර්තා කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්දිරන්
එම්.ඒ.සුමන්දිරන්
දකුණේ මාධ්‍ය වාර්තා කර නැති නමුත්, මෙවර ඡන්දයේ දී සුවිශේෂම ප්‍රගතිය වාර්තා කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්දිරන් මහතා ය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී කැඩී බෙදී වෙන්වී ගිය ද්‍රවිඩ ජාතික සන්ධානය නැවත එකතු කර ගැනීමට ත්, ඉතා කෙටි කලක් තුල නැවත තම කලාපයේ බලය අත්පත් කර ගැනීමට ඔහුගේ මෙහෙයුමට හැකිවී ඇත.
එජාප, පොදු පෙරමුණ, ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන පෙරමුණට කිසිදු පළාත් පාලන ආයතනයක් දිනාගත නොහැකි වූ නමුත්, මුස්ලිම් කොන්ග්‍රසය (6), රිෂාඩ් ගේ මොණරා (3), තොන්ඩමන් (2), පිල්ලෙයාන් (1), අතාවුල්ලාගේ ජාතික කොන්ග්‍රසය (2), සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය (3), ඊපීඩීපී (1) පළාත් පාලන ආයතන දිනා ඇත.
පලාත් පාලන ඡන්දයේ අසිරිය ඇත්තේ ප්‍රාදේශීය කණ්ඩායම්වලට ආයතනවල මුල් පුටු ලබාගැනීමට ඇති මේ හැකියාවයි. ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය හෝ සජබ ප්‍රමුඛ විපක්ෂය සංවිධානාත්මක ලෙස මේ ප්‍රාදේශීය පක්ෂ සතු බලය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස උදුරා ගැනීම සිදු නොකළ යුතුව ඇත.
මුළු සභික සංඛ්‍යාවෙන් 3926ක් දිනු මාලිමාව පැහැදිලි ජයග්‍රාහකයා ලෙස නොසලකා කටයුතු කිරීමේ විපක්ෂයේ ප්‍රවේශය ප්‍රචාරකවාදී මෙන්ම, තමන්ම තමන් රවටා ගැනීමකි. සභිකයින් සංඛ්‍යාව අනුව සජබ (1767), පොහොට්ටුව (742), එජාපය (381), ද්‍රවිඩ ජාතික සන්ධානය (377) සහ පුටුව (300) ක් ලබා ඇත. දිලිත් ගේ පදක්කම (226), මුස්ලිම් කොන්ග්‍රසය (116), රිෂාඩ් (60), තොන්ඩමන් (54) අනෙක් දේශපාලන බලවතුන්ය. මාලිමාව සතු මේ කොට්ඨාශ ජයගැනීමේ හැකියාව පැහැදිලි ලෙසම තවමත් ඔවුන් පිළිබඳ රට පුරා ඇති බලය පෙන්වයි.
මෙවර ඡන්දයෙන් නැවතත් ලංකාවේ දේශපාලන සිතියම උතුර, නැගෙනහිර, වතුකරය හා දකුණ පැහැදිලිව ජාතිකත්වය මත පදනම්ව බෙදී ගොස් ඇත. අනෙක් අතට මුස්ලිම් හා වතුකරයේ පක්ෂ සජබ ආධිපත්‍යයෙන් මිදීමේ ප්‍රවනතාව පැහැදිලිව හඳුණාගත හැකිය. ඔවුහු බලය ලබාගැනීමට ශුර ලෙස අනෙකුත් කණ්ඩායම් සමඟ මේ වන විටත් කේවල් කරමින් සිටී.
පළාත් පාලන ඡන්දය ජනතා මතයේ සැබෑ පිළිබිඹුව ‘කොට්ඨාශ ජයග්‍රහණය කිරීමට ඇති හැකියාවයි’. ලංකාවේම ජාතික ජන බලවේගය කොට්ඨාශ 3622 ක් දිනා ගන්නා විට, සජබ දිනා ඇත්තේ කොට්ඨාශ 484 කි. ඉලංකෛ තමිල් අරසු කච්චි (320), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (70), සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය (53), ජනනායක තමිල් තේසීය කූට්ටනි (47), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (39), සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (32), එක්සත් ජාතික පක්ෂය (25), ලංකා කම්කරු කොංග්‍රසය (25), පොදුජන එක්සත් පෙරමුණ (16), ජාතික කොංග්‍රසය (16), තමිල් මක්කල් විඩුතලයෛ පුලිකල් (15), ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (10), ශ්‍රී ලංකා කම්කරු පක්ෂය (6) තමිල් මක්කල් කූට්ටනි (6) කොට්ඨාශ දිනා ඇත. මෙහි දී ද, උතුරු නැගෙනහිර ද්‍රවිඩි හා මුස්ලිම් කණ්ඩායම් ද, වතුකරයේ පක්ෂ ද කැපි පෙනේ. ස්වාධීන කණ්ඩායම් දිනා ඇති කොට්ඨාශය 74 කි.
ජාතික දේශපාලනයේ දී මාලිමාවට සජබ, එජාප, පොහෝට්ටුව හෝ පුටුව තරඟයක් නොවන බවත්, අවම වශයෙන් පශ්චාත් මැතිවරණ සන්ධානයකට හෝ ඔවුන් එක් කර ගැනීමේ විභවයක් නොමැති බවත් ඉතා පැහැදිලිය.

මාලිමාව ජයලැබු කොට්ඨාශ ප්‍රමාණය දිස්ත්‍රක්ක වශයෙන් ගත් කළ ගම්පහ - 388/403 (97%), පොළොන්නරුව - 93/98 (95%), අනුරාධපුර - 209/225 (93%), මාතර - 205/222 (92%), හම්බන්තොට - 141/153 (92%), කොළඹ - 274/303 (90%), මොනරාගල - 104/117 (89%), කුරුණෑගල - 326/373 (87%), කෑගල්ල - 185/214 (86%), ගාල්ල - 218/253 (86%) දිනා ඇත. එයින් මැනවින්ම පැහැදිලිවන්නේ මේ ඡන්දයේ දී මාලිමාවේ අහලකටවත් සජබ, එජාප, පොහොට්ටුව හෝ පුටුව වැනි ජාතික පක්ෂ පැමිණ නොමැති බව හා ඔවුනට තරඟයක් නොමැති බව ය.
මෙහි අර්ථය නම්, විපක්ෂයේ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එක්ව පළාත් පාලන බලය ලබාගැනීමට උත්සහ කල ද, එයට කිසිදු දේශපාලන හෝ තාර්කික සන්ධර්භයක් නොමැති බවය. සජබ සහ පොහොට්ටුව ඊලඟ ඡන්දයේ දී එකිනෙකාට අභියෝගයක් වෙමින් ඇත. දිලිත් ජයවීරගේ පක්ෂය සිය පදනම පුළුල් කිරීමට වෙහෙසෙනු ඇත.

සජිත් - රනිල් වරසකය, නාමල් - සජිත් තරඟය විසින් පුළුල් සන්ධානයක් ගොඩ නගා ගැනීමේ අවස්ථාව අහිමි කර ඇත. ඒ වෙනුවට, සජබ තමන්ට හිමි දෙවන ස්ථානය ඉදිරි වසර කිහිපයටත් රැක ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින් ඇත.
විපක්ෂයේ කණ්ඩායම් අවම වශයෙන් කොළඹ, මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි තමන්ට අතිශයින්ම වාසිදායක ස්ථානවල පවා පූර්ව මැතිවරණ උපක්‍රමයක් ගොඩනගා ගැනීමට අසමත් විය. දැන් පශ්චාත් මැතිවරණ දේශපාලන උපක්‍රමය තෝරා ගැනීමට ඔවුන්ගේ නායකත්ව බල පොරය නිසා නිසා අසමත් වෙමින් ඇත.
සජිත් හැර සජබ කිසිදු මුල් පෙලේ කිසිදු නායකයෙකු තබා දිස්ත්‍රික් නායකයින්වත් දැන් ඡන්දය ඉල්ලන්නටවත් කැමති නැත. පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ නායකියන් බහුතරය පත්වී ඇත්තේ ජාතික ලැයිස්තුවෙනි.

විපක්ෂයට ඇති ලොකුම අභියෝගය ‘යා දෙක නොරත රත’ පලාත් පාලන ආයතනක සභාපති පුටුව දිනා ගැනීමට සන්ධාන ගැසීම නොව, ඉදිරි ඡන්දයක දී කොට්ඨාශයක්, ආසනයක්, දිස්ත්‍රික්කයක් දිනාගන්නට පුළුවන් පිරිසක් සොයා ගැනීමය.
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com



