The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

May 20, 2025 • 6:43 AM

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම රටට ඉන්දියාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට යම් ලෙසකින් මුහුණ දී ගත නොහැකි වුවහොත් ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන්නට නොපැකිළෙන බව ද පකිස්තානය පවසා තිබේ.
  • එමෙන්ම තමිල්නාඩුවේ පිහිටුවා ඇති කුඩන්කුලම් ඇතුළු අනෙකුත් න්‍යෂ්ටික බලාගාරවලට පකිස්තානය විසින් ප්‍රහාර එල්ල කරනු ඇතැයි යන සැකය ද ඉන්දියාවට ඇති වී තිබේ.
  • විශේෂයෙන් පෝක් සමුද්‍ර සන්ධියෙන් මදක් ඔබ්බෙහි පිහිටා ඇති ශ්‍රී ලංකාව ද පාරිසරික සහ මානුෂීය වශයෙන් සැලකිය යුතු බලපෑමකට ලක් විය හැකි බව අනාවරණය වී තිබේ.
  • විඛණ්ඩනය (fission – පරමාණු බෙදීම) හෝ විඛණ්ඩනය සහ විලයනය (fusion – පරමාණු ඒකාබද්ධ කිරීම) යන ක්‍රියාවන් දෙකෙහිම සංයෝජනයක් ලෙස ද මෙය සිදු විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


තම රටට ඉන්දියාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට යම් ලෙසකින් මුහුණ දී ගත නොහැකි වුවහොත් ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන්නට නොපැකිළෙන බව ද පකිස්තානය පවසා තිබේ.

එමෙන්ම තමිල්නාඩුවේ පිහිටුවා ඇති කුඩන්කුලම් ඇතුළු අනෙකුත් න්‍යෂ්ටික බලාගාරවලට පකිස්තානය විසින් ප්‍රහාර එල්ල කරනු ඇතැයි යන සැකය ද ඉන්දියාවට ඇති වී තිබේ.

එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එයින් සිදුවන හානිය ඉන්දියාවට සහ පකිස්තානයට පමණක් සීමා වන්නේ නැත. විශේෂයෙන් පෝක් සමුද්‍ර සන්ධියෙන් මදක් ඔබ්බෙහි පිහිටා ඇති ශ්‍රී ලංකාව ද පාරිසරික සහ මානුෂීය වශයෙන් සැලකිය යුතු බලපෑමකට ලක් විය හැකි බව අනාවරණය වී තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් මනා දැනුවත්ව සහ එයට පූර්ව සූදානමකින් පසුවීම නොපමාව කළ යුතු තැනකට පත්ව තිබේ.

මේ අර්බුදය පිළිබඳ කතා බහ න්‍යෂ්ටික අවි පිළිබඳ කතා බහකින්ම ආරම්භ කළ හැකිය.

3A7DCD8700000578 0 image a 7 1479425997705 1

න්‍යෂ්ටික අවි යනු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් විනාශකාරී බලය ලබා ගන්නා පුපුරනසුළු උපාංග වේ. විඛණ්ඩනය (fission – පරමාණු බෙදීම) හෝ විඛණ්ඩනය සහ විලයනය (fusion – පරමාණු ඒකාබද්ධ කිරීම) යන ක්‍රියාවන් දෙකෙහිම සංයෝජනයක් ලෙස ද මෙය සිදු විය හැකිය. පිපිරුම් තරංග, තාපය සහ විකිරණ ආකාරයෙන් අතිවිශාල ශක්තියක් මේ අවිවලින් නිකුත් කරයි.

ලොව මුල්ම න්‍යෂ්ටික අවි දෙවැනි ලෝක යුද්ධය සමයේ දී ඇමරිකා එක්සත් ජනපද රජය විසින් දියත් කරන ලද මැන්හැටන් ව්‍යාපෘතිය තුළින් මුලින්ම සංවර්ධනය කරන ලදී. මිනිසුන් ලක්ෂ දෙකකට අධික පිරිසක් මරණයට පත් කරමින් දීර්ඝ කාලීන විකිරණ බලපෑම් ඇති කරමින් 1945 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට හෙළූ පරමාණු බෝම්බවලින් මෙවැනි අවිවලින් ඇති කළ හැකි විනාශකාරී බලපෑම මුළු ලොවම අත්වින්දේය.

 

 113831036 4258c619 e20c 48fd a60d 3a82e2a83665.jpg
‘පරමාණු’ සහ ‘න්‍යෂ්ටික’ යනු එකක් ද දෙකක් ද යන ගැටලුව මේ අවස්ථාවේ දී මතු වෙයි. මේ යෙදුම් බොහෝ විට එකිනෙක මාරු කරමින් භාවිත වන බව පෙනෙන්නට තිබේ. තාක්ෂණික වශයෙන් ගත් කල ‘පරමාණු බෝම්බ’ යනු ජපානය මත හෙළන ලද ‘විඛණ්ඩනය’ යන ක්‍රියාවලිය ඔස්සේ ක්‍රියාකරන අවි සේම, ‘විලයනය’ යන ක්‍රියාවලිය ඔස්සේ ක්‍රියාත්මක වන හයිඩ්‍රජන් හෝ තාප න්‍යෂ්ටික (thermonuclear) අවි ද සැලකිය යුතු තරම් ප්‍රබල වන අතර මේ දෙකම න්‍යෂ්ටික අවි නමැති පුළුල් ප්‍රභේදයට අයත් වෙයි.

දෙවැනි ලෝක යුද්ධය සමයේ දී ලෝකය දුටු න්‍යෂ්ටික අවිවලට වඩා වර්තමාන ලෝකය තුළ පවතින න්‍යෂ්ටික අවි බොහෝ බලවත් බව සඳහන් කළ යුතුය. වර්තමානයේ පවතින සාමාන්‍ය තත්ත්වයේ න්‍යෂ්ටික අවියකින් කිලෝටොන් දහයේ සිය සිය ගණනක් දක්වා ද, හයිඩ්‍රජන් බෝම්බයකින් මෙගා ටොන් මට්ටමේ විනාශයක් ද ඇති කළ හැකි අතර එය තුළ සියලු නගර සමතලා කර දමන්නට තරම් ශක්තියක් ගැබ්ව තිබේ.

මෙයින් සිදුවිය හැකි හානිය පහත පරිදි සඳහන් කළ හැකිය.

main qimg c3950ce7216cb8f99f070227ca367da9

මුලින්ම පිපිරීම සමග ක්ෂණික හානියක් සිදු වෙයි. ඉන් පසු තාප විකිරණය සිදු වන අතර සැතපුම් ගණනක් දුරක් දක්වා පැතිරී යන දරුණු ආකාරයේ පිලිස්සීම් තත්ත්වයක් ඇති වෙයි. අනතුරුව ‘විද්‍යුත් චුම්බක ස්පන්ධන’ (Electromagnetic pulse – EMP) ඇති ව අතර එහි දී බලශක්තිය නිපදවන පද්ධති ක්ෂණිකව හානියට පත් වේ. එමෙන්ම විකිරණ ක්‍රියාකාරී තත්ත්වය හේතුවෙන් වාතය, ජලය, පස සහ ආහාර දාමය විෂ සහිත තත්ත්වයට පත් වේ.

Kudankulam Nuclear Power Plant Unit 1 and 2
ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් දෙකම සතුව මෙහෙයුම් කළ හැකි මට්ටමේ න්‍යෂ්ටික අවි ගබඩා සහ නිකුත් කිරීමේ පද්ධති පවතී. ඉන්දියාව ‘පළමුව භාවිත නොකරන’ (No First Use – NFU) ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර එයින් පැවසෙන්නේ කිසිම අවස්ථාවක න්‍යෂ්ටික අවි පළමුව භාවිත නොකරන බව සහ එය භාවිතයට ගන්නේ තමාට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් එයට දක්වන ප්‍රතිචාරයක් ලෙසින් පමණක් බවය. අනෙක් අතින් බලන කල පකිස්තානය පවත්වාගෙන යන්නේ ‘පළමුව භාවිත කරන’ (first-use) ප්‍රතිපත්තියක් වන අතර සාම්ප්‍රදායික යුද්ධයක දී සිය පැවැත්මට තර්ජනයක් සිදු වන්නේ නම් න්‍යෂ්ටික අවි මුලින් භාවිත කරන්නට නොපැකිලෙන බව එයින් අදහස් වේ.

2024 වසර වන විට ගණන් බලා ඇති පරිදි ඉන්දියාව සතුව න්‍යෂ්ටික යුද ශීර්ෂ (warheads) 160 – 170 ක් අතර ප්‍රමාණයක් පවතින අතර භූමියේ සිට මෙන්ම ගුවන් යානා සහ සබ්මැරීන් ඔස්සේ අවි නිකුත් කිරීමේ පද්ධති හැකියාව දක්වා මෙය ව්‍යාප්ත වේ. පකිස්තානය සතුව ද යුද ශීර්ෂ 160 – 165 අතර ප්‍රමාණයක් පවතින අතර ඒවා කෙටි දුර සහ මධ්‍යම දුර බැලස්ටික් මිසයිලවලින් සමන්විත බැව් වාර්තා වේ.

 

AP21301169692343 1710169747
ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව සමග සැසඳීමේ දී මේවා ඉතා සුළු ප්‍රමාණයක් වුව ද, ඉන්දියාව සහ පකිස්තානය අතර සීමිත වශයෙන් හෝ න්‍යෂ්ටික අවි හුවමාරුවීමක් සිදුවුවහොත් මිලියන ගණනක මරණයට සහ විනාශකාරී දේශගුණික බලපෑම් ඇතිවීම වැළැක්විය නොහැකිය.

පකිස්තානයේ ඉලක්කයට තමිල්නාඩුව ලක්වුවහොත් කුමනාකාරයේ විනාශයක් ඇති විය හැකි ද යන ගැටලුව මේ අවස්ථාවේ දී මතුවෙයි. කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය හෝ තමිල්නාඩුවේ කුමක් හෝ ප්‍රධාන නගරයක් පකිස්තානයේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට ලක් වුවහොත් එහි ක්ෂණික බලපෑමට යටත් වන කලාපය කිලෝමීටර් සිය ගණනක් දක්වා පැතිර යයි. ඉමහත් වූ මිනිස් ජීවිත හානි, ගොඩනැගිලි, ඉදිකිරීම් වැනි අපරව්‍යුහ පහසුකම් විනාශය සහ න්‍යෂ්ටික පතනයන් සිදු වේ.

10217 26 5 2022 18 14 15 1 SRLANKAN22

ඉන්දියාවේ සිට කිලෝමීටර් 30 ක ආසන්නතම දුරකින් පවතින ශ්‍රී ලංකාව ද මෙයින් ගැලවෙන්නේ නැත. සුළඟ සහ වර්ෂාව මගින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට විකිරණ ප්ලාවිතය (drift) හෙවත් පාවී ඒම සිදු විය හැකි අතර එමගින් සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ජල පද්ධතිවලට දැඩි බලපෑම් ඇති විය හැකිය. ඉන්දීය සාගර කලාපයේ මුහුද විෂ සහිත වීම නිසා ශ්‍රී ලංකාවේ මුහුදබඩ පළාත්වල බහුතරයකගේ ධීවර කර්මාන්තය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ගුවන් සහ නාවික ගමනාගමනයන්ට සිදු වන බාධාවන් නිසා සංචාරක කර්මාන්තය සහ වෙළෙඳ කටයුතු අවහිර විය හැකිය. ඉන්දියාවේ තමිල්නාඩුව සහ දකුණු දිග වරායයන්වල සිට ශ්‍රී ලංකාව කරා පලා එන සැලකිය යුතු තරම් සරණාගතයන් පිරිසක් නිසා විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකිය. මනෝවිද්‍යාත්මක සහ ආර්ථික කම්පනකාරී තත්ත්වය නිසා සමස්ත රටම අකර්මණ්‍ය වන්නට ද ඉඩ තිබේ.

මෙහි බරපතළභාවය තීරණය වන්නේ ප්‍රහාරයේ ඇති පරිමාණය සහ ස්වභාවය මතය. ආසන්නතාව නිසා උතුරු පළාත ඉතා ක්ෂණිකව බලපෑමට ලක් විය හැකි ඇති දේශගුණික රටාවන් සහ සාගර තරංග නිසා විකිරණශීලී පතනයන්වල බලපෑම දිවයිනේ අනෙකුත් පළාත්වලට ද පැතිර යා හැකිය. ප්‍රහාරයේ ස්වභාවය ප්‍රබල වුවහොත් සමස්ත දිවයිනටම එහි බලපෑමෙන් ගැලවෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

 

pakistan missiles
ඉන්දීය සිවිල් ජනතාව හෝ මර්මස්ථාන ඉලක්ක කරමින් පකිස්තානය න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එයට ඉන්දියාව දක්වන ප්‍රතිචාරය අතිශය විනාශකාරී විය හැකිය. ‘පළමුව භාවිත නොකරන’ යන ප්‍රතිපත්තිය ඉන්දියාව විසින් පවත්වාගෙන ගිය ද, න්‍යෂ්ටික ප්‍රහාරයක දී ඉන්දියාව මෙය නැවත සලකා බලනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් දෙකොටසම විනාශ වන ආකාරයේ පූර්ණ පරිමාණයේ න්‍යෂ්ටික යුද්ධයක් පැන නැගිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පරිමාණයේ කලාපීය මානුෂීය අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකිය.

න්‍යෂ්ටික අවි භාවිතය ජාත්‍යන්තර නීතිරීතිවලින් දැඩි ලෙස සීමා කොට තිබේ. ඒවා භාවිතය කිසිදු ජාත්‍යන්තර ගිවිසුමකින් සහමුලින්ම තහනම් කොට නොමැති බැවින් න්‍යෂ්ටික අවි භාවිතය නීතිමය රාමු කිහිපයකින් පාලනය කිරීම සිදුවෙයි. ‘අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම’ (Non-Proliferation Treaty – NPT) ඉන් එකක් වන අතර ඉන්දියාව හෝ පකිස්තානය මෙයට අත්සන් කොට නොමැත. ‘විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම’ (Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT) තවත් නීතිමය රාමුවක් වුව ද මේ රටවල් දෙකම එයට බැඳී නොමැත. ‘ජිනීවා සම්මුතිය සහ අතිරේක ක්‍රියාපටිපාටි’ (Geneva Conventions and Additional Protocols) මගින් දක්වා ඇති පරිදි සිවිල් වැසියන් අධික ප්‍රමාණයක් හානියට පත් වන ආකාරයේ අවි භාවිත කිරීම යුද අපරාධයක් සේ සැලකෙයි.

 

Larasarticle TPNWmeeting
‘න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම’ (Treaty on the Prohibition of Nuclear Weapons – TPNW) 2017 වසරේ දී පිළියෙල කරන ලද්දක් වන අතර ඉන්දියාව හෝ පකිස්තානය මෙයට අත්සන් කොට නොමැත.

න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එහි වරදකරුවන රටට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් නීතිමය පියවර ගැනීම, වෙළඳ සම්බාධක පැනවීම සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදෙකලා කිරීම වැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සමස්ත ලෝකයටම පවතී.

යම් හෙයකින් මෙවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් ලෝකයේ රටවල් එයට එරෙහිව කුමනාකාර ප්‍රතිචාරයක් දක්වනු ඇති ද යන්න සලකා බැලිය හැකි කාරණයකි. මෙහිදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි කැඳවීමක් සිදු විය හැකි අතර මේ තත්ත්වය පාලනය කිරීම සඳහා එක්සත් ජනපදය, චීනය, රුසියාව සහ යුරෝපීය සංගමය වැනි ලෝක බලවතුන් රාජ්‍යතාන්ත්‍රික හෝ යුදමය මැදිහත්වීමක් සිදු කරන්නට ඉඩ තිබේ.

ආක්‍රමණකාරී රටට එරෙහිව වෙළෙඳ සම්බාධක පැනවීමක් අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. මෙයින් බලපෑමට ලක් වූ කලාපයන් කරා මානුෂීය ආධාර ක්ෂණිකව ලබා දීමක් සිදු වන අතර ගෝලීය වෙළෙඳ පල තුල බලශක්ති පිරිවැය අහස උසට නැගිය හැකිය. ‘ආරක්ෂා කිරීමේ වගකීම’ (Responsibility to Protect – R2P) යන මූලධර්මය යටතේ මෙයට වගකිව යුතු රටෙහි පාලන තන්ත්‍රයේ වෙනසක් හෝ යුදමය මැදිහත්වීමක් සිදුවිය හැකිය.

africa food insecurity 1200 1664475107 1

‘න්‍යෂ්ටික සිසිරය’ (nuclear winter) වැනි දීර්ඝ කාලීන දේශගුණික බලපෑමක් මේ හේතුවෙන් ඇති විය හැකි අතර එහිදී සිදු වන්නේ වායුගෝලයේ ඇති අංශුමය ස්වභාවය ඉහළ ගොස් ගෝලීය උෂ්ණත්වයේ දැඩි පහළ බැසීමක් සිදු වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා ආහාර හිඟයක් ඇති විය හැකිය.

මෙවැනි අවදානම් තත්වයක් පවතින බැවින් ශ්‍රී ලංකාව එයට සූදානම්ව සිටීම තුළින් ඇති විය හැකි බරපතළ බලපෑම් හැකිතාක් දුරකට අවම කර ගත හැකිය. එහි දී මෙවැනි පියවරවලට එලැඹිය හැකිය.

 

1068324642 512 0 2560 2048 1280x0 80 0 0 21da326d3ccc6dd432fd11c0916f5363
ඉන් එකක් වන්නේ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ විකිරණ අධීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීමය. එමෙන්ම ‘ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය’ (International Atomic Energy Agency – IAEA) වෙතින් සහයෝගය ඉල්ලා සිටීම සිදු කළ හැකිය. එමෙන්ම සාක් සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කලාපීය රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළින් සාමකාමීව අර්බුදය විසඳා ගැනීම සඳහා බලපෑම් ඇති කළ හැකිය. න්‍යෂ්ටික පතනයක දී ආරක්ෂා වන්නේ කෙසේද, මුදවා ගැනීමේ සැලසුම් සහ හදිසි සෞඛ්‍ය ක්‍රියා පටිපාටි ඇති කිරීම වැනි දේ ක්‍රියාත්මක කළ හැකිය.

කෙසේ නමුත් මෙවැනි අවදානමක් තවමත් අප රටේ පාලකයන් හට දැනී ඇති බවක් පෙනෙන්නට නොමැත.

අන්‍යෝන්‍ය වශයෙන් වැළැක්වීමේ මූලධර්මය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර න්‍යෂ්ටික ගැටුමක් ඇතිවීමේ හැකියාව තවමත් නොසැලකිය තරම් හැකි වුවද, එම අවදානම නොසලකා හැරිය නොහැකි තරම් ඉහළ ය. ශ්‍රී ලංකාව මේ ගැටුමේ හවුල්කරුවකු නොවුනත්, එවැනි අවස්ථාවක දී බොහෝ අන්තරායන්ට රටක් ලෙස අපට මුහුණ දීමට සිදු විය හැකිය. න්‍යෂ්ටික ගැටුමක් උත්සන්න වීමේ පොදු අවදානම් හඳුනාගෙන සාමකාමී, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සඳහා කටයුතු කිරීම දකුණු ආසියානු රටවලට ඉතා වැදගත් වේ. කලාපය තුළ මෙන්ම ඇතැම්විට ලෝකයේ අනාගතය ඒ මත රඳා පැවතිය හැකිය.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක | The Leader