The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද?

T

The Leader Desk

May 20, 2025 • 9:33 AM

කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතෝලික පල්ලිය ශාඛාවලට, එනම් රදගුරු වසම්වලට බෙදී ඇත.
  • ලොව පුරා බිලියන 1.4ක කතෝලිකයන් නියෝජනය කරන සභාව සතු සමස්ත ධනය සඳහා නිශ්චිත අගයක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයයකි.
  • ඇතැම් විට එය කළ නොහැක්කකි.
  • නමුත්, අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධූර කාලය ආරම්භයේ සිට ම වෙනසක් සහ වැඩි මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීම සඳහා වෙහෙස වී කටයුතු කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

කතෝලික පල්ලිය ශාඛාවලට, එනම් රදගුරු වසම්වලට බෙදී ඇත. ඒ සෑම රදගුරු වසමක් ම තමන්ගේ ම ගිණුම් පවත්වාගෙන යයි.

ලොව පුරා බිලියන 1.4ක කතෝලිකයන් නියෝජනය කරන සභාව සතු සමස්ත ධනය සඳහා නිශ්චිත අගයක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයයකි. ඇතැම් විට එය කළ නොහැක්කකි.

නමුත්, මෙම ආගමික සංස්ථාවේ හදවත බඳු අධ්‍යාත්මික හා පරිපාලන අධිකාරිය වන ශුද්ධාසනයෙන් (Holy See), නොඑසේ නම් වතිකානයෙන් එම කාර්යය අරඹමු.

ශුද්ධාසනය (The Holy See)

කතෝලික පල්ලියට ආවේණික රහස්‍යභාවය නිසා, ශුද්ධාසනය (Holy See) සතු ධනයේ ප්‍රමාණය පිළිබඳව වසර ගණනාවක් පුරා විවිධ මත පළ වී තිබේ.

නමුත්, අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධූර කාලය ආරම්භයේ සිට ම වෙනසක් සහ වැඩි මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීම සඳහා වෙහෙස වී කටයුතු කළහ.

උදාහරණයක් ලෙස, 2021දී අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනය (Administration of the Patrimony of the Apostolic See) විසින් පසුගිය වසර සඳහා මූල්‍ය ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරනු ලැබීම, දැන් වාර්ෂික පිළිවෙතක් ලෙස ක්‍රියාත්මක වේ.

1967 දී අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනය නිර්මාණය කිරීමෙන් පසු මෙම සංඛ්‍යා හෙළිදරව් වූ පළමු අවස්ථාව මෙය විය.


අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනයේ නවතම වාර්තාවට අනුව, වතිකානය විසින් පවත්වාගෙන යනු ලබන පල්ලියේ ශාඛාව 2023දී ඇ. ඩොලර් මිලියන 52කට වඩා වැඩි මුළු ලාභයක් ඉපැයූ අතර පෙර වසරට සාපේක්ෂව ඇ. ඩොලර් මිලියන 8කට ආසන්න ප්‍රමාණයකින් වත්කම් ඉහළ නංවා ගත්තේ ය.

ශුද්ධ වත්කම් හෙළි කර නැති නමුත් රෝමයේ වෙළෙඳපළ, සංස්කෘතික හා ආචාර ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානයට (MCE) අනුව නවතම ඇස්තමේන්තුගත අගය ඇ. ඩොලර් බිලියන 1කට ආසන්න ය.

මෙම අගය වතිකාන බැංකුව ලෙස හැඳින්වෙන ආගමික කටයුතු ආයතනය (IOR) - Institute for the Works of Religion විසින් කළමනාකරණය කරනු ලබන සියලු ම වත්කම් සඳහා අදාළ වේ. - එබැවින් එහි වතිකානය සතු බොහෝ ගොඩනැගිලි සහ බොහෝ ඉඩම්වල වටිනාකම් අන්තර්ගත නොවේ.

 

catho2

සාන්ත පීතර බැසිලිකා දේවස්ථානය වතිකානය සතු වටිනා ම වත්කම් අතර පවතී

 

අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනය පවසන්නේ, කතෝලික සභාව දේපළ 5,000කට වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කිරීමෙන් ආදායම් උපයන බවත්, ඉන් පහෙන් එකක් කුලියට දී ඇති බව ත් ය.

මෙය ඇ. ඩොලර් මිලියන 84ක මෙහෙයුම් ආදායමක් සහ ඇ. ඩොලර් මිලියන 40කට ආසන්න ශුද්ධ වාර්ෂික ලාභයක් ජනනය කරන බව අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනය පවසයි.

මේ දක්වා සඳහන් කළ සියලු සංඛ්‍යා වතිකානයේ මූල්‍යමය කටයුතු ගැන පමණක් වන අතර ඊට ලොව පුරා කතෝලික සභාවේ අනෙකුත් ශාඛා සතු මූල්‍යමය වටිනාකම් ඇතුළත් නොවේ.

 

catho3

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ මූල්‍ය කටයුතු සඳහා වඩාත් විනිවිදභාවයක් ඇති කළේ ය

 

කතෝලික පල්ලියේ මූල්‍ය කටයුතු විමධ්‍යගත කර ඇති නිසාත්, සෑම රදගුරු පදවියක් ම තමන්ගේ ම අයවැය කළමනාකරණය කරන නිසා ත්, ලොව පුරා විහිදී ඇති මුළු ධනය හා ආදායම් ප්‍රමාණය බෙහෙවින් විශාල වන අතර ඇතැම් විට එය ගණන් කළ නොහැකි තරම් ය.

"කතෝලික පල්ලියේ සමස්ත වත්කම් තක්සේරු කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්," සාඕ පවුලෝහි පොන්ටිෆිකල් කතෝලික විශ්වවිද්‍යාලයේ (PUC-SP) සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වන ෆැර්නෑන්ඩු ඇල්ටෙමයර් පවසයි.

ලොව පුරා ඇති, පල්ලියට අයත් ශාඛාවලට හෙක්ටයාර මිලියන 71ත් 81ත් අතර ඉඩම් ප්‍රමාණයක් හිමි බව පැරිසියේ පිහිටි ආගම් සහ ලෞකිකත්වය පිළිබඳ අධ්‍යයන ආයතනය (IREL) පවසයි. එබැවින් කතෝලික පල්ලිය ලොව විශාලතම ඉඩම් හිමියන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ.

වත්කම් අතර පල්ලි, පාසල්, රෝහල් සහ පූජක නිවාස ද ඇතුළත් වේ.

සත්‍ය වටිනාකම කොතෙක් ද යන්න නිර්ණය කළ නොහැකි වුව ද, ඉතිහාසඥයින්ගේ ඇස්තමේන්තු සමග වාර්තා වූ සංඛ්‍යා එකතු කළ පසු ලොව පුරා ඇති ධනයේ වටිනාකම ඇ. ඩොලර් බිලියන ගණනකි.

 

catho4

ආගමික කටයුතු ආයතනය (IOR) බැංකුවකට සමාන කාර්යයන් ඉටු කරන එබැවින් එය සාමාන්‍යයෙන් වතිකානයේ බැංකුව ලෙස පොදුවේ හඳුන්වයි

 

කතෝලික සභාවට වත්කම් ලැබන්නේ කොහෙන් ද?

කතෝලික පල්ලිය තමන්ගේ ම කැනන් නීති සංග්‍රහය අනුගමනය කරන්නේ නම්, මෙම තත්ත්වය ඇති වූයේ කෙසේ ද? එම නීති පොතෙන් ගම්‍ය වන්නේ, පල්ලිය ධනය රැස් කිරීම හෝ ලාභ ඉපැයීම අරමුණු නොකළ යුතු බව ය.

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා (ක්‍රි.ව. 272-337) 4 වන සියවසේදී කතෝලික ධර්මය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් කිරීමත් සමග පල්ලිය භාණ්ඩ හා ධනය එක්රැස් කිරීම ආරම්භ කළ බව නෙයි ද සූසා (Ney de Souza) History of the Church (Ed. Vozes) නමැති කෘතියේ ලියා තිබේ.

ඉතිහාසඥයින් පවසන්නේ, එකල කිතුනුවන් නිහතමානීව ජීවත් වූ බවත් ඔවුන්ගේ ම කැටකොම්බ් ලෙස හැඳින්වූ නිවෙස්වල දේව මෙහෙයන් පැවැත්වූ බව ත් ය.

"මෙම සිදුවීම් ක්‍රිස්තියානි ධර්මයේ සහ රෝම අධිරාජ්‍යයේ ඉතිහාසය රැඩිකල් ලෙස වෙනස් කළ," බව ඩි සූසා තවදුරටත් පවසයි.

"පීඩාවලට ලක්වීමේ සිට පල්ලිය වරප්‍රසාද ලත් සහ බොහෝ දේපළවල හිමිකරු බවට පත් වුණා."

නමුත්, මෙය රෝම අධිරාජ්‍යයේ ප්‍රභූවරුන්ගේ ධනයට සමාන ධනයකට මග පෑදීය.

 

catho5

කතෝලික ධර්මය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් කිරීමෙන් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා එහි දියුණුව සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය

 

මහා ධනස්කන්ධ

කොන්ස්ටන්ටයින් සහ රෝම අධිරාජ්‍යයේ තවත් බොහෝ නායකයෝ රන් හා රිදීවලට අමතරව මාලිගා, වතු, ඉඩම් සහ උණු දිය පොකුණු පවා පල්ලියට පරිත්‍යාග කළහ.

එතැන් සිට, පරිත්‍යාග කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරිණි.

අද වන විට, පල්ලිය මිල කළ නොහැකි කලා කෘති, සෑම වසරක ම මුදල් ගෙවා සංචාරකයින් මිලියන ගණනක් පැමිණෙන කෞතුකාගාර මෙන් ම මූල්‍ය ආයෝජන පවා සිය ධනයට එක් කරගෙන ඇත.

 

catho6

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රවර්ධනය කරන ලද ප්‍රතිසංස්කරණයෙන් පසුව, වතිකානය සිය ගිණුම් ප්‍රසිද්ධියට පත් කිරීම ඇරඹියේ 2021දී ය

 

කතෝලික බලයේ කේන්ද්‍රස්ථානය වන්නේ වතිකාන නගරය යි.

එහි පරම බලය පාප් වහන්සේට ඇත. පාප් යනු, රෝමයේ බිෂොප්වරයාට ලබා දී ඇති නම යි.

 

catho7

14 වන ලියෝ පාප් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ සමාරම්භක දිව්‍ය පූජාව හෙවත් සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන පාප් වහන්සේගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වුණු පූජාව...

 

සංචාරක කර්මාන්තය තවත් ආදායම් මූලාශ්‍රයකි:

* ආගමික හා ඓතිහාසික ගොඩනැගිලි: අපෝස්තලික මාලිගය, සාන්ත පීතර බැසිලිකාව, බැසිලිකාවට යාබද ගොඩනැගිලි, ඩෝමුස් වතිකනායි (කලින් කාසා සන්තා මාර්තා)

* කෞතුකාගාර සහ ගැලරි: සිස්ටීන් දේවස්ථානය, රෆායෙල් දේවස්ථාන, පිනකොටෙකා වතිකානා, මිෂනාරි ජනවාර්ගික කෞතුකාගාරය සහ ඓතිහාසික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර 15ක්

* පුස්තකාල සහ ලේඛනාගාර: වතිකාන අපෝස්තලික පුස්තකාලය, අපෝස්තලික ලේඛනාගාරය, ලිබ්‍රෙරියා එදිට්‍රීචේ වතිකානා (Libreria Editrice Vaticana)

* මාධ්‍ය හා සන්නිවේදන: වතිකාන ගුවන් විදුලිය, L'Osservatore Romano පුවත්පත, වතිකාන මාධ්‍ය, වතිකානු රූපවාහිනී මධ්‍යස්ථානය

* වෙනත් ආයතන: වතිකාන බැංකුව, වතිකාන නිරීක්ෂණාගාරය

 

catho8

වතිකානය සහ එහි මූල්‍ය කටයුතු ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම දුෂ්කර කාර්යයකි

 

වතිකානයේ ප්‍රධාන වත්කම්

වතිකානය සිය භූමියෙන් පිටත ප්‍රධාන දේපළ 12කට හිමිකම් කියයි. ඒවාට සාන්ත ජෝන් ලැටරන්, සාන්ත පෝල් අවුට්සයිඩ් ද වෝල්ස්, සාන්ත මේරි මේජර්, සාන්ත ආනා දේවස්ථානය, විවිධ පරිපාලන කාර්යාල සහ කාස්ටෙල් ගන්ඩෝෆෝහි පාප් වහන්සේගේ ගිම්හාන නිවහන ද ඇතුළත් වේ.

සමාජ ශුභසාධන ව්‍යාපෘති, වතිකාන මෙහෙයුම්, සංචාරක කර්මාන්තය සහ කෞතුකාගාර නඩත්තුව සඳහා සහය වන පීටර්ස් පෙන්ස් නම් පද්ධතියක් හරහා ඊට ගෝලීය වශයෙන් ස්වේච්ඡා පරිත්‍යාග ද ලැබේ.

 

catho9

සිස්ටීන් දේවස්ථානයට එහි නම ලැබී ඇත්තේ 1477 සහ 1480 අතර පැරණි කැප්පෙල්ලා මැග්නා ප්‍රතිසංස්කරණය කළ IV වන සික්ස්ටස් ඩෙලා රොවියර් පාප් වහන්සේගෙනි (1471 සිට 1484 දක්වා සිටි පාප් වහන්සේ).

 

ආදායම් මාර්ග අතරට වතිකාන කෞතුකාගාර, සිස්ටීන් දේවස්ථානය, අනුස්මරණ මුද්දර සහ කාසි අලෙවිය, වතිකාන බැංකුව සහ සැලකිය යුතු වත්කම් කළමනාකරණය කරන APSA වැනි ආයතන ඇතුළත් වේ.

බෙනීටෝ මුසෝලිනී

catho10

ඒකාධිපති බෙනීටෝ මුසෝලිනී වතිකානයේ විශාලතම පරිත්‍යාගශීලීන්ගෙන් කෙනෙකු විය

 

මෙම ධනයෙන් වැඩි කොටසක් ලැබුණේ ඉතාලි ඒකාධිපති පාලක බෙනීටෝ මුසෝලිනීගෙනි.

ඉතාලි ඉතිහාසඥයෙකු සහ සන්ත්'එජීඩියෝ ප්‍රජාවේ (Community of Sant'Egidio) නිර්මාතෘ අන්ද්‍රෙයා රිකාර්ඩි පවසන්නේ, 1929දී මුසෝලිනී ඉතාලි ලීරා බිලියන 1.75ක් (එකල දළ වශයෙන් ඇ. ඩොලර් මිලියන 91.3ක්) ශුද්ධාසනයේ (Holy See) භාණ්ඩාගාරවල තැන්පත් කළ බව ය.

මෙය ලැටරන් ගිවිසුමේ කොටසක් වූ අතර එය සමථ ගිවිසුම ලෙස ද හැඳින්වේ.

මෙම මුදල්, විශේෂයෙන් 1860 සහ 1870 අතර කාලය තුළ ඉතාලිය එක් ජාතියක් ලෙස ඒකාබද්ධ කිරීමේදී අත්පත් කර ගත් කතෝලික සභාවේ වත්කම් සඳහා ප්‍රතිපූරණයක් ලෙස අදහස් කෙරිණි.

එම අරමුදල්වලින් හතරෙන් එකක් පමණ 11 වන පියස් පාප් වහන්සේ විසින් නූතන වතිකාන රාජ්‍යය පිහිටුවීම, ශුද්ධාසනයේ ගොඩනැගිලි ඉදිකිරීම සහ වතිකාන සේවකයින් සඳහා නිවාස සැපයීම සඳහා භාවිත කරන ලදී.

ඉතිරිය අවදානම අඩු කිරීම සඳහා විවිධාංගීකරණය වූ උපාය මාර්ගයක් සඳහා ආයෝජනය කෙරිණි.

අද වන විට APSA (Administration of the Patrimony of the Apostolic See) සතුව ඉතාලිය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය යන රටවල දේපළ තිබේ.

ගොඩනැගිලි සහ ඉඩම්

The St Paul's Cathedral in the Vatican is seen on 24 April, 2025 in Rome, Italy. (Photo by Jaap Arriens/NurPhoto via Getty Images)
වර්තමානයේදී ඉඩම් දේපළ වත්කම් සහ යුරෝ බිලියන 1.77ක (ඩොලර් බිලියන 1.9) පමණ ආයෝජන මාලාවක් කළමනාකරණය කිරීම මගින් වතිකානයේ පරිපාලන ආයතනය වන රෝමානු කියුරියාව නඩත්තු කිරීම සඳහා ආදායමක් උපයන බව APSA පවසයි.

2019දී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රාග්ධනය අවප්‍රමාණය වීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ආයෝජනය උචිත යැයි පැවසූහ.

"එතකොට නඩත්තු කරන්න හරි පොඩි ලාභයක් ලබා ගන්න හරි පුළුවන් වේවි," උන්වහන්සේ පැහැදිලි කළහ.

මෙය අදාළ වන්නේ ශුද්ධාසනයට වතිකාන රාජ්‍යයේ සහය ලැබුණ ද, එය රාජ්‍යයක් නොවන නිසා බව රිකාර්ඩි ඉතාලි පුවත්පතක් වන කොරියර් ඩෙලා සේරා වෙත පැවසීය.

ආගමික මූල්‍ය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයට (IHEFR) අනුව, එය කිසිදු බද්දක් නොගෙවන අතර ණය ලබාගෙන නොමැත.

එය නඩත්තු කරනු ලබන්නේ, එහි වත්කම්වලින් ලැබෙන ආදායමෙන් සහ, සියල්ලටත් වඩා, ඇදහිලිවන්තයන්ගෙන් ලැබෙන පරිත්‍යාග මගිනි.

කෙසේ වෙතත්, වතිකානයේ වාර්ෂික ආදායම සහ වියදම් සැලකිය යුතු ලෙස අඩුවෙන් වාර්තා කර ඇති අතර, එහි මුළු වත්කම් කලින් ප්‍රකාශයට පත් කළ ප්‍රමාණය මෙන් දෙගුණයක් (ඩොලර් බිලියන 4ක් පමණ) බව IHEFR පවසයි.

 

catho11

රෝමයේ බැසිලිකා ඩි සන්තා මරියා මැජෝරේ හෙවත් සන්තා මරියා මැජෝරේ දේවස්ථානයේ විසිතුරු සැරසිලි

 

ධනවත් ම රදගුරු වසම්

catho12

ජර්මනියේ කලෝන් යනු ලෝකයේ ධනවත් ම රදගුරු වසම්වලින් එකකි

 

ජර්මනියේ කලෝන් අගරදගුරු වසම ලෝක කතෝලික සභාවේ ධනවත් ම ශාඛාවකි.

එහි ආදායම බොහෝ දුරට ලැබෙන්නේ "kirchensteuer" නිසා වන අතර එය කතෝලික පල්ලිය ඇතුළු රාජ්‍යය විසින් පිළිගනු ලබන ආගමික ප්‍රජාවන්හි ලියාපදිංචි සාමාජිකයන්ගෙන් ඍජුව ම එකතු කරනු ලබන බද්දකි.

2023දී, පල්ලිය මෙම බද්දෙන් ආසන්න වශයෙන් ඇ. ඩොලර් බිලියන 7.4ක් රැස් කළේ ය. IHEFRට අනුව, ඇ. ඩොලර් බිලියන 7.77ක් එකතු කළ පෙර වසරට වඩා මෙය ආසන්න වශයෙන් 5%ක පහත වැටීමකි.

ෆ්‍රාන්ස්-පීටර් ටෙබාර්ට්ස් වැන් එල්ස්ට් බිෂොප්තුමා සඳහා බිෂොප් මාලිගාව ගොඩනැගීමේ සහ නඩත්තු කිරීමේ පිරිවැය, වසර පහක කාලයක් තුළ ඇ. ඩොලර් මිලියන 5.7 සිට ඇ. ඩොලර් මිලියන 35 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජර්මනියේ රදගුරු වසම් 27න් අඩක් පසුව ඔවුන්ගේ වත්කම් හෙළි කළ අතර, ඒවාට බැංකු දහයක්, රක්ෂණ සමාගම්, හෝටල් 70ක්, දේපළ සමාගම් සහ මාධ්‍ය ආයතන ඇතුළත් වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සභාව

catho13

ඇමෙරිකානු කතෝලික සභාවට අයත් ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 1.92කි

 

එක්සත් ජනපදයේ කතෝලික සභාව වතිකානයට විශාල දායකත්වයක් ලබා දෙයි.

ඉන්ඩියානාහි නොට්‍රේ ඩාම් (වාර්තාගත ආදායම ඇ. ඩොලර් බිලියන 1.76ක් සහිත) සහ වොෂින්ටන් ඩීසීහි ජෝර්ජ්ටවුන් (වාර්තාගත ආදායම ඇ. ඩොලර් බිලියන 1.92ක් සහිත) වැනි ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල මෙන් ම රෝහල් සහ පාසල් ඇතුළු විශාල වත්කම්වල හිමිකාරීත්වය දරන්නේ ඇමෙරිකාවේ කතෝලික සභාව ය.

අනිවාර්ය ආගමික බද්දක් නොමැති නමුත් සභාවට සැලකිය යුතු ලෙස පෞද්ගලික පරිත්‍යාග ප්‍රමාණයක් ලැබේ.


බ්‍රසීලය: ලොව විශාලතම කතෝලික ප්‍රජාව

catho14

බ්‍රසීලයේ අපරෙසිඩා ජාතික සිද්ධස්ථානය වාර්ෂිකව ඩොලර් මිලියන 240ක ඇස්තමේන්තුගත ආදායමක් උපයයි

 

ලොව විශාලතම කතෝලික ජනගහනය ජීවත් වන්නේ බ්‍රසීලයේ ය.

ලොව විශාලතම සහ දෙවනුව වැඩි ම පිරිසක් පැමිණෙන මරියා දේවස්ථානය වන අපරෙසිඩා ජාතික දේවස්ථානය එරට පිහිටා ඇත.

අපරෙසිඩා රදගුරු පදවිය පවසන්නේ, වසරකට බැතිමතුන් මිලියන 10ක් මෙම සිද්ධස්ථානය වෙත පැමිණෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස 35,000ක ජනගහනයක් සිටින නගරය වාර්ෂිකව ඇ. ඩොලර් මිලියන 240ක් පමණ ආදායමක් උපයන බවත් ය.

 

catho15

2013දී බ්‍රසීලයේ අපරෙසිඩාහි ජාතික සිද්ධස්ථානයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දිව්‍ය පූජාව පවත්වමින්

 

බ්‍රසීලියානු රදගුරු වසම් ඇදහිලිවන්තයන්ගෙන් පරිත්‍යාග ලබා ගන්නා අතර බදු නිදහස් කිරීම් භුක්ති විඳිති.

ඒකාබද්ධ මූල්‍ය දත්ත නොමැති වුව ද, ඔවුහු පල්ලි, පාසල්, රෝහල් සහ විශ්වවිද්‍යාලවලින් සමන්විත විශාල ආයෝජන ජාලයක් කළමනාකරණය කරති.

මෙම සංකීර්ණතාවයෙන් ඉස්මතු වන්නේ, සමස්ත කතෝලික සභාවේ සැබෑ ධනය තක්සේරු කිරීම කොතරම් දුෂ්කර ද යන්න ය.

(සටහන | ඩෙබොරා ක්‍රිවෙලාරෝ)
බීබීසී බ්‍රසීල සේවය

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද? | The Leader