The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තෙලංගනා කතුන් රූ රැජිණන්ගේ පාද සේදුවා ද? හයිදරාබාද්හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය ගැන ආන්දෝලනයක්

T

The Leader Desk

May 20, 2025 • 12:08 PM

තෙලංගනා කතුන් රූ රැජිණන්ගේ පාද සේදුවා ද? හයිදරාබාද්හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය ගැන ආන්දෝලනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි 07 වන දා ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වේ.
  • තෙලංගනා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින එහි කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
  • ලෝක රූ රැජිණ තරගය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාන්තා සමූහ මේ වන විටත් අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති අතර, රූපලාවණ්‍ය තරගවලට අදාළ මතභේද මේ වන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතියි.
  • මැයි 14 වන දින, ලෝක රූ රැජිණ තරගයට සහභාගී වීමට පැමිණි තරගකාරියෝ තෙලංගනා ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තයේ වඩාත් ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා රැගෙන යනු ලැබූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මැයි 07 වන දා ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වේ. තෙලංගනා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින එහි කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කෙසේ වෙතත්, ලෝක රූ රැජිණ තරගය සම්බන්ධ ආන්දෝලන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

රූ රැජිණ තරගයට සහභාගී වීමට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙකු රාමප්පා කෝවිලට ගිය විට, ප්‍රදේශයේ කාන්තාවන් විසින් ඔවුහු පිළිගනු ලැබූහ. තරගකාරියන් පිළිගනු ලැබූ කාන්තාවන් තරගකාරියන්ගේ පාද ජලයෙන් සේදීමෙන් පසු ඊට දැඩි විරෝධතා එල්ල වී තිබේ.

බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ තෙලංගනා කාන්තාවන්ගේ ක්‍රියාව විවේචනය කරමින්, "එයාලා අනිත් අයගේ පාද සෝදන්න ඕනේ ද?," යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත්, ප්‍රාන්ත රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ලෝක රූ රැජිණ තරගය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාන්තා සමූහ මේ වන විටත් අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති අතර, රූපලාවණ්‍ය තරගවලට අදාළ මතභේද මේ වන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතියි.

ලෝක රූ රැජිණ තරගාවලිය තෙලංගනාහි පැවැත්වෙමින් තිබේ

 

රාමප්පා කෝවිලේදී සිදුවූයේ කුමක් ද?

මැයි 14 වන දින, ලෝක රූ රැජිණ තරගයට සහභාගී වීමට පැමිණි තරගකාරියෝ තෙලංගනා ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තයේ වඩාත් ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා රැගෙන යනු ලැබූහ. පෝචම්පලිහි කළ සංචාරයේදී, සුප්‍රසිද්ධ රෙදිපිළි ශිල්ප සහ ඇඟලුම් නිෂ්පාදනය කරන ආකාරය දැක බලා ගැනීමට ඔවුන්ට හැකි විය.

ඔවුහු වරංගල් දිස්ත්‍රික්කයේ කණු දහසේ කෝවිල, වරංගල් බලකොටුව සහ රාමප්පා කෝවිල නැරඹීමට ගිය හ. මෙහිදී ඇතැම් තරගකාරියන් කණ්ඩායම් දෙකකට බෙදා වරංගල්හි කණු දහසේ කෝවිලට ගෙන යන ලද අතර, අනෙක් පිරිස රාමප්පා කෝවිලටට ගෙන යනු ලැබූහ. කෝවිල් වෙත යාමේදී සියලු තරගකාරියෝ සාරිවලින් සැරසී සිටියහ.

ඔවුන් කණු දහසේ කෝවිල සහ රාමප්පා කෝවිල නැරඹීමට ගිය විට, සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුව ඔවුන්ගේ පාද සේදීම සඳහා ජලයෙන් පිරුණු පිත්තල බේසම් සහ පිත්තල සෙම්බු තබා තිබිණි. ලෝක රූ රැජිණ තරගකරියෝ ඔවුන්ගේ පාද සෝදාගෙන සිය ජංගම දුරකතනවලින් සෙල්ෆි ඡායාරූප ද ලබා ගත්හ.

කෙසේ වෙතත්, ඇතැම් තරගකාරියෝ කළ යුත්තේ කුමක් දැයි නොදැන වික්ෂිප්තව සිටියහ. ඔවුන් වටා සිටි අනෙක් අය කරන්නේ කුමක් දැයි බලමින් ඇතැම්හු එය අනුකරණය කළහ.

කෙසේ හෝ ප්‍රදේශයේ කාන්තාවන් ලෝක රූ රැජිණ තරගකාරියන්ගේ පාද සේදීමට බේසම්වලින් වතුර දමන ආකාරය දැකගත හැකි විය. ඔවුන්ගේ පාද වතුරෙන් සේදූ පසු ඔවුන්ට පාද පිසදා ගැනීමට රෙදි කැබැල්ලක් ද ලැබිණි. එම තරගකාරියන් අතරින් එක් අයෙකුගේ දෙපා ප්‍රදේශයේ කාන්තාවක් විසින් පිස දැමු බව පැවසෙයි.

මේ සම්බන්ධ වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

miss2
සමාජ මාධ්‍යයේ විවේචන

තෙලංගනා කාන්තාවන් ලවා 'ලෝක රූ රැජිණ' තරගකරුවන්ගේ පාද සේදීමට සැලැස්වීම සම්බන්ධයෙන් රජයට විවේචන එල්ල වෙමින් තිබේ.සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පමණක් නොව, විපක්ෂ භාරතීය රාෂ්ට්‍රීය සමිති නමැති දේශපාලන පක්ෂයේ නායකයෝ ද සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරමින් සිටිති. එය තෙලංගනා කාන්තාවන් පහත් කොට සැලකීමක් බවට චෝදනා කරමින් ඔවුහු රජයට දැඩි විරෝධතා පළ කරති.

"මේක ඉතා ම ආගන්තුක හා සමාව දෙන්න බැරි ක්‍රියාවක්," යැයි භාරතීය රාෂ්ට්‍රීය සමිති නායකයෙක් ඔහුගේ X පිටුවේ සඳහන් කර තිබිණි.

ලෝක රූ රැජිණ තරගකරුවන්ගේ කකුලුත් හේදුවා ද?, ඒ අය ඒකේ බරපතළකම දන්නවා ද? යනුවෙන් ද ඉන්ටර්නෙට් පරිශීලකයෝ ප්‍රශ්න කරති.

හිටපු අමාත්‍යවරියක සහ භාරතීය රාෂ්ට්‍රීය සමිති පක්ෂයේ නායිකාවක වන සබීතා ඉන්දිරා රෙඩ්ඩි මෙම ගැටලුව සම්බන්ධයෙන් X සමාජ මධ්‍යයේ සටහනක් තැබුවා ය. එහි ඇය කියා සිටියේ, "තෙලංගනා කාන්තාවන් ලෝක රූ රැජිණ තරගකරුවන්ගේ පාද සේදීම සහ පිස දැමීම නින්දිත පමණක් නොව ලැජ්ජාසහගත ක්‍රියාවක්. මෙම රජය සියලු ම කාන්තාවන්ගෙන් සමාව ගත යුතු," බව ය.

 

miss3

දනාසිරි සීතාක්කා ප්‍රාන්ත අමාත්‍යවරිය චෝදනා කරන්නේ භාරතීය රාෂ්ට්‍රීය සමිති පක්ෂයේ නායකයින් බොරු ප්‍රචාර සිදු කරන බවට ය.

 

ප්‍රාන්ත රජය පවසන්නේ කුමක් ද?

අමුත්තන්ට දෙවිවරුන් ලෙස සැලකීම සහ ඔවුන්ට ගරු කිරීම යන අර්ථය ඇති 'අදිති දේවෝ භව' යන ඉන්දියානු සංස්කෘතිය හා ආගන්තුක සත්කාර සම්ප්‍රදායට අනුකූලව කටයුතු කිරීමේදී, ප්‍රදේශයේ කාන්තාවන් කිසිවෙකුගේ පාද නෙසේදූ බව වරංගල් ප්‍රදේශයේ මන්ත්‍රී කාදියාම් කාව්‍යා බීබීසීයට පැවසුවා ය.

"අපි හැමෝම වරංගල් කාන්තාවන්, මෙතන කාගෙවත් ආත්ම ගෞරවයට හානියක් වුණේ නැහැ. මේක වීඩියෝ එකේ පැහැදිලිව ම දකින්න පුළුවන්. රූ රැජිණ තරගකාරියන් එයාලගේ කකුල් සෝදගත්තා. ඊට පස්සේ එයාලගේ කකුල් පිහිදාගන්න රෙද්දක් දුන්නා. එයාලා ම එයාලගේ කකුල් පිහිදාගත්තා," කාව්‍යා පැවසුවා ය.

වීඩියෝව ඉතා පැහැදිලිව තිබියදීත් භාරතීය රාෂ්ට්‍රීය සමිති පක්ෂයේ නායකයන් බොරු ප්‍රචාරය කරන බවට මන්ත්‍රීවරිය චෝදනා කළා ය.

තෙලංගනා ප්‍රාන්තයේ කාන්තා හා ළමා සංවර්ධන ඇමති දනාසිරි සීතාක්කා චෝදනා කරන්නේ, භාරතීය රාෂ්ට්‍රීය සමිති නායකයන් බොරු තොරතුරු ප්‍රචාරය කරන බවට ය.

"කෝවිලට ඇතුළු වෙන්න කලින් පාද සෝදන එක සිරිතක්. එක සැරේ 33 දෙනෙකුට පාද සෝදන එක අමාරු නිසා එයාලගේ පාද සෝදන්න වතුර බේසමක් සහ ජෝගුවක් ලබා දුන්නා. උත්සවය සංවිධානය කළ කණ්ඩායමේ කාන්තාවක් එක්කෙනෙක්ගේ පාදවලට වතුර වත් කළා. මේ අය මේක වැරදි විදිහට නිරූපණය කරමින් බොරු පතුරුවමින් ඉන්නවා," ඇමතිවරිය පැවසුවා ය.

 

miss4

72 වන ලෝක රූ රැජින තරගාවලිය තෙලන්ගනාහි පැවැත්වේ

රථවාහන සීමා

තෙලංගනාහි පැවැත්වෙන රූ රැජිණ තරගාවලිය මැයි 31 දක්වා පැවැත්වේ. රටවල් 110කට ආසන්න සංඛ්‍යාවක රූ රැජිණියෝ ලෝක රූ රැජිණ තරගයට සහභාගී වෙති.

මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ තෙලංගනා ප්‍රාන්තයේ සංචාරක, උරුම සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ ය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, හයිදරාබාද් නගරයේ ගුවන් පාලම් සහ මංසන්ධිවල ලෝක රූ රැජිණ තරගාවලිය නිරූපණය කෙරෙන විශේෂ විදුලි ආලෝක සහ ලාංඡන සවිකර තිබේ.

තෙලංගනා ප්‍රාන්ත රජය තරගකාරියන් මැයි 12 වන දින බුද්ධවනම් නැරඹීමට රැගෙන ගිය අතර මැයි 13 වන දින චාමිනාර්හි සම්ප්‍රදායික පා ගමනක් සංවිධානය කර තිබිණි. තරගකාරියන් යන යන තැන රතු පලස් සැකසීම, ඔවුන්ට යාම සඳහා මාර්ගවල ගමනාගමනය නැවැත්වීම සහ පදික වේදිකාවල කුඩා කඩ සාප්පු වසා දැමීම බොහෝ දෙනෙකු විවේචනය කර ඇත.

තරගකාරියන් කණු දහසේ කෝවිල නැරඹීමට පැමිණෙන විට එහි මාර්ග දෙපස කඩ සාප්පු වසා දමා තිබිණි. රාමප්පා කෝවිලේ සහ චාමිනාර්හි සමහර වෙළෙඳසල් වසා දමා ඇති බවට ද චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, ප්‍රාන්ත රජය පැවසුවේ වෙළෙඳසල් විවෘතව පවතින බව ය.

ලෝක රූ රැජිණ තරගකාරියන් නිසා සාමාන්‍ය ජනතාව කිසිදු ස්ථානයක පීඩාවට පත් නොවූ බව කාදියාම් කාව්‍යා පැවසුවා ය.

 

miss5

හයිදරාබාද් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ආරක්ෂාව සම්බන්ධ ගැටලු වළක්වා ගැනීම සඳහා රථවාහන සීමා පනවා ඇති බව ය.

 

"සාමාන්‍යයෙන්, ප්‍රභූ පිරිස් එනකොට ටික වේලාවකට ගමනාගමනය සීමා කිරීම සාමාන්‍ය දෙයක්," කාව්‍යා බීබීසීයට පැවසුවා ය. "ඒ හැර, සාමාන්‍ය ජනතාවට බාධා කරන කිසි දෙයක් කොතැනකවත් සිදුවුණේ නෑ. කාගෙවත් ජීවනෝපායට කිසිදු ගැටලුවක් ඇති නොවන බවට අපි වග බලා ගත්තා," ඇය පැවසුවා ය.

අනෙක් අතට, රථවාහන නැවැත්වීම සම්බන්ධයෙන් මෝටර් රථ හිමියෝ අප්‍රසාදය පළ කරති. චාමිනාර් වෙත යන මාර්ගයේ, රාමප්පා කෝවිලට යන මාර්ගයේ සහ වරංගල් වෙත යන මාර්ගයේ ගමනාගමනය නතර කරන ලද අතර, එමගින් තරගකාරියන් ගමන් කළ වාහන පෙළට ගමන් කිරීමට ඉඩ සැලසිණි.

"ලෝකයේ අවධානය ලෝක රූ රැජිණ තරගයට යොමු වෙලා තියෙන හින්දා ආරක්ෂාව සම්බන්ධ ගැටලු ඇති නොවන බව සහතික කිරීමට අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා රථවාහන පාලනය කරනවා," හද්‍රාබාද්හි පොලිස් නිලධාරියෙක් පැවසීය.

"ලෝක රූ රැජින තරගය ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් තියෙනවා. ඒ නිසා, කලින් ම ආරක්ෂා වෙන්න, නරක සිදුවීමක් වෙන එක වළක්වන්න සහ ආරක්ෂාව සහතික කරන්න, රාමප්පා කෝවිල අසල ප්‍රදේශවල සැරිසරන වඳුරෝ සහ මී වද ඉවත් කළා," මුලුගුහි වන සංරක්ෂණ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.

miss6

ලෝක රූ රැජිණ තරගයට රටවල් 110කට ආසන්න සංඛ්‍යාවක තරගකාරියන් පිරිසක් සහභාගී වෙති

 

රූ රැජිණ තරග පිළිබඳ මතභේද අඛණ්ඩව

තෙලංගනාහි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරඟය ආරම්භයේ සිට ම මතභේදාත්මක එකක් විය. කාන්තා සමූහ ඇතුළු බොහෝ දෙනෙකු මෙම තරගාවලියට විරුද්ධ වී තිබේ.

තරගාවලියේ ආරම්භක දිනය වූ මැයි 10 වන දින, කාන්තා කණ්ඩායම්වල නායිකාවන් කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී විරෝධතා දැක්වූහ. විරෝධතාවට සහභාගී වූ ප්‍රගතිශීලී කාන්තා සංවිධානයේ (POW) සභාපති සන්ධ්‍යා, සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී කාන්තා සංගමයේ (AIDWA) තෙලංගනා ප්‍රාන්ත ප්‍රධාන ලේකම් මල්ලු ලක්ෂ්මි, සහකාර ලේකම් කේ.එන්. ආශලතා සහ තවත් කිහිප දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මැයි 14 වන දින, කණු දහසේ කෝවිලට [තරගකාරියන්] යන අතරතුර විරෝධය පළ කළ විරෝධතාකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

හයිදරාබාද්හි පැවති උත්සවයක් අතරතුර කාන්තා සංවිධානවල නායිකාවන් කිහිප දෙනෙකු නිවාස අඩස්සියේ තබා තිබේ. චාමිනාර් වෙත ගිය සම්ප්‍රදායික පාගමන අතරතුර, රාම්නගර්හි මාක්ස් ගොඩනැගිල්ල, බග්ලිංගම්පල්ලිහි AIDWA කාර්යාලය සහ හයිද්‍රාබාද්හි AIIMS කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයක පොලිසිය ආරක්ෂාව යොදවා තිබිණි.

කාන්තා ප්‍රගතිශීලී පක්ෂයේ (WPP) සභාපති සන්ධ්‍යා, තෙලංගනා රජය දේශසීමා අර්බුද තත්ත්වය මධ්‍යයේ රූ රැජිණ තරග සඳහා ප්‍රමුඛත්වය දීම විවේචනය කර තිබේ. සාමකාමීව විරෝධතා දැක්වූව ද, ඔවුන් නිවාස අඩස්සියේ තැබූ බවට ඇය චෝදනා කළා ය.

"රූ රැජිණ තරගාවලි පවත්වන්නේ ඇයි? ඒවා නවත්වන්න ඕනේ," මල්ලු ලක්ෂ්මි ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, තරගාවලියට විරුද්ධ වන අයගේ විරෝධතා ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කර තිබේ.

"ලෝක රූ රැජිණ තරගාවලිය ලෝකය තුළ තෙලංගනා ප්‍රාන්තයේ ප්‍රතිරූපය ඉහළ නවන්වනවා වගේ ම ඒක ප්‍රාන්තයට ආයෝජන ගෙන ඒමේදී ඵලදායී වෙනවා," යනුවෙන් ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන ඇමති මල්ලු බට්ටි වික්‍රමාර්ගා පැවසුවේ ය.

ලෝක රූ රැජින තරගාවලිය සම්බන්ධයෙන් අනවශ්‍ය මතභේද මතුවෙමින් පවතින බව තෙලංගනා ප්‍රාන්තයේ සංචාරක දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රධාන ලේකම් ජයේෂ් රන්ජන් පවසයි. "මේවා තෙලංගනා ප්‍රාන්තයේ කීර්තිය පෙන්වන තරගාවලි. සමහර අය ඒ වගේ මතභේද ඇති කරනවා. ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නෑ," ඔහු බීබීසීයට පැවසීය.


(සටහන | අමරේන්ද්‍ර යාර්ල්ගඩ්ඩා)
බීබීසී වාර්තාකරු
19 මැයි 2025

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තෙලංගනා කතුන් රූ රැජිණන්ගේ පාද සේදුවා ද? හයිදරාබාද්හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය ගැන ආන්දෝලනයක් | The Leader