The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ දේශපාලන වියමන! | ආචාර්ය අජිත් කරුණාරත්න

T

The Leader Desk

May 22, 2025 • 5:48 AM

ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ දේශපාලන වියමන! | ආචාර්ය අජිත් කරුණාරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුංචිම කාලේ නිල්ල ගහපු කුඹුරු යාය, පතුල පේන දිය පිරුන වාරි ඇල වගේම ඇවිදින දුරින් තිබුන ඝන වනාන්තරයත් එක්ක, ගල්ඔය ජනපදයේ මුල්ම පරම්පරාව විදියට අපිට දැනුනෙ, මීට වඩා හොඳ ජීවිතයක් වෙන කොහේවත් නැතිව ඇති කියලා.
  • ගිනි ගහන අවු රස්නෙ තිබුණත්, කුඹුරුත් එක්ක හැමදාම හැප්පුණ, 80 දශකයේ හා 90 දශකයේ මුල පාසල් ගිය අපේ පරම්පරාවෙ චරිතවලට ජීවත්වීම සදහා දෙමාපියන් කරන අරගලයේ පංගු කාරයින් වීම අරුමයක් වුණේ නෑ.
  • විශේෂයෙන්ම, කුඹුරු වපුරන හා ගොයම් කැපෙන කාලයදී හයෙන් ඉහල පන්තිවල කොලු ගහනය සීග්‍ර ලෙස අඩුවීම ඉතාම සාමාන්‍ය කරුණක් වුණා.
  • මෙම සංහාරය, 2009 දි ඔවුන් පරජය වනතුරු සිංහල සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද විශාලතම සහ දෙමළ බහුතරයක් සහිත ප්‍රදේශයකින් පිටත ඔවුන් විසින් සිදු කරන ලද පළමු ප්‍රධාන මෙහෙයුම ද වෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):

රටේ පාලනය විසින් සම්පූර්ණයෙන්ම අමතක කරදමා සිටි අපි ගතකලේ අවශ්‍යතා සීමිත, ලෝකයේ වෙන්නෙ මොනවද කියල සීනි ගොට්ට ගහපු පත්තර කෑල්ලෙනුයි, ඉස්කෝල අච්චු පොත්වලිනුයි දැනගත්තු ප්‍රාථමික ජීවිතයක් කියල, විශ්වවිද්‍යාලයට යන්න කොළඹට ආවට පස්සෙයි, විශේෂයෙන්ම, උසස් අධ්‍යාපනයට බටහිර රටකට ආවට පස්සෙයි තමයි හරියට අවබෝධ උනේ.

පුංචිම කාලේ නිල්ල ගහපු කුඹුරු යාය, පතුල පේන දිය පිරුන වාරි ඇල වගේම ඇවිදින දුරින් තිබුන ඝන වනාන්තරයත් එක්ක, ගල්ඔය ජනපදයේ මුල්ම පරම්පරාව විදියට අපිට දැනුනෙ, මීට වඩා හොඳ ජීවිතයක් වෙන කොහේවත් නැතිව ඇති කියලා. ඒත් වයස මෝරන විට, අපට යාන්තමට හරි සතුටක් දැනුණේ අලුත් අවුරුදු සමය ලංවන විට හා පාසල් නිවාඩු කාලය එන විට පමණයි.

 


ඒ කාලේ, සිංහල-දෙමළ අලුත් අවුරුදු සමය එනකම් අපි ළමයි මග බලාගෙන හිටියා තාමත් මතකයි. පොළේ කැළණ්ඩර් අදිනව, සරුවත් හදනව, නැවුම් සුවඳ රෙදි විකුණනව දකින්න, සමහර විට ගන්න සල්ලි නැතත්, හරිම ආසවෙන් යනව. අද දවසෙත් කතාබහට ලක්ව තිබෙන සිද්ධි දාමයක එක් ඛේදාන්විත පරිච්ඡේදයක් සනිටුහන් කල, මමත් පාසැල් සිසුවෙක්ව සිටිය අවධියේ දී ඒ වගේ උදා වුණ එක් අගොස්තු නිවාඩුක් අපේ ජීවිත උඩු යටිකුරු කලේ කොහොමද කියන්නයි මේ කතාව ලියන්න හිතුවෙ.

මේ සිදුවීම් හරියටම තේරුම් ගන්න නම්, ඉහත දශක වල අම්පාර වගේ පලාත්වල දුෂ්කර ගම්මානවල තිබුණ දේශපාලන සහ සමාජ වටපිටාව ගැන කියන්නම වෙනව. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් ගණනාවක අධ්‍යාපන ක්‍රම ගැන අවබෝධයකුත්, වසර විස්සක් පමණ කාලයන් ලංකාවෙන් පිටමංව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු ශිෂ්‍යයෙකු, පර්යේශකයෙකු සහ මහාචාර්යවරයෙකු ලෙසත් ලබාගත් අත්දැකීම් සහ ලංකාවේ පීඩිත ගොවි කම්කරු සමාජයේ හැදී වැඩීමෙන් ලබාගත් ජීවිතාවබෝධයත් සමඟ කියන මේ කතාව, අද දවසේ සමහර මාධ්‍ය තුලින් සාන්තුවරයින් ලෙස සහ ලාංකික සමාජයේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටින දේශපාලකයින්ගේ පෙරදා  කෙරුවාව ගැන අපේ නූතන පරම්පරාවට (Gen Z) සහ අනාගත පරපුරට ප්‍රයෝජනවත් පණිවිඩයක් දේවියි කියා හිතනව.

 

Untitled 2ss

ගිනි ගහන අවු රස්නෙ තිබුණත්, කුඹුරුත් එක්ක හැමදාම හැප්පුණ, 80 දශකයේ හා 90 දශකයේ මුල පාසල් ගිය අපේ පරම්පරාවෙ චරිතවලට ජීවත්වීම සදහා දෙමාපියන් කරන අරගලයේ පංගු කාරයින් වීම අරුමයක් වුණේ නෑ. ගල් ඔය ගොවිජනපද වල ඉපදුණ  පළමු පරම්පරාව තමයි අපි. වසර දහස් ගණනක් වල්වැදී තිබූ ඝන කැලෑ එලිකර හූවක මානයේ ආණ්ඩුවෙන් ඉදිකර දී තිබූ අපේ කුඩා ගෙවල් හා ඉස්කෝල වටේටම තිබුනෙ කැලෑව විතරමයි.

ඒ දවස්වල මම ඉස්කෝලෙ ඇරිල ළමයි රෑනත් එක්ක ඉස්කෝලෙ පිටුපස්සෙ ලන්දෙ මහ ගල උඩින් ගෙදරට පල්ලම් බහින්නෙ උගුර වේලෙන පිපාසවෙනුත්, බඩේ හම පිටට ඇලුන බඩගින්නෙනුත්. ඒ දවස්වල ඉස්කෝලෙට කෑම ගෙනියන පුරුද්දක් තිබුනෙ නෑ. මද්දහනෙ ගෙදර ආ විගස, තියෙන දෙයක් ගිල දාල, උදැල්ල උස්සගන්න පුලුවන් වයස්වල ළමයි හැමෝම වගේ බහිනව කුඹුරට.

vb57i
තාම මතකයි, වපුරන්න ලේස්ති කරල වතුර බැඳල තියෙන ලියද්දකට දවල් එකට දෙකට විතර බැස්සහම කකුල් වලට දැනෙන රස්නෙ. ගිනියම් වුණ වතුරට බහින  විට තාවකාලික මුත්‍රා  අඩස්සියක් වගේ හැඟීමක් දැනෙනව මට හොඳට මතකයි. මඩ වැඩ කාලෙට අපේ කොල්ලන් රැලේම කකුල්වල කොරපොතු පිපිල, සපත්තු නොදැකපු කකුල් නියපොතු මඩ කිවුළෙන් රතු පාට වෙලා තිබුනෙ. විශේෂයෙන්ම, කුඹුරු වපුරන හා ගොයම් කැපෙන කාලයදී හයෙන් ඉහල පන්තිවල කොලු ගහනය සීග්‍ර ලෙස අඩුවීම ඉතාම සාමාන්‍ය කරුණක් වුණා.

80 දශකයෙ මුල ඉඳලම එජාප ආණ්ඩුවෙ සැලසුම් සහගත ප්‍රජත්‍රන්ත්‍ර විරෝධී හා වර්ගවාදී වැඩ පිලිවෙල නිසා රට ක්‍රම ක්‍රමයෙන් ගිනි අරගෙන තිබුණත්, සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතවලට ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධාන වලින් අනතුරක් තියෙනව කියල මුලින්ම අපේ ගම්වලට දැනුනෙ 1985 දී, සිංහල පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 146 දෙනෙක් එල්ටීටීඊය විසින් අනුරාධපුරයෙදි ඝාතනය කිරීමෙන් පසුව. මෙම සංහාරය, 2009 දි ඔවුන් පරජය වනතුරු සිංහල සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද විශාලතම සහ දෙමළ බහුතරයක් සහිත ප්‍රදේශයකින් පිටත ඔවුන් විසින් සිදු කරන ලද පළමු ප්‍රධාන මෙහෙයුම ද වෙනව. මෙම ප්‍රහාරය දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශවලට යාබද අපේ ගම වගේ උතුරු සහ නැගෙනහිර ගම්මානවල ජීවත් වූ සිවිල් වැසියන්ට බියකරු බලපෑමක් ඇති කලා මතකයි.

communal riots 1 1200x550

එජාප රජයේ අමන බෙදුම්වාදී ක්‍රියා නිසා ඇරඹුණු සිංහල ජාතිවාදයට පිළිතුරක් ලෙස නොයෙකුත් නම් හා අරමුණු වලින් කරලියට ආ දෙමළ ජාතිවාදී සංවිධාන වලට ද්‍රවිඩ දරුවන් දෙමාපිය තුරුලෙන් පැහැරගෙන ගොස් බඳවා ගැනීම සිදු  වූ බව රහසක් නෙවෙයි. මේ දමිළ දරුවන්ගේ මොළ සෝදල තමයි ළමා සොල්දාදුවන්  සහ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නිර්මාණය කළේ.

එක්සත් ජාතික පක්ෂයේ බල පොරය අතීත උරුමයක්!

මේ වෙද්දි ජේ අර්-ප්‍රේමදාස ප්‍රමුඛ කල්ලිය විසින් අත්තනෝමතිකව තහනම් සංවිධානයක් කරල, ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත් කරවල තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සොයමින් රජයේ ආරක්ෂක කණ්ඩායම් ගම් පීරමිනුයි සිටියෙ. මේ සදහා ආණ්ඩුව කොල කොටි, කලු බළල්ලු, ප්‍රා වගේ අවනීතික හමුදා නොහොත් පැරා මිලිටරි කණ්ඩායම් නිර්මාණය කරල, පාසැල්, විශ්වවිද්‍යාල, තාක්ෂණ ආයතන ආදී දක්ෂයන් බිහි කරන තැන්වල අධ්‍යාපනය ලබමින් සිටි තරුණ කොටස් දඩයම් කරමිනුයි හිටියේ. මූණ වහපු බිල්ලෙක් අරන් ඇවිත්, මිනිස්සුන්ව වට කරල, පෝලිම් කරල, ගෝනි බිල්ල ඔලුව වනල සළකුණු කළවුන් ආපහු නොඑන්නම අරගෙන යාම රට පුරාම සිදුවුණා.

ඒ දවස්වල ප්‍රසිද්ධ ඇමතිවරුන්ගෙ ගෙවල්වල වධකාගාර තිබුණ බවත් ප්‍රසිද්ධ රහසක්. බටලන්ද වගේ වධකාගාර ගැන මිනිස්සු දැනගත්තෙ විකල්ප පත්තර බලල, නැත්නම්, බීබීසී සිංහල සේවය හෝ වෙරිටාස් ගුවන්විදුලිය වැනි මාධය වලින් .

අසූව දශකයේ අග භාගය වෙනකොට, උතුර, උතුරු මැද සහ නැගෙනහිර මායිම් ගම්මානවල තරුණ කොටස් හිටියෙ දෙකොන විලක්කුව කටින් ගත් උන් වගේ, ආණ්ඩුවේ මිණී මරුවො එක පැත්තක, එල්ටීටීඊයෙ ඝාතකයො තව පැත්තක.

හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද  හෙට්ටිආරච්චි)

විශ්වවිද්‍යාල සිසුන් සමග සමීපව කටයුතු කරන විට මට අදටත් හැගෙන දෙයක් තමයි, මේ දරුවන් පාසලෙන් සමුගෙන තවම වසර කීපයක් පමණයි, සහ ඔවුන් තවමත් සමාජය කියවමින්, ඉගනගනිමින්, හා එයට ප්‍රතිචාර දක්වමින්, හෙට දවස භාරගන්න හැදෙන අය නේද කියලයි. අදටත් මට සිතාගත නොහැකි කාරණය වන්නේ, තමන්ටත් තරුණ හිරිමල් වියේ දරුවන් සිටි ප්‍රේමදාසත්, ඔහුගේ මිනීමරු විධාන ඉටු කර දුන් මැති ඇමති කල්ලියේ සගයින්ටත්, ඒ අණ පිළිපැද, කුරිරු වදදී ලංකාවේ ඉදිරි අනාගතය බාර ගන්න සිටි දක්ෂ යෞවනයින් අමානුෂිකව මරා දැමූ ගහලයන්ටත් ඇයි නොසිතුණේ ඔවුන් මේ කරන්නේ මහ පොළොව නූහුලන කුරිරු අපරාධ කියා.

මම ප්‍රේමදාසගේ පුතා''- ජනාධිපති අපේක්ෂකත්වය දිනාගත් සජිත්ගේ දේශපාලන ගමන් මග

 

තවමත් මතකයි ඒ දිනවල සජිත් ප්‍රේමදාස හමුදාවෙ හෙලිකොප්ටර්වල නැගල අභය භූමි, නටබුන් ස්ථාන වල,  ආරක්‍ෂකයො පිරිවරාගෙන, කරක් ගැසූ බවට සමජයේ තිබූ කතිකාව. වතාවක් ඔහු පුවත්පතකට කියා තිබුණා යාන්තමට වගේ මතකයි හෙලිකොප්ටර් පැදීම ඔහුගේ විනෝදාංශයක් කියා. මට අද දිනයේ ඔහුගෙන් අසන්නට ඇති ප්‍රශ්නය වන්නෙ, ලන්ඩනයේ පවා කාලයක් ජීවත් වී, ප්‍රජාතන්ත්‍රවාදය අත් විඳි අයෙක් විදියටවත් ඔහු “තාත්තේ, ඔබ රටේ පාලකයා වී සිටින අවදියක කෙසේද මේ අවනීතික, අශිෂ්ට, අමානුශික ක්‍රියා හා මිනී මැරුම්  සිදුවන්නෙ” කියා ඇසුවාද යන්න. එ පියාගේ අඩිපාරේ යමින් රට පාලනය කිරීමට ඉල්ලූ ඔහු වැන්නන්ටත් ඡන්දය දීමට හැකි අය ලංකාවෙ සිටීම ගැන නම් මට නම් ඇත්තේ මහා පුදුමයක්, කනගාටුවක්.

ග්‍රාමීය පාසැල් අධ්‍යාපනය ගැන මෙලෝ හසරක අවබෝධයක් එදත් නොතිබූ, අදත් නැති රනිල් හා සගයින්, ලංකාවෙ සියලු පාසල් රාජකීය විද්‍යාලයට සමාන යැයි සිතා, 1981 දී සමස්ත පාසල් පද්ධතියම ව්‍යාකූල කරවමින් ගෙනා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව “කොළඹට කිරි අපට කැකිරි” තේමාව යටතේ සිසු විරෝධයක් ලංකාව පුරා දියත් වුණේ, එජාපයට ඒ වන විටත් දියත් කර තීබූ භීෂණය නිසා තිබූ ජන විරෝධය තව තවත් වැඩි කරවමින්. පොකුරු පාසල්, අඛණ්ඩ විෂය කරුණු තක්සේරුව, ගුරුවරුන් විසින් ව්‍යාපෘති කටයුතු තක්සේරු කිරීම ආදි යෝජනා අඩංගු වූ ධවල පතිකාව ක්‍රියාත්මක කිරීමට පළමුව, ගම්බද පාසල් වලට විෂයන් ආවරණය සඳහා අවැසි අවම ගුරුවරු සංඛ්‍යාව සහ ඉගෙනුම් උපකරණ ටික හෝ ලබාදිය දිය යුතු බව එදා එජාපයේ පාලකයින්ට බොහොම පහසුවෙන්ම අමතක වුණා.

මේ කාරණාව තේරුම් ගන්න, අපේ පාසල් වල එදා තත්වය ගැන තොරතුරක් දෙකක් කතා කරමු. මට මතකයි කාලයකට පසුව අපේ ගමේ පාසැලට සංගීත ගුරුතුමියකගේ පැමිණීම. මුලු පාසලටම එකදු සංගීත භාණ්ඩයක් හෝ නොතිමුන නිසා, ඇයට කල හැකිවූ දේ ඉතා සීමා සහිත වුනා. අප වයලීන සහ ගිටාර දැක තිබුණේ, පොත්වල අලවන්නට ගෙනා රූප කොලවලින් විතරයි. පාසැලට ජල සැපයුමක් නොතිබූ නිසා, අපි දවසම ගතකලේ පිපාසාවෙන්. වතුර බෝතලයක් ගැනීමට පවා වත්කමක් තිබුනේ කලාතුරකින් කෙනෙකුට. ඉවත ලූ කෘමිනාශක ගැලුම්වලට සමහර ළමයි වතුර ගෙනාව මතකයි. වැසිකිලි යාමට උවමනා වීම විශාල කරදරයක් වුණා. පාසලේ වැසිකිලිය අසලකට හෝ යාමේ හැකියාවක් තිබුණේ නැති නිසා, පාසලෙන් පැන ගෙදර යාම හැරුණු කොටගෙන, වෙන විකල්පයක් ළමුන්ට තිබුණෙ නෑ.  

Gal Oya National Park
ඒ 1990 අගෝස්තු, පාසල් නිවාඩු කාලය. ගල්ඔය ජාතික වනෝද්‍යානය දක්වා විහිදී ගිය වනාන්තරය අද්දර තමයි අපේ උපන් ගම, අම්පාර දිස්ත්‍රික්කයේ වෑරැන්කැටගොඩ පිහිටියේ. ගම්වාසීන් බොහෝ දුරට දකුණ, ඌව වැනි ප්‍රදේශවලින් අම්පාරට රැගෙනවිත් ගල්ඔය ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපෘතිය යටතෙ පදිංචි කරවූවන්. කාලයාගේ ඇවෑමෙන්, වෑරැන්කැටගොඩ වැනි ගම්මානවල මිනිසුන් වනාන්තරයේ ගැඹුරු අහු මුළු වලත් පදිංචි වෙලා හිටියා. දැන් නම් වනාන්තරය ඇති නැති ගානයි. ඉස්සර අපි ගල්සියඹලා කඩන්න, දර කපන්න ගිය කැළෑ ඉසව්වල දැන් පොඩි කඩ පවා තියෙනව. අපේ ප්‍රදේශයටම ජලය ගෙනා සේනානායක සමුද්‍රයේ වම් ඉවුර ඇළ ගම තමයි මේ වෙද්දී වනාන්තරය සහ ගම අතර අදෘශ්‍යමාන මායිමක් වගේ තිබුණෙ. සුවිශේෂ කාරණයක්  තමයි මෙම වනාන්තර ප්‍රදේශ අතර විසිරී තිබුණ බොක්කේබැද්ද සහ බණ්ඩාරදූව වැනි පැරණි ජනාවාස කිහිපය.

අපේ දෙමාපියො 50 දශකයෙ නැවුම් පොළවක්, වී සහ උක් වගාවට අඛණ්ඩ ජල සැපයුමක් සොයාගෙන ගල් ඔය පදිංචියට එද්දිත්, මේ පුරාණ ගම්වල වැසියන් මේ ප්‍රදේශයේ ශතවර්ෂ ගණනාවක් පදිංචිව හිටිය මුල් උරුමකරුවන්. සාහිත්‍යවේදී පියසේන කහඳගමගේ ශූරීන්ගෙ කෘතිවල මේ පුරාණ ගම්ගැන ගැඹුරින් ලියවිලා තියෙනව. මේ ගම්වල ප්‍රාග් ඓතිහාසික බව තහවුරු කරමින්, බණ්ඩාරදූව ගම අදත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ එහි  තිබී මෑතකදී සොයාගත් මෙගලිතික පුරාණ සුසාන භූමිය නිසා.

බණ්ඩාරදූව ගමේ මිනිස්සු එදා ජීවත් වුණේ ඊසාන දිග මෝසම් වැස්සෙන් යැපෙන හේන් වගාවෙන්. අපේ ගෙදර තිබුණෙ බණ්ඩාරදූවේ ඉඳල සැතපුම් 3 ක විතර, පයින් හෝ බයිසිකලයෙන් යන දුරින්. මේ ගමට පිවිසීමට තිබුනෙ දුෂ්කර රතු බොරළු පාරක් විතරයි. බණ්ඩාරදූව ඉස්කෝලෙ ඇතුළත් පොකුරු පාසල් මධ්‍යස්ථානය වුණෙත් මගේ ගමේ පාසල. මේ සම්බන්ධකම් නිසා, අපි අපේ වයස්වල බණ්ඩාරදූවේ ළමයිව හොඳින් දැනගෙන හිටියා. අපේ ගමේ සමහර අය බණ්ඩාරදූවෙන් විවාහ පවා කරගෙන ඉන්නව. ජීවිකාව හේන් වගාව මත යැපුණු නිසා, බණ්ඩාරදූව ජනතාව ගතකලේ ඉතාම දුෂ්කර ජීවිත. අපේ ගම් වල අයට හාල් පොල් තිබුණට, බණ්ඩාරදූවෙ අය පරිභෝජනයට ගත්තෙ ඉරිඟු, මෙනේරි, කටුඅල සහ මඤ්ඤොක්‍කා වගේ දේවල්. මේ කැලෑ ගම්මානයේ නවාතැන් පහසුකම් නොතිබුණු නිසා බණ්ඩාරදූව පාසලේ ගුරුවරු සාමාන්‍යයෙන් අපේ ගමේ නැවතිලා පාපැදි වලින් තමයි රැකියාවට ගියේ.

b6889o898
මේ සියලුම දුෂ්කරතා විඳගෙන කොහොම හරි අනාගතය ජයගන්න අරමුණෙන් දරු පවුල් නඩත්තු කරගෙන හිටියත්, අපේ පලාත්වල අය අසීමිත බයකින් ජීවත් උනේ ඔවුන්ට වෙන යන්න තැනක් නොතිබුන නිසා. අනුරාධපුර සමූලඝාතයෙන් පටන්ගත් එල්ටීටීඊය, ලංකාවෙ විවිධ දුෂ්කර සහ ආරක්ෂාවක් නැති ප්‍රදේශවලට පැනලා කුරිරු ඝාතන මාලාවක් දියත් කර තිබුන නිසා අපි සියලු දෙනාම ජීවත් වුණේ හෙට හිරු එළිය දකින්න ලැබීම ගැනත් විශ්වාසයක් නැතිවයි. වචනවලින් විස්තර කර ගන්න බැරි අමිගිරි අතීතයක් ඒක.

කලු ජූලිය සිදුවූ 1983 වසරේදීම එල්ටීටීඊයට බැඳුණ කරුණා අම්මාන්  1990 වෙද්දී නැගෙනහිර පලාතෙ සන්නද්ධ නායකයා වීමට අවශ්‍ය පසුබිම හදාගත්තෙ, නැගෙනහිරත් දෙමළ නිජබිමේ කොටසක් බවට පත් කරන උන්මාදයෙන්. ඔහු ඒ සදහා, සිංහල සහ මුස්ලිම් ගම්මානවලට පහරදීල, ජනවාර්ගික විශුද්ධිකරණය කිරීමට උත්සාහ ගත්තෙ මේ පිස්සුව නිසා බවයි පසු කාලීන විමසුම් වලින් පෙනුණෙ. කරුණා එජාපයේ මිත්‍රයෙක් නිසා, එජාපයේ වත්මන් නායකයින්ට ඔහුගෙන් අහන්න පුළුවන්, ඔහු එල්ටීටීඊයට සම්බන්ධ වීම හා කලු ජූලිය අතර කිසිදු සම්බන්ධයක් නෑ නොවේද කියා.‍‍

කුඩා දරුවන් පවා කිසිම අනුකම්පාවක් නැතුව ඝාතනය කල මේ ප්‍රහාරවල භයංකර බව නිසාම අපේ ගම් ආශ්‍රිත බොහෝ ගම්මානවල නිවැසියන් රාත්‍රිය ගත කලේ බංකර වල හෝ කටු කැලෑවල. වතාවක් අත්අඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයන් කීප දෙනෙකු දුටු හිතවතෙකු පැවසූයේ, “ඒ කොටින්ට තිබුනේ 10 පන්තියේ කොල්ලන්ගේ පෙනුම” බවයි. මගේ අදහස නම්, පෙනුම පමණක් නොව, ඔවුන්ගේ ඇත්ත වයස කියායි. ඒ කොලුවන්ට අත්වූ ඉරණමත් සිතා ගැනීමට අපහසු නෑ. මේ කාරණයේ ඇති‍‍ ඛේදනීය උත්ප්‍රාසය තමයි ලංකාවේ පාලකයින් තමුන්ගෙ බලය රැක ගන්න දෙමළ දරුවන් ලවා සිංහල දරුවන් ඝාතනය කරවන තැනකට රට ඇද ගෙන ගොස් තිබීම.

අපට රාත්‍රියට වෙඩි සද්ද ඇසීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුනෙ. මේ දවස්වලම තමයි, අපේ ගෙදරට විදුලි සැපයුම ලැබුණෙ. ඒත් අපි ලයිට් දාන්න බය උනා. ජනෙල් වලට ඝන රෙදි එල්ලල, භූමිතෙල් ලාම්පුවක් බිම තියාගෙන පාඩම් කරපු කාලයකුත් අපට තිබුණා. අපේ ගම පිහිටා තිබුණේ නුවර - අම්පාර පාරේ නිසා, අපි හිතුවේ බණ්ඩාරදූව, ගලපිටගල, ගෝනගල වගේ පාරෙන් දුරස් ගම්වලට සාපේක්ෂව අපි ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානම අඩුයි කියලා. හදිසි අවශ්‍යතාවයකට පවා කිසිවෙක් රාත්‍රියට දොරක් නොඅරින ලෙසට අනතුරු ඇගවීම් පවා ඒ දවස්වල තිබුණා. අපි දැනන් හිටියා එල්ටීටීඊයේ ප්‍රහාරක උපක්‍රම සමහරක්. උදාහරණයක් ලෙස, එක් ගැමියකු අල්ලාගෙන, ඔහුව හෝ ඇයව ඇමක් සේ ඉදිරියට දමා, ගම්වැසියන් එක තැනකට ගාල් කරල සමූල ඝාතනය කිරීම දක්වන්න පුලුවන්.

 

z page 07 Profile of a Terr02
පස්සෙ කාලෙ මේ ත්‍රස්ත කල්ලියේ හිටපු නායකයා වූ කරුණා ටයි කෝට් දාල ඉන්නව මාධ්‍ය වල දැක්කම, මේ ඒ ඝාතකයාමද කියල හිතාගන්නත් අමාරු වුනා. කරුණා හරහා 1990 දී ළමා සොල්දාදුවෙකු ලෙස එල්ටීටීඊ යට සම්බන්ධ වුණ අවුරුදු 16ක් වයස පිල්ලෙයාන්, එල්ටීටීඊ ළමා හමුදාව විශාල කරන්නටත් කරුණාගේ ජනවර්ගික විශුද්ධිකරණ ඝාතන රැල්ලේ දිගුව පවත්වාගෙන යාමටත් කොටස් කරුවෙක්  වුණා කියල තමයි වැටහෙන්නෙ.

නැවතත් ගමේ සිදුවීමට ගියොත්, 1990 අගෝස්තු 7 වැනිදා බණ්ඩාරදූවට කොටි ප්‍රහාරයක් එල්ල කිරීමේ ආරංචිය අපට දැනගන්න ලැබෙන්නෙ අගෝස්තු 8 වැනිදා උදේ. වෙනදා වගේම සුපුරුදු විදියට මිදවීම සදහා පාන්දර ගාල් වලින් කිරි ගේන්න බණ්ඩාරදූවට යන අය තමයි ආරංචිය ගෙනාවෙ. අදහාගත නොහැකි තරමෙ තිගැස්මෙන් මමත්, කොළඹ සිට දින කීපයකට ගෙදර ඇවිත් සිටි මගේ වැඩිමහල් සොහොයුරාත් ඊයක වේගයෙන් අපේ කටු බයිසිකළයෙන් බණ්ඩාරදූවට අදත් නොගියා නම් හොදයි කියා හිතෙන ගමන ගියා මතකයි. අපමණ දුක් විඳපු, හව්හරණක්  නැති අව්‍යාජ ගම්මුන්ට එල්ල වී තිබූ ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය අද වනතුරුත් මතකයේ හිරවෙලා තියෙනව. එවැනි බිහිසුණු සමූලඝාතන කිසිවෙකු නොදැකිය යුතුයි. මේ ගම්මුන්ට  ආයුධයකට කියා යමක් තිබුනා නම් ඒ වත්තෙ පිටියේ වැඩට ගත්ත කෘෂිකාර්මික මෙවලම් විතරයි. මේ ප්‍රහාරයට සියයක පමණ කඩු සහ ටී56 අවි ගත් එල්ටීටීඊ කණ්ඩායම සහභාගි වුන බවයි කියවුණේ.

මේ වෙද්දි කරුණා නැගෙනහිර සන්නද්ධ නායකය නිසා, ඔහුගෙ අණින් මේ ප්‍රහාරයත් වුණා කියල අනුමාන කරන්න වෙනව. ටී56 අවි ගෙනාවට, තියුණු ආයුධ වලින් කපා කොටා තමයි ගම්මු තිස් දෙනෙක් මරා දමා තිබුනෙ. ගම්මු රාත්‍රී අහාරය ගන්න වෙලාවෙ තමයි ප්‍රහාරය එල්ල කරල තිබුණෙ. අල, බතල, ලුණුමිරිස් සහිත භාජන හැමතැනම විසිරිල තිබුණෙ. මරා දාපු අය අතර කුඩා දරුවන් 17 දෙනෙකුත්, ගැබිනි මවකුත් හිටියා. දුවන අතර පහර කා වැටීසිටි කුඩා දැරියකගෙ කෙසග සිරුර, කටුමැටි බිත්තියකට ඇලව පහර කා ලිවිය නොහැකි ලෙස වැටී සිටි ගැබිනි මව මතකයට එනවිට අදටත් හිත කීරි ගැහිල යනව, කෑ ගහල අඬන්න හිතෙනව. කාලය කොච්චර ගෙවුනත්, රටම දාලා දුරක ගියත්, මේ මතකයන් හිතේ තාමත් හොල්මන් කරන එක නැවතිල නෑ.

බණ්ඩරදුවෙදි වගේම, අරන්තලාවෙදි, ගෝනගලදි වගෙ අනෙකුත් ප්‍රදේශවලදිත් මේ වගේම සිංහල දරුවන් ඝාතනය කරන්න ඇත්තෙ කරුණා අම්මාන් වගේ එල්ටීටීඊ නායකයින් විසින් දෙමළ පවුල්වලින් උදුරගෙන ගිහින් මානසික රෝගින් බවට පත්කරවපු, අපි වගේම පරාජිත දෙමළ දරුවන් වීමට හොදටම ඉඩ කඩ තියෙනව. දෙමළ ජනතාවගේ  ප්‍රශ්න සාධාරණව විසඳනවා වෙනුවට ඔවුන්ව රවටමින්, ඔවුන්ගේ තරුණ කණ්ඩායම් දුරදිග නොබලා සිදුකල ආරක්ෂක නිළධාරීන්ට පහරදීම වැනි ක්‍රියා වලට නීතිමය වශයෙන් කටයුතු කරනවා වෙනුවට, සමස්ත ජන කොටසකටම එරෙහිව දරුණු මර්ධනයක් දියත් කරවමින්, එජාපයේ නායකයින් පටු දේශපාලන වාසි සදහා 1977 බලය ලැබුන දා සිට ගෙන ගිය රාජ්‍ය ත්‍රස්තවාදය ලංකාව මෙවැනි රුදුරු තැනකට ගෙනගියා යැයි කීම අතිශෝක්තියක්ද? බණ්ඩාරදූව ම්ලෙච්ඡ සමූල ඝාතනය පසුබිමින් තිබුණෙ එවක ආණ්ඩුවේ ඔඩු දුවපු රාජ්‍යත්‍රස්තවාදය විසින් නිර්මාණය කරපු අතුරුපල නොවේද?

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

එවක රජයේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් සිදුවුණ, කුප්‍රසිද්ධ යාපනය මහජන පුස්තකාලය ගිනිතැබීම එදා තිබුණ රාජ්‍ය ත්‍රස්තවාදයේ තුච්ඡ බව කියා පාන්නක්. දකුණේ සිට ගිය ප්‍රචණ්ඩකාරී සිංහල මැර පිරිසක් විසින් එදා ගිනිබත් කළේ දමිළ දරුවන්ගෙ මොළ හා හදවත්. ඊටම නොදෙවෙනි ලෙස දියත් වූ 5000 කට වඩා දෙමළ ජීවිත බිලිගත්, ලක්ෂ එකහමාරට වඩා ප්‍රධාන නගරවල වාසය කල දෙමළ ජාතිකයන්ට උන්හිටි තැන් නැතිකල 83 කලු ජූලිය වගේ සිද්ධි පිටුපස හිටියෙත් ම්ලේච්ඡත්වය විනෝදය කරගත් පාලකයන් තමයි. මානව හිතවාදි සිංහල මිනිසුන් නොහිටින්නට කලූ ජූලියෙදි සිදුකල ඝාතන ගණන මීට වඩා බොහෝ වැඩිවන්නට තිබුණා.

මේ  මහදවල් මහමග සිදුවූ ඝාතන වල කෲරත්වය බණ්ඩාරදූවට දෙවෙනි නෑ කියල ඇසින් දුටු අයගෙන් ඇසුවොත් කියාවි. වේදනාවට ජාතියක් තියෙනවද? ආණ්ඩුවට හිතවත් මැර පිරිස් කල අපරාධ වල පලිය එල්ටීටිය ගත්තෙ නිරායුධ සිවිල් වැසියන්ගෙන්, ළදරුවන්ගෙන්. අවිගත් දෙමළ කණ්ඩායම් තැනින් තැන පොලීසියට හා හමුදාවට සිදුකල පහරදීම් වලට හමුදාව පිලිතුරු දෙද්දි, උතුරේ, නැඟෙනහිර හා අනෙකුත් ප්‍රදේශවල ජීවත් වුණු අහිංසක ජනතාව පැති ගණනාවකින් තැලුන බව හා අනුන් ගේ පව්වලට දේපල හා ජීවිත වලින් වන් දි ගෙවූ බව අපි දන්නවනේ.

 

එල්ටීටීඊය  හමුදාවට එරෙහිව හෝ හමුදාව එල්ටීටීඊය යට එරෙහිව කරපු සටන් වලදි සිදුවූ ජීවිත හොඳ දේවල් නොවුණත්, අපට එය තේරුම් ගන්න පුලුවන්, මොකද කොටස් දෙකේම අත අවි තිබුණ නිසා. ඒත්, ඒ දෙපිරිසෙන් කිසිදු පාර්ශවයකට සිවිල් වැසියන් හෝ, නිරායුධ, යටත් වූ අය ඝාතනය කිරීමට හේතුවක් හෝ අයිතියක් නැති බව මානව ආචාර ධර්ම විතරක් නොවෙයි, 1966 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ඇතුලු පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන් වලින් පවා තහවුරු කරල තියනව. 1951 වෛරය වෛරය නොසංසිඳේ  කියා සැන් ෆ්‍රන්සිස්කෝ නුවරදී ජපානයට සමාව දිය යුතු යැයි දම් දෙසූ ජේ ආර්, 1977 බලය ලැබුන පසුව ඒ සියල්ල අමතක කරල, එජාපය ලංකාවේ ජනවාර්ගික අර්බුදය ඇති කිරීමේ ප්‍රධාන පංගුකාරයෙක් බවට පත් කළේ තම දේශපාලන කුහකත්වය හැම පැත්තකින්ම විදහා පෙන්වමින්.

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විසින් 1990දි එල්ටීටීඊ නායකත්වයට හොඳ හිත පෙන්වීමේ උවමනාවෙන් තමන්ගේම පොලීසියේ නිරායුධ නිළධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවක් කරුණා අම්මාන් ගෙ කණ්ඩායමට  ඝාතනය කරන්න ඉඩ දී අහක බලා උන්නෙ ප්‍රේමදාසට ඒ ජිවිත තවත් එක දේශපාලන සෙල්ලමක ඉත්තන් වීම නිසා කියලයි හිතෙන්නෙ. ඒ නිසා ඒ  පක්ෂේ ඉතිරි වෙලා ඉන්න, රනිල් වගේ ඇටසැකිලි සහ ගම්මන්පිල වගෙ පරපෝෂිතයින්, ජන ඝාතකයින් වීරයින් කිරීමටත්, අරක්ෂා කිරීමටත් කල හැකි හැමදේම කිරීම අරුමයක් නෙවෙයි. මොකද, එජාපයේ අත්වල ජනතාවගේ ලේ ගෑවුනේ එල්ටීටීඊ යටත් කලින් නේ.

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් - ජෙහාන් පෙරේරා

සාමාන්‍ය සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජනතාවට එකිනෙකා ගැන සැකයක් හෝ වෛරයක්, සට කපට දේශපාලකයි විවිධ උප්පරවැට්ටි යොදා ඇතිකරන තුරු ඉතිහාසයේ තිබිල නැහැ. කුඩා කාලයේ අම්මා කිව්වෙ, මම හිතන්නෙ ඇගේ මාතර ජීවත් වූ කාලයේ තේ වතුවල වැඩ කිරීමෙන් ලබපු අත්දැකීම්වලින් වියයුතුයි, දෙමළ ජනතාව ඉතා අවංක, කරුණාවන්ත හා ඉතාම මහන්සි වී වැඩ කරන අය කියලයි. උතුරේදීත්, නැගෙනහිරදීත්, වතුකරයේදීත් වත්මන් ජනාධිපතිවරයාට ඔවුන් පෙන්වන අව්‍යාජ ආදරයෙන්, විශේෂයෙන් ම  මව්වරු සහ යෞවනයින්, ඒ පෙන්වන්නෙ සහෝදරත්වය, නෑකම සහ ලඹැදියාව කියලයි සැතපුම් දස දහස් ගනනක් දුරින් ඉදල බලන අපටත් වැටහෙන්නෙ.


අපට සිටින ළයාන්විතම, ප්‍රාණ සම මිතුරන් දමිළ වේවි කියල මම ලංකාවෙදි කවදාවත් හිතුවෙ නෑ. මොකද ගල් ඔය පදිංවි කරන කොටම, දමිළ, මුස්ලිම් සහ සිංහල අයට මුණ ගැගෙන්නෙ නැති විදියටයි ගම්මාන හදල තිබුනේ. අපට උවමනා නැද්ද ලංකාවෙ දමිළ දරුවෙක් මේ රටේ නායකය වෙන්න හීන දකින දවසක්? අපට උවමනා නැද්ද ඒ දරුව තරුණයෙක්, තරුණියක් වෙලා ඡන්දය ඉල්ලන දවසකට, හිටපු සිංහල ජනාධිපති, අගමැති, හෝ ඇමති කෙනෙකුගෙ, ප්‍රතිරූප පුම්බපු ළමයින්, වැඩ බැරි නෑයින් කුණුකූඩයට දාල, හරියටම කිව්වොත් 2024 වසරෙ තිබුන මැතිවරණ වලදී, උතුරු-නැගෙනහිර හා, වතුකරයේ ජනතාව තමන්ගෙ වරිගෙ ජාතිවාදී නායකයින් එපා කියල ගත්ත තීරණය වගේ, හරි තීරණය ගන්න දවසක්.

ajith edrgerger(සටහන | ආචාර්ය අජිත් කරුණාරත්න)
 එක්සත් ජනපදයේ සිට

ajithwustl@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ දේශපාලන වියමන! | ආචාර්ය අජිත් කරුණාරත්න | The Leader