The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්

T

The Leader Desk

May 22, 2025 • 7:04 AM

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී කාලයේ හි පැමිණ ඔවුන් වෙත ලිංගික පෙළඹීම් කිරීම නැතහොත් ඔවුන් ලිංගික සම්භෝගයට පොළඹවා ගැනීම මෙම කළු කුමාරයාගේ සාමාන්‍ය ස්වභාවයයි.
  • වරක් දෙවරක් මෙසේ කළු කුමාර ග්‍රහණයට ලක් වන කාන්තාව පසුව නිරන්තරයෙන්ම ඔහු වෙත නතු වන අතර ඉන්පසුව ඔවුන් තුළ කළු කුමාර දෝෂය නම් මනෝ කායික අර්බුදය හට ගන්නා බව ජන සම්මතයයි.
  • ඒ වෙනුවට කළු කුමාරයා සෑම විටෙකම කරනුයේ රාත්‍රී යහන් ගැබේ හිඳිනා කතුන් වෙත පැමිණ ඔවුන් කායික සම්භෝගයට පොළඹවා ගැනීම හා ඇතැම් විට ඔවුන් ලිංගික සුරතාන්තයට පවා පත් කිරීම ය.
  • පබ්ලිෂස් 1998) නම් වන සිය අනගි කෘතිය මගින් මෙසේ කරුණු දක්වති.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී කාලයේ හි පැමිණ ඔවුන් වෙත ලිංගික පෙළඹීම් කිරීම නැතහොත් ඔවුන් ලිංගික සම්භෝගයට පොළඹවා ගැනීම මෙම කළු කුමාරයාගේ සාමාන්‍ය ස්වභාවයයි. වරක් දෙවරක් මෙසේ කළු කුමාර ග්‍රහණයට ලක් වන කාන්තාව පසුව නිරන්තරයෙන්ම ඔහු වෙත නතු වන අතර ඉන්පසුව ඔවුන් තුළ කළු කුමාර දෝෂය නම් මනෝ කායික අර්බුදය හට ගන්නා බව ජන සම්මතයයි.

නමුත් ජන සම්මතයට අනුව මෙම කළු කුමාරයා අමනුෂ්‍යයකු වුව ඔහු කිසි විටෙකත් සෙසු යකුන් මෙන් කාන්තාවනට පහර දීමක් සිදු නොකිරීම විශේෂත්වයකි. ඒ වෙනුවට කළු කුමාරයා සෑම විටෙකම කරනුයේ රාත්‍රී යහන් ගැබේ හිඳිනා කතුන් වෙත පැමිණ ඔවුන් කායික සම්භෝගයට පොළඹවා ගැනීම හා ඇතැම් විට ඔවුන් ලිංගික සුරතාන්තයට පවා පත් කිරීම ය.

කළු කුමාරයා වෙතින් කතුනට සිදුවන විපත් සම්බන්ධයෙන් විස්තර කරන ජයසේන කෝට්ටෙගොඩ සූරීහු තම “කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්” (ජේ.කේ. පබ්ලිෂස් 1998) නම් වන සිය අනගි කෘතිය මගින් මෙසේ කරුණු දක්වති.

 


‘කාන්තාවන්ට හා බිළිඳුන්ට විවිධාකාරයේ රෝගාබාධ ඇති කරන කළු කුමාරයා කාන්තාවන් ගේ ඔසප් වීම ආරම්භයේ සිට අවසානය දක්වා බැල්ම හෙළමින් ඔසප් අක්‍රමිකතා ලෙස සළකන ලේ මාල, කිලි මාල ආදී රෝග කාරකයන් ඇති කරවයි. රාත්‍රී කාලයේ සිහිනෙන් පැමිණ තරුණියන් සමඟ සංසර්ගයේ යෙදී ඔවුන් කෘශ බවට පත් කරයි. නූපන් දරුවන් කුස තුළ දීම විනාශ කිරීමටත්, දරු ගැබ් පිහිටීම වැළැක්වීමටත් ක්‍රියා කිරීම කළු කුමාරයාගේ සිරිතයි.’
120dffd222cfc10917d12761474f22ed XL 1 මහාචාර්ය තිස්ස කාරියවසම්

මේ අතර මෙම කළු කුමාර යක්ෂයා කළු යකා නමින් හැඳින්වෙන යක්ෂයා බවට ද ප්‍රබල ජන විශ්වාසයක් තිබේ. මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන් විසින් රචිත ශාන්ති කර්ම සහ සිංහල සමාජය (ඉන්දික මුද්‍රණාලය 1976) දැක්වෙන මෙම සඳහන ඒ සම්බන්ධ ප්‍රබල සාක්ෂියකි. “රූමත් කතුනට බැල්ම හෙළන කළු යකා රෑ තනිව නිදන එවන් කතුන් ළඟට ඇගේ සැමියා යැයි සිතවන අන්දමින් ඈ හා එක්ව යහන්ගතව ඇගේ සිරුර පිරිමැද පියයුරු හා මුලු ගතම සලිත කරවා රස මුසු පෙම් බස් දොඩා ඇඟට දිට්ඨි ලයි. බියට පත්ව නොනිදා රැය පහන් කරන ඒ කාන්තාවගේ කුසයෙහි දරු ගැබ් පිළිසිඳීම වලක්වයි. උපත් දරු මරවයි.’

9781003135005ඕස්ට්‍රේලියානු මානව විද්‍යාඥ බෲස් කැප්ෆියර් විසින් රචිත A Celebration of demons නම් කෘතියේ ද කළු කුමාරයා සහ කළු යකා ඒකීයත්වයෙන් සළකා ඇති බව පෙනේ. එමෙන්ම කළු යකා සම්බන්ධ උප්පත්ති කතා අනුව කළු යකා මහ කළු අම්මා හෙවත් කුවේණිගේගේ කුසයෙන් උපන් බව පැවසෙයි. ඒ අනුව ඔහු විජය-කුවේණිට දාව උපන් ජීව හත්ථ කුමරුන් බවට ද ජන විශ්වාසයක් පවතී. නමුත් කළු කුමාර උප්පත්ති කතා මීට වඩා වෙනස් බවක් පළ කරන බව පැහැදිලි ය.

පෝල් වර්ස් සූරින් සිය Exorcism and the art of healing in Ceylon කෘතිය මඟින් හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය සිංහල ගැමි නාටකය කෘතිය මඟින් මේ දෙදෙනා එක් කොට දැක්වීම නිසාත් පහතරට ශාන්ති කර්ම අතරට එන කළු කුමාර සමයම ශාන්ති කර්මයේ ද මෙම මුසුව දක්නට ලැබීම නිසාත් මෙම පටලැවිල්ල සිදුව ඇති බව අප ගේ වැටහීම ය. නමුත් මෙම දෙදෙනා ගේ ශරීර ස්වභාවයන් සහ චරිත රටාවන් විමසා බැලිමේදී දෙදෙනා එක් අයකු නොව දෙදෙනකු ලෙස සිතීමට අප පොළඹවනු ලබයි.

 

file 20231108 19 sa6auq

කළු යකා යනු කාල වර්ණ විරූපී රූප කායකින් යුතු වන අතර කළු කුමාර කාල වර්ණයෙන් යුතු වුව ද සුකුමාර බවින් යුතු යකෙකි. එනිසා තම යහනට එන කළු කුමාරයාට එක් වරම බිය වූ කිසිම කාන්තාවක ගැන අසන්නට නැත. එම බිය වීම වෙනුවට සිදුවනුයේ ඔවුන් කළු කුමාරයාට අවනත වීම පමණි. තමන් ගේ ඒ අනිසි පෙළඹීම නිසා හටගන්නා කායික මානසික ව්‍යාකූලතාව මෙම කළු කුමාර දෝෂයේ මූලික නිමිත්ත බව පෙනේ. කළු කුමාර යාග පිළිවෙල (1998 කර්තෘ ප්‍රකාශන) නම් අනගි කෘතියෙන් මේ සම්බන්ධ විස්තර කරන ලයනල් බෙන්තරගේ සූරීහු කළු කුමාරයා හා කළු යකා අතර වෙනස මෙලෙස විස්තර කරති.

“උඩරට ප්‍රදේශයෙහි කළු කුමාර දෙවි වෙනුවෙන් පවත්වනු ලබන පුද පූජා වලදී ගැයෙන එකම කියමනක් හෝ කළු කුමරු කළු යකා නමින් සඳහන් වන බව නොපෙනේ. මේ නම් දෙකෙහි ඇති සමානත්වය නිසා උඩරට ශාන්ති කර්ම ඇසුරෙන් කළු කුමරු දෙවියා කළු යකා යන දෙදෙනා එකම භූත සංකල්පයකැයි වරදවා වටහා ගන්නට ඇතැයි සිතිය හැක.

පහත රට සමහර ඇඳුරෝ ද මේ දෙදෙනා එක් අයකු බව පවසති. ඉතින් කලාතුරකින් හෝ ඇතැම් කළු යක් කවි වල කළු යකා කළු කුමරු වශයෙන් සඳහන් වන නිසා ඔවුන් එසේ සිතන්නට ඇත”.

ඉහත සඳහන් ප්‍රකාශ‍ය අනුව කළු කුමාර සමයම හා සබැදි යාදිනි ආදියේ ඉඳහිට හමුවන යකු යකා සම්බන්ධ ප්‍රවෘත්තින් වලින් අපට අනුමාන වශයෙන් සිතාගත හැකි දෙයක් තිබේ. එනම් කළු යකා ද කළු කුමාර සමයමේ අප්‍රධාන භූමිකාවක් හොබවන බව ය. නමුත් පාරම්පරිකව පැවැති ඒ ඒ විශ්වාසය මත මේ වන විට මොවුන් දෙදෙනා ගේ අනන්‍යතා බරපතල පැටලීමකට ලක්ව ඇති බවක් පෙනේ.

විභාවි විජය ශ්‍රී වර්ධනයක් විසින් රචිත “මදන යක් පුවත”(1998-ගොඩගේ සහෝදරයෝ ) කෘතියේ මදන යක් පිරිවර සම්බන්ධයෙන් කරන විස්තර වල දී කළු යකා සහ කළු කුමාර යකුන් දෙදෙනකු ලෙස පැහැදිලිවම හඳුන්වා තිබීම ද අප සැලකිල්ලට ගත යුතු ය. 

47497127 265252764139438 1523872001691746304 nකළු කුමාර සමයම
මෙම කළු කුමාර දෝෂය දුරලීම පිණිස වන පාරම්පරික යාතු කර්ම හා සම්බන්ධ පාරම්පරික තොරතුරු හා මූලාශ්‍ර රාශියක් තිබේ. ඒ අතුරින් ප්‍රමුඛතම යාතු කර්මය වනුයේ කළු කුමාර සමයම ය.

නමුදු කාන්තාවන් සම්බන්ධ කළු කුමාර දෝෂය නම් වන මනෝ කායික විෂමතාව බටහිර වෛද්‍ය සායනයන් වෙත යොමු වන අවස්ථා ද දුලබ නොවේ. විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අදහස් දක්වන අන්දමට ඔවුන් වෙත යොමු වන කළු කුමාර දෝෂය නම් තත්වය සාම්ප්‍රදායික කළු කුමාර දෝෂය නම් වන තත්ත්වය ද ඉක්මවන්නකි.

“කළු කුමාර දෝෂය නමින් හැඳින්වෙන මානසික අර්බුදය පෞරුෂ විෂමතාවක, මානසික අර්බුදයක වගේ මානසික රෝගයක ලක්ෂණයක් හැටියටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. බටහිර මනෝ වෛද්‍ය විද්‍යා සායනික පරීක්ෂණ වලදී ඒ ලක්ෂණ අනුව මානසික අර්බුදය හරි රෝගය හරි හඳුනා ගැනීමක් තමයි සිද්ද වෙන්නේ.” ඔහු පවසයි.

නමුත් විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් පවසන අන්දමට මෙම කළු කුමාර දෝෂය නම් වන තත්වයට අදාල කරුණු නව යොවුන් යුවතියන් කෙරෙන් සේම සැට විය ඉක්ම වූ කතුන් වෙතින් ද අනාවරණය වන අවස්ථා ඉඳ හිට තිබේ. එමෙන්ම එම තත්වයට පත් වන කාන්තාවන් අතර සැමියා නොමැති, සැමියා දුරස් වූ මෙන්ම සැමියා සමඟ එක යහනේ සැතපෙන කාන්තාවෝ ද සිටිති. එහි දී බොහෝ විට පදනම් වනුයේ එම කාන්තාවන් ගේ ලිංගික අසංතෘප්තතාව මත පදනම් වන මානසික ගැටුම් ය ( Conflict) එමෙන්ම මායා රෝගී පෞරුෂය (Histrionic personality ) නම් වන පෞරුෂ ස්වභාවයෙන් යුතු කාන්තාවන් කෙරෙන් වැඩිපුර මෙම තත්ත්වය දැකිය හැකි බව පැවසෙයි.

 

Article and fb cover 0001s 0003 09

“කාන්තාවන් ගේ ලිංගික අසංතෘප්තතාවට අමතරව දරු ඵල නොමැති වීම වගේ හේතු මතත් ඒ අය මේ තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ අනුව කළු කුමාර දෝෂය කියන්නේ මනෝ රාජික ලිංගික සහකරුවකු මවා ගැනීමෙන් ලිංගික තෘප්තියක් නොලැබීම වගේම දරු ඵල නොලැබීම ඇති වන තම කායික වගේම මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමක් විදිහටත් සලකන්න පුළුවන්.

සමහර කාන්තාවකට තමන් ගේ සැමියා ලිංගික කටයුතු වලට සම්බන්ධ නොවීම මත ඔහු කළු කුමාර වේෂයෙන් පැමිණ තමන් හා ලිංගික ක්‍රියාවේ යෙදෙන බවට ව්‍යාජ භ්‍රාන්තියක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අත්දැකීම් ලබන කාන්තාව කිසියම් මානසික අර්බුදයක් මානසික රෝගයකින් පෙළෙන බව සායනිකව තහවුරු වුණොත් විධිමත් ඖෂධ හා මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් ඇය තුළ පවතින ඒ තත්වය සමනය කරන්න පුළුවන්” විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් පවසයි.

එහි දී එක්වරම මගේ මතකයට නැංවුණේ ශ්‍රී ලාංකේය හේතුවාදී ව්‍යාපාරයේ සමාරම්භක ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් විසින් ලියන ලද මා තුළ ගවේෂණ නම් කෘතියේ තම වියපත් සැමියා ලිංගික කටයුතු වලින් බැහැර වීම මත ශාන්ත ජූඩ් නම් සාන්තු වරයා තමන් හමුවට පැමිණ තමන් ගැබ් ගැන් වූ බව ඔහු හමුවේ පවසා සිටි ජෙරීන් නම් කාන්තාවක පිළිබඳ පුවතකි.

185793413 2330132237130359 7436070641942597017 n

තම සැමියා නොමැති ඇතැම් දිනයෙක මුලුතැන්ගෙයට පැමිණ තමන් හමුවන ඒ සාන්තුවරයා තමන් නිවසේ නාන කාමරයට කැඳවා ගෙන ගොස් එහි දී තමන් සමඟ රමණයේ යෙදෙන බවත් ඒ හේතුවෙන් වන විට ඔහුට දාව තමන් ගැබ් ගෙන ඇති බවත් ඇය ආචාර්ය කොවුර් හමුවේ පවසා තිබේ. එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් වෙතට පැමිණෙන එම සාන්තුවරයා එම පිළිරූවලින් නිරූපණය වන තැනැත්තාට වඩා බෙහෙවින් තරුණ හා කඩවසම් බවකි. පසුව එය හුදෙක් තම සැමියා ලිංගික චර්යාවෙන් ඉවත් වීම මත ජෙරීන් ගේ සිත තුළ හටගත් අසංතෘප්තතාව මත පදනම් වන සිහින මායාවක් බවත් ආචාර්ය කෙවුර් පහදා දී තිබේ.

කිසිදු ජෛව විද්‍යාතමක පදනමක් නොමැතිව කාන්තාවක තමන් ගැබ්ගෙන ඇතැයි පැවසීම හා ගර්භිණී ලක්ෂණ පළ කිරීම ව්‍යාජ ගර්භය ( Pseudocyesis ) ලෙස හැඳින්වේ. එමෙන්ම මෙම කළු කුමාර භූමිකාව අප සමාජය තුළ පවා විවිධ සංස්කෘතික පදනම් ඔස්සේ මතු විය හැකි බවට ඉහත සඳහන කදිම නිදසුනකි. නමුත් මෙබඳු සිදුවීම් මුල් කොට සමාජ මානව විද්‍යාත්මක ගවේෂණ නොකිරීම මත අදත් මේවා අප සමාජයේ බොහෝ දෙනකු ගේ ඇසි බැමි ඉහළ නංවන සිදුවීම් වලට සීමා වී තිබේ.

 

a9b9a73a 3471 4fc2 95bc 610f2fe5d3d5 1552x2044
මෙම කළු කුමාරයා, කළු යකා හෝ ඒ නම සහිතව හෝ නොමැතිව කාන්තාවන් අත්දකින මෙවන් ව්‍යාජ භ්‍රාන්තීන් අප සමාජයට පමණක් සීමා වී නැත. ඊට හේතුව කළු කුමාරයා ගේ හැසිරීම් වලට බෙහෙවින් සමාන ක්‍රියා කලාපයක් සහ ඉන්කියුබස් ( Incubus ) නම් අමනුෂ්‍යයකු පිළිබඳ ජන විශ්වාසයක් බටහිර රටවල ද පැවතීම ය.

මිසපොතෙමියානු පුරාවෘත්තයක් පදනම් කර ගනිමින් සමාජ ගත වූ එම ඉන්කියුබස් අපේ කළු කුමාරයා මෙන් කතුන් ගේ කැමැත්ත සහිතව ඔවුන් හා යහන් ගත වන සුකුමාර තරුණ යක්ෂයකු නොවේ. පසුව කිතුණු සංස්කෘතිය මඟින් ඉන්කියුබස් යක්ෂාත්මයක් සේ හඳුන්වා දී තිබේ.

shutterstock 1823022287

kalu5ජන විශ්වාස සම්බන්ධ ප්‍රාමාණික උගතකු වන වෝල්ටර් ස්ටීවන්ස් විසින් ලියන ලද Deman lovers කෘතිය මඟින් ඉන්කියුබස් සම්බන්ධ අගනා තොරතුරු රැසක් අනාවරණය වේ. ඉන්කියුබිස් ගේ ස්වරූපය හා ඔහු ගේ චර්යා රටාව පිළිබඳ විමැසීමේ දී මට පෞද්ගලිකව හැඟී යන කරුණක් තිබේ. එනම් ඔහු සුකුමාර ලෙසින් කතුන් තම වසඟයට ගන්නා කළු කුමාරයාට වඩා කතුන් බිය ගන්වා ඔවුන් පහත් කම් සැප විඳින කළු යකාට සමාන බව ය.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...