The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති - විසම්මුති : අපූරු දවසක්, හිම දිය වූ කඳු පිරිසිදු කිරීම | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

May 23, 2025 • 11:56 AM

සම්මුති - විසම්මුති : අපූරු දවසක්, හිම දිය වූ කඳු පිරිසිදු කිරීම | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය.
  • ෂැලේ යැයි හඳුන්වන එය මුහුදු මට්ටමේ සිට මීටර 1500 උසින් පිහිටි නිවාඩු නිවසකි.
  • ඒ හිම ක්‍රිඩා කරන ගැහැණු, පිරිමි, ළමා ළපටි සහ දඟකාර යෞවන යෞවනියෝ පැයට කිලෝමීටර 20 සිට 100 තරම් වේගයෙන් හිම මත ලිස්සා යනු දකින්නට ඇති ආසාව ද නිසාය.
  • එවිට මට මිනිසා පිළිබඳ ආශ්වාදයක් ඇති වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක් හිම දැකීමේ සහ හිමෙහි ඇවිද යාමේ මගේ දොළ දුක සංසිදී නැත.

ස්විස්ටර්ලන්තයේ මා ජීවත්වන ජීනීවා කැන්ටනයට (එනම් පෙඩරල් ඒකකයට) යාබදව වෝ කැන්ටනය පිහිටා තිබේ. එය අහස් කුස සිප ගන්නා ඇල්ෆයින් ගිරි ශීඛර පිරී ලස්සනම පළාතකි. මගේ ජිනීවා මිතුරියකට එහි කුඩා නිවසක් තිබේ. ෂැලේ යැයි හඳුන්වන එය මුහුදු මට්ටමේ සිට මීටර 1500 උසින් පිහිටි නිවාඩු නිවසකි. ශීත ඍතුව පුරාම එය අවට හිමෙන් වැසී යයි. එවිට සති අන්ත ගත කිරීමට එය පාරාදීසයකි.

 

මා පැයක් පමණ පා ගමනකින් අසල කඳු මාවත තරණය කරන්නේ හැරමිටි දෙකක වාරුවෙනි. ඒ හිම ක්‍රිඩා කරන ගැහැණු, පිරිමි, ළමා ළපටි සහ දඟකාර යෞවන යෞවනියෝ පැයට කිලෝමීටර 20 සිට 100 තරම් වේගයෙන් හිම මත ලිස්සා යනු දකින්නට ඇති ආසාව ද නිසාය. එවිට මට මිනිසා පිළිබඳ ආශ්වාදයක් ඇති වෙයි.

දැන් හිම දිය වී ගොස්ය. මේ වසන්තය යි. මිහිතක තුල නිදා සිටි වසන්ත සුන්දරිය වැනි පුෂ්පිකාවෝ රළින් රළ අවදි වී වට පිටාව මන්මත් කරත්.

 


එනමුත් එක් පහරක් තිබේ. දහස් ගණනාවක් හිම ක්‍රීඩා ලෝලීන් ගැවසුණු කඳුකරයෙහි මිහිමවට ආගන්තුක දෑ තැනින් තැන තිබිය හැකිය. හිම දියව ගිය කඳුකරය දැන් හරිත වර්ණ තෘණ බිම් බවට පත් වෙමින් තිබේ. ඉක්මනින්ම ගොවි පවුල් සිය ගව මහිෂාදීන් මේ කඳුකරයේ සිය ඉඩ කඩම් වෙත ගෙන එනවා ඇත. සීතල ගලා ගෙන එන්නට පටන් ගන්නා ඔක්තෝබරය මැද දි යළි සිය ගව සහ එළු පට්ටි රැගෙන ඔවුහු තැනි තලාවෙහි ගොවිපොළ වෙත යන්නේ උත්කර්ෂවත් පෙරහරකිනි.

ප්‍රශ්ණය මෙයයි.  ගව පට්ටි යළි කඳුකරය කරා පැමිණීමට පෙර  විවිධ හේතූන් උඩ පොළවට වැටුනු සිගරට් කොටයේ සිට ඇදුම් ආයිත්තම්. ප්ලාස්ටික් කෑලි යනාදිය ඉවත් කළ යුතුය. ඒවා එසේම තිබෙන්නට හැරිය හොත්, ගව කුරවලට පෑගී තද වී ඒවා පොළව තුළට කිදා බසී. එය පොළවට විපතකි.

තවද ග්‍රීෂ්මය සමග කඳු පාපැදි කාරියන් කරුවන් ද අඩි පාර සොයමින් හරහා වරු ගණන් ඇවිදින්නන්ගෙන් ද කඳුකරය නලියන්නට ගනී. ඔවුන්ගේ පහසුව පිනිස ද කදුකර අඩිපාර සහ පා පාපැදි මාර්ගය පිරිසිදු විය යුතුය.

මෙය කළ නොහැකි යැයි සිතෙයි. ඇල්පයින් කඳු වැටියෙහි තෙරක් නැත. කඳුකරයෙ හි දැනටම තණ වැවී ගෙන ද එයි.

 

mountain cleaning 04
හිම කඳුකරය පුරාම හිමෙන් වැසී ගියද හිම මත ලිස්සා යන්නේ තෝරා ගත් සහ සකස් කරන ලද පිස්ට් නම් මාවත්හි පමණය. සමහර විට අංශක 45ක් තරම් බෑවුමකය. අප වැනි හිම ක්‍රීඩා නුහුරු ගොඩයින් ඇවිද යන්නේ ද වර්ණ ගැන්වූ කණු සිටුවා ආරක්ෂිත බවට සහතික කරන ලද මං පෙත්හි පමණය.
දැන හෝ නොදැන ජනයා අප ද්‍රව්‍ය ඉතිරි කර යන්නේ මෙකී ස්ථාන වල පමණය. එය දිගින් දිගය. පලලින්ද සැළකිය යුතු තරම්ය.

පසුගිය සෙනසුරාදා අප  කඳුකරයට ගියේ, කඳු සුද්ධ කිරීමේ ශ්‍රමදානය එදාට යෙදී තිබූ නිසාය. අප කුඩා නිවහන පිහිටියේ ග්‍රියොන් නම් හිම ක්‍රීඩා කඳු පන්තියට යටිනි. එබැවින් එදින මේ ශ්‍රමදානය තිබු‍ණේ ග්‍රියොන් අවට කඳුකරය පිිරිසිදු කිරීමටය.

එන්නැයි කියා තිබූ බාබුලෝස් බස් නැවතුමට අප උදෑසන 8.30 ට යා යුතු විය. අපි තිස් හතලිස් දෙනෙකු එහි සිටියෙමු.  අපේ කිඹුල් බනිස්වල ස්විස් ඥාතියා වන  ක්‍රසොන්, කෝපි සහ තේ මේසයක් ලැහැස්ති වී තිබුණි.

 

pexels photo 14946004
ශ්‍රමදාන සංවිධායිකාව අපට පහේ හයේ කණ්ඩායම් ලෙස බෙදෙන්නැ යි කියා ශ්‍රමදාන ඉසව් දැක්වෙන සිතියමක් හැම කණ්ඩායමකටම දුන්නාය.

හැම කෙනෙකුටම පෝර උර වර්ගයේ කුඩා බෑගයක් ද කුඩා අපද්‍රවය නොනැමී අහුලා ගත හැකි අඩුවක් සහිත දිග ඇලුමීනියම් රිටක් ද අත් මේස් යුගල බැගින්ද ලැබුණි. මේ සියල්ල ප්‍රතිචක්‍රීයකරනය කරන ලද ඒවාය.

පෝර උර බෑගය අතෙහි රඳවා ගත හැකි පුඩුවක් පිටතට ද උරය ඇතුලෙහි තවත් කුඩා පුඩුවක්ද තිබුණි. ඒ කුඩා පුඩුව තිබුණේ, ඇතුළත කුඩා ප්ලාස්ටික් බොතලයක් රඳවා ගැනීමටය.

වෙරෝනා, එනම් සංවිධායිකාව මෙසේ කීවාය. “ සිගරට් කොට තමයි වැඩිම පොළවට විස. ඒවා මේ බෝතලයට ම දාන්න. එතකොට පස්සේ තෝරන්න වෙන්නේ නැහැ.”

අපේ කණ්ඩායම පැය භාගයක පමණ කැබ් රථ ගමනකින් පිම්මේ කඳු මුදුනට ගෙන ගොස්, “ දැන් පටන් ගන්න” කියා සංවිධායිකාව ආපසු ගියාය. “ එක වෙන කොට එන්න බලන්න.”

mountain cleaning 01
මට දෙලොව රත් විය. අප අපද්‍රව්‍ය සොයමින් එක් කර ගනිමින් යා යුතු වූයේ රූරා වැටෙන තරමේ බෑවුමක ය. උක්කුටික ඇට පහෙන් තුනක්ම කැඩී අති මගේ කොට පින්ද අත ගා බැලුවෙමි. හොඳ වෙලාවට මා උනුසුම් ප්ලාස්ටරයක් පිටේ උක්කුටික ඇට මත අලවා ගෙන තිබුණි. අප පිරිසිදු කළ යුතු මහා පදාසයක් ඇස් ඉදිරියේ විය.

මට මාඕ සේතුං ගේ කඳු ඉවත් කළ මෝඩ මහල්ලා රචනාව මතක් විය. සිය නිවස ඉදිරිපිට ඇති කන්ද ඉවත් කරන්නට යන බව කී මහල්ලකුට මෝඩයකු ලෙස අසල්වැසි ගම්මු ඔචච්ම් කළහ. නමුත් මහල්ළා කීවේ, “මට තනියම බෑ තමයි. නමුත් මගේ දරුවනුත් ඒ දරුවන්ගේ දරුවනුත් ඒ දරුවන්ගේ දරුවනුත් මේ කන්ද ඉවත් කරාවි”  කියාය.  මාඹ් ඒ කතාව කීවේ කවර ව්‍යායාමයක් වුවත් අතනෑර කරගෙන යාම පෙන්වීමටය.

අපි හය දෙනා පහළ බෑවුම දෙස බලා එකිනෙකා මීටර දහයක තරම් තීරු සුද්ධ කරන්නට පටන් ගතිමු. මුලදී එතරම් අපද්‍රව්‍ය තිබුණේ නැත. නමුත් ටිකෙන් ටික අපේ බෝතල් සිගරට් කොට වලින්ද උර විවිධ ප්ලාස්ටික්, රෙදි වැනි දෙයින් පිරෙන්නට විය.

එක් තැනෙක පිපීරී ගිය කොළපාට බෝතල් කෑලී විසිරී තිබුණි. එතැන සුද්ධ කරන්නට අප තිදෙනෙකුට වේලාවක් ගත විය. උදෑසන 9.30ට ආරම්භ වූ පිරිසිදු කිරීමේ ශ්‍රමදානය අවසන් වන  විට අප කිලෝ මීටර 10ක් කන්ද බැස තිබුනි. කුඩා සිගරට් කොට සොයමින් අප කණ්ඩායම  මිතුරු තරඟයක යෙදුණේ වෙහෙස පරදවන්නටය.

ග්‍රියොන් හිම ක්‍රීඩා මං පොත හරහා ගමන් කරමින් අප ද්‍රව්‍ය එක් කළ අපේ කණ්ඩායම් හය කිලෝ 75ක් එක් කර තිබුණි. සිටරට් කොට ප්ලාස්ටික් බෝතල් දෙකක් පුරවා තිබුණි. සියලු අපද්‍රවය වෙන් කලේ ද අපම ය.සොයා ගත් හොදම අයිතමය බවට අපම තේරූ මුලුතැන්ගෙයි සීනු ඔරලෝසුව සොයා ගෙන තිබුණේ කුඩා දරුවෙකි. ඔහුට අත්පොළසන් වරුසාවක් සමඟ පුංචි තෑග්ගක් ලැබුණි. එවිට අත් ඔසවා කැ ගසමින් සමූහ පින්තූර ගත්තෙමු.

අපට පීසා ලැහැස්ති කර තිබුණි. බඩ පැලුනි.

Lavaux Vineyard Terraces Lake Geneva and Swiss mountains
අප කාලය ඇති පරිදි වාර්ශිකව ජිනීවා විල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට ද යමු. එයට සිය ගණනාවක් එක් වේ. ස්වේච්ඡා කිමිදුම් කරුවෝද බෝට්ටු කරුවෝද එති. එවැනි දිනක කන්දක් තරම් අප ද්‍රව්‍ය එක් වෙයි. ජීනීවා විලෙහි ජලය දියමන්තියක් සේ සුපැහැදිලිව තිබෙන්නේ අනාගතය දෙස බලා දවසක් ස්වේච්චාවෙන් පිරිසිදු කිරීම් කරන එවැනි ගැහැණුන් සහ පිරිමින් නිසාය. දරුවන් සහ දැරියන් නිසාය.

ලොකු ලොකු බෝඩ් ලෑලි සහ කාර්ය සාධක බලකා නැත. සැබෑ මිනිස්සු කළ යුතු දේ කරති.

රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය : බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳ දැමු 'වීරයා'  මෙන්න - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - අනිද්දා හි පළ වූ ලිපියකි 
)
23.05.25

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...