The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට 'අද්භූත හේතුවක්' මුල් වුණාද ? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

May 24, 2025 • 10:38 AM

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට 'අද්භූත හේතුවක්' මුල් වුණාද ? | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය.
  • එම බස් රථ අනතුරට දින තුනකට පසුව ඊට තරමක් නොදුරින් වෑන් රථයක් ද අනතුරට ලක් වීම මුල් කොට එය කිසියම් අද්භූත බලයක් මත ඇති වූ සිදුවීම් දෙකක් ලෙස සමාජයේ ඇතැම් පිරිස් අර්ථ දක්වන්නට වූහ.
  • එමෙන්ම එවන් හේතු බොහෝ විට මානව ක්‍රියාකාරකම් පදනම් වූ ඒවා ලෙස සැලකීමට ද සමාජය පුරුදු පුහුණු වී සිටිති.
  • ඒ අනුව මෙලෙස වටිනා මිනිස් ජීවිත සහ දේපල වනසා දැමීමට ඉවහල් වූ මෙම අනතුර සඳහා මුල් වූ අද්භූත හේතුව විමසූ ජන මනැස ඒ සඳහා පාදක කර ගත් එක් සංසිද්ධියක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී තිබේද?යන්න ය. එහෙත්, අමාත්‍යවරයා ඒ සඳහා ගත් කටටම දුන් පිළිතුර වුයේ ‘එවැනි දේවල් නැත’ යන්න ය.

 



නමුත් ඒ පැනය එම මාධ්‍යවේදියා ගේ සිත තුළින් පැන නැඟි එකක් නොවේ. ඒ වන විට එම අනතුර සම්බන්ධයෙන් මෙරට ජන විඥානය තුළට පිවිස තිබු අදහසකි. එම බස් රථ අනතුරට දින තුනකට පසුව ඊට තරමක් නොදුරින් වෑන් රථයක් ද අනතුරට ලක් වීම මුල් කොට එය කිසියම් අද්භූත බලයක් මත ඇති වූ සිදුවීම් දෙකක් ලෙස සමාජයේ ඇතැම් පිරිස් අර්ථ දක්වන්නට වූහ.

නමුත් එවන් අද්භූත බලයක් වුව පැන නැඟීමට කිනම් හෝ හේතුවක් තිබිය යුතුය යන්න ද ජන මනැසේ පැන නඟින සිතිවිල්ලකි. එමෙන්ම එවන් හේතු බොහෝ විට මානව ක්‍රියාකාරකම් පදනම් වූ ඒවා ලෙස සැලකීමට ද සමාජය පුරුදු පුහුණු වී සිටිති.

ඒ අනුව මෙලෙස වටිනා මිනිස් ජීවිත සහ දේපල වනසා දැමීමට ඉවහල් වූ මෙම අනතුර සඳහා මුල් වූ අද්භූත හේතුව විමසූ ජන මනැස ඒ සඳහා පාදක කර ගත් එක් සංසිද්ධියක් විය. එනම් පසුගිය 18 වනදා ඇරඹී 28 දායින් අවසන් වූ සිරි දළදා වන්දනාව හෙවත් මහනුවර දළදා මාලිගාවේ පැවැති දළදා ප්‍රදර්ශන යයි. එම දළදා ප්‍රදර්ශනය සඳහා දන්ත ධාතුන් වහන්සේ එය වඩා හිඳුවා ඇති විශේෂ කුටියෙන් පිටතට ගැනීමේ නැකත සම්බන්ධ ගැටළුවක් පදනම් ව හටගත් කිසියම් අද්භූත බලයක් විසින් එම ඛේදවාචකය මෙහෙවන්නට ඇතැයි ඇතැම්හු සිතූහ. නමුදු මෙය මුළුමනින්ම මිථ්‍යා සංකල්පයකි.

එසේම යමක් පිළිබඳ නිශ්චිත හේතු සොයා ගත නොහැකි වූ විට එම අඩුව මිථ්‍ය තර්කන (Fallacy) වලින් පිරවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. ඉහත සඳහන් මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියකු අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් විමසා සිටි එම අනතුරට හේතුව මේ අද්භූත සිදුවීමක් ද යන පැනයේ සමාජමය මූලය එයයි.

නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ මිනිස් මනැසේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විග්‍රහයේ දී ඉඩ් ( Id ) ඊගෝ( ego ) සහ සුපිරි ඊගෝ ( super ego) යනුවෙන් ප්‍රධාන කොටසක් දක්වා තිබේ. මේවා අදත් මිනිස් මනස ක්‍රියා කරන ආකාරය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන උපයෝග තුනකි.

Id Ego Super Ego three people brains purple

ෆ්‍රොයිඩ් මිනිස් මනස විස්තර අන්දමට මූලික මිනිස් ගැඟීම් ආවේග මත පදනම් වන ඉඩ් අවිඥාණය හා සම්බන්ධව පවතී. ඊගෝව සහ සුපිරි ඊගෝව ඊට වඩා පුළුල් ලෙසත් සවිඥාණික ලෙස ක්‍රියා කරයි. ෆ්‍රොයිඩ් ගේ එම ආකෘතියට අනුව ඉඩ් යනු හැඟීම් හා චිත්තාවේග මත පදනම් වන සහජ ප්‍රවණතා සමූහයකි. ඊගෝ යනු මනැසේ ඇති සංවිධානාත්මක යථාර්ථවාදී කොටසයි . සුපිරි ඊගෝව තීරණාත්මක හා සදාචාරාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර සංස්කෘතිය ද ඊට අදාල වේ. නමුත් මෙම ඉඩ් ඊගෝ සහ සුපිරි ඊගෝ යනු මනසෙහි ක්‍රියාකාරිත්වයන් මිස මොළයේ ව්‍යුහාත්මක කොටස් නොවේ.

එම විග්‍රහයට අනුව ඉහත සඳහන් අනතුරට බලපෑ අද්භූත හේතුව තුළ චිත්තාවේග මුල් කොට ගත් පැහැදිලි අසංස්කෘතික ස්වරූපයක් පෙනේ. ඊට හේතුව බෞද්ධ සමාජයීය විශ්වාසය අනුව ජීවමාන බුදුන් වහන්සේ නියෝජනය කරන උන්වහන්සේ ගේ ධන්ත ධාතූන් වහන්සේ මුල් කොට එවන් ඛේදනීය තත්වයක් ඇතිවීමට ඉඩක් නොලැබීම ය. එහි දී ඒ අනුව ජන මනැස විසින් ඒ සඳහා ඊට වඩා දියුණු සංස්කෘතික ආරෝපණයක් ලබා දීම ද සාමාන්‍ය සංසිද්ධියකි.

එම ආරෝපණයට අනුව පැවසෙනුයේ ඉහත සඳහන් දළදා වහන්සේ සම්බන්ධ අතපසු වීම මුල් කොට මෙවැනි ඛේදවාචකයක් උදා කරනුයේ එහි ආරක්ෂාව පිණිස කටයුතු කරන දෙවිවරුන් බව ය.

ANATHA

නමුත් දළදා වහන්සේට අධිගෘහිත බවට ජන සම්මත නාථ දෙවියන් මතු බුදු වන ශාන්තිවාදී දෙවි කෙනකු බව ජන සම්මත වූවකි. ඒ අනුව නාථ දෙවියන් මෙබඳු කුරිරු ක්‍රියා මාර්ගවලට එළඹෙතැයි අප ජන සමාජයේ කිසිවකුත් විශ්වාස නොකරති. එබැවින් ඉහත සඳහන් බස් රථ ඛේදවාචකය සහ දළදා වහන්සේ සම්බන්ධ ඛේදවාචකය කෙසේ හෝ යා කළ යුතු බැවින් අපගේ ජන මනැස ඒ සඳහා ද කදිම අර්ථ කථනයක් ලබා දී තිබේ. එනම් එම ඛේදවාචකයට මුලපුරන ලද්දේ නාථ දෙවියන් ගේ දේව සභාවේ හෙවත් දේව මණ්ඩලයේ පහළම තල වල හිඳින දෙවි දේවතාවුන් බව ය.

අප ගේ ජන සංස්කෘතියට අනුව ප්‍රධාන පෙළේ දෙවි වරුන් ආරූඪ වීම සම්බන්ධයෙන් ද මෙම න්‍යාය මෙපරිද්දෙන්ම බලපානු ඇත.එහෙත්, මේවා විමර්ශනය කිරීමේ දී පළමුව මේවායේ අභ්‍යන්තර ව්‍යුහයන් මනාව අධ්‍යයනය කළ යුතු ය.එසේ නොමැතිව බාහිර තලයන් හි සිට මෙබඳු සමාජ මනෝ විද්‍යාත්මක සාධක විශ්ලේෂණය කිරීම දොඩම් ගෙඩියක ලෙල්ල සපා දොඩම් රස හඳුනා ගැනීමට වෙර දැරීමකි.

2004 වසරේ දෙසැම්බර් 26 දා මුළු ලොවක් කම්පාවට පත් කළ සුනාමි ඛේදවාචකයට පමණක් දෙවන වූ ස්වභාවික විපතක් 2003 වසරේ මැයි 17 දා ඇරඹුණු මහා වර්ෂාවත් සමඟ ශ්‍රී ලංකාවේ සබරගමු සහ දකුණු පළාත්වලට එල්ල විය. එනම් මහා පරිමානයේ ගංවතුරක් සහ නාය යාම් සමුදායකි.

ඉනුදු වටිනා මිනිස් ජීවිත සහ දේපල විශාල ප්‍රමාණයක් අකාලයේ වැනසී ගිය අතර මම ඉන් පසුව එකල මා සේවය කළ පුවත් පත නියෝජනය කරමින් සහෘද මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් ද සමඟ එම ප්‍රදේශවල සංචාරයක් කළෙමි. එවිට එම බිහිසුණු ස්වභාවික විපත මුල් කොට ඒ ප්‍රදේශවල ඇතැම් ගැමියන් පළ කළ අදහසක් වූයේ එම සමන් දෙවියන්ගේ කෝප වීමක් සහ ඇති වූ ඛේදවාචකයක් ඊට මුල් වූ බව ය.

puja sripada

ඊට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන ලද්දේ ශ්‍රී පාද සමය තුළ ශ්‍රීපාද මළුවේ තැන්පත් කොට තබන ලද සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නැවත ගල්පොත්තාවෙල රජ මහා විහාරයට වැඩම කිරීමේ දී ඇති වූ කිනම් හෝ අතපසු වීමක් මත සමන් දෙවියන්ගේ කෝපවීමක් නිසා මෙම ඛේදවාචකය ඇති වූ බවකි.

එහෙත්, ඒ අතපසුවීම කුමක් ද යන්න පිළිබඳ නිශ්චයක් ද සබරගමු ජනතාව අතර නොතිබුණි. නමුදු ශ්‍රී ලාංකේය සමාජය විසින් කරුණාව නම් වන සන්නාමය හිමි කොට දී ඇති සමන් දෙවියන් එබඳු ස්වභාවික විපතකට කිසියම් ලෙසකින් හෝ සම්බන්ධ විය හැකිද? යන්න පිළිබඳව මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි ව සිටින මගේ සමීපතම හිතවතකු වූ රත්නපුර, ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී කලවාන ගෙන් ඇසීමි. සබරගමු ජනශ්‍රැති සම්බන්ධ බොහෝ තොරතුරු ඒකරාශි කරගෙන හිඳින ඔහු එවන් පැනයක් යොමු කිරීමට ඉතා සුදුසු අයකු බව මට එවකට ද වැටහී තිබිණ.

“මිනිස්සු සිතන්නේ ඔතන දී සමන් දෙවියෝ කෝප වෙනවාට වඩා කලකිරෙනවා කියලයි. එතකොට ඒ දේව මණ්ඩලයේ ඉන්න සූනියම් ගම්බාර වගේ දෙවිවරු කෝප වෙලා මෙහෙම දේවල් සිද්ද වෙනවා කියලා තමයි මේ පළාත් වල මිනිස්සු විශ්වාස කරන්නේ. ඔය වගේ කතා කීපයක්ම මේ වෙන කොට මේ සබරගමු විශ්වාස අතරේ තියනවා” හෙතෙම කීය.

මේ වන විට ශ්‍රී පාද අවාරයේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ වඩා හිඳුවා ඇති සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ 1934 වන තෙක් ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජ මහා විහාරයේ වඩා හිඳුවා තිබූ කාලයේ වූ එවන් සිදුවීමක් ඊට පෙර ද චන්ද්‍රසෝම බී කලවාන සහෘදයා විසින් මා හමුවේ ඉදිරිපත් කොට තිබේ.

 

unnamed 31
ඒ සමයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹෙන ශ්‍රී පාද සමය ආරම්භයේ සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරන පෙරහැරේ කිහිප දෙනකු එම ගමන් මාර්ගය අද්දර පිහිටි කිතුලකින් රා බීම පිණිස එම සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සහිත මංජුසාව සිරි පා මඟ අද්දර පිහිටි කරවල මැස්සක් මත තැබූ පුවතක් අදටත් එම ප්‍රදේයේ ප්‍රචලිත ය. 

එහිදී එම සමන් දේව ප්‍රතිමාව ගිනියම් වූ බවත් එවිට එය දුටු සිල් සමාදන්ව සිටි උපාසක මහතකු හනික ශීත ගඟුලට පැන දිය නා තෙත පිටින්ම එම දේව ප්‍රතිමාව හිස මත තබා ගෙන ශ්‍රී පාද උඩ මළුව වෙත දිව ගිය පුවත මේ දක්වාම ඒ ප්‍රදේශයේ ශේෂව පවතින ජන ප්‍රවාදයකි. සමන් දෙවියන්ට සිදු කළ එවන් නිගරුවෙන් කිපුණු අවශේෂ දෙවිවරුන් ඒ මොහොතේ එම ස්ථානයේ අකුනු හතක් පුපුරවා මහ පොළව මතට දිය හෙණ පතිත කර දින හතක මුළුල්ලේ ඇද හැළුණු අනෝරා වර්ෂාවක් හා මහා ගං වතුරක් ඇති කර වූ වූ පුවත නෑසූ පිරිස් අදටත් එහි හිඳිනු නොඅනුමාන ය.

නමුදු ගැමියන් මෙම දිය හෙණ ලෙස සළකනුයේ හුදු කාලගුණික සංසිද්ධියකි. පහළ අහසේ සිදුවන විදුලි කෙටීමේ දී හටගන්නා අධි වෝල්ටීයතාව හේතුවෙන් ඒ ආශ්‍රිත වැසි වලාකුළු වල රැදුණු ජලය කොටසක් වාෂ්ප වී එහෙත් ඊට තරමක් දුරින් වැසි වළාකුළු වල ඇති ජලය උනුසුම්ව පොළොවට පතිත වේ. මෙය තරමක් දුරට පොළොව මත ඇති වෘක්ෂ ලතා ආදියට පවා හානිකර විය හැක. මේවාට හෙන වතුර කියා ද කියති.

 

البرق في المنام

ඒ කෙසේ වුව ද ඉහත සඳහන් මිනිස් මනැස කම්පා කරවන යම් සිදුවීම් හුදකලා නොකොට ඒවා ඊට පෙර සිදුවීමක් හා බද්ධ කිරීමට මිනිසා තුළ පවත්නා උනන්දුව අතිශයින් ස්වභාවයකි.

Post hoc ergo propter hoc යනුවෙන් හැඳින්වෙන එය මිනිස් සංහතියේ ආරම්භයේ සිට මේ දක්වා අඛණ්ඩව දක්නට ලැබෙන සමාජ මනෝ විද්‍යාත්මක සංසිද්ධියකි.

ඒ හැරුණු කොට ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය බිමල් රත්නායකයන් කී අන්දමට මෙවන් භෞතික සිදුවීම් හා සම්බන්ධ අද්භූත සංසිද්ධීන් නැත. ඊට තවත් වදනක් එක් කළහොත් ඇත්තෙන්ම නැත.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම-  vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට 'අද්භූත හේතුවක්' මුල් වුණාද ? | තිලක් සේනාසිංහ | The Leader