මාධ්‍යවේදියෝ, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ, යුටියුබ් කතාකරුවෝ ඇතුළු බොහෝ දෙනා උදම් ඇනුවෝය.
විශේෂයෙන් දෙමළ ජාතිකවාදී දේශපාලනයට එරෙහි දකුණේ වාමාංශිකයන්ගේ සිට ලිබරල් හා දක්ෂිණාංශිකයන් දක්වා වූ සෑම කොටසක්ම ඉන් සතුටු වුහ.
මහ මැතිවරණ ප්‍රතිපලය ගැඹුරින් විග්‍රහකර බලද්දී දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ බිඳී ගොස් වෙන වෙනම තරඟ වැදීම හේතුවෙන් ජාතික ජනබලවේගයට වාසි ගෙන දී තිබිණි. පළමු වරට ඔවුන්ට උතුරෙන් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට හැකි වුයේත් ජනයා ඔවුන් කෙරෙහි කිසියම් අපේක්‍ෂා සහගත බවක් පෙන්නුම් කළ නිසාය. උතුරේ දෙමළ ජනයාගේ මුලික ගැටළුවලට විසදුම් ලබා නොදීමට අපොහොසත් වීම හා තවත් බොහෝ හේතූන් නිසා පැවති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පසුබෑම සනිටුහන්වී තිබේ. ඒ හය මසක ඇවමෙනි.
ඉඩම් නිදහස් කිරීම නොහොත් කඩවුණු පොරොන්දුව

ජනාධිපතිවරනයේදීත්, ඉන් පසු මහ මැතිවරණයෙදීත් ජාතික ජනබලවේගය විසින් උතුරේ ජනයා හමුවේ තැබු පොරොන්දු ගණනාවකි. ඒ අනුව දශක ගණනාවක් වසා දමා තිබුණු පාරක් දෙකක් යළි විවෘත කෙරිණි. ඇතැම් මාර්ග වලින් විවෘත වුයේද කොටසකි. එහෙත් උතුරේ දෙමළ ජනයාගේ මුලික ඉල්ලීමක් වූ තමන්ගේ ඉඩම් හා වගා බිම් නිදහස් කිරීම ගැන ආණ්ඩුවට කඩිනම් ක්‍රියාමාර්ගයක් නොවිණි.
මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ, වන ජීවි, පුරාවිද්‍යා වැනි දෙපාර්තමේන්තු වලට අමතරව රජයේ ආරක්ෂක හමුදා විසින් ඔවුන් සතු ඉඩම් අත්පත් කරගෙන ඇති බවට වූ දුක්ගැනවිල්ලට දැන් 17ත් වසකි. පේදුරුතුඩුවේ, තයිහට්ටි තිස්ස විහාරය ඉදි කර ඇති ඉඩමේ ගැටලුවට මෙතෙක් විසදුමක් ලබා දී නොමැත. මුල් අයිතිකරුවන් කොළඹ පැමිණ තම අවනඩුව දකුණේ මාධ්‍ය හමුවේද පැහැදිලි කළේය. විසදුම් ලබා දෙන බවට ආණ්ඩුව සහතිකවුවා පමණි.

යාපනය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රිකයන්හි රජයේ ආරක්ෂක අංශ වාඩිලා සිටින දෙමළ ජනයාට අයත් ඉඩම් හා වගාබිම් නිදහස් කරන ලෙස දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා ඇතත්, ආණ්ඩුව ඒ කෙරෙහි මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. කජු සංස්ථාවට අයත් මන්නාරම කජු වත්ත තවමත් පාලනය වන්නේ රජයේ හමුදා යටතේය.
යුද්ධයෙන් පිඩාවට පත්ව යළි පදිංචිවූ ප්‍රදේශයේ ජනයාට මෙහි රැකියාවක් ලබා ගැනීමේ අවස්තාව අහිමිවී ඇති බවට ද මැසිවිලි රාශියකි. එමෙන්ම රජයේ ගොවිපල සියල්ලම වාගේ තවත් ක්‍රියාත්මක වන්නේ හමුදා පාලනය යටතේය.
නව ආණ්ඩුව යටතේ මේවායේ යම් වෙනසක් ඇති වනු ඇතැයි උතුරේ දෙමළ ජනයා අපේක්‍ෂා කලහ.

ඉඩම් ගැටලුව තවත් උග්‍ර වන්නේ පළාත් පාලන මැතිවරණයට මසකුත් දිනකිපයකට පෙරාතුව නිකුත් කළ ඉඩම් පවරා ගැනීමේ ගැසට් නිවේදනයත් සමගිනි. 2025 මාර්තු 28 වැනිදා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මෙම ගැසට්ටුව මගින් දැනුම් දී තිබුනේ උතුරේ ඉඩම් අක්කර 5941 ක තෙමසක් තුළ හිමිකම තහවුරු නොකළහොත් රාජ සන්තක කරන බවය. ඒ, යාපන දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3669 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1703 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 515 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 54 ක් වශයෙනි.
හිමිකම තහවුරු කිරීම සඳහා ආණ්ඩුව ලබා දී ඇති කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට ජනතාවගෙන් විරෝධයක් එල්ලවිණි. මේ ඉඩම් හිමිකරුවන් බොහෝ දෙනෙක් යුද ගැටුම් හේතුවෙන් උන්හිටි තැන් අහිමි වුවන්ය. ඔවුන් සතුව ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර අස්ථාන ගතවී ඇති බැවින් ඒවායේ පිටපත් ලබා ගැනීමට මෙම කාලය ප්‍රමාණවත් නොවේ.
අනෙක් අතට ඇතැම් ඉඩම් හිමිකරුවන් යුද්ධයේදී දිවි ගලවාගනු පිණිස විදේශ රටවල පිටුවහල් වී ඇත. ජනතාවගේ වගා බිම් හෝ පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමට සැරසීම ආණ්ඩුවට එරෙහිව තවත් වටයකින් ජනතා විරෝධය ඇවිලෙන්නට හේතු සාධක විය.අධික පිරිවැයක් - අවම ආදායමක්

පැවති ආණ්ඩු බොහොමයක් මෙන්ම ධීවර ඇමැතිධූරය උතුරට ලබා දෙන්නට ජාතික ජනබලවේග ආණ්ඩුව ද කටයුතු කළේය. උතුරේ ධීවරයන් මුහුණ දෙන බරපතලම ගැටලුව වූයේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණ ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමය. මිට උතුරේ ධීවරයන් දක්වන්නේ දැඩි විරෝධයකි. ආණ්ඩුව ඉන්දියාව සමඟ සාකච්ජා කොට ඔවුන්ගේ පැමිණීම නවතා තමන්ට සහනයක් ලබා දෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු සහගතවුහ. එහෙත් ඉන්දීය අගමැතිවරයාගේ ලංකා සංචාරයත්, එහිදී එළඹි ප්‍රසිද්ධ නොකළ ගිවිසුම් ගැනත් ධීවරයන්ට ඇත්තේ කුකුසකි.
ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත ගැන එම ගිවිසුම් වල ඇත්තේ කුමක්ද යන්න ගැන ධීවරයන් නොදනී.
අනෙක් අතට ලංකාව සතු කච්චතිව් දුපත යළි ලබා ගැනීමට තමිල්නාඩුවේ උත්සහාය උතුරේ ධීවරයන්ගේ සතුටට හේතු නොවන්නකි. ඉකුත් පාලන කාලයේදී ඉන්දියානු සමාගමක් වෙත පවරා ඇති වෙඩිතලතිව් ඉස්සෝ ගොවිපළ යළි පවරා ගන්නා බවට වූ ආණ්ඩුවේ තවත් ඉටුනොවූ පොරොන්දුවකි.
විදේශීය ධීවරයන්ට ලංකා මුහුදට ඇතුල් වීමට අවසර ලබා දෙන හිටපු ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද විසින් ගෙන එනු ලැබූ ධීවර පනත, ධීවරයන්ගේ දැඩි විරෝධය මත හකුළා ගනු ලැබුවකි. සුළු පන්න ධීවරයන්ට කෝටා ක්‍රමයක් හරහා මුදලට හා දේශාපාලන බලයට බලපත්‍රයක් ලබා දීමේ ක්‍රමයක්, එම ධීවර පනත මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතවී තිබිණි.
නව ධීවර ඇමතිවරයා පත්වී මසක් ගතවන්නට මත්තෙන් එම ධීවර පනතම යළි ගෙන ඒමට සැරසීම ආණ්ඩුව කෙරෙහි ධීවරයන්ගේ විරෝධය වැඩෙන්නට හේතු විය.
කෙසේ වෙතත් අවසානයේ ධීවර පනත සංශෝධනයට කමිටුවක් පත් කෙරුණු මුත් ධීවරයන්ගේ මුලික ඉල්ලීම වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණීම හා හානිකර ආම්පන්න භාවිතයට කඩිනම් විසදුම් ලබා දීමක් නම් නොවිණි. ධීවරයන් තවදුරටත් රැකියාවේ යෙදෙන්නේ පිරිවැය අධික ආදායම අවම කර්මාන්තයකය.

ධීවර රැකියාවට බලපෑම් කෙරෙන, මන්නාරම් වෙරළ තිරයේ සුළං බල ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ අදානි හා තවත් සමාගම් වෙත පැවරීම, පාරිසරික ව්‍යසනයන් ඇති කරමින් ඛනිජ වැලි කැනීමට අවසර ලබා සිටී ඕස්ට්‍රේලියානු හා ඉන්දියානු සමාගම් සිය කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම.
මේවා කෙරෙහි පැන නැගී මහජන විරෝධයන්ට තිරසාර විසදුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වීම කැපී පෙනුනි. මෙවැනි බොහෝ ව්‍යාපෘති විපක්ෂයේ සිටියදී ඔවුන්ගේ බලවත් විරෝධයට හේතුවිය.
මානව හිමිකම් - පැරණි මාවතේම

යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩ කිරීම් ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී වත්මන් ආණ්ඩුවද අනුගමනය කළේ පෙර පැවති ආණ්ඩුවල ක්‍රියා පිලිවෙතමය. ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දෙන උතුරේ දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන වල හඬට එරෙහිව දේශීය යාන්ත්‍රණයක් ගැන නව ආණ්ඩුවද පුනරුච්ජාරණය කරමින් සිටී.
සාමුහික මිනිස් ඝාතන සිදුවීම්වලට අමතරව මෑතකදී මතු වූ මන්නාරමෙන් සහ කොක්කුතුඩුවායි සමුහ මිනීවල වල් ගැන ද විමර්ශණ කඩිනමින් පැවැත්වීමටද උනන්දුවක් පෙන්නුම් කර නොමැත.
පුරා වසර අටක් තිස්සේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම් කෙරෙහි සංවේදී බවක් දැක්වීමට අගමැතිනියක් ඇතුළු මන්ත්‍රීවරියන් 20 දෙනෙක් සිටින ආණ්ඩුව කටයුතු නොකිරීම ම කනගාටුවකි. සිය ආදරණිය දරුවන් ඉල්ලා හඬා වැටෙන බොහෝ අම්මලා ඔවුන් විසින්ම තම දරුවන් රජයේ ආරක්ෂක අංශ වෙත බාර කළවුන්ය.

අතීතය අමතක කර ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දායක වන්නයි ආණ්ඩුව කෙතරම් ඇරයුම් කළත් තම ආදරණියයන්ට යුක්තිය නොලබා ඔවුන් පිලිබඳ මතකය කෙසේ නම් අත්හළ හැකිද .
ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනමාධ්‍යවේදියෝ සංවිධානය සකස් කළ මෑත දශක කිහිපයේදී මරා දැමුණු හා අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් අතර බහුතරය උතුරු පළාත නියෝජනය කළ වුන්ය.

මැතිවරණයට පෙර ආණ්ඩුව කියා සිටියේ තවත් ඝාතන කිහිපයක් අතරින් මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ගැන ද විශේෂ විමර්ශනයක් අරඹන බවය. ඉකුත් අප්‍රියෙල් 28 වැනිදාට සිවරාම් පැහැරගෙන ගොස් මරා දමා වසර 20 ක් ගෙවී ගිය ද ආණ්ඩුව පැවසූ පරිද්දෙන් ඒ ගැන විමර්ශනයක් අරඹන්නට මෙතෙක් දැනුවත් පියවරක් ගෙන නොමැත.
නිමලරාජන්, දේවකුමාර්, රාමචන්ද්‍රන්, චන්ද්‍රබෝෂ්, රජීවර්මන්, නිලක්ෂන් ඇතුළු බොහෝ දෙනෙක් මරා දැමුණු අතර ඒ කෙරෙහි වැරදි කරුවන්ට එරෙහිව නව ආණ්ඩුව යටතේ නිතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවට උතුරේ ජනයා විශ්වාස කළහ.
මාධ්‍යවේදීන්, සාමාන්‍ය වැසියන් අතුරුදහන් හා මරා දැමීම් වලට අමතරව යුද සමයේදී මරා දැමුණු කතෝලික පියතුමන්ලා ගැන කිතුසර කණ්ඩායම සකස් කළ සවිස්තර වාර්තාවක දැක්වේ. මේරි බැස්ටියන්, ජීවරත්නම්, කනගරත්නම්, ජිම් බ්‍රවුන්, ෆ්‍රැන්සිස් වැනි පුජකවරුන්ගේ ඝාතන හෝ අතුරුදහන් කිරීම් ගැන යළි විමසනු ඇතැයි උතුරේ ජනතාව තුල තිබු විශ්වාසය බිඳ වැටුනේ අපේක්ෂිත නොකළ අයුරින්ය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් බොහෝ බැට කෑවේ සමස්ත දෙමළ ජනයා ය. ඉනුත් උතුරේ වැසියන්ය. ත්‍රස්ත පනත අහෝසි කරන බවට වූ පොරොන්දුව බලයට පැමිණි පසු එය අහිතකර නොවන ලෙස භාවිතයට ගන්නා බවට ආණ්ඩුව පැවසීය.
එහෙත් උතුරේ විරු සමරුවලට හා ඒවායේ සංවිධායකයන්ට පෙර ආණ්ඩු පරිදිම බාධා එල්ල කෙරිණි. විරු සැමරුම් වලට ආණ්ඩුවෙන් බාධාවක් නොමැති බවට ප්‍රකාශ කළද, පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ වල බාධා කිරීම් මෙන්ම, ඇතැම් තැන්වල සමරු සංවිධායකයන්ට එරෙහිව ත්‍රස්ත පනත යොදා ගැනීමේ ජනතා විරෝධය බලපෑවේ ආණ්ඩුව කෙරෙහිවූ ප්‍රසාදය බිඳ වැටෙන තැනටය.
එමෙන්ම ත්‍රස්ත පනත යටතේ දිගු කලක් රඳවා ගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන ජාතික ජනබලවේගයේ නායකයන් පොරොන්දු වුවද, ඒවා ඉටු කිරීමටද සමත්වූයේ නැත.
උතුරේ ප්‍රාදේශීය සභා හතරක ජය
පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට යාපනය, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි කිසිදු ආයතනයක් දිනා ගැනීමට නොහැකිවිණි.
වවුනියාව දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය සභා 03ක බහුතර බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාව, සහ වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවට අමතරව මන්නාරම් දිස්ත්‍රික්කයේ නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ ද ජය තහවුරු කරගන්නට ජාතික ජනබලවේග ආණ්ඩුවට හැකි විය. එහෙත් මෙම පළාත් පාලන ආයතන කිසිවක සියයට 50 කට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවී ඇත. බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගත්තද සෙසු දෙමළ දේශපාලන එක් වන්නේ නම් ඔවුන් සතු මන්ත්‍රී සංඛ්‍යාව ආණ්ඩුව ඉක්මවා යනු ඇත.
වවුනියාවේ මේ ප්‍රදේශ දශක ගණනාවක සිට විවිධ ආණ්ඩු මගින් ජනාවාස ඇති කරමින් සිංහල හා මුස්ලිම් ජනයා පදිංචි කෙරිණි. ඒ පිළිබඳව 2023 ආරම්භයේදීම දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසින් පාර්ලිමේන්තුවේදී කරුණු දැක්විය. වවුනියාව උතුරේ කොක්කච්චාන් කුලම් සහ කච්චල්සමනල් කුලම් සහ මුලතිව්, කොක්කුතුඩුවායි බටහිර ප්‍රදේශයේ සින්නකුලම්, මුන්දරෙයිකුලම්, ආමයාන්කුලම්, සාම්බන්කුලම්, තට්ටමාලෙයිකුලම්, පරයනාරු හා සුරියනාරායන් වෙල් යාය, යන ගම්වලින් මිනිස්සුන්ට ඉවත් වන ලෙස රජයේ හමුදාව කියා සිටියේ එම ප්‍රදේශය යුද මුක්ත කලාපයක් බවට නම් කරන බව පවසමින්ය.
මෙසේ 1983 දෙසැම්බර් මාසයේ දී ඉවත් කළ දෙමළ ජනයා අවතැන් කඳවුරු වල සිට නැවත පැමිණෙන විට හිමිකම් බලපත්‍ර සහිත ඔවුන් පරම්පරා ගණනාවක් විසු හා වගා කළ ඉඩම් පිටස්තර සිංහල ජනයා අතර බෙදා දී තිබුණු බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

බලය බෙදාහැරිම, දේශපාලන විසදුම වැනි කරුණු වලට වඩා ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරන්නට උත්සුක වුයේ උතුරේ සංවර්ධන ව්‍යාපෘති හරහාය. නිදහස් වෙළඳ කලාප තුනක්, අක්කර 6000 ක පොල් වගාවක්, උතුරේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, ඉන්දියාව හා ලංකාව අතර ගුවනින් හා මුහුදින් ගමනා ගමන සේවා අරඹන බවට කිහිප වතාවක්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රකාශවිණි. එහෙත් උතුරේ දෙමළ ජනයාගේ අපේක්ෂාවන් හුදු ආර්ථික සංවර්ධනය මතම තීරණය නොවන්නකි. ඒ බව පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල මගින් පෙන්නුම් කොට තිබේ.
ජාතික ප්‍රශ්නයට යම් දේශපාලන විසදුමක් ලෙස හදුන්වා දුන් පළාත් සභා කෙරෙහි විරෝධයක් පැවතිය ද දැනට එය අහෝසි කිරීමේ හෝ අඩපණ කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට ඇතැයි කිව නොහැක. ඒ ගැන වැඩිමනත් යමක් දැන ගත හැක්කේ එළඹෙන පළාත් සභා මැතිවරණයේදීය. පෙර පැවති ආණ්ඩු කලාක් මෙන් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමෙන් වැලකි සිටින්නට එන්.පී. පී. ආණ්ඩුව ද ක්‍රියා කරනු ඇත.
මැතිවරණ ජයග්‍රහණ ඔස්සේ උතුරේ ජනයාගේ අභිලාෂයන් යටපත් කරමින් සිය බලය තහවුරු කරන්නට ජාතික ජනබලවේගය ගත් උත්සහාය මෙවර පළාත් පාලන ජන්දය හමුවේ පරාජයට පත්ව තිබේ. ඒ අනුව උතුරේ ජන මතයට බලපෑමක් කරන්නට නම් ආණ්ඩුවට ගත යුත්තේ භෞතික සංවර්ධන ඉලක්ක නොව දේශාපාලන ස්ථාවරයන් ය. හොරු ඇල්ලීම වැනි දේ උතුරේ ජනයාට සැළකිල්ලට ලක් නොවන්නකි.
මානව හිමිකම් කඩ කිරීම්වලට අදාළ චුදිතයන්ට දඩුවම් ලබා දීම, අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීම, දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම, මත්ස්‍ය සම්පත කොල්ල කන ඉන්දීය ධීවරයන් වැලක්වීම, ඉඩම් නිදහස් කිරීම වැනි දේ කඩිනමින් ඉටු කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. එසේ නොවන්නේ නම් ඔවුන් තවත් දුරස් වනු නිසැකය. එහෙත් මෙවැනි තීන්දු තීරණ ගන්නට ගන්නට ආණ්ඩුවට හැකියාවක් ඇත්ද යන්න සැක සහිතය.
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com
[මෙම ලිපිය 'අනිද්දා' සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]




