The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලනී : මිහිතලය මත දිස්වුණු රන් තරුව | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

May 26, 2025 • 9:23 AM

මාලනී : මිහිතලය මත දිස්වුණු රන් තරුව | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලනී ෆොන්සේකා නාමය අප ජන සමාජය තුළ සුවිශේෂත්වයට පත් වනුයේ වසරේ තිරගත වූ තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පුංචි බබා’(1968) චිත්‍රපටයේ සිට විවිධ මාදිලිවලට අයත් චිත්‍රපට එකසිය තිස් පහක පමණ ප්‍රධාන චරිත රඟපෑමෙනි.
  • එමෙන්ම බාහිර සමාජය යමකු දෙස බැලීමේදී සේම ඒ පුද්ගලයා සම්බන්ධයෙන් නිගමනවලට ඒමේදී ඒ පුද්ගලත්වය ප්‍රධාන සාධකයක්කර ගන්නා බව අපි කවුරුත් දනිමු.
  • රූප සම්පත්තිය, බාහිර පෙනුම අධ්‍යාපනත්ව හා සෙසු කුසලතා, ධනවත් බව ආදී සාධක පදනම්ව සමාජයීය වශයෙන් සුවිශේෂත්වයක් පළ කරන්නකු හට වුව එය ආරක්ෂා කර ගැනීම පිණිස තම පුද්ගලත්වය මනාව කළමණාකරණය කර ගැනීමට සිදු වේ.
  • නො එසේ නම් ඒ තැනැත්තාගේ චරිත්‍යාභ්‍යන්තරය කෙසේ වුවද හෙතෙම සමාජමය වශයෙන් පිළිගැනීමකට, අගැයුමකට ලක් නොවූ අයකු බවට පත් වනු ඒකාන්ත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලනී ෆොන්සේකා නාමය අප ජන සමාජය තුළ සුවිශේෂත්වයට පත් වනුයේ වසරේ තිරගත වූ තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පුංචි බබා’(1968) චිත්‍රපටයේ සිට විවිධ මාදිලිවලට අයත් චිත්‍රපට එකසිය තිස් පහක පමණ ප්‍රධාන චරිත රඟපෑමෙනි.

එහෙත්, එසේ චිත්‍රපට වැඩිම ගණනක් සඳහා රංගනයෙන් දායක වීමෙන් පමණක් නිළියකට රැජින යන අභිධානය හිමි කර ගත හැකිද? ඊට හේතුව එවැන්නක් සමාජගත වීමට නම් ඒ සඳහා වන යෝග්‍යතාවයන් ජන මනැසේ මනාව ස්ථාපිත විය යුතු බැවිනි.

 

mali2

පුංචි බබා චිත්‍රපටය

 

මෙලොව ජීවත් වන සෑම කෙනෙකු තුළම තමනට පමණක් ආවේණික වූ පුද්ගලත්වයක් (Personality ) තිබේ. එය ප්‍රවේණිගත, ජෛවමය, පෞරුෂ හා සමාජ සාධක මත තමන් විසින්ම ගොඩනඟා ගත යුත්තකි. එමෙන්ම බාහිර සමාජය යමකු දෙස බැලීමේදී සේම ඒ පුද්ගලයා සම්බන්ධයෙන් නිගමනවලට ඒමේදී ඒ පුද්ගලත්වය ප්‍රධාන සාධකයක්කර ගන්නා බව අපි කවුරුත් දනිමු.

රූප සම්පත්තිය, බාහිර පෙනුම අධ්‍යාපනත්ව හා සෙසු කුසලතා, ධනවත් බව ආදී සාධක පදනම්ව සමාජයීය වශයෙන් සුවිශේෂත්වයක් පළ කරන්නකු හට වුව එය ආරක්ෂා කර ගැනීම පිණිස තම පුද්ගලත්වය මනාව කළමණාකරණය කර ගැනීමට සිදු වේ. නො එසේ නම් ඒ තැනැත්තාගේ චරිත්‍යාභ්‍යන්තරය කෙසේ වුවද හෙතෙම සමාජමය වශයෙන් පිළිගැනීමකට, අගැයුමකට ලක් නොවූ අයකු බවට පත් වනු ඒකාන්ත ය.

462703314 3998166637073644 4730953083968538454 n

 

මා ඉහත සඳහන් කෙටි විස්තරය මෙහි සඳහන් කළේ සුරූපී බව, රංගන කුශලතාව ආදී සුදුසුකම් පසෙක තිබිය දී මාලනී ෆොන්සේකා නම් වන ගැහැණිය තම ජීවිත කාලය පුරාවටම තම පුද්ගලත්වය නම් වන සාධකය කෙතරම් සංයමශීලී ලෙස කළමණාකරණයට ලක් කළේ ද යන්න ඔබ හමුවේ ගෙන හැර පෑමට ය.

මූලික වශයෙන් මාලනී ෆොන්සේකාගේ රූ සපුව තුළින් ඕනෑම අයකුට එක්වරම දිස්වන විශේෂත්වයක් තිබිණ. එනම් ශ්‍රී ලාංකේය මුඛ්‍ය සංස්කෘතික ධාරව වන ගැමි සුන්දරත්වය නියෝජනය කිරීම ය. එවක ඇගේ මුහුණේ පෙනුම මඳ සිනාව ආදී සෑම අගයකින්ම ඇය ශ්‍රී ලාංකේය යුවතියක පිළිබඳ කදිම නිදර්ශනයක් බඳු විය. ධර්මසේන පතිරාජ සූරීන් අධ්‍යක්ෂණය කළ “එයා දැන් ලොකු ළමයෙක්”( 1975 ) වැනි සිනමා කෘතීන් මාලනී ගේ පුද්ගලත්වය හා ඒකාත්මීය වූ බවක් පෙනිණ.

mali1

එයා දැන් ලොකු ළමයෙක් විජය කුමාරතුංග සමඟ

 

එමෙන්ම මීට දශක කිහිපයකට ඉහත උඩරට මනාලියක සේ සැරසී මඳ සිනාවෙන් සැරසී මුව මඬල ඔප් නංවා ගෙන හිඳින ඇගේ ඡායාරූපයක් සහිත Sri Lanka යනුවෙන් සඳහන් සංචාරක ආකර්ශණය පිණිස වූ පෝස්ටරයකින් විශේෂ මහජන සබඳතා සම්බන්ධතාව සහිත රාජ්‍ය ආයතන හැඩ වී තිබූ බව අපට මතක ය. ඒ අප රටේ එෛතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, උඩරට නැට්ටුවකු, තේ දළු නෙළන කාන්තාවන්, වන අලි ඇතුන් සුන්දර වෙරළ තීර ආදී වශයෙන් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනයට යොමු කෙරෙන ශ්‍රී ලාංකේය අනන්‍යතාව පළ කරන පෝස්ටර් පෙළක එකක් වශයෙනි.

මාලනී ෆොන්සේකා ගේ රූ සපුව සම්බන්ධ බාහිර සාධක එසේ වුවද ඒවායින් නිරූපණය කෙරෙන අන්දමින්ම හුදෙක් දේශීයත්වය හුවා දැක්වෙන ලෙසින්ම ඇය තම පුද්ගලිකත්වය සංයමශීලීව හසුරුවා ගෙන තිබීම ඇගේ මෙම රැජින යන සමාජමය අභිධානය උදෙසා ප්‍රසාද ලකුණු සැලකිය යුතු ප්‍රමාණයක් ලබා දීමට නියත වශයෙන්ම සමත් ව තිබේ.

 

462657231 3997716523785322 1016311104652361935 n

මාලනී ෆොන්සේකා සිනමාව තුළ එකි’නෙකට වෙනස් චරිත සිය ගණනක් රඟපා ඇතත් තම සැබෑ ජීවිතය මුලුමනින් රඟපෑමෙන් ඉවත් කර ගැනීමේ විස්මිත හැකියාවක් කුසලතාවක් ඇය සතු විය. මා මෙය විශේෂයෙන් සඳහන් කරනුයේ මෙය ඉහත ආටෝපකාරී සමාජය තුළ දක්නට නොලැබෙන අතිශය දුර්ලභ යන ගුණයක් බැවිනි. ඇගේ කතා විලාසය, ඉරියව් වැනි දේහ භාෂාත්මක අංග, සේම ජීවන චර්යාවන් ආදී සැම දේකින්ම අපේ කම යනුවෙන් හැඳින්වෙන දේශීයත්වය උද්වහනය විය.

සිනමා කැමරාව ඉදිරියේ අප රටේ බටහිර නාගරික ඉහළ පැලැන්තියේ දඟකාර යුවතියක ගේ චරිතය විස්මිත අයුරින් නිරූපණය කළ ඇයට අධ්‍යක්ෂවරයා ගේ ‘කට්’ යන විධානයත් සමඟ එක් නිමේෂයකින් දේශීය ගැමි යුවතිය යන සිය සුපුරුදු පුද්ගලත්වය ආරෝපණය කර ගැනීමට මාලනී ෆොන්සේකා තුළ වූ හැකියාව අති විශිෂ්ටය.

499601387 1225850295578401 8886000345614018070 n
මාලනී ෆොන්සේකා ප්‍රකට වූ නිළි භූමිකාවට අමතර ඇය චිත්‍රපට නිෂපාදනය, අධ්‍යක්ෂණය, ගායනය යන කලා අංශ වලටත් ඉන් පරිබාහිරව අසරණ සරණ හා රෝගී සත්කාර සේම සත්ව හිමිකම් හා සුබ සාධන කටයුතු වලටත් තම සක්‍රිය දායකත්වය ලබා දුන්නා ය. එනිසාම විවිධ කලා හා කටයුතු වල දී එක්ව ක්‍රියා කිරීම් මත ඇය හා සුහද සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට අපට ද හැකි විය.

එක්තරා අවස්ථාවක ඇය මා ද සහභාගි වී සිටි අප හිතවතකුගේ නිවසේ පැවැති පුන්‍යොත්සවයකට සහභාගීවූවා ය. එමෙන්ම ඇගේ රුව දුටු පමණින් එහි රැස්ව සිටි බොහෝ දෙනකුට එම පින්කම අමතක වූ බවක් පෙනිණ. එහෙත්, එම පිරිස අතරට පැමිණි මාලනී ෆොන්සේකා ඔවුන් අතර හැසිරෙමින් සුහදව කතා බස් කරමින් ඒ පින්කමට එක් වූ සරල සැහැල්ලු චාම් ස්වරූපය අනුව එහි සිටි දැන උගත් යැයි පැවසිය හැකි කතුන් පිරිසක් “මේ මාලනී ෆොන්සේකා කියලා හිතන්නවත් බෑනේ”. යනුවෙන් ඔවුනො`වුන් මුමුණා ගනු මට ඇසිණ. පසුව ඊට ඇගේ ප්‍රතිචාරය කෙබඳු දැයි දැන ගැනීමට මා නිකමට මෙන් ඒ බව කී විට ඇය සිදු කළේ අහිංසක ලෙස සිනාසීම පමණි.

විෂම ලිංගික ආදරයේ ඇදුරුතුමිය | Athulasiri Samarakoon

 

මාලනී ෆොන්සේකා යනු හෙළ සිනමාවේ පෑයූ දීප්තිමත්ම තරුව බවට කිසිදු වාදයක් නැත. එහෙත් එහි විස්මයට කරුණ වනුයේ එලෙස තාරුකා සන්නාමයක් හිමි කර ගත් ඇය තම ජීවිතය පුරාම මිහි තලයේ පය ගසා ජීවත් වීමය ය. ඉංග්‍රීසි බසින් Down to earth යනුවෙන් හැඳින්වෙනුයේ ද මෙය මය.

නව ලිබරල්වාදය පදනම් කරගත් අධි පරිභෝජනවාදී සමාජයක් තුළ ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන නිසරු පුරුෂාර්ථ අතරේ ආටෝපය ( Vanity) ද ඉහළම තැනක් හිමි වේ. ඇතැම්හු මෙම තරඟකාරී සමාජයෙන් වැඩි වරප්‍රසාද සම්භාරයක් ගොනු කර ගැනීම පිණිස ද මෙවන් ආටෝපකාරී හැසිරීම්වල යොමු වෙති.

විෂම ලිංගික ආදරයේ ඇදුරුතුමිය | Athulasiri Samarakoonඑහෙත්, ශ්‍රී ලාංකේය සිනමාව ඇතුළු තවත් අංශ වලින් අනේක විධ ජයග්‍රහණයක් භුක්ති විඳින අතරේත් තම ජීවිතය පුහු ආටෝපය නම් බොර දිය මුසු කර නොගත් සුනිල විලක් සේ පවත්වා ගෙන ගිය මාලනී ෆොන්සේකා ඒ ඔස්සේ ද තම දිවි පෙවෙත දිග් විජය කළ බවක් මට හැගේ. මාලනියට අවසන් බුහුමන් දැක්වීම පිණිස ඒකරාශී වන ජනී ජනයා ඒ සඳහා කදිම නිදසුනකි.

එපමණක් නොව ඇගේ රූපකාය අද අග්නි ජාලා මඟින් වැනසී ගිය ද සිංහල සිනමාවේ නිළි රැජින යන සමාජමය අභිධානය සමඟ ශ්‍රී ලාංකේය ජන විඥානය තුළ තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමේ භාග්‍යය වාසනාව ඇය මේ වන විටත් හිමි කර ගෙන අවසන් බව ප්‍රසාද සංවේගයෙන් යුතුවම සටහන් කරමි.

අලියාට ඇහැ තියන ක්‍රමයට අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? | ප්‍රණීත්  අභයසුන්දර(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...