The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක් | තිලක් සේනාසිංහ

T

The Leader Desk

May 28, 2025 • 9:05 AM

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක්  | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතීතයේ වහල් සේවය සඳහා මිනිසුන් ද වෙන්දේසි වූ බවට සාක්ෂි තිබේ.
  • එහෙත්, කිසියම් වෙන්දේසියකින් වැඩිපුර මුදලක් ගෙවා ජන කරලියක ගීතයක් ගැයීමට අවස්ථාවක් ලබාගැනීමක් අප රටේ පවතින වන බවක් තවමත් බොහෝ දෙනකු නොදන්නවා විය හැක.
  • අප රටේ වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් උතුරු මැද පළාතේ ද යම් ව්‍යාප්තියක් පළ කරන ‘ජහුටා’ යනුවෙන් ප්‍රචලිත දෙබස් කථන මුද්‍රා ගීත නාටක සම්ප්‍රදාය ද 1960 දශකයේ මුල භාගයේ ඇරඹුණු එවන් නූතන ජන සංස්කෘතිකාංගයකි.
  • එම පළාත් වල ප්‍රචලිත නූතන ගැමි සංස්කෘතිකාංගයක් වශයෙන් හැඳින්විය හැකි මේවා අදටත් පන්සල්,ප්‍රජා ශාලා, වැව්පිටි, ක්‍රීඩාංගණ ආශ්‍රිතව රැයක් පුරා සැලකිය යුතු ජන සහභාගීත්වයකින් සිදු කෙරෙන බව නොරහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


අතීතයේ වහල් සේවය සඳහා මිනිසුන් ද වෙන්දේසි වූ බවට සාක්ෂි තිබේ. අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ද අනේක විධ වූ වෙන්දේසි වර්ග දක්නට ලැබේ. එහෙත්, කිසියම් වෙන්දේසියකින් වැඩිපුර මුදලක් ගෙවා ජන කරලියක ගීතයක් ගැයීමට අවස්ථාවක් ලබාගැනීමක් අප රටේ පවතින වන බවක් තවමත් බොහෝ දෙනකු නොදන්නවා විය හැක.

නමුත් සින්දු වෙන්දේසි නමින් ප්‍රචලිත නූතන ජන සංස්කෘතිකාංගයක් මේ වන විට අප රටේ වයඹ පළාත කේන්ද්‍රගතව මුවහත් වෙමින් තිබේ.

අප රටේ වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් උතුරු මැද පළාතේ ද යම් ව්‍යාප්තියක් පළ කරන ‘ජහුටා’ යනුවෙන් ප්‍රචලිත දෙබස් කථන මුද්‍රා ගීත නාටක සම්ප්‍රදාය ද 1960 දශකයේ මුල භාගයේ ඇරඹුණු එවන් නූතන ජන සංස්කෘතිකාංගයකි. ඒ හා සබැඳුණු මල් වට්ටි, පළතුරු බඳුන් ආදී වෙන්දේසි අතරට එක් වූ “සින්දු වෙන්දේසි” නම් වන මෙම නවාංගය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වන විට වසර පහලොවක් පමණ වේ.

එම පළාත් වල ප්‍රචලිත නූතන ගැමි සංස්කෘතිකාංගයක් වශයෙන් හැඳින්විය හැකි මේවා අදටත් පන්සල්,ප්‍රජා ශාලා, වැව්පිටි, ක්‍රීඩාංගණ ආශ්‍රිතව රැයක් පුරා සැලකිය යුතු ජන සහභාගීත්වයකින් සිදු කෙරෙන බව නොරහසකි.

පළතුරු බඳුන් වෙන්දේසි
මෙම දෙබස් කථන මුද්‍රා නාට්‍යවලට සංගීතය සැපයීම පිණිස මුල සිටම සිව් දෙනකුගෙන් පමණ වන සංගීත කණ්ඩායමක් සහභාගී වූහ. එහි දී භාවිතා වූ සංගීත භාණ්ඩ වූයේ සර්පිනාව, බටනලාව, ඩොල්කිය සහ ගැටබෙරයයි නමුත් ගත වූ දශක කිහිපය තුළ ඇති වූ තාක්ෂණික දියුණුවත් සමඟ එම සංගීත භාණ්ඩ විදුලි ඕගනය, ලීඩ් සහ බේස් ගිටාර් සහ ඔක්ටොපෑඩ් වශයෙන් නවීකරණය වී තිබේ. ඒ සමඟම ඊට නවීන ශබ්ද තාක්ෂණික සහ විදුලි ආලෝක පද්ධතියක් ද ඇතුලත්ය .

අතීතයේ නොතිබුණු මෙම සින්දු වෙන්දේසියට මුල පිරෙනුයේ ඒ නවීනත්වයත් සමඟ ය.

දමින්ද ප්‍රභාත් අභයකෝන්“මේවා මේ පළාත්වල ආධුනික ගී ප්‍රසංග හැටියටත් සංවිධානය වෙනවා. හැබැයි මේවා නිකම් විනෝදය සඳහාම කෙරෙන දේවලුත් නෙවෙයි. ප්‍රදේශයේ ආගමික හෝ පොදු සමාජමය කටයුත්තකට ආධාර හැටියට තමයි මේවා සංවිධානය කරන්නේ. ඒ හින්දම මේවායේ තියන සින්දු වෙන්දේසියකින් වැඩි මුදලක් දීලා සින්දුවක් අරගෙන කියන එක තමන් ගේ ගායන හැකියාව ගම් මට්ටමින් ප්‍රසිද්ධ කර ගන්න අසන්නන් ප්‍රබෝධමත් කරන්න වගේම ප්‍රදේශයේ ආගමික හරි පොදු සමාජමය වැඩකට ආධාර දීමක් හැටියට තමයි සැලකෙන්නේ” මෙම සින්දු වෙන්දේසි සම්බන්ධයෙන් අප හා අදහස් පළ කරමින් එසේ පවසා සිටියේ මීගලෑව ගනන්ගමුවේ පදිංචි රජයේ සෞඛ්‍ය හා ශාරීරික අභ්‍යාස ගුරු උපදේශක දමින්ද ප්‍රභාත් අභයකෝන් ය.

 

493994918 1269409798525886 9215616175745295875 n

නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේදී “මෙලෝ රහක් නැති” යනුවෙන් හැඳින්වෙන ආධුනික ප්‍රසංගයකින් රසිකයන්ට පූර්ණ සංගීත රසාස්වාදයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම ඒ සඳහා ප්‍රදේශවාසින් රැස් කර ගැනීම ඒවායේ සංවිධායකයන්ට බරපතල අභියෝගයක් වනු නිසැක ය.

නමුත් සින්දු වෙන්දේසි සහිත ආධුනික ගී ප්‍රසංග වල ආරම්භයේ සිට මේ දක්වා ඒවායේ නිවේදන කටයුතුවල නියුතු ප්‍රවීණතමයකු වන පොල්පිතිගම, නව රංගන කලායතනයේ නිවේදන ශිල්පී සරා මඩහපොල පවසනුයේ නිවේදන කලාවට අමතරව එසේ ප්‍රසංගය කෙරෙහි රසිකයන් අද්දවා ගැනීමේ හා ප්‍රසංග භූමිය තුළ ඔවුන් රඳවා ගැනීමේ ද වෙනම කලාවක් ඇති බවයි.

 

501060112 1268339241966275 4607579384936446054 n

sindu2සරා මඩහපොල“හුඟක් වෙලාවට ඔය ආධුනික ගීත ප්‍රසංග වලට තවත් විවිධාංග එකතු කරනවා. මල් වට්ටි, පළතුරු බඳුන් වෙන්දේසි, භාණ්ඩ සල්පිල්, ත්‍රාස ක්‍රීඩා වගේ දේවල් ඒ සේරම ඉවර වෙලා පාන්දර තුනට විතර දෙබස් කථන මුද්‍රා නාට්‍යයකුත් පටන් ගන්නවා. ඒ වගේම ප්‍රසංග භූමියේ වෙළෙඳ සල්පිල් වගේම ආපන ශාලාවකුත් තියෙනවා. ඒ හින්දා ජනතා සහභාගීත්වයේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් එහෙම සෙනඟ පිරුණට විතරක් මදි. සංවිධායකයන්ට මුදල් උපයලා දෙන්නත් ඕනේ ඒකට නිවේදකයා ගේ හැකියාවත් ප්‍රධාන වශයෙන් බලපානවා” ඔහු පවසයි.


මෙබඳු සින්දු වෙන්දේසි ද සහිත ආධුනික ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීම පිණිස කොපමණ මුදලක් වැය කළ යුතුද යනුවෙන් අප කළ සොයා බැලීමකදී දැන ගත හැකි වූයේ ඒ සඳහා වන වාදක කණ්ඩායම, නිවේදක සංගීත භාණ්ඩ ශබ්ද විකාශන සහ ආලෝක උපකරණ සහ වේදිකාව සඳහා ප්‍රවාහන ගාස්තු වලට අමතරව සාමාන්‍යයෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක පමණ මුදලක් වැය වන බවකි. නමුත් මෙම මුදලේ “එහා මෙහා වීම්” ද තිබේ.

නමුත් එවන් මුදලක් වැය කොට මෙවන් ප්‍රසංගයක් පැවැත්වීම එක්තරා අන්දමක පරදු තැබීමක් විය නොහැකිද? යන පැනය හමුවේ ඒ හා සම්බන්ධ බොහෝ දෙනකුන් දුන් පිළිතුර වූයේ ඉන් ලැබෙන ලාභය අඩු වැඩි වීම කෙසේ වුවත් එවැනි කටයුත්තකින් මූල්‍යමය පාඩුවක් නම් සිදුනොවන බවකි.

 

aswasuma 250528

මෙවැනි ප්‍රසංග සඳහා ඒ ගම් ප්‍රදේශයේ හිඳින ප්‍රභූවරයකු, දානපතියකු හෝ මුල් පෙළේ ව්‍යාපාරිකයකු ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඉදිරිපත් වන අතර ඔහු සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කිරීම සාමාන්‍යයෙන් සිදු වේ. ඊට අමතරව ඒ සඳහා තවත් මූල්‍ය අනුග්‍රහයන් ද ලබා ගත හැක. එමෙන්ම එම ප්‍රසංග සඳහා එක් වන විශේෂ ආරාධිතයෝ ද සැලකිය යුතු මට්ටමේ පරිත්‍යාග කරති.

එමෙන්ම එම ප්‍රසංගය අතරේ පැවැත්වෙන විහාරස්ථානයක නම් මල් වට්ටි හෝ වෙනයම් ස්ථානයක නම් පළතුරු බඳුන් වෙන්දේසියෙන් ද තවත් මුදලක් උපයා ගැනීමට සංවිධායකයනට පුළුවන.එමෙන්ම මෙම ප්‍රසංග අතරේ ප්‍රදේශයේ ව්‍යාපාරික දැන්වීම ද ප්‍රචාරය කෙරේ. ඒවා මඟින් ප්‍රසංගය සඳහා වූ මූලික පිරිවැය පහසුවෙන් පියවා ගත හැකි වීම අරුමයක් නොවේ.

මෙවන් ප්‍රසංග ආරම්භයේ දීම ඒවාට එක් වන ගායක ගායිකාවන් ලේඛන ගත කිරීම සිදු වේ. ඒ සඳහා එක් ගායකයකු ගෙන් හෝ ගායිකාවක ගෙන් අය කෙරෙන මුදල රුපියල් දහසකි. නමුත් එම මුදල ගෙවා ගීතයක් ගායනා කිරීමට හැකි වන්නේ ආධුනික ගායක ගායිකාවන් පහක් දහයක් අතර ප්‍රමාණයකට පමණි. ඊට පසුව රාත්‍රී නවයට පමණ එම වාදක කණ්ඩායම නවීන ශබ්ද විකාශන සහ ආලෝක ධාරා මධ්‍යයේ ගීත පහක් හෝ හයක් ගායනා කොට ප්‍රසංගය උණුසුම් කළ පසු තව තවත් ආධුනික ගායක ගායිකාවෝ සංවිධායකයන් වෙතට විත් එලෙස රුපියල් දහසක් ගෙවා ගීතයක් ගැයීමේ අවස්ථාව අයැද සිටිති.

hq720 3

එහෙත්, එවිට ඔවුන් පාලනය කිරීමේ වගකීම නිවේදකයා හට පැවරෙන අතර ඔහු පවසන්නේ මෙය උතුම් ආගමික හෝ වැදගත් සමාජමය අරමුණක් උදෙසා පැවැත්වෙන්නක් බැවින් ඒ සඳහා තමන්ට හැකි උපරිම දායකත්වය ලබා දී ගීතයක් ගායනා කිරීම සැමගේ යුතුකමක් බවකි. එවිට ඒ රුපියල් දහසේ ගායක ගායිකා පෝලීම පසෙක තිබිය දී මෙම ලිපියට තේමා වූ “සින්දු වෙන්දේසිය” ඇරඹෙයි. ඒ ගීතයක් ගැයීම සඳහා වන සාමාන්‍ය ගාස්තුව වන රුපියල් දහසකට වැඩි මුදලක් ලන්සු තබමින් ඇරඹෙන මෙම සින්දු වෙන්දේසියේ දී ඇතැම් විට එක් ගීතයක් රුපියල් දෙ තුන් දහසේ සිට විසි දහස තෙක් මුදලකට වෙන්දේසි වන බව පැවසෙයි.

එහෙත් සින්දු වෙන්දේසියෙන් එසේ වැඩි මුදලක් දී ගීතයක් ගැයීමට අවස්ථාව හිමි කර ගන්නා ආධුනිකයා තුළ එවැන්නක් සඳහා ප්‍රමාණවත් හැකියාවක් නොතිබුණ හොත් සාමාන්‍යයෙන් සිදුවන අන්දමට රසිකයන් අතුරින් “හූ” හඬක් මතු විය නොහැකිද?

 

singing basics

“ඒක ඉතින් වාදක මණ්ඩලය අතේ තියන වැඩක්. ගායකයා ගේ හැකියා මොන මට්ටමේ තිබුණත් ඒ අඩුව වාදනයෙන් සම්පූර්ණ වෙනවා නම් එහෙම අවුලක් නෑ. හැබැයි ඒ ගායකයා මයික් එක අතට අරන් කට ඇරිය හැටියට එයාගේ ගායන හැකියාව තේරුම් ගන්න වාදක මණ්ඩලයට පුළුවන් වෙන්න ඕනේ” එවන් ආධුනික ගී ප්‍රසංග බොහොමයකට සංගීත සපයා ඇති සංගීතඥයකු වන වාරියපොල ආර්.එම්.ඩී සරත් කියයි.

නමුත් අපට දැන ගත හැකි වූ අන්දමට සමහරකු මෙම ආධුනික ගී ප්‍රසංග සඳහා ඉදිරිපත් වනුයේ වෙනත් අභිලාෂයන් පෙරදැරි කර ගනිමිනි.

“උදාහරණයක් හැටියට සමහර ගම්වල එක එක හේතුන් මුල් කරගෙන නොහොඳ නෝක්කාඩුකම් පාන අය වගේම ජන කොටස් ඉන්නවා. සමහර විට ගම් දෙකක් අතරේත් මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලත් ඒ සම්බන්ධ තමන් ගේ මතය, හඬ ගීතයක් හැටියට ප්‍රසිද්ධියේ එළිදක්වන්න කැමති අයත් ඒ සඳහා මේ ආධුනික ගී ප්‍රසංග යොදා ගන්න අවස්ථා තියෙනවා.

 

495016734 1269409738525892 328371408651628370 n

sindu1ජේ රත්නායකඒත්, ඒ වගේ සන්නිවේදනයක් වඩාත්ම ප්‍රබල විදිහට කරන්න පුළුවන් ආධුනික ගීත ප්‍රසංගයේ උච්චතම අවස්ථාවේ දී හින්දා සින්දු වෙන්දේසියක දී ලොකු ගාණක් දීලා සින්දුවක් ගන්න අයත් ඉඳහිට හරි ඉන්න පුළුවන්. සමහර විට ඒකට සින්දුවකින්ම උත්තර දෙන්න කැමති කෙනෙක් ඊටත් ලොකු ගාණක් දීලා සින්දුවක් ගන්නත් පුළුවන්. හැබැයි මේවායිනුත් සංවිධායකයන්ට වාසි අත් වෙනවා” මෙම මාදිලියේ ආධුනික ගී ප්‍රසංග සම්බන්ධ එම අභ්‍යන්තර තොරතුරු අප වෙත ගෙන එන ලද්දේ ගල්ගමුව, සියඹලංගමුවේ පදිංචි රජයේ චිත්‍ර කලා ගුරු උපදේශක ජේ. රත්නායක ය.


sindu4එච්. කේ. විමලරත්නඑමෙන්ම ඒ සම්බන්ධ තවත් තොරතුරක් අප හමුවේ අනාවරණය කිරීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන්ට හැකි විය.

“හැබැයි මේක මමත් මේ පහුගිය කාලේ අහපු කතාවක්. වාරියපොල පැත්තේ එක කොල්ලෙක් අල්ලපු ගමේ කෙල්ලෙකුට සෑහෙන කාලයක් ආදරේ කරලා තියනවා. නමුත් කුල ප්‍රශ්නයක් හින්දා කෙල්ලගේ දෙමව්පියෝ කෙල්ලව බලෙන්ම වගේ වෙන කාටද බන්දලා දීලා. දැන් කොල්ලට මේක උහුලා ගන්න බෑ. අන්තිමට ඒ කොල්ලා හිතුවා කෙල්ල කසාද බැඳපු ගමේ තියන ආධුනික ගී ප්‍රසංගයකට ගිහින් කෙල්ලට ඇහෙන්න සින්දුවක් වත් කියන්න. ඒකට කොල්ලා තෝරා ගත්තේ මිල්ටන් මල්ලවාඅරච්චි මහත්තයා කියපු “පායා ආ සඳ අඳුරු වලාවෙන් “කියන ජනප්‍රිය සින්දුව. කොහොම හරි ඒ කොල්ලා කලින් මේ සින්දුව හොඳට පුරුදු වෙලා අර වගේ ආධුනික ගී ප්‍රසංගයකට ගිහින් සින්දු වෙන්දේසියකින් ලොකු ගාණක් දීලා අවස්ථාවක් අරගෙන ඒ සින්දුව කියනවා කෙල්ලත් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙ ගෙදරට වෙලා අහගෙන ඉන්නවලු. ඉතින් ඒ සින්දුවේ තියනවනේ “මගෙ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යළි එන්නම් “කියලා කොටසක්. කොල්ලා බොහොම හැඟීම් බරව සින්දුවේ ඒ කෑල්ල කියන කොට අර කෙල්ල එක පාරටම විළාප ගහ ගන අඬන්න පටන් ගත්තලු. කොහොම හරි ඒ වැඩෙන් මහ ගිනි විජ්ජුම්බරයකුත් වුණා කියලා තමයි ආරංචිය”

ඉහත සඳහන් සියලු තත්වයන් යටතේ සින්දු වෙන්දේසි සහිත මෙම ආධුනික ගීත ප්‍රසංග වයඹ සහ උතුරුමැද හැරුණු කොට සෙසු පලාත්වල ව්‍යාප්ත වීමක් දක්නට නැත. ඒ සඳහා ඉහත සඳහන් ග්‍රාමීය ප්‍රදේශවල මෙන් සාමූහික කටයුතු සඳහා නාගරික ප්‍රජාව තුළ ඒකරාශීත්වයක් නොමැති වීම සේම නාගරික ජන සමාජය සතු බහු විධ විනෝද මාධ්‍යයන් නාගරිකව මෙම ප්‍රසංග ව්‍යාප්ත නොවීම සඳහා හේතු විය හැක.

geeya2

අප සමාජයේ ජන සංස්කෘතිකාංග සම්බන්ධයෙන් සිදුකෙරෙන සියළු විමසුම්වලදී එවායේ පැරණි හා සාම්ප්‍රදායික බව විශේෂයෙන් සළකා බැලෙන මුත් ලොව බොහෝ රටවල මේ ආකාරයේ නූතන ජන සංස්කෘතිකාංග සම්බන්ධ විමසුම් කෙරෙන බවත් ඒ අනුව මෙම ආධුනික ගී ප්‍රසංග හා සම්බන්ධ සින්දු වෙන්දේසි නම් වන ප්‍රජා ක්‍රියාකාරකම් වල සාධනීය බව සම්බන්ධයෙන් සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන්හි නියුතු විද්වතුන් ගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් අප ඒ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රවීණ ගේය පද රචකයකු ද වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්යවරයකු වන ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර කීය.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක් | තිලක් සේනාසිංහ | The Leader