රිළවුන්, වඳුරන්, මොණරුන්,ඉත්තෑවන්, වල් ඌරන් සහ දඬුලේනුන් වැනි සත්ත්ව විශේෂ මානව ජනාවාස කරා ඇතුළු වීම කෙමෙන් වර්ධනය වෙමින් පවතී.
එමගින් වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුවන අතර ගොවීන්ට ආර්ථික වශයෙන් පාඩුවක් ද සිදුවේ. මෙය දැවෙන ප්‍රශ්නයක් වන නමුත් මේ වන විට එය එක්තරා ආකාරයකින් දේශපාලන විහිළුවක් බවට ද පත්ව තිබේ. එයට ආසන්නතම කාරණය වූයේ පසුගිය මාර්තු 15 වැනිදා උදේ 8.00 සිට 8.05 දක්වා වූ මිනිත්තු 5 ක කාලයක් තුළ ගෙවත්තට පැමිණෙන රිළවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව සංගණනය කිරීමේ වැඩසටහනක් ආණ්ඩුව විසින් දියත් කරනු ලැබීම ය.
මේ සඳහා රජයේ නිලධාරීන් 40,000 ක් ද පුරවැසියන් මිලියන 7 ක්ද සම්බන්ධ වූ බව පැවසේ. මාර්තු මාසය අවසන් වන විට එහි ප්‍රතිඵල නිකුත් කරන බවට මුල දී පවසා සිටිය ද එහි අඩුපාඩු පවතින නිසා නැවත වඩාත් ක්‍රමවත්ම එවැනි සමීක්ෂණයක් සිදු කළ යුතු යැයි පවසමින් බලධාරීන් එය අකාමකා දමන බව පෙනෙන්නට තිබේ.
නමුත් මේ සමීක්ෂණය තුළින් ලැබී ඇත්තේ විපරීත ප්‍රතිඵලයක් වන අතර එය රටේ වගකිව යුතු පාර්ශ්ව විසින් අවබෝධ කොටගෙන ඒ සම්බන්ධ ඇත්ත වසන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය මේ වන විට විහිළුවක් බවට පත්ව තිබේ.
සත්ත්ව සංගණනයන් ලෝකයේ සෑමවිටම සිදුවන්නේ විද්‍යාත්මක පදනමකිනි. එසේ නොවූ කල දත්තවල විශ්වාසනීයත්වය, විනිවිද භාවය සහ සංරක්ෂණය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී බරපතල ගැටලු මතු විය හැකිය. එපමණක් නොව වන ජීවීන් සම්බන්ධව පිළිගත් ආචාර ධර්ම කඩකිරීමක් ද සිදු වෙයි.
එමෙන්ම මෙවන් සමීක්ෂණ සඳහා පිළිගත් ක්‍රමවේදයන් භාවිත නොකරන හෙයින් ජෛව විවිධත්වය වැරදි ලෙස අර්ථ නිරූපණය වීමේ හැකියාව ද තිබේ. එමෙන්ම එවැනි සමීක්ෂණ පිළිබඳ මහජන විශ්වාසය පලුදුවීම ද සිදු වෙයි.

පසුගිය රිළා – වඳුරු සමීක්ෂණයේ ආරම්භයේ සිටම බහුතරයක් දෙනා ඒ දෙස අවඥා සහගත ආකාරයෙන් කතාබහ කරන්නට වූයේ මේ හේතුව නිසාය. පෙර සිටි පාලකයන් කළ කී දෙයට සාපේක්ෂව මේවා නොසළකා හැරිය යුතු දේවල් යැයි කියා ගැලවෙන්නට හැකියාවක් ද නැත.
එමෙන්ම එවැනි සමීක්ෂණයක් මෙහෙයවන පාර්ශ්වය කෙරෙහි ගෝලීය වශයෙන් වූ විශ්වසනීය බව ද පලුදු වෙයි. මන්ද මෙවැනි සමීක්ෂණ ගෝලීය වශයෙන් පිළිගත් ‘සොබා දහම සුරැකීමේ ජාත්‍යන්තර සංගමය’ (International Union for Conservation of Nature – IUCN) හෝ ‘තර්ජනයට ලක් වූ වන ජීවී සහ ශාඛ විශේෂ වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය’ (8Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora – CITES ) වැනි ආයතනවලට ලබාදිය යුතු අතර ඒවා ජාත්‍යන්තර වශයෙන් වෙනත් පාර්ශ්වයින්ට පවා ප්‍රයෝජනයට ගත හැකි වන්නේ එවිට ය.
නමුත් අනුගමනය කළ ක්‍රමවේදයන් විද්‍යාත්මක නොවේ නම් මෙවැනි ආයතන එවැනි සමීක්ෂණ නිවැරදි යැයි පිළිගන්නේ නැත.එවිට සිදුවනුයේ මෙම ක්‍රියාකාරකම් විහිළු සහගත වීම පමණි.

ශ්‍රී ලංකාවේ මිනිස් – වන සත්ත්ව අර්බුදයට හේතු කිහිපයක්ම බලපා තිබෙන බව පෙනේ. වේගවත් නාගරීකරණය, වනහරණය සහ කෘෂිකාර්මික ඉඩම් පුළුල් වීම මේ අතරින් ප්‍රධාන වන අතර මේ හේතුන් නිසා සතුන්ගේ වාස භූමි අහිමි වීම සහ ආහාර සහ වාසස්ථාන සොයා මිනිසුන් ජීවත්වන ප්‍රදේශවලට වන සතුන්ගේ පැමිණීම කෙමෙන් වේගවත් ව තිබේ. නිදසුනක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කය ගත හොත් අධ්‍යයන මගින් පෙන්නුම් කරන්නේ එහි වනගහනය අඩුවෙමින් පවතින බවත් ඒ හේතුව නිසාම කෘෂිකාර්මික ඉඩම් තුළ වන සතුන්ගේ පැමිණීම් කෙමෙන් වර්ධනය වෙමින් පවතින බවත්ය.
ප්‍රේරක කලාපයක් (Buffer Zones) පිහිටුවා ඇති ආකාරය
ගෝලීය වශයෙන් ගත් කල මානව - වන ජීවී අර්බුද අවම කිරීම සඳහා විවිධ උපක්‍රමයන් භාවිත වේ. මේ අතරින් ප්‍රේරක කලාපයක් (Buffer Zones) ඇති කිරීම විශේෂ උපක්‍රමයකි. ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙන්නේ ද එයම ය. එවැනි කලාපයක් පවතින්නේ නම් වගාවන්ට හානි කරන වන සතුන් ඒ කලාපය තුළම රඳවා තබන්නට කළ හැකි දේ බොහෝ බව ගෝලීය සාධකවලින් තහවුරු වේ. විශේෂයෙන් “නාගරික වන ජීවීන්” සම්බන්ධව ඕස්ට්‍රේලියාවෙන් කදිම නිදසුනක් ගත හැකිය.ශ්‍රී ලංකාවේ නාගරික වන ජීවයක් නොතිබුණ ද මේ සංකල්පය මානව - වන ජීවී අර්බුදය අවම කිරීම සඳහා යොදා ගත හැකි ය.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් වැනි නගර ආශ්‍රිතව රතු නරි බහුලව දැකිය හැකි ය. මොවුහු කලක් වනාන්තරවල ජීවත් වූ සතුන් වුව ද අවශ්‍ය තරම් ආහාර සොයා ගත හැකි බැවින් මේ වන විට නාගරික කලාප වලට සංක්‍රමණය වී සිටිති. මෙවැනි වන සතුන්ට නිදහසේ ගමන් කිරීම සඳහා ඒ වෙනුවෙන් විශේෂිත නාගරික සැලසුම් පවා සකස් කොට තිබේ. විශේෂයෙන් කෝලා සහ වොලබීස් වැනි සතුන් නාගරික ප්‍රදේශ හරහා සුරක්ෂිතව ගමන් කරනු දැකිය හැකිය.
ඕස්ට්‍රේලියාවේ නගරාශ්‍රිතව දිවි ගෙවන නරියෙක්
ශ්‍රී ලංකාව තුළ පවතින මානව – වන ජීවී අර්බුදය විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ, ආචාර විද්‍යානුකූල සලකා බැලීම් සහ ප්‍රජාව සම්බන්ධ වූ විස්තීර්ණ ප්‍රවේශයක් අවශ්‍ය වේ.
ජගත් ගුණවර්ධනජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු සහ නීතිවේදියකු ද වන ජගත් ගුණවර්ධන පවසන්නේ වන ජීවී ගැටලුව හුදෙක් දේශපාලනික කාරණයක් බවට පත් නොකර ගත යුතු බවකි. ඔහු පවසන්නේ අවිධිමත් සමීක්ෂණ තුළින් මහජනතාව නොමග යැවීමෙන් සිදුවන්නේ ඵලදායි නොවන ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සිදුවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට සහ වන ජීවීන් යන දෙපිරිසටම හානිදායක තත්ත්වයක් ඇතිවීම පමණක් බවය.
එමෙන්ම වසර දෙදහස් පන්සියයක් ඉක්මවූ බෞද්ධ සංස්කෘතික සාර්ධර්ම රැක ගනිමින් විසඳාගත යුතු දෙයක් බව ද විශේෂයෙන් කිව යුතුය. ඉකුත් කාලයේ බෝග වගා කරන සතුන් සඳහා වායු රයිෆල් භාවිතා කරන ලෙස එවක දේශපාලන අධිකාරියෙන් උපදෙස් ලැබිණ. එහෙත් අප රටේ ජන විඥානය එතරම් කුරිරු නොවීම මත එය සාර්ථක නොවීය.

ගොවීන් ගේ ගෙවතුවලට විත් බෝග හානි කරන වන ජීවීන්ට ඕනෑම දෙයක් කළ හැකි බවට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතමයකු පාර්ලිමේන්තුවේ දී කී කතාව ද ප්‍රතික්ෂේප කළ ජනතාව ඔහු කෙරෙහි කලින් තබා ගත් ප්‍රසාදය ද බරපතල ලෙස අව ප්‍රමාණ කර ගත්හ.
එබැවින් මානව - වන ජීවී අර්බුදය විසඳීම සඳහා විහිළු සහගත ක්‍රම නොව වඩාත් විද්‍යාත්මක සහ විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. යම් කිසි ගැටලුවක් පිළිබඳ විමසීමේ දී හිතට එන කුමක් හෝ අදහසක් ඉදිරිපත් නොකොට විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක සහ ප්‍රජා සහයෝගී වැඩසටහන් ඔස්සේ ඒවාට ප්‍රවේශ විය යුතුය. එවැන්නකින් තොරව ශ්‍රී ලංකාව තුළ මානව - වන ජීවී ගැටලුව කිසිදා විසඳිය නොහැකි ය.

(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com
උපුටා ගැනීම -vinivida.lk



