පුංචි ආණ්ඩු වලට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුණු මන්ත්‍රීවරු සිරිකොත මහ ගෙදරදී බ්‍රහස්පතින්දා ප්‍රතිඥා දුන්හ. ඒ පක්ෂ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීය.
වජිර, තලතා, අකිල, නවීන්, සාගල ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගී වූහ.
"ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක, මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා. ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එය බාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා" රනිල් එම උත්සවයේදී අදහස් දක්වමින් පළ කළේ අලුත් ඉඟියකි.
ඒ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රනිල් පක්ෂයේ වගකීම අලුත් පරපුරට පවරන බවයි. කෙසේ වෙතත් බලය ලබාගන්නට නම් පක්ෂය සම්පූර්ණයෙන්ම නවීකරණය විය යුතු බව රනිල්ගේ අදහසයි.
"අපි ඡන්දෙ කරන කොට තිබුණේ ශාඛා සමිති. ඒ ප්‍රදේශ වල ටෙලිෆෝන්වත් නෑ. දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා. අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතුයි. අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු. මා ඒ වගකීම අදාල කොමිටියට බාර දී තිබෙනවා" යනුවෙන්ද රනිල් අලුත් සභිකයන් හමුවේ පැවසීය.

එජාප නිලධාරීන් සහ සිලින්ඩරයේ මන්ත්‍රීන් අතර පැවති හමුවකදී කැබිනට් මාධ්‍ය හමුව ගැනත් කරළියට ආවේය. ඒ නලින්දලා දිගින් දිගටම නා ගන්න නා ගැනිල්ල ගැන මාතෘකාවක් මතු වූ හෙයිනි.
"දැන් මාධ්‍යවේදීන් කොටසකට කැබිනට් මාධ්‍ය හමුව තහංචි වෙලා. ගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුව තියෙන වෙලාවේ මාධ්‍ය අමාත්‍යාංශය ඉස්සරහ උද්ඝෝෂණයකුත් වෙලා තියෙනවා" මන්ත්‍රීවරුන් කී ඒ කතාවට ඕන පූරණයක් එකතු කරමින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක පැවසූයේ තමන්ගේ කාලෙත් ඔය වගේ ගැටලුවක් පැමිණි බවයි. නමුත් දිගු කාලයක් මාධ්‍යයේ කටයුතු කොට ලැබූ අත්දැකීම් නිසා ඒ ප්‍රශ්න ඔඩුදුවන්නට නොදී ගොඩින් බේරා ගත් බව දිනිත් පවසන විට රනිල් හිස වනා ඒ කතාව අනුමත කළේය.

"මාධ්‍ය ගැන අවබෝධයක් නැති නිසයි ඔය ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. අනික මේ මිනිහා කා ගන්නවා, ප්‍රශ්නෙ මාධ්‍යවේදීන්ගේ නෙමෙයි" රනිල් පැවසීය.
" මාසෙකට කලින් වීරයෝ වගේ උඩට ආපු බිමල්ලා, නලින්දලා, හරිනිලගෙ දැන් හුළං බැහැලා. අනුරාගෙත් හුළං බැහැගෙන යන්නේ ,චාමර පැවසීය.
" කොටි වලස්සු මිනිසුන්ගේ ඇඟට පනින්නේ මිනිසුන්ට ඇති බයට යැයි ගමේ ගොඩේ කතාවක් පවතී.
ඒ වගේම වැඩක් දැන් ආණ්ඩුවෙන් රනිල්ට සිදුවෙමින් පවතින බව මන්ත්‍රී කණ්ඩායමේ කත බහට ලක් විය.
" රනිල්ගේ ආරක්ෂකයන්ට නවාතැන් ගැනීමට දී තිබූ නිවසින් ආරක්ෂකයන්ටත් පිටත්වන ලෙස දැනුම් දී ඇතත් ඔවුනට පදිංචිය සඳහා සුදුසු නිවසක් ලබා දී නොතිබිණි. ආරක්ෂකයන්ගේ නවාතැන් සඳහා පැරණි හැඳුනුම්පත් කාර්යාලය ලබාදෙන බව පැවසුවත් ඒ කටයුතු සිදුවන බවක් පෙනෙන්නට නැත.
රනිල්ගේ ආරක්ෂකයන් බොහෝ දෙනෙක් සිටින්නේ කොළඹින් පිටය. ඔවුනට නිතිපතා දුර බැහැර සිට කොළඹ පැමිණීම අසීරුය.
මුලින්ම රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී අශෝක ස්ථාන මාරු කරනු ලැබූ අතර දැන් සෙසු ආරක්ෂක නිලධරයන්ට ඉන්න හිටින්නට තැනක් නැති කර තිබේ.
" ඒවා කරන්නේ අපේ යාළුවා වෙන කවුරුවත් නෙමෙයි" රනිල් තමන්ගේ හිතවතෙකුට එසේ පවසා තිබිණි.
" මේ අයට තියෙන්නේ බය" මිනිහ වැටුණොත් කර ගහන්න කෙනෙක් ඉන්නවා කියන බයේ. සර්ගේ තියෙන සූක්ෂම කම ගැන මිනිහා හොඳටම දන්නවා" හිතවතා එසේ ප්‍රතිඋත්තරයක් ලබා දී තිබිණි.
මාලනී ෆොන්සේකාට රනිල් ජනාධිපති ධූරය දරණ සමයේ ලබාදුන් අරමුදල් පිළිබඳව සමාජ කතිකාවක් ඇති වී තිබුණු හෙයින් වජිර මාධ්‍ය හමුවකදී ඊට කදිම පිළිතුරක් ලබා දුන්නේය.
"එතුමිය අසනීප වූ අවස්ථාවේ රනිල් ජනපති රජයෙනුත්, පුද්ගලිකවත් කළ යුතු යුතුකම් එතුමිය වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළ බව මා පුද්ගලිකවම දන්න නිසා එය ප්‍රකාශ කරනවා.
කොහොම නමුත් එතුමිය දැන් අපේ ජාතියට අහිමි වෙලා තිබෙනවා. මොකද එවැනි කලාකාරීනියක් නැවත සමාජගත වීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසාම තමයි එක්තරා අවස්ථාවක එතුමියට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් ජාතික ලැයිස්තුව තුළින් අවස්ථාව ලබාදුන්නේ. ඒ හරහා සමස්ථ කලා ක්ෂේත්‍රයටම ගෞරවයක් හිමිවුණා කියලා අපි හිතනවා.
ඒ වගේම අද ඇතැම් අය එතුමියට ජනාධිපති අරමුදලින් ලබාදුන් මුදලක් ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. ඇතැම් අය කියනවා එතුමියට දුන්නට අපිට දුන්නේ නෑ කියලා. ඉතින් මෙවැනි අවස්ථාවක සෑම පුද්ගලයෙක්ම එක හා සමානව බලන්න බෑ. ජාතික වස්තුන් හැටියට සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම ජාතියේ වගකීමක් බව අප මතක තබා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් නැවත වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම වැපිරීම නොකළ යුතුයි කියා ප්‍රකාශ කර සිටිනවා යැයි වජිර කීය.
රනිල් මේ සති අන්තයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු නැවත ලබන සඳුදා රාත්‍රියේදී පැමිණීමට නියමිතව ඇත.



