මේ තත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් දැඩිලෙස බලපා තියෙනව. මේ වනවිට බොහෝ ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ශරීර සෞඛ්‍ය පිලිබඳව ඒ තරම් අවදානයක් හෝ සැලකිල්ලක් යොමුකරන බවක් පේන්නෙ නෑ. ආර්ථිකයේ ඇතිවූ කඩාවැටීම සහ ආධායම් මට්ටම් බිදවැටීම මීට මූලික හේතුව විය හැකි නමුත් නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කමද ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

අද මැදිවියේ පසුවන බොහෝදෙනෙක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. ඒ අතර තරුණ ප්‍රජාවද සිටීම ඛේදජනක තත්වයකි. එය වසංගතයක් තරමටම රට පුරා පැතිරී ගොසිනි. මෙලෙසම හෘද වාහිනී රෝග වලින් පෙලෙන අයත් ඉන් මිය යන ප්‍රමාණයත් ඉහල ගොස් ඇත. දියවැඩියා සහ අනිකුත් හේතූන් නිසා වකුගඩු රෝග වලින් පෙලෙන සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවල දියවැඩියාව සහ හෘද රෝග වැනි රෝග ඉහළ යෑමට ප්‍රධාන හේතුව වන්නේ සම්ප්‍රදායික සෞඛ්‍යජනක ජීවන රටාවන්ගෙන් ඉවත්ව, සෞඛ්‍යයට අහිතකර නවීන ජීවන රටාවන්ට සිදුවන වේගවත් පරිවර්තනයයි. ඊට අමතරව, ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිකම හා සෞඛ්‍ය පිළිබඳ නිසි අවබෝධයක් නොතිබීමද මෙම ගැටලුව තවත් ගැඹුරු කර ඇත. සමාජ-ආර්ථික අසමානතාද එයට දායක වේ.
ශ්‍රී ලංකා ජන ප්‍රජාව තුල ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතුවන ප්‍රදාන කාරනා කිහිපයක් නිරීක්ෂණය කල හැකියි.
1. ජානමය හේතූන්
2. ලෙඩ රෝග ඇතිවන ආකාරය සහ ඒවා වලක්වාගන්නේ කෙසේද යන්න පිලිබඳව මූලික අවබෝධයක් නොතිබීම සහ ඒ පිලිබඳව උනන්දුවක් නොදැක්වීම.
3. නිසි කලට වෛද්‍ය පරීක්ෂණ නොකිරීම සහ රෝග වලක්වාගැනීමට දෙන උපදෙස් නිසියාකාරව පිලි නොපැදීම.
4. වෛද්‍ය උපදෙස් නොතකා මිත්‍යා විශ්වාශ මත වැඩකිරීම.
ඉහත කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මුල්විය යුතු ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන්ගේ (Primary Care Doctors) සේවය නිසිලෙස ක්‍රියාත්මක නොවීම මේ අර්බුදයට ප්‍රධාන හේතුවකි. අද සුලු රෝගී තත්වයකට පවා විශේෂඥ වෛද්‍යවරයකු වෙත යෑමට රෝගීන් පුරුදුවී ඇත. ප්‍රාථමික වෛද්‍යවරුන් කෙරෙහි තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම වාගේ බිඳ වැටී ඇත. මෙය නගා සිටුවීම අත්‍යාවශ්‍ය කාරනාවක් වී ඇත. උදාහරණයකට ඕස්ට්‍රේලියාව වැනි ඉතාමත් ඉහල මට්ටමේ ප්‍රාථමික සත්කාර ජාලයක් පවත්වාගෙන යන රටවල තමන් ජීවත්වන ප්‍රදේශය තුලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර සපයන වෛද්‍යවරුන්ගේ සේවය පහසුවෙන් ලබා ගත හැක.

තමන්ගේ පවුලේ වෛද්‍යවරයා ලෙස හැදින්විය හැකි මේ වෛද්‍යවරුන් තමන්වෙත එන රෝගීන්ට අඛණ්ඩ සේවයක් ලබාදෙන අතර ඔවුන් පිලිබඳ පෞද්ගලික වෛද්‍ය වාර්තා ලිපි ගොනු නඩත්තු කරයි. මේ නිසා රෝගියාගේ රෝග ඉතිහාසය පිලිබඳව වෛද්‍යවරයාට හොද අවබෝධයක් තිබේ. නිසි කලට අවශ්‍ය පරීක්ෂණ කිරීම සහ උපදෙස් ලබාදීම වෛද්‍යවරයාගේ මූලික වගකීමකි. රෝගියා විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන්නේ තමාගේ සීමාවෙන් විසදිය නොහැකි විශේෂඥ සේවාවන් අවශ්‍ය වූ විට පමනි. සාමාන්‍ය වෛද්‍යවරයාගේ යොමු කිරීමක් නොමැතිව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යෑමට රෝගියාට නොහැකිය.
ප්‍රාථමික වෛද්‍ය සත්කාර සපයන වෛද්‍යවරුන් ඒ සදහාම පුරුදු කරන ලද විශේෂඥයින්ය. එලෙසම මේ සෑම වෛද්‍යවරයෙක්ම අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා අවශ්‍ය පාඨමාලා සෑම වසරකම සම්පූර්ණ කිරීම අනිවාර්යය. එසේ නැතහොත් සේවා සැපයීමට අවශ්‍ය තමාගේ බලපත්‍රය අලුත් කරගැනීමට නොහැක. ලංකාව තුලද මෙවැනි ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන් පුහුනු කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු විය යුතුය.
ලංකාවේ දෙමව්පියන් දරුවකු මෙලොවට බිහිවූ දා සිට බඩ පිරෙන්න ආහාර පාන ලබාදීමටත් ඉහලටම අධ්‍යාපනය ලබාදීමටත් විශාල උත්සාහයක් ගනී. නමුත් දරුවාගේ මානසික සහ ශාරීරක සුවය ගැන ඒ තරම් අවදානයක් යොමු නොකෙරේ. සමබර ආහාර වේලක් ලබාදෙනවා වෙනුවට දවසට තෙවරක්ම කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර, අධික සීනි සහිත සහ තෙල් මිශ්‍ර අහාර පරිබෝජනය කිරීම මේ රෝගී තත්වයන් බොහොමයකට හේතු පාදක වී ඇත.

එලෙසම අවශ්‍ය ප්‍රමාණයට ශාරීරික ව්‍යායාමවල නොයෙදීමද මීට මුල්වී ඇත. දරුවන් වැඩිපුරම කාලය ගතකරන්නේ පංති කාමරවලය. දෙමාපියන්ගේ කාර්‍යබහුල ජීවන රටාවද, ආර්ථික ප්‍රශ්නද, මේ අහිතකර ජීවන රටාවට මූල හේතූන්ය. ඒ නිසා ඇතිවන මානසික ආතතියද ප්‍රශ්න තවත් ව්‍යාකූල කරයි. මානසික ආතතිය අංක එකේ මාරයා ලෙස බොහෝ සෞඛ්‍ය විශේෂඥයින් හදුන්වති.
ලංකාවේ බහුතරයක් තුන් වේලටම කුස පුරා පිශ්ටය අඩංගු බත්, පාන්, රොටී, ආප්ප, ඉදියාප්ප, තෝසේ, කොත්තු රොටී වැනි අහාර අනුබව කරති. මේ පිෂ්ටය අඩංගු ආහාර සියල්ල කුස තුල සිදුවන ආහාර දිරවීමේ ක්‍රියාවලිය තුලදී ග්ලූකෝස් නැතිනම් සීනි බවට පරිවර්තනය වේ. බොහෝ අය හෝටල්වලින් ලබාගන්නා ආහාරපාන වලට පුරුදුවී ඇති අතර එම අහාර පාන වල නිසි ප්‍රමිතියක් නොමැතිවීම තවත් බරපතල ප්‍රශ්නයකි. සියලුම පන්නයේ අහාරවලට සීනි සහ රසකාරක එක්කොට ඇත. යෝගට්, අයිස්ක්‍රීම්, තේ සහ විවිධ බීම වර්ග වලටද ඉතා අධික ලෙස සීනි එක්කොට ඇත. ඒවා මීපැනි තරමටම පැණිරසය.
වහාම මේ අහාර පානවල ප්‍රමිතියක් ඇතිකිරීමට කටයුතුකිරීම බලධාරීන්ගේ වගකීමකි. එසේ නැතිනම් ජනගහනයෙන් බහුතරයක් ලෙඩ රෝගීන් වීම වැලැක්විය නොහැක. එසේ වුවහොත් රෝගීන්ට බෙහෙත් හේත් සැපයීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුවන අතර එය රටේ සංවර්ධනයට දායකවන ශ්‍රම බලකායේ පරිහානියටද හේතුවනවා ඇත.

බොහෝ දෙනා කුස පිරෙන්නට ආහාර ගතයුතුයැයි මිත්‍යා විශ්වාසයක සිටී. දිනකට මනුෂ්‍යයෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය ගැන අවබෝධයක් නැත. තුන් වේලම හොදට නොකෑවොත් ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්වයන් ඇතිවේයැයි විශ්වාස කරති. ඒ නිසා අනවශ්‍ය ලෙස ආහාර ගැනීමට පෙළඹී ඇත. තරබාරුකම ලෙඩ රෝග බොහොමයකට මුල්වී ඇත. තමන්ගේ උසේ ප්‍රමාණයට බර සහ උදරයේ ප්‍රමාණය පවත්වාගැනීමට උත්සාහයක් නොගනී.
ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර අවම කිරීම සහ ව්‍යායාම කිරීම මගින් රෝග වැලක්වීමට කටයුතුකරනවා වෙනුවට බොහෝ අය උත්සාහ කරන්නේ ලෙඩ රෝග වැලදුනවිට ඒවා සුවකරගැනීමට කෙටි විසදුම් සෙවීමයි. මේ සදහා නොයෙකුත් ගොඩ වෙදකම් සහ මිත්‍යා විශ්වාස කෙරෙහි විශ්වාසය තබයි. වෛද්‍ය උපදෙස් පතන බොහෝ අයද ඒවා නිසි ආකාරයට පිලිනොපදිති. ඔවුන්ට නිදන්ගත රෝග පිළිබඳ අදහසක් නොමැත.
එනිසා දිගටම බෙහෙත් ගැනීම ශරීරයට අහිතකරයැයි විශ්වාස කරයි. උදාහරණයකට අධික රුධිර පීඩනයට ලබාදෙන බෙහෙත් කෙටි කාලයක් ලබාගෙන එය නවතා දමනවාය. එසේ නැත්නම් නියම කරන ලද මාත්‍රාව ලබාගන්නේ නැත. සීනි සහ කොලෙස්ටරෝල් වැඩි අයද ඒ පිලිබඳව නිවැරැදි පිලිවෙලකට ප්‍රතිකාර ලබා නොගනිති.
මේ තත්වය පිලිබඳව ඊලග පරම්පරාවටවත් නිසි දැනුමක් ලබා දීම අත්‍යාවශ්‍ය කාරනයක් වී ඇත. ප්‍රාථමික පංතිවල සිට නිසි සෞඛ්‍යය දැනුම ලබාදිමත් ඒවා පිලිපැදීමට දරුවන් යොමුකිරීමත් කල යුතුය. විශේෂයෙන් දියුනු රටවල මේ අධ්‍යාපනය ළමයින්ට ලබාදෙන ආකාරය හදාරා එයින් අපට පාඩම් ලබාගත හැක. එලෙසම ආහාර ප්‍රමිතිගත කර ඇති ආකාරයද දියුණු රටවලින් අපට ඉගෙන ගත හැකිය. මිත්‍යාව හෙලිදරව් කල යුතු අතර මිත්‍යාව වෙනුවට විද්‍යාව ප්‍රවර්ධනය කලයුතුය.

ඒ වගේම තරුණ පරපුර අධ්‍යාපනයට අමතරව නොයෙකුත් ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ ශාරීරික අභ්‍යාසවලට යොමුකළ යුතුය. රජය විසින් ප්‍රජාවන් දැනුවත් කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් වහාම ආරම්භ කල යුතුය. ඒ සදහා විවිධ මාධ්‍යයන් භාවිතා කල හැකි අතර ප්‍රජා වැඩමුලු මගින් ගම්වැසියන් දැනුවත් කිරීම, මිථ්‍යා අදහස් බිඳ දැමීම යනාදියට මුල්තැනක් දිය යුතුය.
සෑම මනුෂ්‍යයෙකුටම මුදල් සහ වත්කම් වලට වඩා වැදගත් වන්නේ නීරෝගී සුවයයි. එය මිල මුදල්වලින් ලබාගත හැකි දෙයක් නොවේ. බුදුන්ද එක්තරා ධර්මදේශනයකිදී මේ බව අවධාරණය කර ඇත. එදා බුදුන් පැවසුවේ "ආරෝග්‍ය පරමා ලාභා" යන්නයි. ඔහු එම දේශනාව කලේ තමාට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර අනුබව කොට ක්ලාන්ත ස්වරූපයෙන් එහා මෙහා පෙරළෙමින් දුක්විදි කොසොල් රජුන් නිමිති කරගෙනයි.
නිරෝගී ජීවිතයකට තමන්ගේ දෛනික ක්‍රියාකාරම් වලට අවශ්‍ය පමනින් ආහාර ලබා ගැනීම, සමබර ආහාර වේලක් ගැනීම සහ නිතිපතා ව්‍යායාම් කිරීම අත්‍යාවශ්‍ය දෙයකි. රටේ ඇති සම්පත් සහ පරිසරය දෙස බලනවිට ශ්‍රී ලාංකිකයින්ට මෙවැනි ජීවන රටාවකට හැඩගැසීම අමාරු කාරනයක් නොවේ. අවශ්‍ය වන්නේ ජීවන රටාව වෙනස් කිරීමට කල යුතු කැපවීම සහ ධෛර්යයි.
ප.ලි.
මේ ලිපියේ වෛද්‍ය උපදේශ නොමැති බවත් සියලු අදහස් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකරගැනීමට අවශ්‍ය සමාන්‍ය තොරතුරු පදනම් කරගෙන ලියන ලද්දකි.
(සටහන | අජිත් රාජපක්ෂ)ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)



