The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අද බොහොමයකට නොපෙනෙන සුදු වැල්ලේ අසිරි සිරිය | තිලක් සේනාසිංහ

T

The Leader Desk

June 4, 2025 • 7:58 AM

අද බොහොමයකට නොපෙනෙන සුදු වැල්ලේ අසිරි සිරිය | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාඇල තුඩැල්ලෙන් වමට හැරෙන පමුණුගම පාර ඔස්සේ තරමක් දුර ගිය විට හමුවන දෑලතුර කතෝලික සුසාන භූමිය හමු වේ.
  • රත් නෙළුම් සිය දහස් ගණනක් දැකිය හැකිව තිබූ ඒ නෙළුම් විල අද අතුරුදන්ව ඇත්තේ පාරට පමණක් එම නම ශේෂ කරමිනි.
  • එහෙත් අතීතයේ ඒ පොකුණේ ජලය මුව සේදීමට පවා සුදුසු තත්වයක තිබූ බව පැරණි ගැමියෝ කියති.
  • එහෙත් අතීතයේ එනමින් යුතු ජලාශයක් තිබූ බවට අනුමාන කෙරෙන වගුරුබිම් කිහිපයක් තවමත් එහි දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාඇල තුඩැල්ලෙන් වමට හැරෙන පමුණුගම පාර ඔස්සේ තරමක් දුර ගිය විට හමුවන දෑලතුර කතෝලික සුසාන භූමිය හමු වේ. ඉන් මඳක් ඔබ්බෙන් වමට හැරෙන පාර අදත් හැඳින්වෙනුයේ ‘නෙළුම් විල පාර’ යනුවෙනි. රත් නෙළුම් සිය දහස් ගණනක් දැකිය හැකිව තිබූ ඒ නෙළුම් විල අද අතුරුදන්ව ඇත්තේ පාරට පමණක් එම නම ශේෂ කරමිනි.

මේ නෙළුම් විල පාර ඔස්සේ සුදුවැල්ල නම් ප්‍රදේශයකට පැමිණිය හැක. ඊට අමතරව දෑලතුර කතෝලික සුසාන භූමිය ඉදිරිපිට පාරෙන් මීටර් දෙසීයක් පමණ යන විට වර්තමානයේ දැකිය හැකි ‘පතහ’ නමින් හඳුන්වන මිරිදිය ජලාශය ද අතීතයේ එහි වැසියන් දිය නෑම සඳහා යොදා ගත් නිල්වන් දියවරකින් යුතු මිරිදිය ජලාශයකි. එහෙත් ගමින් ගමට නිවසින් නිවසට නල ජල පහසුකම් ලැබීම මත අද වන විට ඒ පැරණි දිය නාන පොකුණ ජරාවාස වෙමින් තිබේ. එහෙත් අතීතයේ ඒ පොකුණේ ජලය මුව සේදීමට පවා සුදුසු තත්වයක තිබූ බව පැරණි ගැමියෝ කියති.

Sudu 250604
රණහංසවිලට ඒ සොඳුරු නම ලබා දුන් එනමින් යුතු ජලාශය ද අද දක්නට නැත. එහෙත් අතීතයේ එනමින් යුතු ජලාශයක් තිබූ බවට අනුමාන කෙරෙන වගුරුබිම් කිහිපයක් තවමත් එහි දක්නට ලැබේ.

එමෙන්ම අද වන විට ඕලන්ද ඇල නමින් හඳුන්වන මුතුරාජවෙල බටහිර මායිමෙන් ගලා බසින පැරණි ඇල මාර්ගය කැපීමට ඒ සමයේ අප රටේ විවිධ ප්‍රදේශවලින් පවුල් පිටින් පැමිණි කම්කරුවන් පසුව එවක වගුරු බිමක්ව තිබූ දෑලතුර ප්‍රදේශයේ පදිංචි වූ බව කියනු ලැබේ. එම ජනාවාස තැනීම සඳහා මීගමු කලපු ඉහත්තාවේ දඬුගම් ඔයේ මෝය ප්‍රදේශයෙන් ඔරු පාරු මගින් ගෙනා පස් ටොන් ගණනක් යොදා දෑලතුර ගම්මානය තනාගත් බවට ද කතා පැතිර තිබේ.

මෙසේ පැමිණි ඇතැම් කම්කරුවන් සමඟ ඕලන්ද යටත් විජිත සමයේ මෙරටට ගෙනා ඉන්දියානුවන් ද සිටි බව ඇතැමෙක් කියති. ඒ කෙසේ වෙතත් අතීතයේ දෑලතුර ආදී ප්‍රදේශ ගොඩකිරීම සඳහා පස්ටොන් දහස් ගණනක් ඉවත් කර ගත් බව පැවසෙන ප්‍රදේශය අද ද මැටිවල බොක්ක නමින් හැඳින්වේ. ඊට හේතුව එසේ මහා පරිමාණයෙන් පස් කැපීම හේතුවෙන් මීගමු කලපු ඉහත්තාවේ කෘත්‍රිම බොක්කක් නිර්මාණය වී තිබීම නිසාය.

දෑලතුර ගැමියන්ගේ අතීත ජනවහර අතරේ ඔවුන්ටම ආවේණික අන් අයට නොවැටහෙන උප භාෂාවක් හා වදන් තිබූ බවට තොරතුරු ඇතත් වත්මන් නාගරීකරණය මත පදනම් වූ සමාජ පරිනාමය යටතේ එම උප භාෂාව සහ වදන් අතුරුදන්ව ගොස් ඇතැයි පැරණි ගැමියෝ කියති.

 

suduwella4
වර්තමානයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වුවද මීට දශක හතර පහකට ඉහතදී සුදුවැල්ල, සුදුවැලිවලින් පිරීගත් ඉතා මනරම් ජල ජීවී පරිසර පද්ධතියකි. එහෙත් විවිධාකාර ගොඩ කිරීම් මුල් කොට අද එම ඉසව්වේ මුල් ස්වරූපය බොහො දුරට විපරීත වී තිබේ. දුරාතීතයේ මුහුද ගොඩගැලීම නිසා සුවිසල් ප්‍රදේශයක් පුරා පැතිරුණු වැලි නිධියක්ව පැවති සුදුවැල්ලේ ඕලු, නෙළුම්, මානෙල් ආදියෙන් සුසැදි කුඩා විල් දහයක් පහළොවක් හෝ ඊට වැඩි ගණනක් දක්නට ලැබිණි. මෙම මුහුද ගොඩ ගැලීම සම්බන්ධ සිදුවීම කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිල සංදේශයේ .171 කවියේ මෙලෙස සඳහන් ය.


මතු වනු නො දැන ගුරු එ රහත් හිමි නිමල
සි තු විකලින් බඳනෙහි ලුවෙනි උණු තෙල
ඇ තු සහ නිරිඳු ගෙනැ ගිය මඟ පොලෝ තල
ඇතු බුන් වළැයි යෙති ඒ දකු මඟ අසල

 

එහි සඳහන් වන පුවතේ සඳහන් අන්දමට විහාර මහා දේවිය මුහුදට බිළි දීමෙන් පසු කැලණි තිස්ස රජු ඇතා පිටින් යම ලොවට ඇදගෙන ගිය ඇතු බුන් වල මේ වන විට ද ” ඇතා එරුණු වල” ලෙසින් හඳින්වේ. එය පිහිටියේ කඳාන නාගොඩ ප්‍රදේශයේ ය. එම ස්ථානය නිවැරදිව හඳුනා ගැනීම පිණිස මට වසර විස්සක පමණ කාලයක් ඒ පිළිබඳව විපරම් කිරීමට සිදු විය. එහෙත් අද එම ප්‍රදේශයේ පාරම්පරික වියපත් ගැමියන් හැරුණු කොට නව පදිංචි කරුවන් ඒ සම්බන්ධ කිසිවක් නොදනිති. ඒ අතරේ එහි සමහර වැසියන් ඒ සම්බන්ධයෙන් පවසනුයේ “ඔතන ඉස්සර රජ කෙනෙකුගේ ඇතෙක් එරිලා තියනවා “යන්න පමණි.


darmeඑම්.ටී ධර්මසේනමෙවන් අතීතයක් සහිත එම ඉසව්වට තරමක් නොදුරින් පිහිටි සුදුවැල්ලේ තැනින් තැන හමුවන පිහිටි පොළොවේ වැටී ඇති උස් ගස් හැරුණුකොට ඇත්තේ එහි නමේ හැටියටම සුදුවැල්ලකි. රාත්‍රී කාලයට දක්නට ලැබෙන අද්භූත ගැහැනියකගේ අවතාරයක් පිළිබඳව මුල්වරට මට කරුණු දැනගත හැකි වූයේ එවක ජාඇල ජයන්ති විද්‍යාලයේ විදුහල්පතිව සිටි එම්.ටී. ධර්මසේන මහතාගෙනි. එවක එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ පිය වරුන් කිහිපදෙනෙකුම එම අවතාරය දැක බියපත් වූ බවද ඔහු කීය.

 

එමෙන්ම සුදුවැල්ල ආශ්‍රිතව සුදුවැලි පොකුණ නම් කුඩා ජලාශයක් ඇති බවටත්, එය අතීතයේ එහි රජකම් කළ රැජිනක් දිය නෑමට යොදාගත් රාජකීය පොකුණක් බවටත් සුදුවැල්ල අවට ජීවත් වූ පාරම්පරික වැසියන් අතර විශ්වාසයක් තිබූ බව ධර්මසේන මහතාගෙන් අසා දැනගැනීමට මට හැකි විය. එමෙන්ම එම රැජින දියට බැසීම පිණිස යොදාගත් ගල් පඩිපෙළක් හා ගල් පුවරුවක් අතීතයේ ඉස්මතුව තිබී කාලයාගේ ඇවෑමෙන් වැල්ලට යටවී ඇති බව ගැමියන් පවසන බව ද හෙතෙම කීය.


” හරි නම් ඔය වගේ තොරතුරු පදනම් කරගෙන් මේ යට ගියාවේ සුලමුල හොයන එක මේ පළාත්වල කාගේත් වගකීමක්. ඒත් අද සමාජේ දාහකට කෙනෙක් වත් ඒ වගේ දේකට යොමු වෙන්නෙ නෑනෙ”ඔහු කීයේ දුක් මුසු ලෙසිනි.

 

suduwella2
අනූව දශකයේ මුල් භාගයේ අවස්ථා කිහිපයකදීම සුදුවැල්ලේ සංචාරය කරන්නට අවස්ථාව ලැබුණත් මට ඊට පසු කලෙක ඒ තොරතුරු නිසි පරිදි අසාගත නොහැකි වූයේ ඒ වන විට එහි පදිංචිව සිටි පිරිස මුළුමනින්ම පාහේ පිට පළාත්වලින් පැමිණි සංක්‍රමණිකයන් වීම නිසා ය. එහෙත් බෝපිටියේ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ වීරසිංහයන් ගේ මඟ පෙන්වීම යටතේ මට හමුවූ එන්.ඩී.කේ.පෙරේරා නම් වන දෑලතුර ප්‍රදේශයේ පාරම්පරික ගැමියෙකුගෙන් සුදුවැල්ලේ දක්නට ලැබෙතැයි පැවසෙන අද්භූත ගැහැනිය පිළිබඳව වැඩිදුර යමක් දැනගත හැකි විය.

‘‘ඔය සුදුවැල්ල වගේම තුඩැල්ල (තුඩු වැල්ල ) වැලිගම්පිටිය, වැලිසර වගේ පළාත් සුදුවැලිවලින් වැහිලා තියෙන්නේ කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ විහාරමහාදේවි සම්බන්ධ මූද ගොඩ ගලපු සිද්ධියෙන් කියලයි අපේ පරණ මිනිස්සු කිව්වේ. අදත් ඔය සුදුවැල්ලේ වැලි අතරේ දිරාගිය සිප්පි කටු, කවඩි වගේ දේවල් හම්බුවෙනවා. සුදුවැල්ලේ ඔය කියන රැජිනගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඊටත් හුඟාක් කලින්ලු. පස්සේ ඒ මුහුද ගොඩගැලීමෙන් ඒ මාලිගාව මුහුදට ගහගෙන ගියාලු. නමුත් පහුකාලෙකදී ඒ රැජින දිය නාපු පොකුණ ඔය සුදුවැල්ලෙන් මතුවෙලා තියෙනවා. ඒ වගේම ඒ රැජින යක්ෂ ගෝත්‍රික කියලත් කියනවා. ඊට පස්සේ හඳ පායපු දවස්වල රෑට ඒ යක්ෂ රැජින කෙහෙවල්ලත් විදාගෙන තමන්ගේ මාලිගාව තියෙන තැනට ඇවිත් හඬා වැළපෙනවා කියලා කතාවක් අපි පුංචි කාලේ අහලා තිබුණා. ඔය සුදුවැල්ලේ අදත් ඉඳලා හිටලා හඳ පායපු රෑට දකින්න තියෙනවාය කියන්නේ ඒ යක්ෂ රැජිනගේ අවතාරය කියලයි කියන්නේ.’’ඊට කලකට ඉහත විදුහල්පති ධර්මසේන මහතා කී ඒ අපූර්ව ප්‍රවෘත්තියෙහි පූර්වාපර සන්ධි පෙර්රා මහතා විසින් එසේ ගැලපීම සම්බන්ධයෙන් මා සිතට පිවිසියේ අතිමහත් ප්‍රබෝධයකි.

suduwella3
ක්‍රිස්තු පූර්ව හයවන සියවසට ඉහත අප රටේ යක්ෂ ගෝත්‍රිකයන් විසූ බවට ප්‍රකට මතයක් තිබේ. දේශීය වංශ කතා අනුව එවක අප රටේ කුවේණි නම් යක් රැජිනක් රජකම් කොට ඇත. එමෙන්ම කුවේණියගේ සොයුරියක ලෙස හැඳින්වෙන අල්ලි රාණි නම් යක් රැජිනකගේ මාලිගාවක නටඹුන් කල්පිටිය අර්ධද්වීපයේ පල්ලිවාසතුරෙයි ප්‍රදේශයේ තිබේ. ඒ අනුව පසුකාලීන අවතාරයක් ලෙස හඳුන්වන ලද්දේ දුරාතීතයේ සුදුවැල්ලේ විසූ එකී යක්ෂ ගෝත්‍රික නායිකාව විය නොහැකිද? මෙම කතා යථාර්ථවාදී පදනමින් විමසීම අනුවණ කමක් සේ යමකුට හැඟී යා හැක. එහෙත් දුරාතීතයේ සිට මුඛ පරම්පරා කතා මඟින් පැවත එන මෙම පුවත් මානව විද්‍යාතමක විශ්ලේෂණයකට ලක් නොකිරීම ද බරපතල අපරාධයක් බව මගේ වැටහීම ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...