The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජන පීඩනය නොතකා බොහෝ දෙනා පොසොන් එකට අනුරපුරේ යන්නේ ඇයි? | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

June 7, 2025 • 7:15 AM

ජන පීඩනය නොතකා බොහෝ දෙනා පොසොන් එකට අනුරපුරේ යන්නේ ඇයි? | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනිසාම සෑම පොසොන් පුන් පොහොයක් මුල් කොටම අනුරාධපුර හා මිහින්තලයට වන්දනාවේ යන සැදැහැවතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි.
  • පොසොන් සමයට අනුරාධපුරය කේන්ද්‍ර කරගත් මෙම ජනරාශීත්වය පොලොන්නරුව, දඹුල්ල, හත්ථි කුච්චි, කුරුණෑගල ඇත්කඳ විහාරය ආදී තවත් සිද්ධස්ථාන බොහොමයක් තෙක් සේම 2009 වසරේ ලත් යුද ජයග්‍රහණයෙන් පසුව නාගදීපය ඇතුළු උතුරු හා නැගෙනහිර බෞද්ධ සිද්ධාස්ථාන තෙක් විසිර පැතිර යනු දක්නට ලැබේ.
  • එම තත්වය මුල් කොට “අපොයි සෙනඟ වැඩියි” යනුවෙන් පැවසෙන ජන ව්‍යවහාරය ඔබත් කොතෙකුත් අසා හෝ පවසා තිබෙන්නට ඇත.
  • එහෙත්, එම නියාමය ඇතැම් ජනරාශීන් සම්බන්ධයෙන් අදාල නොවේ.ඇතැම් තැන්වලට ජනතාව ආකර්ශනය වනුයේ එහි ජන පීඩනය වැඩි වන තරමට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එනිසාම සෑම පොසොන් පුන් පොහොයක් මුල් කොටම අනුරාධපුර හා මිහින්තලයට වන්දනාවේ යන සැදැහැවතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. එමෙන්ම මෙම තත්වය අනුරාධපුරයට පමණක් සීමා වූවක් නොවේ. පොසොන් සමයට අනුරාධපුරය කේන්ද්‍ර කරගත් මෙම ජනරාශීත්වය පොලොන්නරුව, දඹුල්ල, හත්ථි කුච්චි, කුරුණෑගල ඇත්කඳ විහාරය ආදී තවත් සිද්ධස්ථාන බොහොමයක් තෙක් සේම 2009 වසරේ ලත් යුද ජයග්‍රහණයෙන් පසුව නාගදීපය ඇතුළු උතුරු හා නැගෙනහිර බෞද්ධ සිද්ධාස්ථාන තෙක් විසිර පැතිර යනු දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් අප සමාජයේ බොහෝ දෙනෙක් අධික ජන පීඩනයෙන් යුතු ස්ථාන වෙත සේම පොදු වාහන ආදියේ ගමන් කිරීමට පවා රුචි නොවෙති. එම තත්වය මුල් කොට “අපොයි සෙනඟ වැඩියි” යනුවෙන් පැවසෙන ජන ව්‍යවහාරය ඔබත් කොතෙකුත් අසා හෝ පවසා තිබෙන්නට ඇත. එහෙත්, එම නියාමය ඇතැම් ජනරාශීන් සම්බන්ධයෙන් අදාල නොවේ.ඇතැම් තැන්වලට ජනතාව ආකර්ශනය වනුයේ එහි ජන පීඩනය වැඩි වන තරමට ය. රැස්වීම් පෙලපාලි ආදී දේශපාලනික ජනරාශීන් ඒ අතුරින් මුල් තැනක් ගනු පෙනෙයි.

 

1734232830 Sri Pada 600

ඉකුත් ශ්‍රීපාද සමයේ අගභාගයේ සති අන්තයක් මුල් කොට ගත් දින හතරක නිවාඩුවක ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු සරසවි සිසුවියක පවසා සිටියේ එහිදී ශ්‍රීපාද වන්දනාව සඳහා කෙතරම් ජනකායක් එක් රොක්ව සිටියේ ද යත් නල්ලතන්නිය හා ජපන් සාම චෛත්‍යය පසුකළ තැන සිට ශ්‍රීපාද මාර්ගයේ පියගැට පෙළේ එක් පියවරක් උඩට තබා ගැනීම පිණිස පැය භාගයක් පමණ බලා හිඳීමට සිදුවූ බවකි. එහෙත්, එහි විශේෂතම කරුණ එය නොවේ. ඇය එම ප්‍රකාශය කළේ සතුටින් ඉපිල යමින් හා මහත් ආස්වාදනීය හැඟීමකින් යුතුව වීම ය.

දහ නව වන සියවසේ අග භාගයේ සහ විසි වන සියවසේ මුල් භාගයේ ජීවත් වූ ප්‍රංශ ජාතික සමාජ, මානව සහ මනෝ විද්‍යාඥයකු වන ගස්ටිව් ලේ බොන් විසින් 1895 වසරේ ප්‍රකාශයට පත් කරන ලද The crowd;A study of the popular mind නම් කෘතිය මෙම ජන රාශි මනෝ විද්‍යාව සම්බන්ධයෙන් මූලික කරුණු රැසක් අනාවරණය කරන ග්‍රන්ථයකි. කිනම් හෝ ජනරාශියක් මුල් කොට සිදුකළ හැකි සමාජමය විචල්‍යතාවයන් පිළිබඳ වැදගත් කරුණු රැසක් ඔහු එමගින් අනාවරණය කරයි. ඒ එමගින් සිදුවිය හැකි සාධනීය හා නිශේධනාත්මක ප්‍රතිඵල පිළිබඳව ද විශ්ලේෂණාත්මක කරුණු ඉදිරිපත් කරමිනි.

මෙහි දී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ මෑත කාලීන සමාජය තුළින් ඉස්මතු වූ ප්‍රබලතම ජන අරගලය වන 2022 වසරේ දියත් වූ ගාලු මුවදොර අරගලයයි. නමුත් ඉන් ඇති වූ ප්‍රතිඵල සම්බන්ධ විමසුමකට යාමට මෙය අවස්ථාව නොවන බැවින් මම සෘජුවම අදාළ මාතෘකාවට පිවිසෙමි.

image a0cfdace7a

රෝමයේ වතිකානුව, සවුදි අරාබියේ මක්කම, ඉන්දියාවේ අයෝධ්‍යාව වැනි වාර්ෂිකව අති විශාල වශයෙන් බැතිමතුන් එක් රොක් වන තවත් සිද්ධස්ථාන බොහොමයක් ලොව පුරා තිබේ. අප රටේ එවන් ප්‍රධානතම සිද්ධස්ථාන වනුයේ ශ්‍රීපාස්ථානය සහ අනුරාධපුරයයි.දහ හත් වන සියවසේ මෙරට එළිමහත් සිර කරුවකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් පවා මේ බව පවසා තිබේ. නමුත් ශ්‍රී පාදස්ථානය කෙරෙහි ඇදී එන වන්දනාකරුවන් ගේ සංඛ්‍යාව මාස හයක කාලයක් පුරා විසිර පවතින අතර අනුරාධපුරය හා මිහින්තලය වෙත එක් රොක් වන වන්දනා කරුවන් පොසොන් පොහොය කේන්ද්‍ර කර ගැනීම ද සුවිශේෂත්වයකි.

ඉහත සඳහන් සෑම සිද්ධස්ථානයක් වෙතම අධික ජන පීඩනය නොතකා වන්දනා කරුවන් ඒකරාශි වීම සම්බන්ධ ඉතා වැදගත් සමාජ මනෝ විද්‍යාත්මක මූලයක් ද තිබේ. එනම් එලෙස ඒකරාශි වනුයේ එකම ආගමකට, ප්‍රජාවකට,ජන වර්ගයකට අයත් තමන් සේම පිරිසක් ය යනුවෙන් එම වන්දනා කරුවන් ගේ සිත් තුළ ඇති වන හැඟීම මුල් කර ගනිමින් වීම ය, මෙය ඔවුන් තුළ මානසික සහජීවනයට ඉවහල් වන හේතුවක් බව ද අනාවරණය වී තිබේ. එහිදී එකම ඇදහීමක්, පූජා චාරිත්‍ර හෙවත් අභිචාර විධි සම්ප්‍රදායන්, සම සංස්කෘතික පසුබිමක්, චාරිත්‍රාවලියක්, සංනිවේදන රටාවක් ආදිය මුල් කොට ඔව්හු ඒකාත්මීය බවකට පත්වෙති.

 එමෙන්ම තමන් හුදකලාවේ ආගමික කටයුතුවල යෙදීමේ දී හට නොගන්නා ශක්තියක් ධෛර්යයක් සාමූහිකව එම කටයුතුවල යෙදීමේදී යමකු තුළ ඇති වීම අතිශය ස්වාභාවික ය. එමෙන්ම එවන් ජන පීඩනයන් හමුවේ සිදුවන මහජන තෙරපීම් මුල් කොට සිදුවන මරණ පවා ලොව ප්‍රමුඛතම සිද්ධස්ථානවල පැවැත්වෙන ප්‍රධානතම ආගමික වැඩසටහන් මුල් කොට අසන්නට ලැබේ.

477582148 1485986118984436 3067631862848039431 n

නිදසුනක් ලෙස ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ අලහබාද් අයෝධ්‍යා හි ඉකුත් ජනවාරි 13-පෙබරවාරි 26 අතර පැවැති 2025 කුම්භමේලා ආගමික උත්සවයේදී සිදුවූ ජන තෙරපීම මුල් කොට අවම වශයෙන් බැතිමතුන් තිස් දෙනකු වත් මිය යන්නට ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබිණ. ඉන් කොටසක් සිදුව තිබුණේ අතිවිශාල බැතිමතුන් පිරිසක් ගංගානම් නදියේ ශුද්ධ ස්ථානයේ යෙදෙන අතරේ සිදු වූ ජන පීඩනයේ දී තවත් පිරිසකට පෑගීම නිසා බව ද කියනු ලැබේ.

kumbamela1කුම්භමේලා ආගමික උත්සවය උඩුගුවනට දිස්වන අයුරු
ලෝකයේ විශාලතම ආගමික ජන ඒකරාශීත්වය වන මීට මෙවර එක් වූ මිලියන 660 ක ජනතාවක් ගංගානම් නදියේ ශුද්ධ ස්නානය නම් වන අභිචාරය අනුගමනය කොට තිබේ.එම ප්‍රමාණය සමස්ත ශ්‍රී ලාංකෙය ජනගහණය මෙන් තිස් ගුණයකි.ඒ අනුව මෙම කුම්භමේලා අභ්‍යවකාශයට පවා දිස්වන මානව ක්‍රියාකාරකමක් ලෙස ප්‍රකට වී තිබේ. ඒ කෙසේ හෝ එම ආගමික සම්ප්‍රදායන්ට අනුව ඒවා ඛේදනීය මරණ ලෙස නොසැලකේ.ඒ එමඟින් ඔවුන් පාර ලෞකික විමුක්තිය උදා කර ගන්නා බවට පවතින ජන සම්මතය නිසා ය.

පොසොන් පුන් පොහොය කේන්ද්‍රගතව වාර්ෂිකව අනුරාධපුරයට ඒකරාශී වන පිරිස් බහුල වීමට බලපාන ප්‍රධාන හේතූන් ද අප විමසා බැලිය යුතුය.ඒ සඳහා වන ප්‍රධානතම සාධකය දිවයිනේ සෑම ප්‍රදේශයකම සිට අනුරාධපුර තෙක් වැටී ගත් දියුණු මහා මාර්ග ජාලයයි.එමෙන්ම මේ වන විට අප රට පුරා ප්‍රවර්ධනය වෙමින් පවතින වාහන බහු විධ හා විවිධාංගීකරණය ද ඒ සඳහා සෘජුව බලපා තිබේ.

DSC 1109 copy

පොසොන් සමයට අනුරාධපුරයට පැමිණෙන්නවුන් සඳහා මඟ දෙපස ඇති දන්සල් ආදියෙන් සේම පූජා නගරයේ දන්සල් වලින් නොමිලේ ආහාර පාන පහසුව සැලසීම එහි පැමිණෙන්නවුන් හට වැසිකිලි කැසිකිලි පහසුව ඇතුළු සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමකින් හෝ පැවතීම අනුරාධපුර ආශ්‍රිතව පොසොන් සමය පුරා නොමිලේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර හා වැව් වලින් දිය නෑමේ දී සිදු වන දිය අනතුරු වැලැක්වීමේ සේවා පවත්වා ගෙන යාම ආදී හේතූන් මත ද අනුරපුරයේ පොසොන් වන්දනාව දිනෙන් දින ප්‍රවර්ධනය වීමට හේතු වී තිබේ.

එමෙන්ම අපට මෙහි දී එක් වරම සිහියට නැංවෙනුයේ මීට වසර 155 කට ඉහත එනම් 1870 වසරේ එවක අනුරාධපුරයේ සේවය කළ ලීෂිං නම් ඉංග්‍රීසි ජාතික විනිසුරු වරයා තබා ඇති සටහනකි. දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්ෂිකව පැමිණෙන වන්දනා කරුවන් විසි දහසක් පමණ අනුරාධපුර පුදබිමේ රැඳී සිටිමුත් ස්වදේශික මුර කරුවන් තිදෙනකු ගේ භාරයේ පැවැති කිහිප දෙනකුට රැගෙන යා හැකි ලෝයෙන් තනා ඇති ආණ්ඩුවේ කාසි උතුරා යන පෙට්ටිය නිරුපද්‍රිතව තිබූ බව ඔහු සඳහන් කරයි.

Ruwanvalisaya

එමෙන්ම එකම පොලිස් භටයකු හෝ නොමැති වුව ද වන්දනා කරුවන් අතරේ කිසිදු කහලකාරී සිදු වීමක් වාර්තා නොවන බව සටහන් කොට ඇති ලීෂිං විනිසුරු වරයා මෙසේ ද සටහන් කොට තිබේ.”පලාතේ මහේස්ත්‍රාත් වරයා ලෙස මට පැවසිය හැක්කේ මොවුන් තුළ පවත්නා යහපත් සන්සුන් විනය ගරුක බව පැරදවිය හැකි වෙනත් ජන කොටසක් ගැන මට සිතා ගන්නට වත් නොහැකි බව ය.”ඉහත සඳහන් ඓතිහාසික ප්‍රකාශය වර්තමානයට ආදේශ කොට ඒ අනුව කටයුතු කිරීම මේ පොසොන් සමය මුල් කොට ගත් අප ජාතිය සතු ප්‍රධානතම සමාජමය වගකීමක් බව අපගේ වැටහීම ය.


Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)



(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...