The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : හොඳට නරකට දෙකට 'මයික්' මය

T

The Leader Desk

June 8, 2025 • 6:27 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : හොඳට නරකට දෙකට 'මයික්' මය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “දෙපස රුපු හිඳිතක් - වෙසෙත් සැප දෙසම නුවණැතියෝ දසන් දෙතිසක් මැද නොතැලී වැස දිව දවසරින මෙන්” ඒ කෙසේ වෙතත්, එක් දිනක් දත් ටික දිව සමඟ තදවී මෙසේ කීය.
  • “මම පොඩ්ඩක් හරි හැපුවොත් තමුසෙ දෙකට කැපෙනවා.” දිව උපහාසාත්මක ලෙස මෙසේ කීය.
  • දිවෙන් දිව ගාගෙන හිටියත්, අසත්පුරුෂයා විශ්වාස කරන්නට එපා යැයි කියුමක් ඇත.
  • එසේම, කට බොරු කියතත් දිව බොරු කියන්නේ නැතැයිද ජනප්‍රිය පිරුළක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


“දෙපස රුපු හිඳිතක් -
වෙසෙත් සැප දෙසම නුවණැතියෝ
දසන් දෙතිසක් මැද
 නොතැලී වැස දිව දවසරින මෙන්”


ඒ කෙසේ වෙතත්, එක් දිනක් දත් ටික දිව සමඟ තදවී මෙසේ කීය.

“මම පොඩ්ඩක් හරි හැපුවොත් තමුසෙ දෙකට කැපෙනවා.”

දිව උපහාසාත්මක ලෙස මෙසේ කීය.

teeth
“හලෝ... මම එක වචනයක් හරි නරකට පාවිච්චි කළොත්, තමුසෙලා සෙට් එකම කුඩු වෙන්ඩ පුළුවන්.”

ගෝරියකදී “දත් ටික පරිස්සම් කරගනිං” යැයි, එකෙක් අනිකාට තර්ජනය කරන්නේද එවැනි අවස්ථාවලය. එහෙත්, දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන, දිව දෙකේ මිනිස්සුද ලොව නැතුවා නොවේ.

දිවෙන් දිව ගාගෙන හිටියත්, අසත්පුරුෂයා විශ්වාස කරන්නට එපා යැයි කියුමක් ඇත. එහෙම උන්ගේ දිව මුල මී තිබුණත්, හද තුළ විසය.

බොරු කියන්නෙ ඇයි? - (FreedomTV වීඩියෝවක්)

 

එසේම, කට බොරු කියතත් දිව බොරු කියන්නේ නැතැයිද ජනප්‍රිය පිරුළක් ඇත. මේවා කොයි එකත් කට කහනවාට කියපුවාද නොවේ.


හිතෝපදේශ ශ්ලෝකයක කියැවෙන පරිදි, මෝඩයෙක් අලංකාර ලෙස හැඳ පැළඳ සභාවකට පැමිණි විට බොහෝ දෙනා ඔහුට මුලාව, ගරු බුහුමන් දක්වති. එහෙත්, කට ඇරිය පමණින් ඔහු කවුදැයි හෙළි වේ. නින්දාවට පත් වේ. කට පියාගෙන සිටින තාක්, මෝඩයාත් පණ්ඩිතයෙකි.

වක්කඩ කැඩුවා වාගේ කටකම සෙයියාවක් නැතුව කියවන්නේ වාචාලයෝය. වාචාලකමත්, මුකරිකමත් අතර වෙනසක් ඇත. කට වාචාලයා බොහෝ සේ කතා කරයි. බීමත් වූවකු සේ දොඩමලු වෙයි. ඕනෑ තැනයි, එපා තැනයි දෙකේදිම කට ඉස්සර කරයි. ඔහු තනිකරම කට හැකරයෙකි.

 

අද දේශපාලනඥයන් ගෙනුත් මතු 'අන්දරේලා' බිහි වෙන්න පුළුවන් - (තිලක් සේනාසිංහ)
මුකරියාද, කපුටකු මෙන් නිතර ශබ්ද නගන්නෙකි. එහෙත් ඔහුගේ කතාව තුළ කිසියම් බුහුටි බවක්ද ඇත. එහෙයින් වාචාල කතාවට වඩා, මුකරි කතාවෙහි කිසියම් ප්‍රියමනාප බවක් ඇත. වාචාලකමට පිළියමක් නැති බව කියැවෙන කවියක්, අපේ ගැමි සමාජයෙහි පවතී. මෙය කියා ඇත්තේ, හොඳම මුකරියකු වන අන්දරේ විසිනි!

මිට මිටේ වපුල වී කන්නේ සේ රු
පිට රටේ ඇවිත් මොකටද කයිවා රු
කට වටේ කොටත් වැට බඳිනෙද කවු රු
පිට රටේ නැතිව වැපුරුම නැත සී රු


මෙවර හීසරයේ කතාබහ කටෙන් දිවෙන් පටන්ගෙන වාචාලකම්, මුකරිකම් දක්වා දිගහැරුණේ, මේ දිනවල දියවන්නාව පැත්තෙන් ඇසුණු, ඇසෙන “අනේ අබ්ලික්” කතා නිසාය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුට සදන බොරු

දියවන්නාවේ රට කරවන මණ්ඩපයට ආ ගිය බොහෝ දෙනා, කටින් බතල හිටවූ අය බව ජනතාව දනිති. එසේම, සමහරුන් කියුවේ අතේ පැලවෙන කතාය.

අද කියූ කතා හෙට බොරු වීම දේශපාලනයේ හැටියකි. අතේ පැලවූ කුඩා ගස්, පසුව මහ ගස් බවට පත් වුවත් ඔවුහු නොදන්නා සේ සිටිති.

වැරදි නිවැරැදි කර ගැනීම හොඳ වැඩකි. එහෙත් කෙසෙල් ගසට කෙටූ පිළිහුඩුවාට නං, හොට ගලවා ගැනීමට ටිකක් කල් යයි. සමහර මහත්වරුන්ට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගත නොහැකි බව වැටහෙන්නේ, කට වරද්දාගෙන හිරේ විලංගුවේ වැටෙන්නට වූ පසුය.

ඊයේ පෙරේදා මේ පිළිබඳව නොයෙක් අදහස් උදහස් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණි. ප්‍රකට පරිවර්තකයකු වන චූලානන්ද සමරනායකයන් විසින්, ඔහුගේ මුහුණුපොතට කළ සටහනකින් උපුටා ගත්තකි මේ.

chula

“මෙසේ කට වරද්දාගෙන ඇත්තේ ඔහු පමණක් නොවේ. පසුගිය කාලය පුරාම අපි මෙවන් කට කඩාගෙන මිරිස් ගලේ අතුල්ලන බොහෝ අය දුටුවෙමු. මහත්වරුනි, නෝනාවරුනි, කරුණාකර දේශපාලනය කරන්න. මයික් එක යනු වස්ති කරන්නට ගන්නා උපකරණයක් නොවේ. මහජනතාව යනු නුඹලාට රිසි සේ පහරන්නට ඇති වැසිකිලියක්ද නොවේ.”

චූලානන්දගේ මේ “මුකරි සටහන” මයික් අප්පුලා කාට කාටත් හොඳ උපදෙසකි. මේ සටහන ලියූ චූලාගේ කටේ, රන්මසු දැමිය යුතුය. අතේ බ්‍රේස්ලට් පැළදිය යුතුය.

මිරිස් කන විට දයි නොදයි කියා කෑවත්, කට දෑම ෂුවර්ය. වචන වරද්දා ගැනීමත්, බොරු ඇත්ත කිරීමත්, ඇත්ත බොරු කිරීමත් දෙකම මිරිස් කෑමකි. රොටී නැතුව නයි මිරිස් කෑමකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු
දයි නොදයි කියා කෑවත් කට දනවා
 බොයි නොබොයි කියා බීවත් වෙරි වෙනවා
ඇයි හොඳයි කියා උන්නත් දුර යනවා
අනෙ අපොයි කියා ළතවෙන්ටත් වෙනවා


(මහත්වරුනි, බොරුවට ආයුෂ නැත. පැත්තක් නොව දෙපැත්තම ගියත්, ඇත්තම කියපල්ලා! බොරුව මාට්ටු වුණොත් හක්ක පටස්ය!)

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රතිඵල ආවා(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...