The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නවීන ලෝකයේ වේගයෙන් පෙරට එන මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය | රේණුකා දමයන්ති

T

The Leader Desk

June 8, 2025 • 11:09 AM

නවීන ලෝකයේ වේගයෙන් පෙරට එන මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම් දේවානම් පියතිස්ස රජු ගේ දඩයමට ලක් වීමට නියමිතව සිටි ගෝනකුට අභය දානය දීම ය.
  • මෙම සඳහන කියවන ඔබ බොහෝ දෙනකු තුළ මෙහි නිරවද්‍යතාව පිළිබඳ යම් කුකුසක් ඇති වීම ඉතා ස්වභාවික ය.
  • ඒ දේවානම්පියතිස්ස රජු එලෙස ලුහු බඳින ලද්දේ මුවෙකුය යන්න අප සමාජය තුළ මහත් ප්‍රසිද්ධියකට පත්ව තිබීම නිසා ය.
  • එහෙත්, ඒ සම්බන්ධ ප්‍රමුඛතම මූලාශ්‍රය වන මහා වංශයේ දාහතර වන පරිච්ඡේදයේ හතර සහ පස්වන ගාථා පාඨ මගින් පැවසෙන අන්දමට රජු විසින් එලෙස ලුහු බඳින ලද්දේ ගෝනකු මිස මුවකු නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එනම් දේවානම් පියතිස්ස රජු ගේ දඩයමට ලක් වීමට නියමිතව සිටි ගෝනකුට අභය දානය දීම ය.

මෙම සඳහන කියවන ඔබ බොහෝ දෙනකු තුළ මෙහි නිරවද්‍යතාව පිළිබඳ යම් කුකුසක් ඇති වීම ඉතා ස්වභාවික ය. ඒ දේවානම්පියතිස්ස රජු එලෙස ලුහු බඳින ලද්දේ මුවෙකුය යන්න අප සමාජය තුළ මහත් ප්‍රසිද්ධියකට පත්ව තිබීම නිසා ය. එහෙත්, ඒ සම්බන්ධ ප්‍රමුඛතම මූලාශ්‍රය වන මහා වංශයේ දාහතර වන පරිච්ඡේදයේ හතර සහ පස්වන ගාථා පාඨ මගින් පැවසෙන අන්දමට රජු විසින් එලෙස ලුහු බඳින ලද්දේ ගෝනකු මිස මුවකු නොවේ.

 

එලෙස ගෝනා මුවා බවට පත්ව ඇත්තේ රජතුමා එලෙස දඩ කෙළියෙහි යෙදෙන ලද්දේ මුව වනයක නිසා විය යුතු ය. ඒ කෙසේ හෝ මෙලෙස තිරිසන් සතුනට අභය දානය දීමේ සම්ප්‍රදායන් සහ බොහෝ සංස්කෘතීන් තුළ ආරම්භ වී නොතිබූ පරිසරයක ලෝක ඉතිහාසය තුළ එහි පුරෝගාමිත්වය බුදු සමයට හිමිව ඇති බව එෛතිහාසිකවම තහවුරු වී තිබේ.

පසුව මිහිඳු මා හිමියන් ගෙන් ලත් එම ධර්ම දායාදයේ අනුහසින් ආමණ්ඩ ගාමිණී, හතර වන අගබෝ, තුන්වන කාශ්‍යප, දෙවන මිහිඳු, පළමුවන සේන ආදී රජවරු සතුන්ට අභය දානය දීම සම්බන්ධ මා ඝාත (නො මරනු) යනුවෙන් රාජ ආඥාවෙන් පවා පැනවූ බව ලක් ඉතිහාසයේ සඳහන්ය.

දානමය සංකල්පය බුදු සමය හා සම්බන්ධ ප්‍රමුඛතම පරමාදර්ශයකි. බෞද්ධ විග්‍රහයට අනුව දානයෙහි ආකාර තුනකි. ඒ ආමිස දානය, අභය දානය හා ධර්ම දානය වශයෙනි. අද වන විට සමාජයේ අතිශය දානය යනුවෙන් අතිශය ප්‍රචලිතව ඇත්තේ ආමිස දානයයි.

 

sath1
ආමිස දානය යනු ජීවත් වීම සඳහා අවැසි ආහාර පාන ඇතුළු භෞතික සම්පත් පරිත්‍යාග කිරීමයි එහෙත්, ධර්ම දානය යනු මිනිසුන් විසින් මිනිසුන් සඳහා පමණක් ලබා දිය හැකි සුවිශේෂ දානයකි. එනම් මිනිසා ඇතුළු සකල විධ විශ්වයේ යහ පැවැත්මට ඉවහල් වන සදාචාරාත්මක පණිවිඩය පටුරුවා ලීම ය. බුදු දහමින් පැවසෙන අන්දමට ධර්ම දානය යනු ලොව උතුම්ම දානයයි.

‘අභය’ යන වචනයට හා ‘අභය දානය’ යන්නට විවිධ අර්ථකථන ලබා දී ඇත. වචනාර්ථය වශයෙන් ගත් කළ අභය යන්නට බිය නැති, නිර්භය, සුරක්‍ෂිත, ආරක්‍ෂාව, ක්‍ෂේමය යන අරුත් ලබා දිය හැක. දඬුවම් හෝ මරණය වැළැක්වීම, ආරක්‍ෂාව හෙවත් රක්‍ෂාවරණය සලසා දීම, සමාව දීම, මරණයට නො පමුණුවා දිවි මුදා හැරීම, දඬුවම් ඉවත් කර සමාව දීම, ආරක්‍ෂාව සලසා දීම, මරණයට පත් නො කර ජීවිත දානය දීම යන අර්ථ අභය දානය යන්නට ලබා දිය හැක. මෙය නූතන සමාජයේ මිනිසුන් සඳහා පමණක් වන ක්ෂමා කිරීම (Amnesty) යන්නට වඩා අතිශය ගැඹුරු පුළුල් අරුතක් පළ කරන්නකි.

එමෙන්ම මෙම අභය දානය මිනිසුන්ට පමණක් සීමා නොවන අතර එය සියළු සතුන් සම්බන්ධයෙන් ප්‍රදානය කළ හැක්කකි.

 

sath3
තත්වය මෙසේ තිබියදී කට වහරට අනුව කිවහොත් බුදු සමයේ හුළඟක් වත් වැදී නොමැති ලොව බොහෝ දියුණු රටවල මෙම සතුනට අභය දානය ලබා දීම වේගයෙන් ප්‍රවර්ධනය වෙමින් තිබේ. ඒ මුදා ගැනීම ( Rescue) යන සංකල්පය යටතේ ය.

විවිධ හේතුන් මත ජීවත් වීම සම්බන්ධ අනතුරුදායක සහ අවදානම් සහගත තත්ත්වයනට මුහුණ පා හිඳින සතුන් ඉන් මුදාගෙන ඔවුනට ජීවත් වීමට ඇති ස්වභාවික අයිතිය තහවුරු කිරීමේ මූලික පියවර මෙම මුදා ගැනීමේ ක්‍රියාවලියට අයත් වේ.

එමෙන්ම ගත වූ දශක කිහිපය තුළ මෙම යාන්ත්‍රණය කෙතරම් සවිමත් හා සංවිධානාත්මක ලෙස ප්‍රවර්ධනය වන්නේ ද යත් මේ වන විට ඒ සඳහා වන පිරිස්, සංවිධාන සහ ආයතන යන ව්‍යුහයන් ලොව පුරා වේගයෙන් ප්‍රවර්ධනය වෙමින් තිබේ.

මේ වන විට අප රට තුළ ද එවන් සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වීම අතිශයින් සතුටට කරුණකි. මෙහි දී විවිධ විපත්, අනතුරු සහ අවදානම් සහගත තත්වයන්ට පත්ව හිඳින ගෘහාශ්‍රිත සතුන් ඒවායින් මුදා ගැනීම සම්බන්ධ කණ්ඩායම් පුද්ගලයන් සහ මේ වන විටත් ක්‍රියාත්මක වන මුත් ඒ සඳහා වන ශිල්පීය තාක්ෂණය සහ නවීන මෙවලම් වශයෙන් අප එතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇති බවක් නොපෙනේ.

sath5

 

සතුන් මුල් කොට ගත් සත්ව චර්යාවේදය ( Ethology) වැනි නවීන විෂය පථයන් අදටත් මෙරට උසස් අධ්‍යාපනයට එක් නොවීම ද ඊට හේතුවකි.

නමුත් ලොව බොහෝ රටවල ගෘහස්ථ සතුන් සේම ලැව්ගිනි ආදී ස්වභාවික විපත් වලින් අනතුරට පත් වන ජීවීන් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුම් ද ක්‍රියාත්මක වේ. ඒ එම කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම් ශිල්පීය තාක්ෂණයන් ගෙන් නොමඳ සහායක් හිමි වන අතරේ ය.

විවිධ ආකාරවල අන්තරායනට ලක් වූ වන ජීවීන් ඉන් මුදා ගැනීම සේම ඔවුන් පුනරුත්ථාපනය කිරීම ද ඉතා වැදගත් ය. වනජීවී පුනරුත්ථාපනය යනු තුවාල ලැබූ, අසනීප වූ, අනාථ වූ හෝ අවතැන් වූ වන සතුන් රැකබලා ගැනීමේ ක්‍රියාවලියයි. ඔවුන් නැවත ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලට මුදා හැරීමේ අරමුණින්. එයට වෛද්‍ය ප්‍රතිකාර තාවකාලික නිවාස සහ පක්ෂීන් සහ ක්ෂීරපායින්ගේ සිට උරගයන් සහ උභයජීවීන් දක්වා විවිධ විශේෂ සඳහා විශේෂිත සත්කාර ඇතුළත් වේ.

වන ජීවී පුනරුත්ථාපනය යනු මෙහිම දිගුවක් වන අතර තරමක් පුළුල් විෂයකි, පශු වෛද්‍ය විද්‍යාව, වන ජීවී සංරක්ෂණය සහ සත්ව සුභසාධනය ඒකාබද්ධ කර තුවාල, රෝග හෝ මානව මැදිහත්වීම් වැනි අභියෝගවලට මුහුණ දීමෙන් පසු සතුන්ට සුවය ලැබීමට සහ පැවැත්මට හොඳම අවස්ථාව ඇති බව සහතික කිරීම එම විෂය මඟින් සිදු කෙරේ.

 

sath2
සතුන් රැකබලා ගැනීමට අමතරව ලොව දියුණු රට වල වන ජීවී පුනරුත්ථාපන කරුවෝ බොහෝ විට සංරක්ෂණය, වාසස්ථාන ආරක්ෂාව සහ වන ජීවීන් සමඟ සහජීවනයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරති. වන ජීවී වාසස්ථාන විනාශය, දූෂණය සහ වාහන ගැටුම් ඇතුළු වනජීවී ගහනයට මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන් ඔව්හු අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරති.

නමුත් අප රටේ ග්‍රාමීය සමාජය තුළ ද මෙම ශක්‍යතාව මෙලෙසින්ම තිබූ බව පැවසීමට අප නිර්ලෝභී විය යුතු ය. විශේෂයෙන් විපතට පත් වන අලි ඇතුන් මුදා ගැනීම පිණිස අප රටේ ගැමි ජනතාව වන ජීවී නිලධාරීන් හා උරෙනුර ගැටී කටයුතු කරන අන්දම සේම විටෙක එම සතුන් ගේ යහපත තකා එම නිලධාරීන් දැඩි විවේචන වලට ලක් කරන අයුරු ද අපට නිතර අසනට ලැබේ.

අලි නිදා සිටින අයුරු ඔබ දැක තිබෙනවා ද?

 

නමුත් ඒ අතරේ සාගිනි නිවා ගැනීමට මානව ජනාවාස වලට පැමිණෙන රිලවුන් මුල් කොට “රිලා ත්‍රස්තවාදය” ආදී අරුත් සුන් ප්‍රලාප මඟින් මානව-වන ජීවී සහසබඳතාව පිටු දකින නව දේශපාලන රැල්ල කෙරෙහි ද අප විශේෂ අවධානයකින් පසුවිය යුතුය. අප එසේ පවසනුයේ ත්‍රස්තවාදය යන්නෙහි අරුත මුල් කොට එය වඩාත් උචිත වනුයේ අසරණ රිලවුන් හට ද නැතිනම් ඒවා පවසන්නවුන් හට ද යන කුකුස බොහෝ දෙනකු තුළ ඇති විය හැකි බැවිනි.

අප රටේ තත්වය මෙසේ වුව ද ලොව බොහෝ රටවල මෙලෙස විපතට පත් කුඩා සතුන් මුදා ගැනීම් සම්බන්ධයෙන් දරුවන් හුරු කරවීමේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. එලෙස ළමා වියේ සිටම දරුවන් ගේ සිත් සතන් තුළ සත්ව කරුණාව රෝපණය කිරීම ඔවුන් වැඩි වියපත් වීමත් සමඟ සානුකම්පිත පුරවැසියන් කිරීමට හේතු වන බව මේ වන විට ළමා මනෝ විද්‍යාඥයන් බොහෝ දෙනකු ගේ මතය වී තිබේ.

එමෙන්ම කුඩා වියේ සිට දරුවන් තුළ සතුන් මුදා ගැනීම හා සම්බන්ධ කුශලතා ප්‍රවර්ධනය කිරීමෙන් ඔවුන් ගේ අධ්‍යාපනය හා පුද්ගලත්වය ප්‍රවර්ධනය කිරීමට මහා පිටිවහලක් ලැබෙන බව සංවර්ධන මනෝ විද්‍යාඥයන් විසින් තහවුරු කොට තිබේ.

sath4
එමෙන්ම විවිධ අපරාධ ආදියට සම්බන්ධ වූවන් ගේ ළමා කාලය සම්බන්ධයෙන් සිදුකරන ලද විවිධ පර්යේෂණවලදී ඔවුන් බහුතරය සතුන් අප්‍රිය කළ සතුන් කෙරෙහි ළමා කාලයේ සිටම අප්‍රසන්න හැඟීම් ඇති කර ගත්තවුන් බව ද සනාථ වී තිබේ.

ඒ අනුව මිහිඳු හිමියන් අප ජාතියට දායාද කළ අභය දානමය සංකල්පය හෝ බටහිර දියුණු සමාජයෙන් මෙරටට සම්ප්‍රේෂණය වූ සතුන් මුදා ගැනීම් සංකල්පය පෙරදැරිව සතුන් කෙරෙහි වඩාත් සැලකිලිමත් වීම අප සැමගේ මනෝ කායික සංහිඳියාවට සේම මතු සමාජයේ සදාචාරාත්මක යහපැවැත්මට ද හේතු වනු ඇත.

ආණ්ඩුව රාජ්‍ය සේවයට කරන්න හදන්නේ ඔපරේෂන් එකක් ද? එම්බාම් එකක් ද? | රේණුකා  දමයන්ති(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...