එහි අලුත්ම යාවත් කාලීන වීම වශයෙන් පසුගිය දා ශ්‍රී ලංකා රේගුවේ ද කට ඇරුණේ ය. ඒ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකු මධ්‍ය ඉදිරියට පැමිණ කන්ටේනර් 323 නිදහස් කිරීම එහෙම්පිටින්ම රේගුවේ වැඩක් බව ප්‍රකාශ කිරීමෙනි.
එය රේගුවට අළුත් දෙයක් නොවන බවත් රේගුවේ තදබදයක් ඇති වූ අවස්ථා වල අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙතක් බවත් ඔහු හෙළි කළේ ය.
එබඳු ක්‍රියාවක් කරන්නට කිසිවෙකු රේගුවට බලපෑම් නොකළ බව ද නිදහස් කළ කන්ටේනර්වල තහනම් ද්‍රව්‍ය කිසිවක් නොවූ බවද වැඩි දුරටත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ ය.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට සාමාන්‍ය සිද්ධියක් වුවත් පසුගිය මාස පහක පමණ කාලයක් තිස්සේ මේ කන්ටේනර් 323 සිද්ධිය රටට සාමාන්‍ය දෙයක් වුණේ නැත. රට පුරා සමාජ මාධ්‍ය ඔස්සේ මේ කන්ටේනර් නිදහස් කිරීම සැක සහිත බව ප්‍රචාරය වෙමින් තිබුණි.

විශේෂයෙන්ම රේගුව විසින්ම රතු ලේබල් ගණයට වර්ග කර තිබුණු අනිවාර්යෙන්ම භෞතික හා ස්කෑන් පරීක්ෂණයට භාජනය කළ යුතු බවට එමගින් හඳුනාගත් කන්ටේනර් සැලකිය යුතු ප්‍රමාණයක් ද මේ 323ට අයත්වීම නිසා කිසිදු පරීක්ෂාවකින් තොරව මේවා නිදහස් කිරීම ජනතාවගේ සැකයට භාජනය වීමේ පුදුමයක් නැත.
විපක්ෂ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ ද විද්‍යුත් මාධ්‍යවල වාද විවාද වලදී ද මාධ්‍ය හමුවලදීද මේ සැකය ඔස් මතු කරන ලදී. එහෙත්, ඒවාට සාධාරණ පිළිතුරක් ආණ්ඩුව පැත්තෙන් ලැබුණේ ද නැත. නමුත් වරාය සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා මේ කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගන්නා බවට පැහැදිලිව ප්‍රකාශ කරනු අපට මතක ය.
මේ කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව මේ අන්දමින් විවිධ ප්‍රශ්න රට පුරා සිව් දෙසින් පැන නඟිද්දී රේගුව කළේ මුනිවත රැකීම ය. ඔවුන් දැන් ප්‍රකාශ කරන පරිදි මේ නිදහස් කිරීම සාමන්‍ය ක්‍රියාවක්; සුළු දෙයක් නම් ඔවුන් ඒ ගැන එදා නිහඬව සිටියේ ඇයි? යන ප්‍රශ්නය දැන් අප තුළ මතු වී ඇත.
එපමණක් නොවේ රේගුව ගැන මැනවින් අවබෝධයක් ඇති රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය මේ රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීම ගැන මාධ්‍ය ඉදිරියේ විරෝධය පළ කළ බව ද අපට මතක ය. මෙය රේගුව තදබදයකදී අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙතක් නම් ඒබව රේගු නිලධාරීන්ගේ සංගමය ද දැනගන සිටිය යුතු ය. එසේ නම් ඔවුන් මීට එරෙහිව මාධ්‍ය ඉදිරියේ විරෝධය දැක්වූයේ ඇයි?

එමෙන්ම මේ කන්ටේනර් නිදහස් කිරීම තදබදයට පිළියමක් ලෙස තමන් විසින් කළ බවට වරාය ඇමති වරයා ප්‍රකාශ කර නියෝජ්‍ය ඇමතිවරයා එහි වගකීම ආණ්ඩුව ගන්නා බවට ප්‍රසිද්ධියේ කියා තිබියදී මේ නිදහස් කිරීම සඳහා දේශපාලන බලපෑමක් හෝ වෙනත් බාහිර බලපෑමක් නැති බවට අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අමූලික බොරුවක් නොවේදයි යන ප්‍රශ්නය ද පුරවැසියන් ලෙස අප තුළ ද ඇතිවී ඇත.
කන්ටේනර් 323 නිදහස් කිරීම ගැන මාස පහක් තිස්සේ විවිධ සැකයන් පැතිරෙද්දී මුනි වත රැකි රේගුවට හදිසියේ මාධ්‍යයට ඇවිත් සැක සහිත ප්‍රකාශයක් කිරීමට සිදුවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිය වරප්‍රසාද යටතේ ප්‍රකාශයක් කරමින් මේ කන්ටේනර්වල තිබුණේ ප්‍රභාකරන්ගේ අවිආයුධ යැයි කීම නිසා බව සිතිය හැකිය.
සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට නම් විශ්වාස කළ නොහැකි ඒ කථාවට පසුබිම සැලසී තිබුණේ කන්ටේනර් ගැන පැහැදිලිව සැක දුරුවන අන්දමේ ප්‍රකාශයක් රේගුවෙන් හෝ ආණ්ඩුවෙන් සිදු නොවුණු නිසා ය. ඒ වෙනුවට ආණ්ඩුව කළේ නීතීඥයෙකු යොදවා මේ කන්ටේනර් නිදහස් කිරීම ගැන මාධ්‍ය ප්‍රකාශ සිදු කළ දේශපාලකයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම ය.
අවසානයේ සිදුවුණේ වල්ගය ගිනිගත්තා මෙන් හැසිරෙන දේශපාලන හනුමන්තා කෙනෙකු පාර්ලිමේන්තුවේදී සිය ගිනිගත් වල්ගය හතර අත ගසා ගිනි පුපුරු රට පුරා විසුරුවීම ය. ඒ ආණ්ඩුව හිස් ව තබා ඇති බඳුනකට වස පිරවීමක් ලෙසිනි.

රණ විරු දිනයේ සොල්දාදු කතාන්දර, සාමය වෙනුවෙන් සැවොම යුද්ධ කළ කථා හා උතුරේ අවි දරා මියගියේ ද වීරයෝය වැනි ආණ්ඩුවේ දේශපාලකයන්ගේ ඔලමොට්ටල කතා වලින් කලකිරී සිටි ප්‍රජාවගේ ඔලුවටම ගිනි තියන අන්දමේ ප්‍රකාශයක් අර මුග්ධ හනුමන්තාට කරන්නට ඉඩ දෙන තැනටම පත්කර ගත්තේ ද ආණ්ඩුව ය. ඒ හානිය වලක්වන්නට ගොස් රේගුව කර ගත්තේ ඉඳුරුවේ ආචාරියා කළ දේම ය. එනම් එකක් කඩතොළු මකා දෙන්නට ගොස් සියක් කඩතොළු තනා දීම ය.
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com
(vinivida.lk)
මෙම සටහනට අදාල තවත් විස්තර :
නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් 323 ගැන රේගුවෙන් ප්‍රකාශයක්
කන්ටේනර් 323ක් බලපෑමට පිට කරලා නැහැ - විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක



