The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මට හිතුනෙම මම මේ ලෝකෙට වැරදිලා ආපු කෙනෙක් කියලා : සියදිවි නසා ගැනීමට තැත් කළ සිසුවකුගේ පාපොච්ඡාරණය

T

The Leader Desk

June 9, 2025 • 9:29 AM

මට හිතුනෙම මම මේ ලෝකෙට වැරදිලා ආපු කෙනෙක් කියලා : සියදිවි නසා ගැනීමට තැත් කළ සිසුවකුගේ පාපොච්ඡාරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් ඉදිරියේ වාඩිවී සිටි තරුණයා වෙතින් මනෝවෛද්‍යවරයා ප්‍රශ්න කළේය.
  • මේ එවකට උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙකි.
  • මෙම තරුණයා සියදිවි හානි කර ගන්නට උත්සාහ කිරීම දක්වා යාමට බලපෑ තවත් බොහෝ හේතු ඒ පිටුපස තිබෙනු ඇත.
  • මගේ හිතේ තිබුණු දුක් කරදර පීඩා හැම එකක්ම අමතක වෙන්න පටන් ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):
     
තමන් ඉදිරියේ වාඩිවී සිටි තරුණයා වෙතින් මනෝවෛද්‍යවරයා ප්‍රශ්න කළේය. නමුත් තරුණයා පිළිතුරක් නොදී තවදුරටත් කළේ මුනිවත රැකීමයි.
     
මේ එවකට උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙකි. ඔහු මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණේ රෝහල් වාට්ටුවක් මගිනි. මේ සිදුවීම වූයේ මීට වසරකට පමණ ඉහතදී ය. මෙම තරුණයා සියදිවි හානි කර ගන්නට උත්සාහ කිරීම දක්වා යාමට බලපෑ තවත් බොහෝ හේතු ඒ පිටුපස තිබෙනු ඇත. අවසානයේ තරුණයා සිය කතාව ආරම්භ කළේය.
     
"මගෙ ෆෝන් එක තාත්තා උදුර ගත්තා. මට ඒක දරා ගන්න බැරි වුණා" 
     
"ෆෝන් එකක් නැතිවුණ පමණින් කෙනෙක් සියදිවි හානි කරගන්න පෙළඹෙන්නෙ නෑ. මොකක්ද ෆෝන් එකත් එක්ක තිබුණ ඔය තරම් ලොකු බැඳීම?"
 
depression1
     
තරුණයා පිළිතුරක් දීමට හදිස්සි වූයේ නැත.
     
"ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"
     
"නෑ ඩොක්ටර්. මම ෆෝන් එකෙන් කරපු⁣ ලොකුම දේ තමයි ගේම් ගහපු එක"
     
වෛද්‍යවරයා හිස සැලී ය.
 
"පහුගිය කොරෝනා කාලෙ ඔන්ලයින් ඉගෙන ගන්න වුණු දවස්වල තමයි මුලින්ම මට ෆෝන් එක අරන් දුන්නේ. මම ගේම් ගහන්න පුරුදු වුණේ මගෙ හිතේ තිබුණු දුකයි පාළුවයි නැති කර ගන්න. ඒකෙන් මට බාහිර හැම දෙයක්ම අමතක කරන්න පුළුවන් වුණා. මට එහෙම ගේම් ලෝකෙක ඉන්න එක ලොකු සතුටක් වුණා"
Mobile Multiplayer Games 800x445
 
"ඔයාගෙ පවුලෙ වෙන කවුද ඉන්නෙ?"
     
"අම්මයි තාත්තයි මමයි"
     
"ඔයා එකම දරුවා?"
     
"ඔව්. මම හිටියෙ ගෙදර තනි වෙලා"
     
"අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරපු නිසා?"
 
depression2
"ඒක නිසාම නෙමෙයි ඩොක්ටර්. ඒ දෙන්නා අතරේ ගොඩක් ප්‍රශ්න තිබුණා. අපි තාත්තා ගොඩක් ඩ්‍රින්ක්ස් ගත්ත කෙනෙක්. තව මොන මොන හේතු ඒ දෙන්නා අතරෙ තිබුණද කියන්නේ මම දන්නේ නෑ. ඒ දෙන්නා මගෙ වුවමනා එපාකම් සේරම ඉෂ්ට කළා. ඒත් මා එක්ක ගත කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා අම්මයි තාත්තයි ගෙදර ඉන්න වෙලාවක වුණත් මට දැනුණේ තනිකමක් විතරයි. ගෙදර ජීවිතේ මට සතුටක් වුණේ නෑ. එතකොට මම යාළුවො එක්ක ඉන්න පුරුදු වුණා. ඒත් ටික දවසක් යනකොට ඒකත් මට ඩ්‍රයි වගේ වුණා"
     
"ගර්ල්ස්ලත් එක්ක ඔයාගෙ ආශ්‍රයක් තිබුණේ නැද්ද?"
     
"මගෙ යාළුවො අතරෙ ගර්ල්ස්ලා හිටියා. ඒත් ඒ කෙල්ලො අතරෙත් මම දැක්කෙ හරි ආටිෆිෂල් ගතියක් විතරයි. ඊට පස්සෙ මම තනියම ගමන් යන්න, ෆිල්ම්ස් බලන්න පුරුදු වුණා. අන්තිමට ඒවත් එපා වුණා. ගෙදර. ඉස්කෝලේ, ටියුෂන් ක්ලාසස් මේ කිසිම තැනක මට සතුටු වෙන්න දෙයක් තිබුණෙ නෑ. මට හිතුනෙ මම මේ ලෝකෙට වැරදිලා ආපු කෙනෙක් කියලයි. අම්මයි තාත්තයි මමයි එක ගෙදරක ලෝක තුනක ජීවත් වුණා. තුන් දෙනාගෙන් කවුරුවත්, කාටවත් සමීප වෙන්නවත්, අඩුම තරමින් තේරුම් ගන්නවත් උත්සාහ කළේ නෑ. මට මගෙ ජීවිතේ මුලින්ම එපා වෙන්න පටන්ගත්තෙ ඒ කාලෙ"
     
"ඔහොමද ඔයා ගේම්වලට පුරුදු වුණේ?"
 
depression3
     
"මම කොහොමත් ඉඩක් ලැබුණම ගේම් ගහන එක මුල ඉඳලම කළා. නමුත් මට මේ විදිහට හිතේ අසහනය වැඩි වෙනකොට මම වැඩිපුර ඒකට පෙළඹුණා. ඊට පස්සේ වෙන මොන දේකින්වත් නොදැනුණු සතුටක් මට ඒකෙන් දැනෙන්න පටන් ගත්තා. ඒ හින්දම මම තව තවත් ඒකට නැඹුරු වුණා. මගේ හිතේ තිබුණු දුක් කරදර පීඩා හැම එකක්ම අමතක වෙන්න පටන් ගත්තා. මුලින් නිකන් ගැහුවට ඊට පස්සේ සල්ලි දාලා ගේම් ගහන්න පුරුදු වුණා. ඒකට මම තාත්තාට හොරෙන් තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කළා. ඒකෙ සල්ලි කොයි තරම් කැපෙනවද කියල මට හිතන්නවත් වුවමනාවක් තිබුණේ නෑ. ඒත් තාත්තට බෑන්ක් එකෙන් මෙසේජ් එනකොට එයා කලබල වෙලා හොයන්න ඇති. රුපියල් ලක්ෂයකටත් වැඩියෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි වැය කරලා මම ගේම් ගහල තිබුණා. මටම පුදුම හිතුනා මම එච්චර ගේම් ගහලද කියලා. කොහොම හරි මේ බව දැන ගත්තට පස්සෙ තාත්තාට යක්‍ෂාවේශ වෙලා මට ගහලා ෆෝන් එක උදුරාගෙන ඒකත් පොළොවේ ගැහුවා. මාව බේරන්න ඇවිත් අම්මත් ගුටි කෑවා. තාත්තා අම්මට පාරක් ගැහුවෙ මං ගැන අම්මා හොයල බැලුවේ නෑ කියලා. ජීවිතේ ගැන මට යම්කිසි ආසාවක් හරි තිබුණා නම් ඒ තිබුණේ ෆෝන් එක නිසා. ඒක පොළොවේ ගැහුවට පස්සේ ජීවත් වෙන්න තවත් කිසිම අරමුණක් මට ඉතුරු වෙලා තිබුණේ නෑ ඩොක්ටර්. ඒකයි මම සියදිවි හානි කර ගන්න සූදානම් වුණේ. ඒත් මගේ වාසනාවට හරි අවාසනාවට හරි ඒ වෙලාවෙම එහා ගෙදර නැන්දා හදිස්සියේම අපේ ගෙදර ආවා. මම කරන්න හදපු දේ එයාට තේරිලා එයා මරලතෝනි දෙනකොට අහළ පහළ අයත් දුවන් ආවා. කට්ටිය ඒ වෙලාවෙම අම්මටයි තාත්තාටයි කෝල් කරලා එයාලත් ආවා. ඊට පස්සේ තමයි මාව හොස්පිටල් එකට ගෙනාවේ"
 
මේ තරුණ දරුවා සමග දිගින් දිගට සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූයේ ඔහු තදබල ලෙස විශාද රෝගයෙන් පෙළෙන බවයි. එයට ඔහුගේ පවුල් පරිසරය බෙහෙවින් බලපා තිබිණි. දෙමාපියන් අතර පැවති ගැටුම් නිසා ඔවුන් දෙදෙනා නිතර සිතේ කනස්සල්ලෙන් සහ ඔවුනොවුන් කෙරෙහි නොරිස්සුමින් ජීවත්වීම මේ දරුවාගේ සිතට බොහෝ කාලයක සිට බලවත් පීඩාවක් ගෙන දී තිබිණි. එසේම නිතර කනස්සල්ලෙන් ජීවත්වීම නිසා මේ මාපිය දෙදෙනාට දරුවා කෙරෙහි අවධානය යොමු කිරීමට තරම් උනන්දුවක් සහ ඒ පිළිබඳ කල්පනාවක් නොතිබුණු බව එම දෙමාපියන් සමඟ සාකච්ඡා කළ විට පැහැදිලි විය. දරුවා කැමති කෑම බීමවලටත්, අධ්‍යාපනයට සහ අනෙකුත් වුවමනා එපාකම් පිරිමසාලීමටත් මුදල් වැය කිරීමෙන් ඔබ්බට ඔවුන් ට දරුවා ගැන සිතන්නට තරම් අවකාශයක් ද තිබුණේ නැත.
depression4     
තමන්ගේ සිතේ තිබෙන පීඩාවන් ගැන දරුවා කිසි විටෙකත් තම මව හෝ පියා සමඟ කතා කර නොතිබිණි . දරුවාට කිසිදු අඩුපාඩුවක් නොකළ නිසා දරුවා එවැනි මානසික පීඩාවකින් සිටිනු ඇතැයි දෙමාපියන් කිසි විටෙක කල්පනා කර තිබුණේද නැත. තමාට සවන් දෙන්නට මවට හෝ පියාට වුවමනාවක් ඇති බවක් නොහැඟුණු නිසා දරුවාද දිනෙන් දින දෙමාපියන්ගෙන් මානසික ව දුරස් විය. මේ සියල්ලට පිළිතුර ලෙස වීඩියෝ ගේම්වලට යොමු වූ ඔහු අවසානයේ ඊට තදින් ඇබ්බැහි වූයේ වීඩියෝ ගේම්වල වහලෙකු බවට පත් වෙමිනි. ඔහු මිතුරන්ගෙන් දුරස් විය. පොත පතෙන් දුරස් විය. අධ්‍යාපන කටයුතු ඇන හිට තිබිණි. දෙමාපියන් ඒ පිළිබඳ සොයා බැලීමක් කර නොතිබූ නිසා බොහෝ විට ඔහු පාසල සේම ටියුෂන් පන්ති පවා මගහැරියේය. සියල්ල හෙළිදරව් වීමෙන් පසු ඔහුගේ දුරකථනය ගෙන පොළොවේ ගසා කඩා දැමීම මේ තරුණ දරුවා දුටුවේ සිය ජීවිතයම සුනුවිසුණු කර දැමීමක් ලෙස ය. 
     
මේ දරුවාට විශාද විරෝධී ඖෂධ ප්‍රතිකාර නියම කරන ලද අතර ඇබ්බැහි වීම් සම්බන්ධ විශේෂිත වූ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට සිදු විය. ඒ සියල්ල මාස ගණනක් නොකඩවා කළ යුතු දිගුකාලීන ප්‍රතිකාර වේ. එයින් නොනැවතී දෙමාපියන් සමග ද ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් කතා කිරීම සිදු කෙරිණි. ඔවුන්ගේ ගැටලුව විසඳීම සිදු නොවුණොත් දරුවාට කොතරම් ප්‍රතිකාර දුන්නත් පලක් නොවන අතර එය "පය බරවායට පිටි කර බෙහෙත් බැඳීම" ට නොදෙවෙනි වනු ඇත. එනිසා ඒ දෙදෙනාට ද මනෝ චිකිත්සක ප්‍රතිකාර උපදේශන ප්‍රතිකාර නියම කිරීමට සිදුවිය. 
 
shutterstock 1486364633 small 1024x683
     
දරුවන්ගේ මෙබඳු ගැටලුකාරී තත්වයන් ඇති වීමට දෙමාපියන්ගේ ගැටලු, දෙමාපියකරණයේ ගැටලු, දෙමාපියන් සමාජ සම්බන්ධතාවලට දක්වන නැඹුරුව, නියාමනයකින් තොරව දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම යන කරුණු මූලික වේ. 
     
දෙමාපියකරණය යන්න තවදුරටත් සරලව විග්‍රහ කළහොත් දෙමාපියන් දරුවන්ට දැනෙන සේ ආදරය කිරීම, මනා රැකවරණයක් සැලසීම, දරුවන්ගේ ගැටලුවලට සංවේදී වීම, දරුවාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම, මනා අධ්‍යාපනයක් ලබාදීම යන මේ මූලික දේවල් දරුවන් වෙනුවෙන් ඉටු කිරීම ය. මේවා දරුවන්ගේ කායික මානසික යහපැවැත්මට හේතුවෙයි. මෙබඳු අත්‍යවශ්‍ය දේවල් දරුවාගේ පෞරුෂ වර්ධන අවධියේ දී , එනම් ළමා වියේදී සිට මගහැරුණහොත් ඒ දරුවා නොයෙකුත් පෞරුෂ දුර්වලතාවන්ගෙන් යුතුව සිය තරුණ සහ වැඩිහිටි විය කරා ගමන් කරනු ඇත. එය වළක්වාලීමට නම් දරුවෙකුගේ ළමා වියේ සිටම දෙමාපියකරණය මැනවින් සිදුවිය යුතුය.
 
උපදෙස් 
WhatsApp Image 2025 06 09 at 3.09.25 PMමහනුවර ජාතික රෝහලේ, මනෝ වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, පුහුණු විශේෂඥ මනෝ වෛද්‍ය ජනිත සී. හේරත් 
 
 
 
 
 
සැකසුම :
ඉන්දු පෙරේරා

නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද?
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මට හිතුනෙම මම මේ ලෝකෙට වැරදිලා ආපු කෙනෙක් කියලා : සියදිවි නසා ගැනීමට තැත් කළ සිසුවකුගේ පාපොච්ඡාරණය | The Leader