The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මිහිඳු හිමියන් වැඩම කළේ කාමභෝගී සැනකෙළි බිමකට ද?

T

The Leader Desk

June 10, 2025 • 9:20 AM

මිහිඳු හිමියන් වැඩම කළේ කාමභෝගී සැනකෙළි බිමකට ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප කවුරුත් දන්නා හා පිළිගන්නා ආකාරයට එය ක්‍රි.පූ 247 දී සිදු වූ මහින්දාගමනය හා පදනම් ව ආරම්භ වූවකි.
  • හින්දු දින දර්ශනයේ පොසොන් මාසය හඳුන්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ යනුවෙනි.
  • ඒ අනුව, පොසොන් යන නාමයට එවන් හින්දු සම්භවයක් ඇති බවක් නොපෙනේ.
  • එහෙත්, සංස්කෘත භාෂාවේ එන “ප්‍රසුන” යන වදන සිංහලයේ පොසොන් ලෙස දක්වන්නට ඇතැයි සාධාරණ ලෙස අනුමාන කළ හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

අප කවුරුත් දන්නා හා පිළිගන්නා ආකාරයට එය ක්‍රි.පූ 247 දී සිදු වූ මහින්දාගමනය හා පදනම් ව ආරම්භ වූවකි.

වෙසක් යන්න හින්දු දින දර්ශනයේ වේශාඛී මාසය පදනම් වූවක් වන අතර එම වදන ජාත්‍යන්තර වශයෙන් අද ද ව්‍යවහාර වේ. එහෙත්, පොසොන් යන්න ලොව අන් කිසිදු බසක දක්නට නොලැබෙන වදනකි. හින්දු දින දර්ශනයේ පොසොන් මාසය හඳුන්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ යනුවෙනි. ඒ අනුව, පොසොන් යන නාමයට එවන් හින්දු සම්භවයක් ඇති බවක් නොපෙනේ. එහෙත්, සංස්කෘත භාෂාවේ එන “ප්‍රසුන” යන වදන සිංහලයේ පොසොන් ලෙස දක්වන්නට ඇතැයි සාධාරණ ලෙස අනුමාන කළ හැක.

ප්‍රසුන යන්න සංස්කෘත භාෂාවේ බහු අරුත් පළ කරන වදනකි. මල හෝ මල් පිබිදීම යන්න එහි මූලික අරුත ය. එමෙන්ම එය සදාචාරාත්මක පිබිදුම ( Blossom of virtues ) හඟවන වදනක් ද වේ. ඒ අනුව සලකන විට සංස්කෘත ප්‍රසූන යන වදන සිංහලයෙන් පොසොන් ලෙස දැක්වෙන්නට ඇත.

 

මිහිඳු හිමියන් දැයට උරුම කළ සත්ව කරුණාවත් පිට රටින්ම ගෙන්වා ගනිමු ද?

කෙසේ හෝ මිහිඳු හිමියන් ඇතුළු පිරිස පොසොන් පුන් පෝ දා ශ්‍රී ලංකාවේ මිහින්තලයට වැඩම කිරීම එවක මෙහි රජ කළ දේවානම් පියතිස්ස රජ තුමන් පවා නොදැන සිටි පුවත පසුකාලීන වංශ කතා කරුවන් ගේ කාව්‍යාත්මක පරිකල්පනයක් බව පැහැදිලිවම පෙනේ. ඒ සම්බන්ධයෙන් කිව යුත්තේ එය බොහෝ විට එවක අනුරාධපුර කේන්ද්‍ර කර ගත් රාජ්‍ය සැණකෙළි බිමක දී දී මිහිඳු මා හිමියන් මිහින්තලා පව්ව මත සිට රජ තුමන් කේන්ද්‍ර කර ගනිමින් සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම ඇමතූ බව ය.

මිහිඳු හිමියන් මෙලෙස ශ්‍රී ලංකාවට වැඩම කරවා ගැනීමේ සැලසුම දේවානම් පියතිස්ස රජු ගේ පිය රජු වන මුටසීව රජු සමයේ සිට පැවති බව පෙනෙයි. මහින්දාගමනයර පෙර ද අප රටේ දියුණු සංස්කෘතියක් පැවැති මුත් ඊට වඩාත් දියුණු සදාචාරාත්මක ආරෝපණයක් ලබා දෙන ලද්දේ මිහිඳු හිමියන් විසිනි.

 

පුවත් - Results from #9120
මහාවංශයෙහි මහින්දාගමනය පිළිබඳ සටහන්ව ඇත්තේ මෙසේ ය.

ඛණෙනෙව ඉධාගම්ම
රම්මේ මිස්සක පබ්බතෙ
අට්ඨාසි පීලුකූටම්හි
රුචිරම්භත්ථලේ වරේ
(මහා වංශය 13 පරි.20 ගාථාව)


‘සැනෙකින් මෙහි වැඩමකොට සිත්කලු මිස්සක පර්වතයෙහි උතුම් රුචිර අඹ තලයෙහි වැඩ සිටි සේක’ යනු එහි අරුත ය.

දේවානම්පියතිස්සො සො
රාජා සලිලකීලිතං
දත්වා නගර වාසීනං
මිගවං කීලිතුං අගා (මහා වංශය 14 පරි. 01 ගාථාව)



‘ඒ දෙවන පෑතිස් රජ තෙමේ නුවර වැසියන්ට දිය කෙළියේ යෙදෙන ලෙස විධාන කොට තෙමේ මුව දඩ කෙළියට ගියේය’ යන්න එහි අර්ථය යි.. මෙයින් පැහැදිලි වන්නේ දේවානම්පියතිස්ස රජු පොසොන් පුරපසළොස්වක පොහෝ දින මුව දඩ කෙළියෙහි යෙදී සිටි අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පව්ව මතට වැඩි බවයි. එමෙන්ම මෙය අප රටේ පැවැති රාජකීය උත්සවයක් මුල් කොට මිහිඳු හිමියන් ගේ වැඩම කරවීමක් බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන සියුම් විමසුමක දී පෙනේ.

සතුන් දඩයම එදා මෙදා තුර ලොව බොහෝ සංස්කෘතීන් තුළ දක්නට ලැබෙන්නකි. අප රටේ ද එය අතීතයේ මෘග යාත්‍රා නමින් නමින් සිදු වූ බව පෙනේ. ලොව පුරා ආදි වාසීන් අතර පවත්නා මෙම සත්ව දඩයම ප්‍රාථමික ආගම් හා සම්බන්ධ වූවක් බව ද පෙනෙයි. අප රටේ වැදි ජනයා අතර ද දඩයමින් ලැබෙන අග්‍ර භාගය නෑ යකුන් වෙත පිදීමේ චාරිත්‍රයක් විය.

2018171 univ lsr md

 

එමෙන්ම සූර්ය වන්දනයට ද ලක් ඉතිහාසයේ මුල් තැනක් හිමි ව තිබිණ. වත්මන් සමාජයේ ද ජන ආගමික ලක්ෂණයක් වන සූර්යා හිරු දෙවියන් නමැදීම මහින්දාගමයනට පෙර රාජ්‍ය මට්ටමින් පැවැති බවට වංශ කතා මඟින් පැහැදිලි නිදසුන් ලබා ගත හැකි ය.

ලක් ඉතිහාසයෙහි සූර්යවන්දනය රාජ්‍ය මට්ටමින් පැවැති බවට මුල්වරට ඓතිහාසික ඉඟියක් ලැබෙනුයේ පණ්ඩුකාභය රජු (ක්‍රි.පූ .400) දවස ය. ‘රජු නැකත් කෙළි දවස් හි චිත්ත රාජ සමඟ සම අසුන්හි හිඳ දෙව් මිනිස් නැටුම් කරවමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇලවී’ යන මහා වංශයේ දසවන පරිච්ඡේදයේ 87-88 ගාථා මගින් එම ප්‍රකාශය අතීතයේ පැවැති සූර්ය වන්දනාවක් පිළිබඳ විස්තරයක් අධි ආරෝපණයට නැංවීමක් බව විද්වත් මතයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පවසා හිඳිනුයේ මෙහි චිත්තරාජ’ යනු භාරතයේ සූර්යයා හඳුන්වන නම් එකසිය අටෙන් එකක් බව ය. එමෙන්ම අතීත භාරතයේ හුදු ලෞකිකත්වය හා සබැඳි කාමෝත්සව ද තිබූ බව පෙනේ.ගිරග්ග සමජ්ජ යනු බුද්ධ කාලීන ඉන්දියාවේ පර්වතාශ්‍රිතව පැවැති දැවැන්ත කාමභෝගී සැණකෙළියකි.

 

Anciant sex pix

අනුරාධපුර රාජධානියට අයත් විශිෂ්ටතම ස්වභාවික භූ නිර්මාණයක් වන මිහින්තලය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවන් සැණකෙළියක් සඳහා තෝරා ගැනීමට අතීත නරපතියන් තීරණය කිරීම පුදුමයට කරුණක් නොවේ. මෙහි ගිරග්ග යන්නෙන් ගිරි+අග හෙවත් පර්වත මුදුන නැතහොත් පර්වත-කෙළවර, පර්වත පාමුල යන අදහස පළ වේ. සමජ්ජ යන්නෙන් පැවැසෙනුයේ ස්ත්‍රී පුරුෂ සමාජයීය එකමුතුව වැනි අදහසකි.

ඒ කෙසේ හෝ අතීතයේ ඉන්දියාවේ පැවැති මෙම සුවිශේෂී සැණකෙළිය පිළිබඳව තොරතුරු ත්‍රිපිටක මූලාශ්‍රයන්ගෙන් පවා ලබා ගත හැක. බුද්ධ කාලයේ මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළිය නැටුම්, ගැයුම්, වැයුම්, කඩු ශිල්ප, චිත්‍ර ශිල්ප මල්ලව පොර, සරඹ ක්‍රීඩා, ඇත්පොර, එළු පොර, දාදු ක්‍රීඩා, ඉන්ද්‍රජාලා, බිලි පූජා ආදියෙන් සමන්විත ආහාර පාන ඇතුළු ලෞකිකත්වයට අවශ්‍ය සෙසු සියලු අවශ්‍යතා සපුරාලන උත්සවයක් සේ හැඳින්විණ.

ත්‍රිපිටක මූලාශ්‍රවලට අනුව බුදුන් වහන්සේගේ අග සව්වන් වන සැරියුත් මුගලන් මහ තෙරවරුන් කෝලිත උපතිස්ස නම් වන ගිහි කල ද ගජ මිතුරන් දෙපලකි. බුද්ධ කාලයේ රජගහ නුවර පැවැති මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළියට සහභාගි වන ඔවුහු එහි ඇති අගතිගාමීත්වය දැක සසර කළකිරෙති. ඒ අනුව වුව අපට යම් අනුමානයකට පිවිසිය හැක්කේ මෙම ගිරග්ග සමජ්ජ යනු එවක ජන සමාජයට ශිෂ්ටාචාරය තුළ වල්මත් වීමට දී තිබූ එක්තරා අවස්ථාවක් බවය. නැතහොත් අතිශය කාමභෝගී සැණකෙළියක් බව ය.

 

mihindu himi

සෝලියුස් මෙන්දිස් සිත්තරානන් විසින් නිම වන ලද මහින්දාගමනය කැලණි විහාර සිත්තම

 

ඉහත සඳහන් කරුණ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහසක් ද ගෙන ඒමට කැමැත්තෙමි. එනම් කැලණි නව විහාරයේ සොලියුස් මෙන්ඩිස් මහා සිත්තරුවාණන්ගේ විස්මිත සිත්තම් අතරේ මහින්දාගමනය හුවා දැක්වෙන සිත්තමේ ද දඩයම යන සංකල්පය අතික්‍රමණය කොට ස්ත්‍රී පුරුෂයන් එක් ව සිටින උයන් කෙළියක ස්වරූපයක් දක්වා තිබීම ය.( එම සිතුවම ඉහත දැක්වෙයි ) නමුත් වත්මන් සමාජය අතරේ එය එතරම් ප්‍රචලිත වූ බවක් නොපෙනෙනුයේ අද ද මහින්දාගමනය දැක්වෙන සිත්තම් වල මිහින්තලාව පසුබිම් කර ගත් මිහිදු හිමියන් දේවානම් පියතිස්ස රජු මුවකු හා දුනු හී තල හුවා දක්වන බැවිනි.

ඒ කෙසේ හෝ පසුකාලීනව මේ තත්ත්වය කෙතරම් අගතිගාමි අයුරින් ඉස්මතු වී ද යත් භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයාට (ක්‍රි.පූ. 268-232) මෙවන් අගතිගාමි සමාජ සැණකෙළි නතර කරන මෙන් ආඥා පැනවීමට පවා සිදුවී ඇත.

‘ඉධ න කිංචි ජීවං අරහිත්පා පූජනීනවං’යනුවෙන් යාග හෝම පිණිස කිසිදු සතකු නොමැරිය යුතුය යන පළමු ගිරි ලිපියෙහි ‘න ච සමාජ කතව්‍යෝ’ යනුවෙන් ‘සමාජ කර්තව්‍යයන් නොකළ යුතු ය’ යනුවෙන් සඳහන් වනුයේ මෙබඳු නිසරු සැණකෙළි පමණක් බව ද පැහැදිලිය. වත්මන් සමාජයෙහි වුව ‘සමාජ’ යනුවෙන් පුළුල් අරුතක් පළවන මුත් ඊට ‘ශාලා’ යන්න එක්වීමත් සමඟ එක් නිශ්චිත අරුතක් පමණක් ගම්‍ය වන බව මෙහි දී සිහිගැන්වීය යුතු ය.

අද ද අප අතරේ ව්‍යවහාර වන සමාජ රෝග යන්න මේ සඳහා ගත හැකි තවත් නිදසුනකි. ඒ අනුව අතීතයේ පැවැති මෙම සමාජ සැණකෙළි හා වර්තමානය හා වී ඇති අයුරු අපට සිතා ගත හැක. මිහිඳු හිමියන් සිරිලකට වැඩම කරන සමයේ අප රටේ ද මේ ආකෘතියේ හුදු ලෞකිකත්වය පදනම් කර ගත් රාජ්‍ය මට්ටමේ කාමභෝගී සැනකෙළි පැවති බව පෙනෙයි.

 

වත්මන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ ආරම්භය මහින්දාගමනය ද? - (තිලක් සේනාසිංහ)

ක්‍රි.පූ 247 දී සිදු වූ මහින්දාගමනයත් සමඟම මෙම සැණකෙළි සංස්කෘතිය උඩු යටි කුරු වූ බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය. ඒ සඳහා ගත හැකි හොඳම නිදසුන එතෙක් සමාජමය පිළිගැනීමට ලක් ව තිබූ මෘග යාත්‍රා අවලංගු කොට ඒ වෙනුවට නව ධර්ම යාත්‍රා සම්ප්‍රදායක් හඳුන්වා දීම ය. ලක් ඉතිහාසයෙන් උකහා ගත හැකි එම නව ආකෘතියේ ජාතික උත්සව අතර ‘ගිරිභණ්ඩ පූජා’ නම් වූ ආගමික සැණකෙළිය මුල් තැනක් ගනී. මහා වංශයේ තිස්හතර වන පරිච්ඡේදයේ 75-84 අතර ගාථාවලින් මෙහි රමණීයත්වය මනා සේ විස්තර වෙයි.

මහාවංශයෙහි එන ඉහත සඳහන් විස්තරය අනුව අනුරාධපුරයේ කළ මහා දාඨික මහා නාග හෙවත් මහදැලියා රජු (ක්‍රි.ව. 9-12) විසින් මිහින්තලයේ සෑගිරිය කේන්ද්‍ර කොට ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වූ බව පෙනේ.

වංශ කතා විස්තරයට අනුව මේ සඳහා සුවිසල් සැණකෙළි කලාපයක් ද සකසා තිබිණ. මෙය වත්මන් වෙසක් සහ පොසොන් කලාප වල මූල රූපය බව පෙනෙයි. එහි වපසරිය සෑ ගිරිය අවට යොදුනකි. ඒ සඳහා දොරටු සතරක් යොදා තිබිණ. එම සැණකෙළි කලාපයේ වීදි ධජ පතාක ආදියෙන් මනාව සරසා පහනින් ආලෝකමත් කර ඇතැයි පැවැසේ. එමෙන්ම කොළොම් ඔයේ (මල්වතුඔය) සිට සෑගිරිය තෙක් මාර්ගය පියැවිලි ද අතුරා තිබිණ.

තව ද මෙම සැණකෙළිය නැටුම්, ගැයුම්, වැයුම්වලින් අලංකාර වී තිබිණ. නගරයේ සතර දොරටුවල ම දන්සල් ය.ඒ කුසගින්නෙන් යුතු කිසිවකුත් ඊට ඇතුළත් නොවනු පිණිස ය. එමෙන්ම මෙහි ඇති විශේෂත්වය වී ඇත්තේ මෙම සැණකෙළිය මුල් කොට ගනිමින් මුළු රටේම පමණක් නොව මුහුදේ යොදුනක් දක්වා ද පහන් දල්වා තිබීම ය. ඒ අනුව මෙවැනි වෙනත් දැවැන්ත සැණකෙළියක් පිළිබඳව ලක් ඉතිහාසයේ අන් කිසිදු තැනකින් වාර්තා නොවන බව ද අතිශයින් පැහැදිලි ය.

එහෙත් හුදෙක් මෙම ගිරිභණ්ඩ පූජාව නිසරු සැණකෙළියක් නොවේ. මිහින්තලයෙන් සෑ ගිරිය විෂයෙහි පවත්වනු ලැබූ පූජාවක් මුල් කොට ගත් දැවැන්ත ආගමික උත්සවයකි. එමෙන්ම එම උත්සවයේ ප්‍රබල ආධ්‍යාත්මික පක්ෂයක් ද තිබිණ. එම උත්සවයට සමගාමීව නගරයේ ස්ථාන අටක විසි හතර දහසක් භික්ෂුන් වහන්සේලාට දන් සහ සිවුරු පිරිකර පිළිගැන්වීම ද එම උත්සවයේ විශේෂයෙන් කැපී පෙනිණ.

මෙම ගිරිභණ්ඩ පූජා සම්බන්ධයෙන් මහා වංශයේ දැක්වෙන ඉහත සඳහන් විස්තරය තරම් නොවූවත් ඊට සියවසකට පමණ පෙර, එනම් සිව්වන සිය වසේ ලියැවුණු බව සැලකෙන දීප වංශයේ ද එම පූජාව පිළිබඳව සඳහන් වීම විශේෂත්වයකි. එහි මෙය හැඳින් වී ඇත්තේ ‘ගිරිභණ්ඩ ගහණ’යනුවෙනි.

එමෙන්ම මෙම සුවිශේෂ ආගමික සැණකෙළිය පිළිබඳව ඉන්පසුව ලියැවුණු මහාවංශ ටීකාව හෙවත් වංසත්ථප්පකාසිනිය, පූජාවලිය, විසුද්ධි මාර්ග සන්නස,රසවාහිනී (පාලි) සද්ධර්මාලංකාරය වැනි කෘතීන්වල ද සඳහන් වීමෙන් අතීතයේ පැවැති මෙම ශ්‍රී ලාංකීය ජාතික උත්සවය පිළිබඳව ඓතිහාසිකව ද කරුණු සනාථ කරගත හැක.

දැනට මෙම ගිරිභණ්ඩ පූජාව පිළිබඳව නිසි අවධානයක් නොමැති වුව ද මේ සම්බන්ධ ඓතිහාසික සේම පුරාවිද්‍යාත්මක සාක්ෂි ද මිහින්තලා පුද බිමෙන් මතු කරගත හැකිව තිබේ.

 

f1
මිහින්තලා පර්වතය ආශ්‍රිත කුඩා කඳු ගැටයක් වශයෙන් අතීතයේ හඳුනා ගැනුණු කොටසකට එකල ‘කිරිබත් වෙහෙර’හෙවත් ගිරිබඩපවු දාගැබ යනුවෙන් හැඳින්විණි. එහෙත් එය අතීතයේ ඉදිකරන ලද ස්තූපයක් හෙවත් දාගැබක් බව නිර්ණය කිරීමෙන් පසුව 1934 වසරේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් එය තහවුරු කරවන ලදී. ඒ සමඟම එම දාගැබේ බටහිර වාහල්කඩ අබියස ගලක කොටා තිබූ සෙල්ලිපියක් ද හමුවී ඇති අතර එය ඉහත සඳහන් මහා දාඨික මහා නාග රජු විසින් පිහිටුවන ලද්දක් බව නිගමනය කෙරිණ. එම ස්ථූපයේ නඩත්තුව පිණිස වන ආදායම් වාර්තා දෙකක් පිළිබඳව සඳහන් එම ශිලා ලේඛණයේ එම දාගැබ පිළිබඳව සඳහන්ව ඇත්තේ කටක වෙත යනුවෙනි.

ඒ අනුව මෙම ස්ථූපය ‘කණ්ඨක චේතිය’ වශයෙන් හඳුනා ගැනුණු අතර අනුරාධපුර රජ කළ ලජ්ජිතිස්ස (ක්‍රි.ව. 149-109) රජතුමා මේ සඳහා ශිලා කංචුකයක් තැනවූ බව ද මහා වංශයේ සඳහන් වෙයි. ඒ කෙසේ හෝ මෙම දාගැබ හැඳින්වීම සඳහා අතීත ගැමියන් යෙදූ කිරිබත් යන වදන පාලි ‘ගිරිභණ්ඩ’ යන වදන සිංහල ඌරුවට සකසා ගැනීමක් බව සාධාරණ ලෙස අනුමාන කළ හැක.ඒ අනුව අතීත ඉන්දියාවේ පැවැති මෙම ‘ගිරග්ග සමජ්ජ’ නම් සමාජ උත්සවයට ගිරිභණ්ඩ පූජා නම් අර්ථකථනය එක්වන්නට ඇත්තේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ සමයෙහි මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීමෙන් පසුව බව පෙනෙයි.

එමෙන්ම මහින්දාගමනය සම්බන්ධයෙන් වංශ කතා කරුවන් දක්වන නාට්‍යමය චිත්තරූපයට වඩා පොසොන් පෝදා මිහිඳු හිමියන් වැඩම කළේ මිහින්තලය ආශ්‍රිතව තිබූ කාමභෝගී සැණකෙළි බිමකට බව ඒත්තු ගනීම වඩාත් සුදුසු බව අප ගේ වැටහීම ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...