The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'යකා වැහීම' සහ 'යකා නැටීම' හරියටම කෙරෙන යක් මඩුව | තිලක් සේනාසිංහ

T

The Leader Desk

June 12, 2025 • 7:03 AM

'යකා වැහීම' සහ 'යකා නැටීම' හරියටම කෙරෙන යක් මඩුව  | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, මෙම තත්වයන් දෙක කිසිදු අඩුවකින් තොරව එකම තැනක දී සැබෑ ස්වරූපයෙන් සිදු කෙරෙන ප්‍රජා ශාන්ති කර්ම විශේෂයක් මේ වන විටත් අප රටේ බස්නාහිර පළාත කේන්ද්‍රගතව ශේෂ මාත්‍රික ලෙස පවතී එය හැඳින්වෙනුයේ යක් මඩුව යනුවෙනි.
  • වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ, අළුත්කූරු සහ හාපිටිගම යන කෝරළ තුනේ පමණක් මෑතක් තෙක් පැවැති බවට තොරතුරු පවතින මෙම යක්මඩුව ද එක්තරා අන්දමකින් මඩු ශාන්ති කර්මයකි.
  • නිසැක ලෙසම එය ශුද්ධ ස්ථානයකි.
  • භූමි පරීක්‍ෂාව, නැකත් බැලීම ඇතුළු ඒ සඳහා වන අභිචාර විධි රාශියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, මෙම තත්වයන් දෙක කිසිදු අඩුවකින් තොරව එකම තැනක දී සැබෑ ස්වරූපයෙන් සිදු කෙරෙන ප්‍රජා ශාන්ති කර්ම විශේෂයක් මේ වන විටත් අප රටේ බස්නාහිර පළාත කේන්ද්‍රගතව ශේෂ මාත්‍රික ලෙස පවතී එය හැඳින්වෙනුයේ යක් මඩුව යනුවෙනි.

ගම් මඩු, දෙවොල් මඩු, පුනාමඩු, කිරිමඩු ආදී වශයෙන් පවත්වනු ලබන ‛මඩු ශාන්ති කර්ම’ ප්‍රධාන වශයෙන් දෙවි වරුන් සඳහා වන පහතරට ප්‍රජා ශාන්තිකර්ම අතරට ගැනෙයි. කිරි මඩුව නම් ශාන්ති කර්මය සබරගමු පළාත තුළ ද යම් ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නකි. මෙම සියලු ‛මඩු’ ශාන්ති කර්ම ප්‍රධාන වශයෙන් පත්තිනි සහ දෙවොල් දෙවිවරුන් උදෙසා පැවැත්වෙයි.

කිරිමඩුව ශාන්ති කර්මය පත්තිනි සහ ගව කර්මාන්තයට අධිපති මංගර දෙවියන් උදෙසා පැවැත්වෙන යාතු කර්මයකි. වාර්ෂිකව පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් යම් යහපතක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් අපේක්‍ෂා කිරීම මෙම මඩු යාතු කර්ම මගින් සිදු වෙයි.

වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ, අළුත්කූරු සහ හාපිටිගම යන කෝරළ තුනේ පමණක් මෑතක් තෙක් පැවැති බවට තොරතුරු පවතින මෙම යක්මඩුව ද එක්තරා අන්දමකින් මඩු ශාන්ති කර්මයකි. මුත් දෙවි වරුන් වෙනුවට යකුන් උදෙසා සිදු කෙරෙන මෙය ‛අමුතුම ජාතියේ මඩුව’කි.

මෙහි එන ‛මඩුව’ භාරතීය වෛදික යාග හෝම හා සම්බන්ධ යාග මණ්ඩපය පදනම් කරගත් වදනකි. නිසැක ලෙසම එය ශුද්ධ ස්ථානයකි. මඩුව පිළියෙළ කිරීම වුව නිකම් ආවාට ගියාට කළ නොහැක. භූමි පරීක්‍ෂාව, නැකත් බැලීම ඇතුළු ඒ සඳහා වන අභිචාර විධි රාශියකි.

thowil2 1

ලොව පුරා පවතින බොහෝ යාතු කර්මවලින් සිදු කෙරනුයේ හොඳින් හෝ නරකින් යකුන් පිටමං කොට දෙවියන් මිනිසුන් සමීපයට ගැනීම ය. මෙහිදී යකුන් යන්න අප ජීවත් වන සමාජයේ සේම අප අවට විශ්වයේ ඇති නපුරු, දුෂ්ඨ, අයහපත් බලවේග ලෙස නම් කළ හැකි ය. ඒ අනුව යකුන්ට එරෙහි දෙවියන් යනු ගුණ යහපත්, දැහැමි, කාරුණික බලවේග බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත්, ලොව පුරා එවන් තත්ත්වයක් තිබියදී මෙම යක් මඩුව යනු දෙවිවරුන් එළියේ තබා යකුන් ඇතුළට ගෙන සිදුකරන අපූරු යාතු කර්මයකි.

එය පැවැත්වනුයේ තමන් පාලනය කරන යක් ආණ්ඩුව නමින් හඳුන්වන යක්ෂ පිරිවර උදෙසා ය.ඒ සිංහල අලුත් අවුරුද්දට පෙර අය බදු ගෙවා ඔවුන්ගෙන් අත්වන විපත්වලින් මිදී පිහිටාරක්‍ෂාව පැතීම සඳහා ය. අවුරුදු කෑම සඳහා තෙල් වළං ලිප තැබීමට යක් ආණ්ඩුවට අය බදු ගෙවා ’කැප අවසර නොගැනීම විපත් රැසකට මුල් වන බවට ජන විශ්වාසයක් පවතී.වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජනතාව අතර පැවැති සාම්ප්‍රදායික කර්මයක් වන යකුන් පිදුම යනු එම අරමුණ ඉටු කර ගැනීමට ‛යක් ආණ්ඩුව’ උදෙසා කරනු ලබන ගෘහස්ථ මට්ටමේ පුද පිළිවෙතකි. නමුත් මෙම යක් මඩුව යනු මුළු ගමක් එක්ව සිදු කරන එම යකුන් පිදුමේ මහා පරිමාණයේ ප්‍රජා යාතු කර්මයකි.මීට දශක කිහිපයක් තෙක් ගම් මට්ටමින් දැකිය හැකි මෙම යක් මඩු මේ වන විට දක්නට ඇත්තේම නැති තරම් ය.

thowil3 1

මහසෝනා, රීරියකා ආදී අප ජන සමාජයේ ජාතික මට්ටමින් ප්‍රසිද්ධියට පත්ව හිඳින යකුන්ට වඩා ‛කට්ටු’ හෙවත් කණ්ඩායම් වශයෙන් හඳුනා ගත් යක්‍ෂ පිරිවරක් සඳහා මෙම යකුන් පිදුම හා යක් මඩුව යාතුකර්ම සැකසී තිබීම විශේෂත්වයකි. මොවුන් බොහෝ විට දුරාතීතයේ මෙහි ජීවත් වූ නායකයන් බව පෙනෙයි. එහිදී ප්‍රධාන වශයෙන් යකුන් තුන් කට්ටුවක්, විසිහතර කට්ටුවක් සහ හැටහත් කට්ටුවක් ගැන කියැවේ. මෙම යක් මඩුවේදී පුද පිළිවෙත්වලට ලක්වන සියළු යකුන් යක්‍ෂ සම්භවයක් සහිත වුවද එක්තරා අයුරකින් දේවත්වයෙන් අදහනු ලබන්නවුන් වීම ද විශේෂත්වයකි.

එහෙත් එලෙස යක්‍ෂ සම්භවයක් සහිත සූනියම් දැඩිමුණ්ඩ ආදී දෙවිවරුන්ට මෙහි විශේෂත්වයක් හිමි නොවේ. යක් මඩුවේ ප්‍රධානත්වයට පත්වන යක්ෂ තුන්කට්ටුව කළු කුමාර, වීරමුණ්ඩ සහ කීර්ති බණ්ඩාර ය. ඉන්පසුව ප්‍රධානත්වයට පත්වන විසි හතර කට්ටුවට ඒ තිදෙනා ද අයත් වන අතර එය මොරටු දෙවියන් සතු විසිහතර කට්ටුව ලෙස හැඳින්වනු ලැබේ. සියනෑ අලුත්කූරු සහ හාපිටිගම් කෝරළවල යක් මඩුව සඳහා මොරටු දෙවියන් එක්කර ගැනුණද එතුමන් සම්බන්ධ බොහෝ පැරණි යාදිනිවලින් පැවසෙන්නේ මොරටු දෙවියන්ගේ බලය රයිගම් සහ හේවාගම් කෝරළවලට පමණක් බලපැවැත්වෙන බවකි.

නමුත් වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියෝ ද තමන් පාලනය වන ‛යක් ආණ්ඩුව’ට මොරටු දෙවියෝ ද ඇතුළත් කර ගැනෙති. ඊට හේතු අපැහැදිලි ය.එමෙන්ම යක්මඩුව යාතුකර්මයේදී සඳහන් වන හැටහත් කට්ටුව හැඳින්වනුයේ දුනුමාලේ දෙවියන්ගේ පිරිවර ලෙසිනි.

 

CH9NTQdUEAAzlkP
එමෙන්ම ඉහත සඳහන් කළ තුන් කට්ටුව සහ විසිහතර කට්ටුව ද මෙම දුනුමාලේ හැටහත් කට්ටුවට අන්තර්ග්‍රහණය කොට තිබේ. මෙම යක් මඩුව ශාන්ති කර්මයේ මූලාරම්භය පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගත නොහැක. නමුත් එය පහලොස් වන සියවසත් දහසය වන සියවසත් අතර කෝට්ටේ යුගයේ උඩු ගම්පොල උප රාජධානියේ රජ කළ සකල කලා වල්ලභ රජු හා යම් සබැඳියාවක් ඇති බවට අනුමාන සාක්ෂි ලැබී තිබේ. මෙම යක් මඩුව හුදෙක් ඒ ආශ්‍රිත ප්‍රාදේශීය යාතු කර්මයක් වී ඇත්තේ එනිසා ද විය හැක.

සාමාන්‍යයෙන් ගම්මඩු දෙවොල් මඩු ආදිය අපගේ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව ද දැකිය හැකිමුත් මෙම යක්මඩුව බෞද්ධ වෙහෙර විහාරයක් පැත්ත පළාතට වැද්ද ගන්නේ නැත. යක් මඩුව බොහෝ විට සංවිධානය වනුයේ ගම්මැද්දක ය. එසේත් නැතිනම් කිසියම් ප්‍රභූවරයකුගේ නිවෙසක් ආශිතව ය.

ඉදිකිරීමක් වශයෙන් සඳහන් කළහොත් ‛යක්මඩුව’ සාමාන්‍යයෙන් අඩි හතළිහයි, හතළිහේ පමණ පොල්අතු මඩුවකි. එය ඉදිකිරීම සාමාන්‍ය අයෙකුට කළ නොහැක. ඒ එම කටයුත්තට සම්බන්ධ අභිචාර විධි රාශියක් ඇති බැවිනි. නිශ්චිත යාග ආකෘතියකට අනුව සැකසෙන මෙම මඩුවේ කෙළවරක ඉන් පුද ලබන යකුන් සඳහා වන ‛මැහි’ පිළියෙළ කෙරේ.

 Malyahana

ශාන්ති කර්මවලදී දෙවියන් සඳහා ඉදිවන මල් යහන්, මල්පැළ වශයෙන් සැලකෙන මෙය යක් මඩුවේදී හැඳින්වනුයේ ‛මැහි’ යනුවෙනි.මඩුව ඉදි කිරීමේ සිට මෙම යක් මඩුව නම් වන සමස්ත ක්‍රියාවලියේම නායකත්වය ගන්නා යකැදුරා යක් කපු මහත්තයා ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම එම යාතු කර්මය නිමාවන තුරු එම මඩුව තුළට පිවිසිය හැක්කේද ඒ සඳහා වූ විශේෂ කාර්ය භාර්යයක් ඇත්තවුන්ට පමණි.

පත්තිනි කපු මහත්තයා තරම් ශික්ෂාකාමී නොවන ඇතැම් යක් කපු මහත්වරු පන්සිල් වල “තුන -පහ” සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකරන බව ද ප්‍රකට ය.එහෙත් මෙය සෑම යක් කපු මහතකුටම අදාල නොවන බව ද විශේෂයෙන් කිව යුතු වේ. නියමිත චාරිත්‍රාවලියකට අනුව කපු මහත්තයා විසින් කපාගෙන එනු ලබන පුවක් ගසක් මුල සහ උඩ කොටස ඉවත් කොට මෙම යක් මඩුවේ ‛කප’ ලෙස එම ‛මැහි’ ඉදිරියේ සිටුවනු ලැබේ. ‛විළිකඹය’ නමින් හඳුන්වනු ලබන ‛කඹය’ට මෙම යක් මඩුව ශාන්තිකර්මයේ දී හිමිවනුයේ ප්‍රධාන තැනකි. එම විළි කඹය එක් පුරාණෝක්තියක එන දුනුමාලේ බිසවට දරු ප්‍රසුතියේදී ඇති වූ විළි වේදනාව හා සම්බන්ධ වූවකි.

කල්වේලා ඇතිව සපයා ගත් සවිමත් කඹයක් වන එය යක් මඩුවේ තනාගත් මැහි මත තැන්පත් කෙරේ. පසුව නියමිත චාරිත්‍රාවලියකින් පසු යක් මඩුව පැවැත්වෙන දිනයේ අළුයම කපුටා හැඬීමට පෙර එහි පැමිණෙන ප්‍රධාන කපු මහතා එම විළිකඹය ද ගෙන කිසියම් ජලාශයක දිය කපන තොටුපළක් වෙත ගොස් එය දියෙන් පොඟවා ගනී. ඒ මෙම යක් මඩුව හා විළිකඹය අතර සවිමත් සබැඳියාවක් පවතින බැවිනි.

Dedunuthanna

මෙම විළිකඹය දිය කපන තොට වෙත ගෙන ගොස් අදාළ චාරිත්‍ර විධි අනුගමනය කොට එය සෝදන අතරේ එම කපු මහතා ආරූඪයට පත්විය යුතු බව පාරම්පරික නියමයකි. ඔහුගේ මෙම ආරූඪ වීම මත එදින පැවැත්වෙන යක් මඩුවේ සාර්ථකත්වය කල් ඇතිව නිශ්චය කෙරේ.පසුව ඔහු “යකා වැහීම” සහ “යකා නැටීම” උපරිමයෙන් සිදු කරන අතර එහි සමාප්තිය සනිටුහන් කරනුයේ ඔහු යක් මඩුවේ වහළය පලාගෙන් ඉන් පිටවීමෙනි.

මෙම විළි කඹයේ රංගනය ඉතා දුෂ්කර වූවකි.මනා පළපුරුද්දක් නොමැති කිසිවකුටත් එහි යෙදිය නොහැකි ත්‍රාස ක්‍රීඩාවකි..එමෙන්ම මෙම රංගනය නරඹන කතුන් ගේ දරු ප්‍රසූති පහසු වීමත් දරු ඵල අහිමි කතුනට දරු ඵල හිමි වන බවත් කියනු ලැබේ.පිරිමින් හට එය නැරඹීම පුරුෂ ශක්තිය වැඩි වන බව ද කියැවේ.ඒ අනුව මේවාට එක් වන ඇතැම් කපු මහතුන් ගේ පුරුෂ ශක්තිය හා ඔවුන් ඒවා භාවිතා කරන අන්දම ගැන ද මෙහි ලිවීමට තරම් නොවන විවිධ ඕපාදූප තිබේ.

එමෙන්ම යකුන් සඳහා ‛අය බදු’ ගෙවීම ද ප්‍රධාන අරමුණක් කරගත් යක් මඩුව තුළට අප රටේ මහේශාක්‍ය දෙවිවරුන්වත් වැද්දා නොගැනීම හෙවත් වැඩමවා නොගැනීම ද මෙහි ඇති සුවිශේෂත්වයයි.ඒ අනුව යක් මඩුව ශාන්ති කර්මයේ දෙවියන් සඳහා වන පහන් පැල් මඩුවෙන් පිටත ඉදි කරනු ලැබේ. එමෙන්ම මෙහි තවත් සුවිශේෂත්වයක් ඇත. එනම් යකුන්ට ඇවැසි සියළු දේ නොඅඩුවම සැපැයෙන යක් මඩුව ශාන්ති කර්මයේ දී අප රටේ ජනතාව නිරතුරු අදහනු ලබන මහේශාක්‍ය දෙවිවරුන්ට පහන් පූජාවක් පමණක් ලබා දීමයි.

අප සමාජයේ නිරතුරු සිදු කෙරෙන පංච දුෂ්චරිතයන් එකක් දෙකක් හැරුණු කොට යක්මඩුව ආශ්‍රිතව සිදු වීමේ දොසක් ගම්මු නොදකිති. බෞද්ධ ත්‍රිපිටකයෙන් යකුන් සම්බන්ධයෙන් විශාල වශයෙන් විස්තර කෙරෙන ආටානාටිය ආදී සූත්‍රවල ද පස්පව්, දස අකුසල් කෙරෙහි යකුන් ස්වභාවයෙන්ම ලොල්වන පැහැදිලිවම සඳහන් වෙයි.එමෙන්ම බුදු සමය හා දේශීය ජන ඇදහීම් අතර නොයෙක් විෂමතා ද පවතින බවට මෙය කදිම නිදසුනකි.

thowil rice

යක් මඩුව ඇරඹෙන සැන්දෑ සමයේ එහි කාර්ය මණ්ඩලයට අයත් කොට්ටෝරු උන්නැහේලා යකුන්ට පිදීම පිණිස උන්ගේ රුචිය මහ පදනම් කොට ගත් බතක් පිසිති.ඒ සඳහා ඇවැසි වී වල සිට සියලු දේ ගම්මු නොඅඩුව සපයති. යක්මඩුව ශාන්ති කර්මයේ දී පළමුව භෝජනය යකුන්ට පිදෙන අතර ඒ වන විට යක් මඩුවට සම්බන්ධ හුදී ජනතා උදෙසා මඩුවෙන් පිටත වෙනම බතක් පිසෙයි. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා එළු මස් ද සැකසෙන අතර යකුන්ටත් මිනිසුන්ටත් සෑහෙන පරිදි මස් ලබා ගැනීම පිණිස යක් මඩුවට මුල් කොට ප්‍රාණඝාතයක් ද සිදුවෙයි.

එමෙන්ම යක් මඩුවේ යකුන් උදෙසා දෙන පිදේනි අතරට ‛වෙරි පහ’ නමින් හැඳින්වෙන මත්පැන් සහ මත්ද්‍රව්‍ය ද අනිවාර්යෙන්ම එක් කෙරෙයි. වෙරි පහ යනුවෙන් හැඳින්වෙනුයේ රා, ගල් අරක්කු, ගංජා, අබිං සහ දුම්කොළය. යක් මඩුව යාතු කර්මයේ ම ගෘහස්ථ මට්ටමේ ශාන්ති කර්මය වන යකුන් පිදුම ශාන්ති කර්මයේ දී ද යකුන් සඳහා මෙම වෙරි පහ ප්‍රදානය කෙරෙයි. ඒ ඉතා සුළු වශයෙනි. 

 
නිදසුන් ලෙස යකුන් පිදුම ශාන්ති කර්මයේ දී රා සහ ගල් අරක්කු පිදෙනුයේ කුඩා ඉන්ජෙක්ෂන් කුප්පි ප්‍රමාණයෙනි. ඒ සඳහා ගංජා ලබා ගැනෙනුයේ ද යන්තම් ඇඟිලි කුඩුවලට හසුවන ප්‍රමාණයක් පමණි. මේ දිනවල අබිං සේවීම අතිශය අසීරු බැවින් ඒ සඳහා ඇතැම් පාසල් සිසුන් අතර පවා භාවිත වන බව පැවසෙන ‛මෝදක’ නම් මත්ද්‍රව්‍ය ලබා ගැනෙන බව පැවැසෙයි.

20374443 1393301274039020 4259003163929901970 n 1
‛‛යක් මඩුවේ දී යකුන් පිදුමේ දී වගේ එහෙම සුළුවට දීලා බෑ, අරක්කු දෙන කොට අඩුම තරමින් ගල් බෝතලයක් වත් තියෙන්න ඕනෙ.යකුන් පිදුමේ දී බීඩියක් දෙකක් දුන්නට යක් මඩුවේ දී සිගරට් පැකට් එකක් වත් තියන්න ඕනේ.අපි ගෙවල් වල සාමාන්‍යයෙන් කන බොන විදිහට නෙවෙයි නේ;ගෙදර මඟුල් ගෙයක්’වුණාම කන්නේ ’මීට තිස් වසරකට පමණ පෙර ජා ඇල, නිවන්දම හිටපු ඉඩම් හිමි වැවිලි කරුවකු රජයේ කොන්ත්‍රාත් කරුවකු සේම ජා ඇල නිවන්දම විසූ ප්‍රභූ වරයකු ද මෙන්ඩිස් වීරසිංහ ( පාලම් මෙන්ඩිස් ) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති යක් මඩුවක් මෙහෙය වූ යක් කපු මහත්තයා මා හා කීවේ බැරෑරුම් හඬිනි.බැවිනි.
 එමෙන්ම මෙහි විස්මය ජනකම තත්වය වනුයේ යක්මඩුව ශාන්ති කර්මයේ අවසාන අදියර වන විට යකුන්ට පුද දීමට ගෙනවුත් තිබූ අරක්කු බෝතලය ද බොහෝ විට හිස් වී තිබීම ය.

නමුත් මෙවැනි ප්‍රාදේශීය ජන සංස්කෘතිකාංග හුදු අවඥාවෙන් බැහැර කිරීමට මට නොසිතේ ඒ මෙහි ප්‍රධානත්වය දරන යක් කපු මහතා “යකා වැහීම” සහ “යකා නැටීම” යනුවෙන් හඳුන්වන සමාරෝපණ (Impersonation ) තත්වයන් යටතේ ඉතා පැහැදිලි නොවිධිමත් ප්‍රජා මනෝ චිකිත්සාවක් සිදු වන බැවිනි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...