The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රෙදි ඉල්ලේ සන්ධානය සහ ප්‍රස්ථා පිරුළු පෝලිම | ලොකු කුමා

T

The Leader Desk

June 13, 2025 • 10:45 AM

රෙදි ඉල්ලේ සන්ධානය සහ ප්‍රස්ථා පිරුළු පෝලිම | ලොකු කුමා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තරමටම එම දේශපාලන සන්ධානය ගඳය.
  • දේශපාලන සන්ධානයට එක මේසයකට එකතු වූ සිටි දේශපාලන පක්ෂ ගැනත් එවායේ නායකයන්ටත් විලිලැජ්ජාවක් නැති බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.
  • මෙරට දේශපාලනය තුළ සන්ධාන ඇති වීම අරුම පුදුම කාරණයක් නොවේ.
  • ඉදිරියටත් දේශපාලන සන්ධාන ඇතිවෙන්නට ඉඩ කඩද නැත්තේ නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ තරමටම එම දේශපාලන සන්ධානය ගඳය. ඔක්කාරයට එන තරමේය.

දේශපාලන සන්ධානයට එක මේසයකට එකතු වූ සිටි දේශපාලන පක්ෂ ගැනත් එවායේ නායකයන්ටත් විලිලැජ්ජාවක් නැති බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.

ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැති මෙවුන්දැලා ගැන ගමේ වුන් පවසන්නේ රෙදි නෑ ⁣හලෝ කියාය. ඒ කියුම නිව් ජෙනරේෂන් කොල්ලන් කෙල්ලන් “රෙදි ඉල්ලේ” යැයි වහරනු අසන්නටද ලැබේ.

 psfi


එම මාධ්‍ය සාකච්චාවට සහභාගි වූ දේශපාලන නායකයන් යට කෑල්ලට කලිසම් සරොම් ඇඳ සිටියාද යන්න ගැනත් පැහැදිලි අදහසක් ගන්නට නොහැකිය. ඒ වාඩි වී සිටිය නිසාය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා, එජාප, පොදුජන හා සජබ පක්ෂ සන්ධානය ගැන අටුවා ටිකා ටිප්පනී ලියන්නට ඔළුවේ සමනළ ගැට දාගන්නට ඕනෑ නැත. ඒ සන්ධානය තනි වචන දෙක තුනකින් හැඳින්වුවහොත් අප්පට සිරි ජාතියේ එකතුවකි.

මෙරට දේශපාලනය තුළ සන්ධාන ඇති වීම අරුම පුදුම කාරණයක් නොවේ. ඒවා ගැන පූර්වාදර්ශත් පවතී.

ඉදිරියටත් දේශපාලන සන්ධාන ඇතිවෙන්නට ඉඩ කඩද නැත්තේ නොවේ.

එහෙත් මේ සන්ධානය ගැන අපට ලියන්නට සිඳු වී ඇත්තේ “යා දෙක නොරත රත සමග පෑසීමක් නැත” ජාතියේ සන්ධානයක් නිසාය. අප ඒසේ ලියන්නේ ඉරිසියාව හෝ කුහක කම නිසා නම් නොවේ.

මේ රට බංකොලොත් කරන ලද බවට ⁣ චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තීන්දුවක් ලබා ගත්තේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයන්ය. ඒ තීන්දුවේ වග උත්තරකරුවන් වූයේ පොදු ජන පෙරමුණේ සින්නක්කර අයිතිකාරයන් වූ රාජපක්ෂ සනුහරයයි. ඒ රාජපක්ෂ සනුහරය නියෝජනය කරමින් සාගර කාරියවසම් එම මාධ්‍ය සාකච්ඡාව නියෝජනය කෙරුවේය.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ගේ අමුඩයද ගලවා දමා එක්සත් ජාතික පක්ෂයට එකතු වූ තළතා අතුකෝරාළ උපාසිකා මාතාවද එම මාධ්‍ය සාකච්ඡාවේ පසෙකය.

 

aththanayaka මේ සන්ධානයේ  තවත් පසෙක වාඩි වී සි⁣ටියේ සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකය.
මේ සන්ධානයේ  තවත් පසෙක වාඩි වී සි⁣ටියේ සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකය. ඔහු එහි සිටීම ගැන නම් මේ සන්ධානයට එරෙහි වන්නන් ඉත සිතින් සතුටු වන බව නම් නිසැකය. ඒ උන්දෑ නියෝජනය කරන දේශපාලන පක්ෂයක් කෙදිනකවත් ජයග්‍රහණය නොකරන බවට ලියාපදිංචි අදහසක් සමාජය තුළ තහවුරු වී තිබෙන නිසාය.

එසේම මේ සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක මේසයක වාඩි වී සිටි මේ උන්දැලා ගැන ලියන්නට නම් අපේ වචන ඕනෑ නැත. ඒ මන්ද යත් මෙවුන්දැලා ගේ දේශපාලනය ගැනත් මෙවුන්දැලා වැනි තක්කඩියන් ගේ දේශපාලනය ගැනත් රසවත් කියුම් ඕනෑ තරම් අපේ ජන වහරේ ඇති බැවිනි. ඒ ප්‍රස්තාව පිරුළු පෝලිමට තියා කියවමු.

| අම්මාගේ තනේ කෑ එකා අල්ලපු ගෙදර කුකුළන් ඉතුරු කරයිද?

| උණ පුරුකේ ලා තැබුවත් බලු වලිගේ ඇද ඇ⁣රේද

| කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්

| කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි

| කිරි දියෙන් දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්

| අඳින්ට නැති එකා බල්ලන්ට හැට්ට මහනවා වාගේ

| ආරේ ගුණ නෑරේ

| උපන් ගතිය බලි ඇරියත් අරින්ට බැරිලු

| කන්ට හිතුනාම කබරගොයත් තල ගොයා වෙනවාලු

| කෙස්ස කැපුවත් අන්දිරිසා අන්දිරිසාමය

| ළිඳේ වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ ආ යුතුය

| උරුලෑවා ගිය පාර වගෙයි.


ඒ ප්‍රස්ථාව පිරුළු වලට පසුව ලියන්නට ඇත්තේ පැරණි කතන්දරයකි.

 

 monk

හිමාලයේ තපස් රැකි තවුසෙකු හට ඇප උපස්ථාන කර සිත් දිනාගත් බල්ලෙකුට කැලෑ වෘකයකු වීමේ ආසාව ඇති විය. බල්ලා ඒ ආසාව තවුසාට කී පමණින් තවුසා බල්ලාගේ ඒ කැමැත්ත ඉෂ්ඨ සිද්ධ කර දුන්නේය. බල්ලා වෘකයකු විය. වෘකයකු ලෙස කාලය ගත කළ බල්ලාට ඒ ජීවිතය එපා වී තමන් අලියෙක් කරන්නට යැයි තවුසා ඇයදීය. තවුසා ඒ ඉල්ලීමද ඉටු කෙරුවේය. නැවත සිංහයකු බවටද යලි වඳුරෙකු බවටද සිය රුචිකත්වයට ගැලපෙන හැඩයට තවුසාගෙන් වරම් ලබා ගත් බල්ලා අවසානයේ ඉල්ලා සිටියේ තවුසා මෙන් ගස් වැල් වලට උඩින් යන ආකාසයේ සෘද්ධි ප්‍රාතිහාර්ය පාන තවුසෙක් කරන ලෙසය. බල්ලා නැවත බල්ලෙකු කරන්නට තවුසාට සිදු වූයේ ඒ බලු හිත වෙනස් කරන්නට බැරි වූ නිසාමය.


තවුසා චන්ද කතිරය විදියටත් බල්ලා අවුරුදු පහකට බලය ඉල්ලන දේශපාලනය ලෙස සිතා ගත්තාට වරදක් නැත.

“යාදෙක නොරත සමග පෑසීමක් නැත” යැයි අප අසා ඇති පිරුළට දැන් මේ සන්ධානයේ  කෙරුවාව ගැන සිතා  “තක්කඩිකම එසේ නැත ඕනෑ තැනක පෑසෙත“යැයි  තව පේලි දෙකක් එක් කරන්ටද පුළුවන.

ශ්‍රී.එ.පො.ස පක්ෂ සන්ධානය ගැන තව මොනවත්ම ලියන්නට ඕනෑ නැත. මෙවැනි පජාත සංධානයක් ගැන ලියන්නට සිංහල හෝඩියේ අක්ෂර පවා මදි විය හැකිය.

ශ්‍රී.එ.පො.ස සන්ධානයේ උන්දැලා සිතා සිටින්නේ මෙරට පුරවැසියන් රට හරක් බවය.බොහෝ දේශපාලඥයන්ට වැරදී ඇත්⁣තේද ඒ සිතීමය.කෙසේ වෙතත් මෙවුන්දැලා ⁣අටවාගන්නා ලද මේ සන්ධානයේ පැටිකිරිය ගැන පද හතරේ කවියකින්ම ලියා අවසන් කිරීම වටී.

ගසට කෙටුම ගස මුල පෑවුමෙන්       දැනේ
හානා හීය පානා අඬ හැරෙන්             දැනේ
මිනිහා නොමිනිහා යන කඩිසරෙන්   දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන්           දැනේ

Sajith premadasa 1
නව සන්ධානයේ නැකැත් පත්‍ර අමුතුවෙන් බලන්නට වැඩක් නැත. පැටිකිරිය හොයන්නට ඔප්පු තිරප්පු හාරා අවුස්සා වෙහෙස වෙන්නටද ඕනෑ නැතිය. මේ පක්ෂ ඇටවුමේ නායක උන්දැලා පසුගිය ඡන්ද කා⁣ලයේ උන් උන් එකිනෙකාට එරෙහිව උන්ගේම කෙරුවාවල් ගැන සිදු කළ අපහාස උපහාස පරිහාස ගැන මතක් කර ගත්තා නම් හොඳටම සෑහේ.

බෝම සරළය. එච්චරය.

| ලොකු කුමා

උපුටා ගැනීම - srilankabrief.org

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රෙදි ඉල්ලේ සන්ධානය සහ ප්‍රස්ථා පිරුළු පෝලිම | ලොකු කුමා | The Leader