ආණ්ඩුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බහුතරයකට පිළිගත හැකි තර්කානුකූල පිළිතුරු දීම හා වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට නොගියහොත් එහි ප්‍රතිඵල අයහපත් වන්නට පුළුවන.
ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් ජනිත කරන එවැනි සිදුවීම් තුනක් ආසන්න සති කිහිපය තුළ මතු විය. පළමුවැන්න වනුයේ රේගුවේ නිසි නිෂ්කාශන යාන්ත්‍රණයෙන් බැහැරව කන්ටේනර් 323 ක් නිදහස් කර ඇති බවට නැගෙන චෝදනාවය.
දෙවැන්න සහ තෙවැන්න ඉතා ආසන්නව වූ සිදුවීම් වන අතර ඉන් එකක් වනුයේ වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරයේ පිරිසකට ජනාධිපති සමාව හිමිවීමේදී මූල්‍ය වංචාවකට අදාළව දඬුවම් ලබමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකුටත් ජනාධිපති සමාව හිමිවීමය. ඒ වන විට ඔහු අච්චු විඳ තිබුණු කාලය දින දහයක් වීම තත්ත්වය බැරෑරුම් කරන්නක් විය.
මේ තත්ත්වය වහා නිවැරදි කරන්නට ආණ්ඩුව පියවර ගත් අතර ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ වගකිවයුතු යැයි විශ්වාස කළ හැකි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අත්හිටුවා අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. දැන් මේ පිළිබඳ ව විමර්ශනයක් සිදුකර ජනපති සමාව ලබන පුද්ගලයන්ට අදාළ නිර්ණායක ඇතුළතට මූල්‍ය චෝදනාවකට වරදකරු වී අච්චු ලබමින් සිටි පුද්ගලයකු ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳව යම් නිගමනයකට පැමිණිය හැකිය.
තෙවනුව මතුවූ ප්‍රශ්නය වනුයේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඉන්දු- ලංකා මෑත අවධියේ ගිවිසුම් හෙළිදරව් කර ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමය. එය එක්තරා අවාසියක් යැයි එක්විටම ආණ්ඩුවට පෙනී යා හැක්කේ මෙම ගිවිසුම් වේලාසන හෙළි කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකළ තත්ත්වයක් තුළය.

අනෙක් අතට ආණ්ඩුවට මෙහිදී කිසිදු අවාසියක් සිදු නොවන තත්ත්වයක් ද නිරීක්ෂණය කළ හැකිය. ඒ මෙම ගිවිසුම් වල අන්තර්ගතය පිළිබඳව ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉන්දියාවේද එකඟතාව සහිතව ඉදිරිපත් කිරීමට නියමිත කරුණු කිසියම් විෂය නිර්ණායක සමූහයක් මත හෙළි නොකළ යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගතහොත්ය. ජාතික ආරක්ෂාව හෝ වෙනත් විෂය පථයක් යටතේ එවැනි තීන්දුවක් ද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ හැකිය.
උක්ත ජාතික සංවිධාන එකමුතුව නමැති කණ්ඩායම ජාතිවාදයෙන් රට ආතුර කළ නඩයකි. ඔවුන් රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි, රාජපක්ෂලා රට බංකොලොත් කරන විට ඒ පිළිබඳ මුනිවත රක්නා ලද හා ඊට නිහඬ අනුග්‍රහයක් ලබා දුන් පිරිසක් බවද අප අමතක නොකළ යුතුය. සද්භාවයෙන් අදාළ කරුණු හෙළිදරව් කර ගැනීමේ අභිලාෂයට වඩා මෙහි බල පවත්නේ බල දේශපාලන වුවමනාවන් පෙරදැරිව ගිවිසුම් හි අන්තර්ගතයට තමන්ට වුවමනා අර්ථකථන දීම බව පැහැදිලිව පෙනෙන්නකි.
එකී අරමුණ පිළිබඳ තවත් නිදර්ශනයක් මෙබඳුය.

කන්ටේනර් 323 ක් නිදහස් කිරීම සිදුවන්නේ ජනවාරි 17 වැනිදා ය. විපක්ෂය මුලින්ම මතු කළ විරෝධ යේදී කීවේ මෙම බහාලුම් වල ඇති භාණ්ඩ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට අයත් බවය. ඔහු ප්‍රකට ව්‍යාපාරිකයෙකු බැවින් රහසිගතව ආනයනය කරන ලද භාණ්ඩ තොගයක් මේවායේ අන්තර්ගතව තිබිණැයි කීම චෝදනා කළ පාර්ශ්වයේ අරමුණ වූයේය. එහෙත් ඒ චෝදනාව ට වැඩිකල් ආයුෂ නොතිබුණි.
ඊළඟට පාර්ලිමේන්තුවේදී විපක්ෂ නියෝජිතයන් මෙන්ම යූ ටියුබ් සමාජය කියන්නට පටන් ගත්තේ ඇමති බිමල් රත්නායක විසින් ඔහුගේ බලපෑම මත මෙම බහාලුම් නිවැරදි රේගු යාන්ත්‍රණයෙන් බැහැරව නිදහස් කර ඇති බවය. එම චෝදනාව එසේ තිබියදීම අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාදයකදී කීවේ 2009 මුල් කාර්තුවේදී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබුණු ප්‍රභාකරන්ට අයත් භාණ්ඩ තොගයක් ඩයස්පෝරාව සහ අනුර දිසානායක මහතා අතර එකඟතාවකින් ලංකාවට ගෙන්වා පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවය. එය ඩයස්පෝරාව තමන්ට දැනුම් දුන් බවද හෙතෙම වැඩිදුරටත් කීවේය. එවිට විපක්ෂයේ මන්ත්‍රීවරු අර්චුනාගේ කතාවේ එල්ලුණහ.
විපක්ෂයට අනුව දැන් බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා සිද්ධියට අදාල නැත. බිමල් රත්නායක සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ උවමනාව ඉෂ්ඨ කිරීමය. භාණ්ඩ තොගය නිදහස් කිරීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට ජනාධිපතිවරයා උඩින් ගත් පියවරකි. විපක්ෂය මේ ගැන නිවැරදි කරුණු ගවේෂණයකින් හෝ තක්සේරුවකින් තොරව විටින් විට විවිධ අදහස් පළ කරන බව මින් පෙනී යයි.
පරාලය නොදැක පොල් කෙන්ද දැකීම

අග්‍රාමාත්‍යවරිය සහභාගි වුණු රැස්වීම් දෙකකදීම කොටපිටියේ රාහුල හිමියෝ ආණ්ඩුව දෝෂ දර්ශනයට ලක් කළහ. ඒ විවේචනය සිදු කළේ තමන් දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි, වරදවා වටහා නොගන්නා ලෙසද කිහිපවරක් ප්‍රකාශ කරමිනි. උන්වහන්සේ පැවසුවේ ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් නිසි මඟට ගැනීම තමන් ඇතුළු සංඝ සමාජයේ වගකීමක් බවය.
මේ ප්‍රකාශය දෙයාකාරයකට අප විමසා බැලිය යුතුය. එකක් වන්නේ කොටපිටියේ හිමියන්ට පමණක් නොව සෑම පුරවැසියෙකුටම ආණ්ඩුව හැකි තාක් නිවැරදි කර ගැනීමේ වගකීමක් තිබෙන බවය. ප්‍රශ්නය වන්නේ රාජපක්ෂලා දෙදෙනෙක්ම රට පාලනය කළ (2005-2014) මහින්ද රාජපක්ෂගේ කාලයත් (2019-2022) ගෝඨාභය රාජපක්ෂගේ කාලයත්, (2015-2019) මෛත්‍රීපාල සිරිසේනගේ කාලයත්, (2022-2024) රනිල් වික්‍රමසිංහගේ කාලයත් සලකා බැලුවහොත් රාහුල හිමියන්ට එකී කාලවකවානු තුළ මෙකී වුවමනාව නොතිබි බව පෙනී යාමය.
සංඝ සමාජය සෑම කල්හිම නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිට ඇතැයි කිව නොහැකිය. නිදසුනක් ලෙස ගෝඨාභය රාජපක්ෂ වසර දෙකහමාරක් තිස්සේ මහත් විකාර රූපී පාලනයක් ගෙන යන විට සංඝ සමාජය ඊට අනුශාසනා කළා විනා වරද පෙන්වා දුන්නේ නැත. කොට පිටියේ හිමි විශේෂයෙන් ඉහත කී කිසිදු පාලකයෙකුට වරද පෙන්වා දුන් බවක්ද දක්නට නොලැබුණි. මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ මහ මඟ මිනිස් ඝාතන කීයක් සිදු වුණිද? එම මිනිස් ඝාතන හෙළා දැකීමට කොටපිටියේ හිමියන්ට හැකි වුණිද? රට බංකොලොත් කරන විට ඊට එරෙහිව හඬ නගන්නට හැකි වුණි ද?
ඒ ආණ්ඩු ඕනෑ තරම් වැරදි කළ නිසා මේ ආණ්ඩුවටත් වල්බූරු නිදහසක් හිමි විය යුතු යැයි අපි නොකියමු. වර්තමාන ආණ්ඩුව වඩාත් නිවැරදි විය යුත්තේම පැරණි ආණ්ඩු රටට අත් කර දුන් මහත් ව්‍යසනය හේතුවෙනි. ජාතික ජන බලවේගය පත්වූයේම පැරණි දේශපාලන සංස්කෘතියෙහි පැහැදිලි වෙනසක් කරනු පිණිසය. ඒ අනුව කන්ටේනර් තුන්සිය විසි තුනක ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව මීට වඩා සංවේදී විය යුතුව ඇත. විපක්ෂය ආන්තික අරුතකින් මේ ගැන ප්‍රශ්න කරන බව සැබෑය. ඔවුන් ප්‍රශ්න නගන්නේම ඉක්මණින් ආණ්ඩුව ගෙදර යවා තම බලයක් පිහිටුවන්නට හැකි වෙතැයි යන පටු අභිලාෂයෙනි. ඊට ඉඩ දිය යුතු නැත.
විපක්ෂයේ තැති ගැන්ම

විපක්ෂයෙහි සිටින දේශපාලකයෝ ඔවුන් පාලන බලයේ සිටින විට කළ වංචා දූෂණ අරභයා වසර 20 -25ක් සිරගත වීම ජනතාව අපේක්ෂා කළ යුගයක් මේ වන විට ආරම්භ වී තිබෙන බවට සාක්ෂ්‍යයකි. වරදකරුවන් චෝදනා ඔප්පු කොට සිරගත කිරීම සෘජුව ආණ්ඩුවේ වැඩක් නොවන අතර එය චූදිත පුද්ගලයන්ට එරෙහිව පවරන ලද නඩු වෙනදා මෙන් කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි.
එනම් වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර සිටම ශපථ කළ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක වන්නට ඉඩ හැරීමකි. චෝදනා ඔප්පු වී එස්.එම් රංජිත්ලා, මහින්දානන්දලා වැනි අය සිරගත වූ ආකාරය අනුව ඊටත් වඩා මහජන ධනය කොල්ලකෑ පුද්ගලයින් ජීවිතාන්තය දක්වා සිරගත වන තත්ත්වයක් මේ අනුව අනුමාන කළ හැකිය. අවශ්‍ය වන්නේ ඔප්පු කළ හැකි සාක්ෂි සහිතව තාක්ෂණික දෝෂ වලින් තොරව එම නඩු පැවරීම පමණි.
බැසිල් රාජපක්ෂට අදාළ නඩුවලින් ඔහු මේ වන විට නිදොස් වී තිබුණත් එකී නඩු යළි නිසි ක්‍රමවේදය යටතේ පැවරුවහොත් බැසිල්ට නවතින්නට සිදුවන තැන සිතා ගත නොහැකිය.
ඊළඟට බරපතල ප්‍රශ්නයක් වී තිබෙන්නේ ආණ්ඩුවල නියමුවන් මූල්‍ය වංචා මෙන්ම ඇතැම් ප්‍රකට මිනිස් ඝාතන සිදුකිරීමෙන් පසුවත් සෑහෙන කාලයක් බලයේ සිටි නිසා ඔවුන් විසින් එකී නඩු ඉදිරියට ගෙන යාමට අත්‍යාවශ්‍ය සාක්ෂි මකා දමා තිබීමය. නැතහොත් අස්ථානගත කර තිබීමය. එවැනි තත්ත්වයක් තුළ සමහර පරීක්ෂණ ඉදිරියට යාම ඉතා අසීරු වී තිබේ. සමහර පරීක්ෂණ ක්‍රියාවලීන් ඒ නිසාම මන්දගාමී වී තිබේ.
නිදසුනක් ලෙස රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සහ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිදුවීම් දැක්විය හැකිය. හෙත් එවැනි අසීරු තත්ත්වයක් මත හෝ ආණ්ඩුව මෙම ඝාතන පිළිබඳ විමර්ශනයට ප්‍රමුඛතාව ලබා දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සඳහා උපරිම ඉඩ ප්‍රස්ථාව සහ සහයෝගය ආණ්ඩුව ලබාදී තිබෙන අතර එම පරීක්ෂණ කණ්ඩායම් සිය වගකීම් අනලස්ව ඉටු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි.
අපරාධ සහ මූල්‍ය වංචා ගැන නිහඬව කෙරෙන පරීක්ෂණ ක්‍රියාවලියක් අනවරතව සිද්ධ වීම හා ඒ සඳහා ආණ්ඩුව පූර්ණ පහසුකම් සලසන තත්ත්වයක් තුළ විපක්ෂය ඉතාම අංශුමාත්‍රික දේවල් පදනම් කරගෙන ආණ්ඩුවට විවේචන එල්ල කිරීම තේරුම්ගත හැකිය. බොරු කියන ආණ්ඩුවක් යැයි පදනම් විරහිතව කරන චෝදනාව ඉන් එකකි.
ජනාධිපති සහ ඩයස්පෝරාව අතර මිත්‍රත්වයක් ඇතැයි යන කතාවෙහි අරමුණ වනුයේද ආණ්ඩුව සහ ජනතාව අතර හොඳ හිත බිඳවීම බව පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ප්‍රභාකරන් ගැන දැන සිටියත් දකුණේ කුප්‍රකට දේශපාලනය සහ දේශපාලන නායකයින් ගැන දන්නේ නැති තරම්ය. ඒ නිසා ඔහු දුදනන් සුදන වේශයක් මවාගෙන ගහන ගැටවල සහ සැලසුම්වල නොදනුවත්කමින් කොටස්කරුවකු විය හැකිය. අනෙක් අතට ඩයස්පෝරාව සහ ජනාධිපති අතර එකඟතාවක් ඇතිවූයේ නම් ඒ බව විශේෂයෙන් අර්චුනාට දැනුම් දීමට තරම් ඩයස්පෝරාවට මොළේ අමාරුවක් තිබිය නොහැකිය.
හොරු හිරේ යන ක්‍රමයට ආණ්ඩුව වසර දහයක් රට පාලනය කළහොත් දූෂිතයන් සෑහෙන ප්‍රමාණයක් සිරගත වනු නොඅනුමානය. එවිට අනුර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමයේ කියූ මට බලය තිබෙනවා නම් මේ ඉදිරිපෙළ සිටින වැඩි හරියක් දෙනා සිරගතව සිටිනු ඇතැයි යනුවෙන් කළ ප්‍රකාශය සත්‍යක්‍රියාවක් බවට පත් වනු ඇත.
ප්‍රහාරයට තවත් හේතුවක්

පළාත් පාලන ආයතන 151 ක බලය සෘජුවම ආණ්ඩුවට ලැබී තිබේ. තවත් 110 ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ සාමූහික බලයක් පිහිටුවීමේ පදනමෙහිය. මෙම ක්‍රියාවලියෙහි ජයග්‍රහණය ආණ්ඩුවට නොදී තමන් වෙත ලබා ගැනීම විපක්ෂයේ අපේක්ෂාවය. ඒ අනුව දැන් සාමූහිකත්වය ගැන කතා කරන්නේ එකිනෙකා කා කොටා ගත් විපක්ෂයකි. පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ඔවුහු කොන්දේසි විරහිතව එකතු වීමට කැමැත්තක් දක්වති.
එක් අතකින් එම එකඟතාවන්හි වරදක් නැත. මන්ද මේ සියල්ලන් වෙන වෙනම නාමයන් යටතේ ලියාපදිංචි වී සිටියත් ඒ සියලු පක්ෂවල ප්‍රතිපත්ති එක හා සමානය. ප්‍රතිපත්ති නැති තත්ත්වයම ප්‍රතිපත්තිය බවට පත්වන අවස්ථා ද එමටය. පක්ෂ සියල්ලෙහි නියෝජිතයෝ අධික වරප්‍රසාද අපේක්ෂා කරති. අති බහුතරයක් දෙනා මහජන දේපළ හා ධනය අවභාවිත කරති.
තම තමන්ගේ පක්ෂවල දූෂිත දේශපාලනඥයන් කිසිවකුට නීති මගින් දඩුවම් කරනවාට එරෙහිව විශ්වාස භංග යෝජනාවලදී වරදකරුට පක්ෂව ඡන්දය භාවිත කරති. ඒ අනුව එජාපය, පොදු ජන පෙරමුණ, සජබ ඇතුළු පක්ෂවලට කිසිදු ප්‍රශ්නයකින් තොරව එක පතෙහි කෑමට පුළුවන. ආණ්ඩුව මේ කාගේත් පොදු සතුරා බවට පත්ව තිබේ.
ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන වල බලය පිහිටවුවහොත් කිසිවකුට අහේතුකව රුපියලක්වත් එහා මෙහා කරන්නට නොහැකි වන වග විපාක්ෂිකයෝ දනිති. එපමණක් ද නොවේ. බලාධිකාරියේ තරම ගමට පෙන්වීමට නොහැකි වීම නිසා සෑහෙන පසුබෑමක් ඇතිකර ගැනීමට ද සිදුවේ.
එම කාල පරාසය තුළ අරමුදල් වලින් ගමට උපරිම වශයෙන් වැඩ කිරීමෙන් පමණක් ස්ථාවර වීමට නියමිත ජාතික ජන බලවේගය සහ පුරවැසියා අතර ඇති වන බැඳීම තව තවත් ශක්තිමත් වනු ඇත. විපක්ෂයේ තැතිගැනීම මෙන්ම අතට හසුවන අවියකින් ආණ්ඩුවට පහර දීමට දරන ප්‍රයත්නයේ හේතු සාධකය ඇත්තේ එතැනය.
ආයතනික අර්බුදය

රාජ්‍ය ආයතන පද්ධතියේ මතුවී තිබෙන අර්බුදය පිළිබිඹු කරන අවස්ථා දෙකක් ආසන්න කාලවකවානුව තුළ දක්නට ලැබුණි. එකක් වනුයේ ජනාධිපතිවරයාටත් කොළය වසා ජනාධිපති සමාව නොදිය යුතු පුද්ගලයකු ජනාධිපති සමා ලැයිස්තුවට ඇතුළත් කිරීමය.
ආණ්ඩුව බලයට පත් අවස්ථාවේ සිටම දක්නට ලැබුණු දෙයක් වූයේ ආයතන තුළ උපරිම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමය. මීට පෙර ආණ්ඩු බලයට පත්වූ සැණින්ම රාජ්‍ය ආයතන, රාජ්‍ය මාධ්‍ය ආයතන වැනි රජයට බලපෑමක් කළ හැකි හා විය හැකි ආයතන වල ප්‍රධානීන් සහ ඒවායේ මර්මස්ථාන නියෝජනය කරන්නන් වහාම වෙනස් කැරිණි. එහෙත් වර්තමාන රජය වෙනස් කළේ රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය මාධ්‍ය ආයතනවල මුල් පුටු පමණි.
විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන වල සෙසු මර්මස්ථාන වෙනස් නොකෙරුණු තත්ත්වයක් යටතේ ආණ්ඩුවට අවාසි සහගත අවස්ථාවල ආයතනවල දෙවන පෙළ ප්‍රධාන භූමිකා නියෝජනය කරන්නන් එක්කෝ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කළ හැකිය. නැතහොත් නිහඬව සිදුවන අවාසි සහගත දේට ඉඩදී බලා සිටිය හැකිය. ආණ්ඩුව තදබල පරිපාලන ක්‍රියාකාරීත්වයක් සහිත නම් මෙසේ වෙනස් නොකෙරුණු දෙවන පෙළ ප්‍රධානීන්ට ආණ්ඩුවට විරුද්ධ විය නොහැකිය. නැතහොත් අවාසි සහගත අවස්ථාවල නිහඬ විය නොහැකිය.
විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කළ නිලධාරීන් දෙදෙනකු සේවකයන් විසින් රූපවාහිනී පරිශ්‍රයෙන් එළවා දැමීමට කටයුතු කෙරිණි. එසේ පත් කරන නිලධාරීන් හැකිතාක් නිහතමානීව හා සේවකයන්ට සවන් දී රාජකාරි කළ යුතු අතර ඔවුන් විෂය ප්‍රාමාණිකයින්ද විය යුතුය. එකී දෙ කරුණ ප්‍රජාතන්ත්‍රවාදයට නම්‍ය වූ එහෙත් අනම්‍ය පරිපාලන ක්‍රමවේදයකින් සමන්විත නම් සේවකයන්ට නීතිය අතට ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.
ආණ්ඩුව දුන් ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් සාහසික ආකාරයෙන් පාවිච්චි කළ අවස්ථාවක් වූයේ ජනාධිපති සමාව කුප්‍රකට ලෙස පාවිච්චි කිරීමට බන්ධනාගාරය පාර්ශ්වයෙන් ක්‍රියා කර තිබීමය. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලු පුළුල් කරන අතරම නීතියේ විධානයේ ආධිපත්‍යය තවදුරටත් තර කිරීමය. එවිට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළම ස්වයං විනයක් හා ස්වයං හික්මවීමක් නිර්මාණය කෙරෙනු ඇත.
සංවරණ හා තුලන ක්‍රමය

රාජ්‍යයේ එක් එක් ආයතන තමන්ට ලැබී තිබෙන බලය අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීමට සංවරණ හා තුලන ක්‍රමය අත්හදා බැලිය හැකිය. විශේෂයෙන්ම යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ ආණ්ඩුක්‍රම තුළ සංවරණ හා තුලන ක්‍රමය ස්ථාපිත කරන ලද්දේ රාජ්‍යයේ එක් එක් ආයතන තම බලය අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීමටය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන වලට සංවරණ හා තුලන ක්‍රමය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ස්වාධීන බලයක් හිමි කර දී තිබෙන්නේ එකිනෙකෙහි අත්තනෝමතික බලය එකිනෙකින් පාලනය කරනු උදෙසාය.
වර්තමාන ලංකාවේ ඉහත ආයතන තුනම අයුතු ලෙස තම බලය පාවිච්චි කරන්නේ නැත. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ඒ ගැන කිසිදු චෝදනාවක්ද එල්ල නොවීය. ඒ වෙනුවට රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ බලය අයුතු ලෙස පරිහරණය කෙරෙමින් පවතී. එය බරපතළ තත්ත්වයක් උද්ගත කරන්නක් වී තිබෙන්නේ විධායකයට හා ව්‍යවස්ථාදායකයට එරෙහිව බලය අයුතු ලෙස පාවිච්චි කිරීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබෙන බැවිනි.
රාජ්‍ය ආයතන අයුතු ලෙස බලය පරිහරණය කෙරෙන තත්ත්වයක් උද්ගතව තිබෙන්නේ නම් එය පාලනය කිරීමට ඉහත ආයතන තුනම පොදු ක්‍රියාමාර්ග ගත යුතුය. ඉහත ආයතන තුන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මූල්‍ය විනිවිදභාවය මෙන්ම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳ අන් කවරදාටත් වඩා එකඟතාවක් ඇති වී තිබෙන බැවින් ඒවා යටතේ ඇති ඕනෑම ආයතන ව්‍යුහයක අයුතු බල පරිහරණය ශුන්‍ය කර සාමාන්‍ය ලෙස ධූරාවලීන්ගේ පාලන ක්‍රියාකාරීත්වය යටතට නතු කිරීම විධායකයේ, ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ අනුල්ලංඝනීය වගකීමකි.
(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya@gmail.com
(මෙම සති අන්තයේ 'සිළුමිණ' පුවත්පතේ පළවූ ලිපියකි)



