ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ දරමින් සිටි බවට චෝදනා ලැබුවත් ඔවුන්ට ඒ සදහා තවත් කාලයක් ගතවන බවත් ඒ නිසා ඔවුන්ගෙන් ක්ශණික තරජනයක් නොතිබූ බව බොහෝ යුධ විචාරකයන්ගේ මතය විය.
සාමාන්‍යයෙන් මෙවැනි දැඩි තීරණවලට එලඹෙන්නේ සාකච්ඡා සියල්ල අසාර්ථක වූ විටයි. ඉරානය සමග න්‍යෂ්ටික අවි තැනීමට උත්සාහ කිරීම පිලිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්ව සිටියදී එම සාකච්ඡා පටන්ගැනීමටත් පෙර ජාත්‍යන්තර එකගතාවයක් හෝ සාකච්ඡාවක් නොමැතිව හදිසියේ ඊශ්‍රායලය තමන්ගේ හිතු මතේට ඒකපාර්ශ්විකව ඉරානයට පහරදීම පොදුවේ කාගේත් කනස්සල්ලට හේතුවී ඇත. ඇමරිකාව ආරම්භ කල තීරුබදු යුද්ධය නිසා කඩාවැඩුනු ලෝක ආර්ථිකය තවත් කඩාවැටීමට මේ යුද්ධය හේතුවිය හැක.
ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම තම රාජ්‍ය පාලනයට ආගමික නීති දැඩි ලෙස ඒකාබද්ධ කර ඇති රාජ්‍යය දෙකකි. ඉරානයේ, ශරීයා නීතිය පෞද්ගලික ජීවිතය පමණක් නොව, සමාජ සහ අපරාධ නීතියද පාලනය කරයි. එසේම, ඊශ්‍රායල රාජ්‍යයේ පවුල් නීතිය සඳහා ආගමික අධිකරණ පද්ධතියක් සිවිල් අධිකරණවලට සමව ක්‍රියාත්මක වෙයි. මේ රටවල් දෙකේම අධ්‍යාපනය, හමුදා සේවය සහ සමාජ ආධාර වැනි ප්‍රධාන ක්ෂේත්‍රවලට ආගමික බලධාරීන්ගේ බලපෑම් ඇත.

මෙලෙස, දෙරටම ආගම භාවිතයෙන් දේශපාලන බලය නීතිමය කරයි. ඉරානයේ නායකත්වය මුල් බැස ඇත්තේ පූජකවරුන්ට උත්තරීතර බලය ලබා දෙන වේලායත්-ඊ ෆාකිහ් ඉස්ලාමීය මූලධර්මය තුළ ය.
ආගමික නායකයාගේ බලය දෙවියන්ගේ අනුග්‍රහයෙන් ලැබුණු එකක් ලෙස සැලකේ. එමෙන්ම, ඊශ්‍රායලයේ, ආගමික සියොන්වාදී කණ්ඩායම්, විශේෂයෙන් අල්ලා ගත් ප්‍රදේශවල, භෞමික හිමිකම් සඳහා සහය දැක්වීමට සහ රාජ්‍ය ප්‍රතිපත්තියට බලපෑම් කිරීමට බයිබලානුකුල ආඛ්‍යාන උපයෝගී කර ගනී. එපමණක් නොව, ජාතීන් දෙකෙහිම හමුදාව ආගමික දෘෂ්ටිවාදය සමඟ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යයි.
ඉරානය ප්‍රජාතන්ත්‍රවාදී නොවන සහ මාණව අයිතීන් උල්ලංඝනය කරන අන්තවාදී රාජ්‍යයක් වුවත් එය ස්වෛරී රාජ්‍යයකි. එවැනි ස්වෛරී රාජ්‍යයකට හිතුමතේ පහරදීම හෙලා දැකිය යුතුය. එය ගෝලීය ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවතක්සේරුවට ලක්කිරීමකි. විශේෂයෙන් ඉරානයට පාඩම් උගන්වන්න උත්සාහකරන ඊශ්‍රායලයද එවැනිම අන්තවාදීන් මෙහෙයවන ආගම්වාදී රාජ්‍යයක් වීම බරපතල කාරනයකි. පලස්තීන ජනතාවගේ පීඩකයා වන ඊශ්‍රායලයට ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ගැන කතාකිරීමට අයිතියක් තිබේද? මේ පාර්ශ්වයන් දෙකටම මේ මොහොතේ ලෝක ජනයාගේ කැමත්තකට වඩා ඇත්තේ විරෝධයකි, පිලිකුලකි.

ලෝකය පුරාත් රටතුලත් ඊශ්‍රායල අගමැති නෙටනියාහුට ඇති දැඩි විරෝධය සමනය කරගැනීමට ඔහු මේ යුද්ධය පටන්ගත්තා වියයුතුයි. නෙටනයාහු යනු දූශිතයකු සහ යුධ අපරාධකාරයෙකි, ඔහුව අත්ඩංගුවට ගැනීමට ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය විසින් නියෝගයක් නිකුත්කලේ ගිය වසරේය. ඊශ්‍රායලය තුලද ඔහුගේ ජනප්‍රියත්වය බිදවැටී ඇත. මෙවැනි ජනප්‍රියතාවාය හීනවූ දූශිත අපරාධ කාරයින්ට බලය පවත්වාගැනීමට නම් ජාතිවාදීන් සහ ආගම්වාදීන් කුල්මත් කලයුතුය. රටම ව්‍යාකූලත්වයකට පත්කල යුතුය. ඔහු මේ සිදු කරන්නේ එයයි.
ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ටත් මේ කාරනාව අදාලය. මොවුන් බලයේ සිටින්නේ සතුරන් මවමින් සමාජය තුල බිය සහ අවිනිශ්චිතභාවය පවත්වාගෙන යෑමෙනි. ඊශ්‍රායලය සහ ඇමරිකාව තුලම මොවුන් දෙදෙනාටම එරෙහිව ජනතාව පෙලගැසෙමින් සිටී. නෙටනයාහු ඝාෂා වල යුධ අපරාධ කරන බවට හිටපු ඊශ්‍රායල අගමැති ඉහුඩ් ඔල්මර්ට් සහ විරුද්ධ පක්ශ නායක සහ හමුදාවේ මේජර් ජනරාල් වරයකු වන යෛර් ගෝලාන් වැනි අය පවසන්නේ මේ සංදර්බය තුලයි. අසරණ ආගමිකයන්ට සහ සංක්‍රමණිකයන්ට එරෙහිව ට්‍රම්ප් විසින් හමුදාව යොදාගෙන කරන බලහත්කාරකමට විරුද්ධව ඇමරිකාව පුරා විරෝධතා පවත්වන්නේ මේ අතරතුරේය.

ඉරානයට පහරදීම තුලින් ආගමික මූලධර්මවාදීන්ගේ බලය බිදවැටී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවෘත වීමට ඉඩක් ඇති බවට සිහින මවන වාමාංශිකයින් ශ්‍රී ලංකාව තුල සිටින බව සමාජ මාධ්‍ය වල ඔවුන් පලකරන පෝස්ටුවලින් පෙනේ. යුධ අපාරධ කාරයෙකු සහ තක්කඩි රාජ්‍යයක් බවට පත්ව ඇති ඊශ්‍රායලය විසින් එවැනිම රාජ්‍යයක් වන ඉරානයට පහරදීමතුලින් ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදයට මග පෑදෙන බව සිතීම හෝ බලාපොරොත්තු තිබීම මුලාවකි. ඇමරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් විසින් ඇෆ්ගනිස්තානයේ අවුරුදු ගනනාවක මෙවැනිම මැදිහත්වීමක් කොට ගොඩනගපු ප්‍රජාතන්ත්‍රවාදයේ තරම අපි දනිමු.
මෙලෙසම ඇමරිකාවේ අවශ්‍යතාවයට ඉරාකය, සිරියාව, ලිබියාව ආදී රටවල් ගනනාවක පාලන පෙරලා දමන ලදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාණව අයිතීන් පිලිබඳව ඇති උනන්දුව හෝ ඒ රටවල ජීවත්වන ජනයා පිලිබඳව අනුකම්පාවෙන් නොවන බව අපි දනිමු. මාණව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තමන්ගේ කූට අවශ්‍යතාවයන් ඉෂ්ට කරගැනීමට පාවිච්චිකරන මෙවලම් පමනි.
ලෝකය පුරා පැතිරීයන මේ විනාශකාරී යුද්ධ මගින් පෙන්වන්නේ ධනවාදයේ ඇති ගැඹුරු අර්බුදයයි. ධනවාදය එහි සීමාවන් වලට පැමිනිවිට සම්පත්, වෙළදපොල සහ ඒවායේ හිමිකාරිත්වය සහ ආධිපත්‍යය සදහා වන බිහිසුනු සහ කෑදර අරගලයයි. විශේෂයෙන් ඇමරිකන් හෙජමොනික් බලය තවදුරටත් ලෝකය පුරා පවත්වාගෙන යෑමේ අභියෝගයට ඇමරිකාව මුහුන දී සිටී. නෙටනයාහු යනු ඇමරිකන් අධිරාජ්‍යයේ මේ ඕනෑ එපාකම් ඉටු කරන රූකඩයකි. ඊශ්‍රායලයට න්‍යශ්ටික අවි, මිසයිල, අයන් ඩෝම් සහ ඩොලර් කෝටිගනන් පොම්ප කරන්නේ මේ රාජකාරියටයි. ඉරානයේ අයතොල්ලා අලි කමේනි ඉදිරියේදී නෙටනියාහුට වීරයකු වියහැකි වූවත් ලෝකයා ඉදිරියේ ඔහු යුධ අපරාධ කාරයෙකි.

ඊශ්‍රායල-පලස්තීන ගැටුම කලාපයේ ආතතිය, ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන අස්ථාවරත්වයේ දිගුකාලීන මූලාශ්‍රයක් වී ඇත. එබැවින්, මෙම ගැටුම විසඳීමට මැදිහත්වීම සියලු පාර්ශ්වයන්ගේ ප්‍රමුඛතාවයක් විය යුතුයි. අද යුරෝපය ඇතුලු ලෝකයේ බොහෝ බටහිර රටවල් ඊශ්‍රායලයට එරෙහිව ගොඩනැගෙන විරෝධතා හමුවේ පලස්තීන රාජ්‍යය පිලිගැනීමටත් රාජ්‍යය දෙකේ විසදුම (two state solution) වෙනුවෙන් පෙනීසිටීමටත් සිදුවී තිබේ. අයර්ලන්තය, ස්වීඩන්, නෝර්වේ, ස්පාඤ්ඤය සහ නැගෙනහිර යුරෝපියානු රටවල් බොහෝමයක් දැනටමත් පලස්තීන රාජ්‍යය පිලිගෙන ඇති අතර එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වැනි රටවල් වලට එසේ කිරීමට විශාල බලපෑමක් එල්ලවී ඇත.
මේ අතර බොහෝ මැදපෙරදිග රටවල් ඇමරිකන් යුධ ව්‍යාප්පෘතියේ කොටස් කාරයන් වී ඇත. මේ රටවල් කිසිවක ඇමරිකාව කියන ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාණව අයිතීන් නොමැත. මේ රටවල් ඇමරිකන් ව්‍යාපෘතියේ කොටස්කාරයින් වී ඇත්තේ පීඩාකාරී රාජ්‍යයන් පවත්වාගෙන යෑමටය. ඔවුන්ගේ පැවැත්ම රදාපවතින්නේ ඇමරිකානු සහය මතයි. කටාර් රාජ්‍යය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 400 ක සුඛෝපභෝගී ගුවන් යානයක් තෑගි දෙන්නේත් සෞදි අරාබිය ඩොලර් බිලියන 600ක් ඇමරිකාවේ ආයෝජන කිරීමට එකගවන්නේත් ඒ නිසයි.
ඉතිහාසය දෙස විමශා බැලුවහොත් ඉරානය, ඇෆ්ගනිස්තානය ඇතුලු මැදපෙරදිග රටවල ආගමික අන්තවාදී රාජ්‍යයන් බිහිවූයේම ඇමරිකන් අධිරාජ්‍යවාදීන් විසින් දීර්ග කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙවැනි පීඩාකාරී රාජ්‍යයන්වල ප්‍රතිපලයක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදය පරිණාමය වීමට ඉඩ නොදෙමින් පවත්වාගෙන ගිය මෙවැනි පීඩාකාරී රාජ්‍යයන් පෙරලා දැමූවිට ඇතිවූ දේශපාලන නායකත්වයේ හිඩස පිරවූයේ ආගමික මූලධර්මවාදීන් විසිනි.
| ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හංගේරියන් අගමැති වික්ටර් ඕර්බන්
ආගමික මූලධර්මවාදීන්ට එරෙහිවත් ඉරාන ජනයාගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙනුත් අපි පෙනීසිටිය යුතුයි. හඩ නැගිය යුතුයි. නමුත් යුධ අපරාධ කාරයන් සහ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් සමග එක්වී ලබාගතහැකි නිදහසක් නොමැතිබව අපි තේරුම් ගත යුතුවෙමු. අද ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාණව අයිතීන් නොතකන රාජ්‍යයන් ගනනාවක් ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමග පෙලගැසී සිටින්නේ මාණවවාදී ගුණධර්ම වෙනුවෙන් නොව කඩාවැටෙන ඇමරිකන් අධිරාජ්‍යවාදය බේරාගැනීමේ අවසන් සටනේය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හංගේරියන් අගමැති වික්ටර් ඕර්බන් වැනි ඒකාධිපතියන් ශක්තිමත් සහ ශ්‍රේෂ්ඨ නායකයන් ලෙස හදුන්වන්නේ ඒ නිසාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීමට කතාකරන්නේ මෙවැනි ඒකාධිපතියන් සමග ගොඩනගන ජනතා විරෝධී සන්ධාන මගිනුයි. ට්‍රම්ප් හුදෙක් දේශීය දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දෙනවා පමණක් නොවේ. ඔහු ජනතාවාදී ජාතිකවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මතයන් ප්‍රතික්ෂේප කිරීම සහ ගෝලීයවාදී ප්‍රභූන් නිසා ඇති වූ සංස්කෘතික හා ආර්ථික පරිහානිය පිළිබඳ ආඛ්‍යානයකින් එක්සත් වූ අන්තර්ජාතික දක්ෂිණාංශික පෙරමුණක් ගොඩනැගීමට උත්සාහ කරයි. අපි සියල්ල දැකිය යුත්තේ මේ සංදර්බය තුලයි.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදයට, සිවිල් අයිතිවාසිකම්වලට, ජාත්‍යන්තර සහයෝගීතාවයට සහ පරිසරයට අනතුරුදායක වේ. ඒවා බොහෝ අතෘප්තිමත් ඡන්දදායකයින් සමඟ අනුනාද විය හැකි නමුත්, ඒවායේ දිගුකාලීන බලපෑම සමාජයන් වඩාත් බෙදී, ඒකාධිපති සහ අස්ථාවර බවට පත් කිරීමේ අවදානමක් ඇත.
(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)



