The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අසීමාන්තික ලෙස පිරිසිදු වීම ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගයක් ද ?

T

The Leader Desk

June 17, 2025 • 8:48 AM

අසීමාන්තික ලෙස පිරිසිදු වීම ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගයක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම මේසය ඉදිරිපස වාඩිවී සිටින රෝගියාගෙන් මනෝ වෛද්‍යවරයා ඇසීය. "මට නින්ද යන්නෙ නෑ.
  • මට දැන් ජීවිතේ එපා වෙලා." වයස 23 ක තරුණයකු වූ ඔහු සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබිණි.
  • උසස් පෙළ විභාගයට තුන් වතාවක්ම මුහුණ දුන්නත් එය ද නිසි ලෙස සමත් වී නොතිබිණි.
  • ඒත් අවුරුදු 12 වගේ කාලෙ ඉඳලම මට නිතරම හිතෙනව මම හරි අපිරිසිදුයි කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):
     
තම මේසය ඉදිරිපස වාඩිවී සිටින රෝගියාගෙන් මනෝ වෛද්‍යවරයා ඇසීය. 
     
"මට නින්ද යන්නෙ නෑ. කිසිම වැඩක් කරන්න ආශාවක් නෑ. උදේ නැගිට්ටමත් හිතට දැනෙන්නේ ලොකු කෙඩෙත්තු ගතියක්. පාඩම් කරන්න බෑ. මම වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරනවා. ළඟදී ඒකෙන් තිබ්බ විභාගෙනුත් මම ෆේල් වුණා. තාත්තගෙනුත් හොඳටම බැනුම් ඇහුවා. අම්මත් දොස් කිව්වා. මගේ මේ වැඩ එයාලට බලන් ඉන්න බෑ කිව්වා. මං හින්දා සමාජෙට මුහුණ දෙන්න බැහැලු. එයාලට මාව හරි ලැජ්ජාවක්ලු. මට දැන් ජීවිතේ එපා වෙලා."
     
වයස 23 ක තරුණයකු වූ ඔහු සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබිණි. මනෝරෝග සායනයට ඔහුව යොමුකර තිබුණේ ඒ නිසා ය.
 
20191127 cover v2
     
ඔහුගේ මව්පිය දෙදෙනාම ගුරුවරුන් ය. නමුත් ඔහු සාමාන්‍ය පෙළ විභාගයවත් ඉහළ ප්‍රතිඵල ලබා සමත් වී තිබුණේ නැත. උසස් පෙළ විභාගයට තුන් වතාවක්ම මුහුණ දුන්නත් එය ද නිසි ලෙස සමත් වී නොතිබිණි. ගුරු යුවළක් වූ මේ දෙදෙනාට මෙය මහත් ලජ්ජාවක් විය. ඔහු පවුලේ එකම දරුවා වුණත් මේ වනවිට ඔහු කෙරෙහි දෙමාපියන් තුළ තිබුණේ අප්‍රසාදයක් නිසා ඔවුන් තම පුතු පවුලෙන් කොන් කළ ස්වභාවයක් පැවතිණි. 
     
"ඔයාගෙ මොනවා හරි විශේෂිත පුරුදු වගේ දේවල් ති⁣යෙනවද? එහෙම නැත්නම් විශේෂයෙන් මොනව හරි පාවිච්චි කරනවද?"    
 
"එහෙම මොකුත් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒත් අවුරුදු 12 වගේ කාලෙ ඉඳලම මට නිතරම හිතෙනව මම හරි අපිරිසිදුයි කියලා. එහෙම දැනෙන වෙලාවට මම බාත්රූම් එකට ගිහින් විනාඩි හතලිස් පහක් විතර නානව. දවසකට හත් අට සැරයක් විතර මම බාත්රූම් එකට යනවා. මට සබන් කෑල්ලක් පාවිච්චි කරන්න පුළුවන් දවසයි ඩොක්ටර්. ඒ කාරණාව නිසාත් මම අම්මාගෙන් හරියට බැනුම් අහනව"
How to Treat OCD 09 1024x576
 
"දවස⁣ට විනාඩි 45ක් විතර ඔයා බාත්රූම් එකේ ඉන්නව නම් ඒ විදිහට දවසට හත් අට වතාවක් බාත්රූම් එකට යනවා නම් ඔයාට වෙන වැඩක් කරන්න කාලය ඉතිරි වෙන්නේ නෑනේ"
     
"ඇත්තටම මම විභාගෙ පේල් වෙන්නත් ඒක එක හේතුවක් තමයි ඩොක්ටර්. මට පාඩමක් කරන්න වෙලාවක් නෑ. ඒත් මට බාත්රූම් නොයා ඉන්නත් බෑ. මට නිතරම හිතෙන්නේ මම හරි අපිරිසිදුයි කියලමයි. ඒක මගේ හිතට මහා වදයක්"
     
"හරි. දැන් කාරණාව පැහැදිලියි. මට කියන්න ඔයාට ඔහොම පුරුද්දක් ඇති වෙන්න මොකක් හරි හේතුවක් බලපෑවද?" 
       
"ඔව්. මට ඒක දැනුත් මතක් වෙද්දි හරිම අප්‍රසන්නකමක් දැනෙනවා"
       
එසේ කී ඔහු මඳක් නිහඬව සිටියේය. ඉන්පසු නැවත කතාව ආරම්භ කළේ මා ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නිසා විය හැකිය.
 
treatment options for ocd 1685709611294 compressed
       
"මම දවසක් ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක පාරෙ එනකොට මාව ලිස්සලා ගිහින් මඩ වලකට වැටුණා. මඩ වලේ මාව ඉන්ද වුණා. අම්මා මාව නැගිට්ටෙව්වා. මඩ වලේ බල්ලෙක් ජරා කරල තිබුණා. ඒ සේරම මැටි තට්ටුවක් වගේ මගෙ කලිසමේ ඇලිලා තිබුණා. අම්මා කොළ කෑලිවලින් පුළුවන් තරම් පිහ දැම්මත් මට දැනුණු අප්පිරියාවයි ගඳයි ගැන කියන්න වචන නෑ. කලිසම ගලවන්නයැ. ඒ ජරාව පිටින් ම මම ගෙදර ආවා. ගෙදර ඇවිත් පැයකට වඩා නෑවා. එදා පටන් හැම මොහොතකම මට දැනෙන්නෙ මම අපිරිසිදුයි කියලමයි. ඒ හින්ද තමයි දවසට හත අට පාරක් විතර ඇඟ සෝදන්නෙ"
     
"ඒ කියන්නේ එදා ඉඳලම තමයි මේ පුරුද්ද පටන් ගත්තෙ?"
     
"එදායින් පස්සේ තමයි. හැබැයි මුලදි මෙච්චර මෙහෙම තිබුණේ නෑ. ඒක එන්න එන්න වැඩි වුණා. දැන් හොඳටම වැඩි වෙලා මට වෙන කිසිම වැඩක් කරගන්න කාලයක් නැතිවෙලා ගිහින්"
     
තමන් පිරිසිදු නැති බවට ඔහුට දැනුණු මෙම සිතිවිලි තාර්කික නැත. ඔහු එය පිළි ගත්තත් එදා මඩ වලේ වැටී ලද අත්දැකීම සිතින් පහ කර ගැනීමට ඔහුට හැකියාවක් නොතිබිණි. මෙම තරුණයාට එම අත්දැකීම පාදක කොට ගනිමින් ඇතිවූ ග්‍රස්ති (Obssesive compulsive disorder - O.C.D.) රෝගය නිසා ඔහු අසීමාන්තික ලෙස පිරිසිදු වන්නට පුරුදු විය. ග්‍රස්ති රෝගය නිසා ඔහුගේ අධ්‍යාපනය ඇතුළු සියලු කටයුතු අඩාල විය.
 
Add a heading 
ග්‍රස්ති රෝගයේ ස්වභාවය නම් තමන්ගේ ම සිතේ ඇතිවන සිතිවිල්ලක්, තමන්ගේ අනුදැනුමකින් තොරව නැවත නැවත ඇතිවීම ය. මේ තරුණයාට තිබුණේ කොයිතරම් පිරිසිදු වුවත් තමන් අපිරිසිදුයි යන සිතිවිල්ල ය. 
 
තවත් සමහර අයට පිළිවෙළ සම්බන්ධ සිතිවිලි ඇතිවේ. ඒ අයට නිවස ඇතුළු සියලුම දේ ඉතාමත්ම පිළිවෙළට තිබිය යුතුය. එනිසා සියලු දේ නිතර නිතර පිරිසිදු කරමින් ඉතාමත් ක්‍රමානුකූල ව පවත්වා ගැනීමට කටයුතු කරනු ඇත. යම් අයුරකින් පවුලේ වෙනත් කෙනෙකු ඒවා එහා මෙහා කළොත් ඔවුහු බෙහෙවින් කෝපයට පත් වෙති. මේ නිසා එවැනි කෙනෙකු පවුලේ සිටින විට ඒ පවුලේ සෙසු අය මහත් අපහසුතාවයට පත්වනු ඇත. මෙවැනි කෙනෙක් කාර්යාලයක සිටින විටත් අනික් අයට ඔහුගේ එම හැසිරීම් කරදරයක් වෙයි. මේ නිසා බොහෝ සිත් අමනාපකම් ඔවුන් අතර ඇති විය හැකිය. 
ne67i
සමහරු අත සෝදන්නට ගිය විට විනාඩි 15ක්, 20ක් පමණ යළි යළිත් සබන් ගාමින් දෙඅත් පිරිසිදු කරන්නේ කොයි තරම් සේදුවත් ඔවුන්ගේ සිතට එහි ප්‍රමාණවත් බවක් නොදැනෙන නිසා ය. 
       
සමහර ග්‍රස්ති රෝගීහු නිදාගන්නට ගොස් හත්, අට වතාවක් නැවත නැවත නැගිටිමින් දොර නිසි ලෙස අගුල් දමා වසා ඇතිදැයි බැලීමට පෙළඹෙති. මෙවැනි අය ගමනක් යන්නට ගියත් මඟට ගොස් කිහිප වතාවක්වත් ආපසු පැමිණ දොර යතුරු දමා වසා ඇත්දැයි නැවත නැවත පරීක්ෂා කරති. මේ පුරුදු නිසා ඔවුන්ගේ බොහෝ එදිනෙදා වැඩ කටයුතු අඩාල වෙයි.
       
මේ හැරුණු විට සමහර ග්‍රස්ති රෝගීන්ට අප්‍රසන්නකාරී ලිංගික සිතිවිලි, ආගම්විරෝධී සිතිවිලි වැනි නොයෙකුත් සිතිවිලි හටගනු ඇත. මේ පිළිබඳව තවදුරටත් විස්තර කළහොත් ලිංගික සිතිවිල්ලක් සමග ඊට කිසිසේත්ම සම්බන්ධ නොවන ඉතා පිළිකුල් සහගත දෙයක් සිතට නැගෙන්නට පුළුවන. එවිට ඔවුන්ට ලිංගික සිතිවිලිද අප්‍රසන්න වෙයි. 
 
ocd 1
       
ආගමට දැඩිව ලැදි කෙනෙක් නම් ඊට මුළුමනින්ම ප්‍රතිවිරෝධී සිතුවිල්ලක් සිත තුළ මතුවී ආගම මෙනෙහි කරන හැම විටම අර සිතිවිල්ල මතුවී සිතට බොහෝ වද දෙනු ඇත. එවැනි සිතිවිල්ලක් තමන්ගේ සිතින්ම පැන නගිනවිට ඔවුන් තුළ තමන් මහා පව්කාරයෙක් යැයි මහත් වරදකාරී හැඟීමක් හටගන්නා අතර එයම යළි යළි මෙනෙහි වීමෙන් සිත මහත් සේ ව්‍යාකූලත්වයට පත්වනු ඇත. එය ඔවුන්ට දැඩි පීඩාවක් වන මුත් ඉන් මිදීම අපහසු වෙයි. නැවත නැවත එම සිතිවිලි මතු වෙමින් වද දෙනු ඇත. 
 
ග්‍රස්ති රෝගය හට ගැනීමට ස්ත්‍රී පුරුෂ භේදයක් හෝ වයස් භේදයක් නොමැත. සමහර අයට ළමා වියේ දී ග්‍රස්ති රෝගය හටගත හැකි අතර තවත් සමහර අයට වැඩිහිටි වියේදී ද හටගැනීමට පුළුවන. මෙය වැළඳෙන්නේ කුමක් හෝ සිද්ධියක් මුල් කරගෙන ය. අනෙකුත් මනෝ රෝග මෙන් මෙහි ද රෝග නිධානය මනෝ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක සහ සමාජීය වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. ඒ නිසා ඖෂධ සහ මනෝ චිකිත්සක යන ප්‍රතිකාර ක්‍රම දෙකම එකට එකතු කර මෙම රෝගීන්ට ලබාදිය යුතුවේ. සිතට දැනෙන මෙම අවුල් සහගත සිතිවිලි නිසාම පසු කලෙක මේ රෝගීන්ට විශාදය හටගැනීමේ ඉඩකඩක්ද පවතියි. එනිසා රෝගය මුල් කාලයේම හඳුනාගෙන ප්‍රතිකාර ලැබීම වැදගත් වෙයි. එලෙස මුල් අවස්ථාවේම ප්‍රතිකාර ගත්තොත් මාස 3ක් පමණ නොකඩවා එක දිගට ප්‍රතිකාර ගැනීමෙන් මේ රෝග තත්ත්වය බොහෝ දුරට සමනය වීමේ හැකියාවක් පවතී. නමුත් මෙයට දීර්ඝකාලීන ව ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ. 
ocdperjoieur
 
ඉහත සිද්ධියේ තරුණයාගේ දෙමාපියන් ඔහුට දොස් තබමින් සිටියා විනා තම පුතුට මානසික රෝගයක් ඇති බවට කිසිලෙසකින්වත් සැකයක් ඇති කරගෙන තිබුණේ නැත. අවසානයේ ඔහුගේ රෝගය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී ඒ සමග විශාද රෝගය ද හට ගෙන තිබිණි. විශාද රෝගය වර්ධනය වීමත් සමග නින්ද නොයාම, නිතර දැනෙන නිදිමත, කෑම අරුචිය, කිසි දේකට ඇල්මක් නොමැති වීම, උදාසීන බව, සියලු දේ එපා වීම වැනි ලක්ෂණ ගණනාවක් ඔහුට ඇති විය. අවසානයේ ග්‍රස්ති සමග විශාද රෝගය ද වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සියල්ල පලක් නැතැයි තීරණය කර සියදිවි හානි කර ගන්නට ඔහු තැත් දරා තිබිණි.
 
තම පුතුගේ සැබෑ තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳව දෙමාපියන්ට ඇහැ ඇරුණේ ඔවුන් දෙදෙනා ගෙන්වා මේ සියල්ල පැහැදිලි කර දුන් පසුව ය. මෙම තරුණයාට මනෝ චිකිත්සක ප්‍රතිකාර සහ ඖෂධ ද නියම කරනු ලැබූ අතර ඔහු දැන් එම රෝග තත්ත්වයෙන් මිදෙමින් සිටියි. දැන් ඔහු නාන කාමරයේ පැය ගණන් ගත කරමින් පිරිසිදු වන්නේ නැත. මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් එම පුරුද්ද සමනය වී ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබේ.වෘත්තීය පුහුණු පාඨමාලාවේ විභාග ද ඔහු සමත් විය. තවමත් ඔහුගේ ප්‍රතිකාර නතර කර නොමැත්තේ ඔහුගේ එම රෝග තත්ත්වයන්ට කිසිදු ප්‍රතිකාරයක් මුලදීම නොලැබුණු නිසා ඒවා බොහෝ සෙයින් වර්ධනය වීම හේතුවෙන් දිගුකාලීනව ඔහුට ප්‍රතිකාර ලබාදිය යුතුව ඇති බැවිනි. 
 ocd 039493
 
තරුණ වයසේ පසුවන අයට ග්‍රස්ති රෝගය හට ගැනීමේ නැඹුරුව වැඩි ය. එනිසා අසීමාන්තික පිරිසිදු බව වැනි ස්වභාවිකත්වය ඉක්මවා එහි අන්තයට ගිය ලක්ෂණ ඇත්නම් එය මුල් කාලයේ හඳුනාගෙන ප්‍රතිකාර ලැබීම ඉතා වැදගත් ය.  
 
උපදෙස් 
WhatsApp Image 2025 06 09 at 3.09.25 PMමහනුවර ජාතික රෝහලේ, මනෝ වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, පුහුණු විශේෂඥ මනෝ වෛද්‍ය ජනිත සී. හේරත් 
 
සැකසුම :
ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අසීමාන්තික ලෙස පිරිසිදු වීම ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගයක් ද ? | The Leader