The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ රටේ සැම පුරවැසියන් දෙදෙනකුටම එක රිළවෙක් ගාණේ ඉන්නවා ද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

June 18, 2025 • 7:18 AM

අපේ රටේ සැම පුරවැසියන් දෙදෙනකුටම එක රිළවෙක් ගාණේ ඉන්නවා ද? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්දික විසින් අනාවරණය කරන ලදී.
  • ඒ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකේය පුරවැසියන් හතර දෙනකු ගෙන් කෙනකුට එක් රිලවකු ලෙසිනි.
  • සන්දික වැඩි දුරටත් කියා සිටියේ එම සංගණනයට අනුව රිළවුන් මිලියන පහයි දශම එකයි හතක් (5.17) සේම වඳුරන් මිලියන එකයි දශම හතයි හතරක් (1.74), දඬුලේනුන් මිලියන දෙකයි දශම හයයි හයක් (2.66), මොනරුන් මිලියන හතරයි දශම දෙකයි හතරක් (4.24) ක් සිටින බවක් වාර්තා වූ බවයි.
  • රිළවුන් වැඩිම දිස්ත්‍රික්කය මහනුවර ලෙස (634,668ක්), වඳුරන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය (160,315ක්), දඬුලේනුන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල (546,715ක්) සහ මොනරුන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල (621,517ක්) හඳුනාගෙන ඇතැයි ද ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් වගාවන්ට හානි සිදුකරන රිළවා, වඳුරා, දඬුලේනා සහ මොනරා සම්බන්ධයෙන් සිදුකරන ලද එම සංගණනයට අනුව රට තුළ රිළවුන් පනස් ලක්ෂ දහ හත් දහසක් (50,17000) සිටින බව එම සංගණනය සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ සාමාජික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක මහාචාර්ය ඒ.එල්. සන්දික විසින් අනාවරණය කරන ලදී. ඒ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකේය පුරවැසියන් හතර දෙනකු ගෙන් කෙනකුට එක් රිලවකු ලෙසිනි.

එහිදී මහාචාර්ය ඒ.එල්. සන්දික වැඩි දුරටත් කියා සිටියේ එම සංගණනයට අනුව රිළවුන් මිලියන පහයි දශම එකයි හතක් (5.17) සේම වඳුරන් මිලියන එකයි දශම හතයි හතරක් (1.74), දඬුලේනුන් මිලියන දෙකයි දශම හයයි හයක් (2.66), මොනරුන් මිලියන හතරයි දශම දෙකයි හතරක් (4.24) ක් සිටින බවක් වාර්තා වූ බවයි.

 



රිළවුන් වැඩිම දිස්ත්‍රික්කය මහනුවර ලෙස (634,668ක්), වඳුරන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය (160,315ක්), දඬුලේනුන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල (546,715ක්) සහ මොනරුන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල (621,517ක්) හඳුනාගෙන ඇතැයි ද ඔහු කීය.

මෙම සතුන් අඩුම දිස්ත්‍රික්කය ලෙස යාපනය හඳුනාගෙන ඇති බවත් එහි රිළවුන් 689ක්, දඬුලේනුන් 1,309ක්, මොනරුන් 1,370ක්, වඳුරන් 2,127ක් සිටින බවට හඳුනාගත් බවත් මහාචාර්ය වරයා එහි දී පැවසීය.

රිළවා මහනුවර, කෑගල්ල, අනුරාධපුරය, පොළොන්නරුව (පූජා භූමි ආශ්‍රිත වැඩි වශයෙන්), වඳුරා හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුරය (පූජා භූමි ආශ්‍රිතව වැඩි වශයෙන්), දඬුලේනා කුරුණෑගල සහ මොනරාගල, මොනරා අනුරාධපුරය, මොනරාගල ඇතුළු වියළි කලාපයේ වැඩි වශයෙන් සිටින බව නිරීක්ෂණය වූ බව ද මහාචාර්ය වරයා පවසා තිබිණ.

නමුත් මෙම “වැඩි වශයෙන්” යන්න සංඛ්‍යාත්මක වශයෙන් ඝනත්වයක් හෝ ප්‍රතිශතයක් ලෙස නොදැක් වූ ඔහු මෙම දත්ත ආශ්‍රිතව විශ්ව විද්‍යාල මගින් තවදුරටත් සංගණනය කර දත්ත ඉදිරිපත් කිරීමේ ඉඩප්‍රස්තාව විවර වන බව ද කීය. ඒ හුදෙක් සංගණනයක ඇති සූක්ෂමතාව මෙවන් මූලික තොරතුරු සමීක්ෂණයක නොමැති නිසා වන්නට පුළුවන.

අපේ රටේ සත්ත්ව සංරක්ෂණය පිළිබඳ පනතක් තිබුණත් සතුන් කළමනාකරණය කිරීමට පනතක් නොමැති බවත් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් කමිටුව නිර්දේශ කර තිබෙන බව පැවසූ මහාචාර්ය වරයා, මෙම සංගණනයට වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ පනස් දෙකකට (52) ආසන්න මුදලක් බව ද පැවසීම ද අප ගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය. ඒ “වැඩේ හරියට කෙරුණා නම් කීයක් ගියත් මොකද?”යන ජන සම්මතය අනුව ය.

එහෙත්, මෙහි තවත් විශේෂයෙන් සැලකිය යුතු තත්වයක් ද වෙයි. එනම් ඔහු ගේ මෙම අනාවරණය මානව ජනාවාස ආශ්‍රිතව සංගණනයට බඳුන් වූ වන සතුන් ගේ ගේ ගණන බව ඉඳුරාම පැහැදිලි ය. ඒ අනුව මානව ජනාවාස ආශ්‍රිතව සමීක්ෂණයට බඳුන් නොවූ සහ අප රටේ වන ගහණයන් තුළ වෙසෙන වන සත්ව ගහණය ඊට වඩා ඉතා ඉහළ අගයක් ගනු එකාන්ත ය.

census 250613

ඒ අනුව මෙම සංගණනය බඳුන් වූ රිළවුන් මිලියන පහයි දශම එකයි හත (5.17) මිලියන දහයක් හෙවත් බිලියනයක් තෙක් තෙක් ඉහළ නැඟීමේ යම් අවකාශයක් පවතී. මෙය බැලූ බැල්මට වුව විහිළු සහගත තත්වයකි.එ සේ වුවහොත් අප රටේ සෑම පුරවැසියන් දෙදෙනකුටම රිලවකු බැගින් හිඳින බව පිළිගන්නට අපට සිදු වේ.

මේ අතර මෙම සත්ත්ව සංගණනය සඳහා විශාල මුදලක් වැය කර ඇති බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළත් සංගණනයට අදාළ පෝරම මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට රුපියල් විසි හතර ලක්ෂ හැත්තෑ අට දහසක් ද (2,478,000), බෙදාහැරීම් කටයුතු සඳහා රුපියල් විසිහත් ලක්ෂ දහසය දහස් තුන්සිය දහහතරක් ද (2,716,314) වැය වී ඇතැයි ඊට එක් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ (තාක්ෂණ) හේමන්ත අමරසිංහ එහි දීම නැවතත් ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

ඒ සඳහා පෝරම ලක්ෂ හැත්තෑ අටක් මුද්‍රණය කළ බවත් එක් පෝරමයක් සඳහා වැය වී ඇත්තේ ශත 30ක් බවත් ඔහු මෙහි දී පැවසීය. ඔහු ගේ ප්‍රකාශය එසේ වුව ද අදාළ සංගණනයට පෙර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ගම් මට්ටමින් සිටින රජයේ නිලධාරීන් වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාර්ගේ අධීක්ෂණය යටතේ ජනතාවගේ ද සහයෙන් අදාළ සංගණනය කරන බවකි.

 

hemanthaහේමන්ත අමරසිංහ
වන සතුන් පිළිබඳ අදාළ දත්ත පිරවීම සඳහා ජනතාවට පත්‍රිකාවක් ද බෙදා දෙනු ලැබූ අතර එම දත්ත පත්‍රිකා ගමේ රාජ්‍ය නිලධාරීන් විසින් එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට යොමු කරන බවත් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනෙන දත්ත ඉකුත් මාර්තු අවසානයේම කොළඹ එක් ස්ථානයකට ලබා ගන්නා බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සංගණනයට පෙර සඳහන් කර තිබිණි.

නමුදු අමාත්‍යාංශයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ (තාක්ෂණ) වරයා ගේ ඒ ප්‍රකාශයට ඉහත සඳහන් රාජ්‍ය නිලධාරීන් ගෙන් ලත් ඔවුන් ගේ රාජකාරී වේලාවන් තුළ ලබා ගත් ශ්‍රමය සහ ඉහත සඳහන් නිලධාරී සංයුතිය වෙනුවෙන් යෙදවෙන ඉන්ධන ආදී සෙසු වියදම් උදෙසා “තුට්ටුවක වත්” මිලක් නියම කොට නොතිබීම ගැන ද අප ගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය.

ඉකුත් මාර්තු 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළ පැවැත්වුණු අතර ජන සහභාගීත්ව සංගණනයක් ලෙස නම් කෙරුණු මෙය උප්පත්ති දෝෂ රැසකින් යුතු වූවක් බව විවිධ පාර්ශවයන් විසින් කල් ඇතිවම පෙන්වා දී තිබිණ. ඒ සම්බන්ධ ප්‍රධානතම දෝෂය වනුයේ එහි දී ලබා ගත් වන සතුන් පිළිබඳ තොරතුරු ප්‍රති පරීක්ෂාවකට කිසිදු අවකාශයක් නොලැබීම ය.

 



ඒ අනුව එම තොරතුරු සමීක්ෂණයේ දී කරුණු දැක්වූ රිලවුන් ඇතුළු වන සතුන් ගෙන් පීඩා විදින බොහොමයක් ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ “දෙන්නං බැටේ” න්‍යායට බව කුඩා දරුවකුට වුව වැටහෙනු ඇත.

මේ අතර පසුගිය ජූනි 04 වන දා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මෙම සත්ව සංගණනය දැඩි විවේචනයට ලක් කරනු දක්නා ලදී. ඔහු එහි දී කියා සිටියේ මෙම ක්‍රියාව සඳහා රජයේ මුදල් ලක්ෂ සියයකට වඩා වැය කළ “රිළා ඇමති”ට වසර හතලිහක සිර දඬුවම් නියම විය යුතු බවකි.

 



ඒ අනුව දිනෙන් දිනම යටපත් වෙමින් තිබූ මෙම සංගණන ප්‍රතිඵලය ඊළඟ සතියේම කඩිමුඩියේ එළි දක්වන ලද්දේ එම වන සතුන් පිළිබඳ තොරතුරු පැවසීමට වඩා ඒ සඳහා වැය වී ඇත්තේ ඉතා සුළු මුදලක් බව පවසා ජනතා අධිකරණය හමුවේ ආණ්ඩුව ඒ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ද යන සැකයක් ද මේ වන විට විවිධ පාර්ශවයන් වෙතින් ඉස්මතු වෙමින් තිබේ.

ඒ අතරේ වංචාව දූෂණය පිටු දැකීම සඳහා තමන් අති මහත් වෙහෙසක් දරන බව පවසන ආණ්ඩුව ඊට කෙසේවත් නොදෙවෙනි නුවමනා නාස්තිය දුරු පිටු දැකීම සම්බන්ධයෙන් මීට වඩා සුවිසල් අවධානයක් යොමු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කළ යුතුය. මක් නිසා ද ආණ්ඩුවෙන් සැපයෙන මෙවන් විහිළු සඳහා එතරම් ලොකු මුදලක් ගෙවීමට මෙරට ජනතාවට වත්කමක් නොමැති බැවිනි.

 
Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com



උපුටා ගැනීම - vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...