The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොළඹින් බැරි වුණු පාඩම ගමෙන් ඉගෙන ගත් කොමසාරිස්වරිය | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

June 19, 2025 • 7:54 AM

කොළඹින් බැරි වුණු පාඩම ගමෙන් ඉගෙන ගත් කොමසාරිස්වරිය | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කිරිල්ලිය නම් බස්නාහිර පලාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරිය වන සරංගිකා ජයසුන්දරයි.
  • පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීමට නිල බලයෙන් හිමිවන මුලසුන දැරීමට ගිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පරිණත රාජ්‍ය නිලධාරිනියක් ලෙස නොව අපරිණත හිතුවක්කාරී ස්වරූපයකින් එහි දී ක්‍රියා කරනු දැක ගන්නට ලැබුණි.
  • ඒ සඳහා ද විවෘතව ඡන්දය විමසිය යුතුය යන අදහස මෙන්ම රහස්‍යව ඡන්දය විමසිය යුතුය යන අදහස ද ලෙස අදහස් දෙකක් ඉදිරිපත් විය.
  • නීතියට අනුව නගරාධිපති පත් කළ යුත්තේ පැමිණ සිටින සමාජිකයින් විසින් යෝජනා සම්මතයක් මඟින් තීරණය කරන පරිදි විවෘත හෝ රහස්‍ය ලෙස ඡන්දය ගැනීම මගිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ කිරිල්ලිය නම් බස්නාහිර පලාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරිය වන සරංගිකා ජයසුන්දරයි.

පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීමට නිල බලයෙන් හිමිවන මුලසුන දැරීමට ගිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පරිණත රාජ්‍ය නිලධාරිනියක් ලෙස නොව අපරිණත හිතුවක්කාරී ස්වරූපයකින් එහි දී ක්‍රියා කරනු දැක ගන්නට ලැබුණි.

නගරාධිපති තෝරා පත් කිරීම සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඇය ඉතා නිවැරදි අන්දමින් යෝජනා දෙක පිළිබඳව ඡන්ද විමසීම කළ යුත්තේ රහස්‍යව ද විවෘතවදැයි සභාවෙන් විමසා සිටියා ය. ඒ සඳහා ද විවෘතව ඡන්දය විමසිය යුතුය යන අදහස මෙන්ම රහස්‍යව ඡන්දය විමසිය යුතුය යන අදහස ද ලෙස අදහස් දෙකක් ඉදිරිපත් විය.

 



නීතියට අනුව නගරාධිපති පත් කළ යුත්තේ පැමිණ සිටින සමාජිකයින් විසින් යෝජනා සම්මතයක් මඟින් තීරණය කරන පරිදි විවෘත හෝ රහස්‍ය ලෙස ඡන්දය ගැනීම මගිනි.

මීළඟට උද්ගත වූයේ අනුගමනය කරනු ලබන ඡන්ද ක්‍රමය කුමක්ද යන්න ගැන සභාවේ සාමාජිකයින්ගේ බහුතර මතය විමසා බැලීමයි. මෙබඳු අවස්ථාවක දී සභාවේ එක් එක් සාමාජිකයාගේ මතය නමින් අඬ ගසා විමසා බලන ලෙසට මාර්ගෝපදේශන සංග්‍රහයක් රාජ්‍ය පරිපාලන පළාත්සභා හා පලාත්පාලන අමාත්‍යංශයෙන් නිකුත්කර තිබුණි.

කොමසාරිස්වරිය මුලින්ම ඒ මාර්ගෝපදේශන සංග්‍රහය තමා අනුගමනය නොකරන බවත් පනත ඊට වඩා ප්‍රබල බවත් පවසා තමන් පනත අනුව කටයුතු කරන බව ප්‍රකාශ කළාය.



එසේ පවසමින් අනුගමනය කළ යුතු ඡන්ද ක්‍රමය ගැන සභාවේ බහුතර මතය ඡන්ද පත්‍රිකාවක් මගින් රහස්‍ය ලෙස ලබා ගැනීමට තමා තීරණය කරන බව සභාවට දැනුම් දුන්නාය.

ඇගේ මේ තීරණයට විරුද්ධ වූ සභිකයින් පිරිසක් තමන් සභිකයන් බහුතරයක අත්සන් සහිතව විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව පැවසූහ. එම ඉල්ලීම ප්‍රතික්ෂෙප කළ කොමසාරිස්වරිය තමන් මුලසුන දරන්නා ලෙස රහස්‍ය ඡන්දයක් ගැනීමට ක්‍රියා කරන බව දන්වා ඒ සඳහා සූදානම් වනු නිරීක්ෂණය විය. ඇය පුන පුනා කියා සිටියේ තමන් ක්‍රියා කරන්නේ පනත අනුව බවයි.

පැයක පමණ කාලයක වාද විවාද අවසානයේ රහස් ඡන්දයකින් අනුගමනය කළ යුතු ඡන්ද ක්‍රමය ගැන සභාවේ අදහස ලබා ගැනීමට යද්දී එක් සභිකයෙකු නැගිට ඡන්ද දෙකක් නොපවත්වා කෙලින්ම නගරාධිපති තෝරන ලෙස ඉල්ලා සිටියේය. තවත් සභිකයෙකු ඒ අදහස ස්ථිර කිරීමෙන් පසුව නගරාධිපති තේරීමේ රහස් ඡන්දය ඇරඹුණි. එසේ වුවද මේ සිදුවන්නේ කුමක්ද සිදුවනදේ නීත්‍යානුකූල ද නැතිද යන ව්‍යාකූලත්වය සභාව තුළ පැහැදිලිවම දක්නට ලැබුණි.

daily work 1 1
මෙහිදී නිරීක්ෂණය වූයේ නගරාධිපතිවරයා තෝරා ගැනීමට අනුගමනය කළ යුතු ඡන්ද ක්‍රමය දැන ගැනීම සඳහා රහස්‍ය ඡන්දයක් පැවත්වීමට කොමසාරිස්වරිය ඒක පාක්ෂිකව කලින්ම තීරණයක් ගෙන ඊට සූදානම්ව පැමිණි බවයි. එසේ ඇය සභාව සතු බලය නොතකා පූර්ව සූදානමකින්‍ රහස් ඡන්දයක් පැවැත්වීමට පැමිණීමත් පිළිබඳව බලවත් සැකයක් මතුවේ. කිසිම නීතියකින් පළාත්පාලන කොමසාරිස්ට පැවරුණු බලයක් නොවන මුලුමනින්ම සභාව සතු නෛතික බලයක්  පිළිබඳව තීරණයක් ගැනීමට සභාවට අවකාශ නොදී කොමසාරිස් ඊට මැදිහත්වීම බල රහිත ක්‍රියාවකි.

නගරාධිපති තෝරා ගැනීමේදී විවෘත ඡන්දයක් ද රහස්‍ය ඡන්දයක්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේත් සභාවට ය. එම බලය මත ක්‍රියාකරන සභාවේ තීරණය ලබා ගන්නේ විවෘතව ද රහසිගතව ද යන කරුණ ගැන තීරණය ගත යුතුව තිබුණේත් සභාව මිස කොමසාරිස් නොවේ. එසේ වුවද කොළඹ මහ නගර සභාවේදී අවසානයට සිද්ධ වුණේ කොමසාරිස්ගේ දැඩි බලපෑම හා හිතුවක්කාරී ක්‍රියා කාරිත්වය හේතුවෙන් සභාව මගින්‍ම රහස්‍ය ඡන්දයක් ඉල්ලා සිටින තත්වයක් ඇති කිරීමයි. තම බලපෑම්වලට මහනගර සභාවේ සභිකයින් විශාල පිරිසක් නතුකර ගෙන තමන්ට අවශ්‍ය ලෙස ඒ කාර්ය කිරීමට පලාත් පාලන කොමසාරිස්වරියට එහිදී හැකි වුවද එය නෛතික හෝ සදාචාර සම්පන්න අපක්ෂපාතී රාජ්‍ය නිලධාරියෙකුට උචිත හෝ ගැලපෙන ක්‍රියාවක් නොවේ.

කොළඹ මහ නගර සභාවේ මංගල සභාවාරය

 

මේ සිද්ධියෙන් කුප්‍රසිද්ධ වූ බස්නහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඉකුත් 17 වන දා සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපති තේරීමේ රැස්වීමට සහභාගි වන්නට ඇත්තේ ජයග්‍රාහී මනසකිනි. විවිධ පක්ෂ හා කණ්ඩායම්වලින් සැදුම්ලත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත්කිරීමේදි තම අභිමතය පරිදි එය කිරීමට හැකිවූවා නම් සීතාවක වැනි ගමකදී පනහකටත් අඩු සභිකයින් පිරිසක් තමාට ඕනෑ ලෙස නමා ගැනීම කජු කැමක් වනු ඇතැයි ඇය සිතුවාට සැක නැත.

සීතාවක දී පත්කිරීමට තිබුණේ ප්‍රාදේශීය සභා සභාපති හා උප සභාපති ය.සුපුරුදු ලෙස සභාපති තනතුරට නම් දෙකක් යෝජනා විය. අවශ්‍ය වන්නේ විවෘත ඡන්දයක්ද රහස්‍ය ඡන්දයක්දැයි විමසීමට ද ඇය අමතක කළේ නැත. කොළඹ මෙන්ම රහස්‍ය ඡන්දය ඉල්ලන පිරිසක් ද විවෘත ඡන්දයක් ඉල්ලන පිරිසක් ද සිය ඉල්ලීම ඉදිරිපත් කළහ. ඇය සුපුරුදු පරිදි මේ ඉල්ලීම් දෙක පිළිබඳව සභිකයින්ගේ කැමැත්ත රහස් ඡන්දයක් මගින් ගන්නා බව නිවේදනයක් කළාය.

එහිදී විවෘත ඡන්දය ඉල්ලූ සභිකයින් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කරුණු දැක්වුව ද ඇය තම ස්ථාවරයේම සිටියාය. අවසානයේ සීතාවක ගමේ සභිකයෝ බහුතරය එසේ නම් ඔබේ ක්‍රමයට ඡන්දය තියා ගන්නයැයි කියමින් සභාවෙන් ඉවත් වූහ. කොමසාරිස්වරියට දෙලෝ රත් වුණේ ඉන් පසු සභාවේ ගණ පූරණය ද නොමැති වූ නිසා ය.

 

සීතාවක ප්‍රාදේශීය සභාවේ 47ක්වූ මුළු සභික සංඛ්‍යාවෙන් බහුතරය වූ 24ක් කොමසාරිස්ගේ හිතුවක්කාර අනීතික තීරණයට එරෙහිව සභාවෙන් ඉවත්වීමෙන් නැතිවුණේ සභාවේ ගණ පූරණයක් පමණක්ම නොවේ. කොමසාරිස්වරිය රහස් ඡන්දයක්ම ඕනෑ කියමින් නටන්නේ සභාපති පත්කර ගැනීමට සහය ගැනීමට ඩීල් මගින් වෙනත් පක්ෂවල සභිකයින් රහසිගතව සම්බන්ධ කරගෙන අන් අයට නොපෙනෙන ලෙස ඔවුන්ගේ සහය ලබා ගන්නට මාන බලන කල්ලියක රූකඩයක් වීඇති නිසා ය යන ප්‍රබල සැකයත් ඉන් ඇති විය.

සභාවේ බහුතරයක් සභිකයින්ට විවෘත ඡන්දයක් ලබා ගැනීමට සම්පූර්ණ නෛතික අයිතිය තිබියදී කොමසාරිස්වරිය එකී බහුතරයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අනීතිකව හැසුරුණුබව මනාව ඔප්පු වුණේ බහුතරය ඉවත්වී සභාවේ ඝණ පූර්ණයත් නැතුව යාමෙනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස් අපක්ෂපාතී ව නීතියට අනුව කටයුතු කරන්නේය යනුවෙන් ඇයගේ මුග්ධ තීරණවලින් වාසිගත් දේශපාලන ඇම්බැට්ටයින් සමාජ මාධ්‍යයේ ගයමින් සිටි ප්‍රශස්ති ද ඒ සමගම කෙමෙන් මැකී වයන්නට විය. ඒ සියල්ලන්ම සමාජය ඉදිරියේ නිරුවත් කරන්නට සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර සභිකයින් ගේ මෙම ඉවත් වීම හේතුවිය.

මේ සියල්ලටම වඩා ඒ කොමසාරිස් වරියටම දැන් තමන්ගේ හොරේ එලිවීම නිසා නීතිමය ආවරණයක් සොයමින් එක එක ආයතනවලට කතා කරන්නට සිදුව ඇතැයි ආරංචි වීම අපූරු ය.

 කොළඹ මහ නගර සභාවේ බලය ගන්න පොහොට්ටුව සමග එකතු වීමේ අදහසට සජබ ඇතුළෙන්ම  විරෝධයක්

කොළඹ මහ නගර සභාව

 

ප්‍රාදේශිය සභාවක සභාපති, උප සභාපති තෝරන එම රැස්වීමට අදාල නෛතික පරිපාටිය මෙසේ ය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 66 (ඈ)(1)අනුව පලාත්පාලන කොමසාරිස් එම ප්‍රාදේශීය සභාවේ පලමු රැස්වීමේ මුලසුන දැරිය යුතු ය. එම රැස්වීමක් සඳහා මුළු සභික සංඛ්‍යාවෙන් හරි අඩකට නොඅඩු ගණනක් සහභාගිවී සිටිය යුතුය. යසභාවේ පැමිණ සිටින සභිකයෙකුගේ නම සභාපති ලෙස ඔහුගේ කැමැත්ත ඇතිව යෝජනා හා ස්ථිර කිරීම වෙනත් සභිකයින් දෙදෙනෙකු විසින් කළ යුතුය.

සභාපති ලෙස තෝරා පත්කර ගැනීමට එක් සභිකයකු ගේ නමට වඩා යෝජනා ස්ථිර කර ඇත්නම් පැමිණ සිටින සභා සාමාජිකයින් විසින් සම්මත කරන යෝජනාවකින් තීරණය කරන පරිදි විවෘත හෝ රහස්‍ය ඡන්දයෙන් එක් සභිකයෙකු තෝරා පත් කර ගත යුතු ය. එම තෝරාපත් කිරීම මුලසුන දරන කොමසාරිස්වරයා විසින් නිවේදනය කළ යුතුය. මේ ප්‍රාදේශීය සභාවක සභාපති එහි ප්‍රථම රැස්වීමේදී තෝරාගන්නා නෛතික ක්‍රම වේදයයි.මේ ක්‍රමවේදයේ කිසිදු තැනක කොමසාරිස්ට තම අභිමතය යොදාගෙන තීරණ ගැනීමට අවස්ථාවක් ලබාදී නැත.

seethawaka 92385

 

එසේ නම් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තම අභිමතය පරිදි රහස්‍ය ඡන්දයක් තබන්නට සීතාවකදීත් කොළඹදීත් තීරණය කළේ කෙසේද? ඇය ඒ සඳහා අවභාවිතයට ගත්තේ සභාපතිවරයා පත් කිරීමේදී ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා වන සභාව සතු නෛතික බලතලයි. ප්‍රාදේශීය සභාවක යොජනා සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීම කෙසේ කළ යුතුදැයි නියම කර ඇති නෛතික ප්‍රතිපාදන ඇත.

1988/3/16 දිනැති අංක 466/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිධ කර ඇති ප්‍රාදේශීය සභාවේ රැස්වීම් කාර්ය පටිපාටියේ 16(1)වගන්තිය අනුව ප්‍රාදේශීය සභාවේ යෝජනාවක් සම්මත කිරීමට ඡන්දය විමසීම සභාව විසින් තීරණය කරන පරිදි විවෘතව හෝ රහස්‍යව කළ හැකිවේ ඒ ක්‍රමය තීරණය කිරීමත් සභාව සතු බලයකි.

බස්නාහිර පලාත්පාලන කොමසාරිස් මේ පරිපාලන ඩෙඟා නැටුම නටන්නේ අන්න ඒ සභාව විසින් ගතයුතු තීරණ ය තමන් විසින් අරගෙන සභාවට පැටවීමටයි. ඇයගේ පරිපාලන ඩෙඟා නැටුමට බියවී හෝ වශී වී කොළඹ නගර සභාවේ සභිකයින් .ඒ තීරණය සභාව මත පටවා ගත්තාට සීතාවක ප්‍රාදේශීය සභාවේ ගමේ සභිකයෝ ඊට සූදානම් නොවූහ. සීතාවක ඉන්නේ ටිකිරි බන්ඩාර ගේ ගෝලයින්බව තහවුරු කරන්නට දෝ නගර සභාවේදීත් මේ අත්දැකීමට මුහුණ දීමට කොමසාරිස් වරියට සිදු විය.

 seethawaka

සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්

මේ අතර ඉතාමත් වැදගත් ලෙස සිය රාජකාරිය කරගෙන යන තවත් පලත් පාලන කොමසාරිස්වරියක් ගැන ආරංචි වීම සතුටට කරුණකි. ඒ මධ්‍යම පලාතේ පලත් පාලන කොමසාරිස්වරියයි. ඇය ඉතාමත් වෘත්තීය අන්දමින් සභාවල ප්‍රථම රැස්වීම්වල මුලසුන දරමින් පලාත් පාලන ඡන්ද විමසීම් පනතත් මාර්ගෝපදේශත් යොදාගෙන කාගේත් ගෞරවයට පාත්‍රවෙමින් අපක්ෂපාතීව කටයුතු කරන බව සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කළෙමි. රාජ්‍ය සේවයේ එබඳු නිලධාරීන් වඩිකර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

අවසාන වශයෙන් කිව යුත්තේ බස්නාහිර මේ කොමසාරිස්වරියව වැඩිදුර පුහුණුවක් සඳහා මධ්‍යම පලාතට අනුයුක්ත කිරීමට ඇයගේ ප්‍රධානීන්ට සිත් පහළ වුවහොත් හොඳ බවය.

සබැඳි ලිපියක්

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? | සුනිල් කන්නන්ගර


sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...