The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : කොළඹ සටන සහ යාපනේ සටන | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

June 19, 2025 • 2:01 PM

සම්මුති විසම්මුති : කොළඹ සටන සහ යාපනේ සටන | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනමුත් බල්තසාර් නගරාධිපතිනිය වූයේ කාගේ ඡන්ද නිසාදැයි අප දන්නේ නැත.
  • නාමල් රාජපක්ෂගේ හෝ දිලිත් ජයවීරගේ හෝ කුඩු ලාල්ගේ ඡන්දවලින් යැයි කවරකු හෝ කීවොත් එය බොරුවක් බව කීමට ජාජබට නොහැකිය.
  • තමන් පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඉල්ලා අස්විය යුතුය.
  • පසුගිය කාලය පුරා පක්ෂ මාරු කළ දේශපාලනඥයින්ට රන්මසු පිරිනැමුණූ බව, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීහුද කීවෝය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව දිනුවේය. එනමුත් බල්තසාර් නගරාධිපතිනිය වූයේ කාගේ ඡන්ද නිසාදැයි අප දන්නේ නැත. නාමල් රාජපක්ෂගේ හෝ දිලිත් ජයවීරගේ හෝ කුඩු ලාල්ගේ ඡන්දවලින් යැයි කවරකු හෝ කීවොත් එය බොරුවක් බව කීමට ජාජබට නොහැකිය.

නගරාධිපති තේරීම මහ ජන්දයක් වැනි නොවේ. මහ ඡන්දයක දී ඡන්දය දෙන්නේ මහජනතාවය. නගරාධිපති තේරීමක දී ඡන්දය දෙන්නේ දේශපාලන පක්ෂ වෙනුවෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ නියෝජිත නියෝජිතවරියන්ය. මේ සියළු දෙනාටම ඡන්ද ලැබෙන්නේ පක්ෂය හරහාය.

 



පක්ෂයකින් ඉදිරිපත් වන විට පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට අපේක්ෂක අපේක්ෂිකාවෝ ආචාර ධර්මීය වශයෙන් බැදෙති. තමන් පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඉල්ලා අස්විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය එයයි. ජාජබ කලින් කීවේද එයයි.

පසුගිය කාලය පුරා පක්ෂ මාරු කළ දේශපාලනඥයින්ට රන්මසු පිරිනැමුණූ බව, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීහුද කීවෝය. ඒ කෝටි ගණනිනි. එළෙස එක් පක්ෂයකින් ඉදිරිපත්ව වෙනත් පක්ෂයට සහාය දිම කලාවක් ලෙස වර්ධනය කලේ රාජපක්ෂවරුන්ය. ඔවුන්ගේ ඇබිත්තයකු වූ සරත් සිල්වා ඊට නීතියෙන් තිබූ තහංචි දියවන්නා ඔයට ගොම්මන් අඳුර සමඟ විසි කළේය. එවැනි පක්ෂ මාරු දුරාචාරයක් බැවින් තහනම් කිරීමට නීති ගෙන එන බවට ජාතික ජනබලවේගය සපත කළේය.

දැන් සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. වෙනත් පක්ෂවලින් ඉදිරිපත්ව තේරී පත් වූ පලාත් පාලන සභිකයින් එම පක්ෂවලට පිටින් ගොස් ජාතික ජන බලවේගයට ඡන්දය දෙති. කොළඹ සටන මෙන්ම තවත් ආයතන දිනුවේ එහෙමය. මෙවැනි අවස්ථාවක රහස් ජන්දය යනු අල්ලස සහ දූෂණය නීතිගත කිරීමකි.



ආසන මට්ටමින් අපේක්ෂකයින් තේරීමේ ක්‍රමය තිබුණි නම් ජාතික ජන බලවේගය රටපුරාම උඩින්ම දිනුම්ය. උතුරු නැගෙනහිර හැර පළාත් පාලන ආයතන අතිබහුතරයක් එය සතුවන්නට තිබුණි. මා පුද්ගලිකව පෙනී සිටින්නේ පළාත් පාලන මැතිවරණය සඳහා කේවල ක්‍රමය වෙනුවෙනි. පුද්ගලිකව ව්‍රායි බල්තසාර්ටත් මා කැමතිය. පීටර් කෙනමන්ගෙන් පසු බොරැල්ල දිනූ බර්ගර් ජාතිකයා ඇයයි.

ප්‍රශ්ණය අපේ පුද්ගලික කැමැත්ත නොවේ. වෙනත් පක්ෂවලින් ඉදිරිපත්ව ජය ලද අපේක්ෂකයින්ගේ හොර ඡන්ද මගින් ජාජාබ නගරාධිපති තරඟ ජය ගන්නට තීරණය කිරීමයි. එය පාරදෘශ්‍ය නොවන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රමවේදයකි. තමන්ම කියා සිටි පිළිවෙත් වෙනස් කිරීමකි.

vraimn6r7im67

 

තමන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයින්, නගරාධිපති තරඟයකදී ඡන්දය දෙන්නේ කාටදැයි දැන ගැනීමට එම ජනතාවට අයිතියක් නැතැයි කීම, සර්ජන ඡන්දය බේරේ වැවට දැමීමකි. විවෘත ඡන්දයක් තිබී බල්තසාර් පරදින්නට තිබුණේ නම් එතැන අවුලක් නැත්ද?

කණගාටුවට කාරණය නම් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය තුළ ජාතික ජන බලවේගය සිය දේශපාලනය පිළිවෙත් බලය සඳහා පිරිහෙන්නට ඉඩ හැරීමයි.

එය පටන් ගත්තේ පහළින් නොව ඉහළින්ම එනම් ජනාධිපති සහ අගමැතිවරියගෙනි. විපක්ෂය ජයගතහොත් අරමුදල් දෙන්නේ දහ වරක් විමසා බව කීවේ අනුර කුමාරය. හරිනි ඊට අත්වැල් ඇල්ලුවේය. තවත් ඇමැතිවරයකු කීවේ, විපක්ෂය බලය ගන්නා පළාත් පාලන ආයතන අතහැර තමන් මහවැළි සංවර්ධන අධිකාරිය හරහා සංවර්ධන වැඩ කරන බවයි.

මේ ප්‍රකාශ පෙන්නුම් කරන්නේ තමන්ට සියලු බලය තිබිය යුතුයැයි යන කල්පනාවය. එනිසාම තොන්ඩමන්ටත් පිල්ලෙයාන්ටත් අත දිගු කළ බවට වාර්තා තිබේ.



යාපනයේ සටනේ අලුත්ම පරිච්ජේදය ලියැවුණේ පසුගිය 13 දා ජර්මානු අගනුවර වන බර්ලිනයේදීය. එරටට නිල සංචාරයක යෙදුණූ ජනපති දිසානායක එරට සිටින ශ්‍රී ලංකිකයන් හමුවීමට තීරණය කිරීම හොඳ දෙයකි. රැස්වීම තිබෙන තැන සොයා ගැනීම දුෂ්කර විය. සවස 3.00ට ආරම්භවීමට නියමිත වූ එම රැස්වීමට ජනපති දිසානායක ආවේ 4.15ටය.

පමාවී පැමිණි ජනපතිවරයා ඊට සමාව ගත්තේ නැත. ඔහු විනාඩි 50ක් තරම් කතා කළේය. කතාව හොඳය. දිග වැඩිය. එය සංවිධානය කළේ හිටපු දාර රාජපක්ෂවාදියෙකි.

යුරෝපයෙහි සාමාන්‍යයෙන් කථිකයකු විනාඩි 20-30කට වඩා කතා කරන්නේ නැත. වැඩි වේලාවක් දෙන්නේ සාකච්ජාවටය. ප්‍රශ්න ඇසීමට වෙලාවක් තිබුණි. නමුත් එදින ප්‍රශ්ණ ලියා යැවිය යුතු විය. ප්‍රශ්ණය හරියටම කුමක්ද ඇසුවේ කව්ද කියා කව්රුත් දන්නේ නැත.

 

akd germany28793

සභාවෙහි බහුතරය සිංහලයන් වූ නමුත් දෙමළ සහ ජර්මානු පිරිසක්ද පැමිණ තිබුණේ ඔහු කියන්නේ කුමක්දැයි දැන ගැනීමටය. අහෝ! කතාව සිංහල පමණක් ප්‍රතිපත්තිය වැළද ගෙන තිබුණි. විනාඩි 50ක්ම ජනාධිපති සිංහලෙන් පමණක් කතා කළේය! විජිත හේරත් දෙමළෙන් වාක්‍ය දෙක තුනක් කීවේය. ඉන් කියැවුණේ ‘ලංකාවේ හැමෝම වාද භේද දුරලා එකාවන්ව ජීවත්විය යුතු’ බවයි. සාමය සිංහල බසින් පමණක් පිහිටුවිය හැකි දෙයක් නොවේ.

මේ යාපනේ සටන එතෙරදී සිදුවුණූ අන්දමයි. මෙරට සටනෙහි දී යාපනය සහ මඩකළපුව යන පළාත් අග නගර දෙකම තවත් ආයතන ගණනාවක්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි ( අයිටීඒකේ - කලින් පෙඩරල් පක්ෂය) අතට ගියේය. දෙමළ බහුතර ප්‍රදේශ කිසිවක් ජාතික ජන බලවේගයට ලැබුණේ නැත.

 

idam
කියන දේ නොකිරීම තරම් සාපයක් බලයේ සිටින ආණ්ඩුවකට නැත. උතුරු පළාතෙහි අක්කර 6000ක් ආණ්ඩුවට ගැනීමට පසුගිය මාර්තු මාසයෙහි දී ගැසට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. ඉන් කියවුණේ එකී වපසරිය තුල පිහිටි කවර හෝ ඉඩමකට නීත්‍යනූකූල හිමිකමක් පෙන්විය නොහැකි නම් ඒවා රජයේ දේපල බවට පත්වන බවයි.

තිස්වසරක යුද්ධය තුල බොහෝ දෙමළ ජනයාගේ ඔප්පු තිරප්පු නැති විය. එබැවින් මෙම ඉඩම් කොල්ලය නතර කරන සේ දෙමළ ජනයාගේ දේශපාලන සහ සිවිල් සංවිධාන ආණ්ඩුවට කියා සිටියහ. ආණ්ඩුවද විශේෂයෙන්ම අගමැතිනි අමරසූරියද මෙම එළෙස ඉඩම් අල්ලා නොගන්නා බවට ශපත කළහ. එම ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා බව ආණ්ඩුව නිල වශයෙන් කියා සිටියේය.  ඒ සති තුනකට පෙරය. තවම එය ඉවත් කර ගෙන නැත. එනිසා අයිටීඒකේ ලේකම් හිටපු පා.ම. එම් සුමන්දිරන් දැන් ශේෂ්ඨාධිකරණය හමුවෙහි එම ගැසට් පත්‍රයට විරුද්ධව පෙත්මක් ගොනු කර තිබේ.

post 2

යාපනේ සටනින්, පුලුල් අර්ථයෙන් කියන්නේ නම් දෙමළ ජනයා බහුතරය වන ප්‍රදේශවලින් ජාතික ජනබලවේගය පැරදුනේ පොරොන්දු එක පිට එක කඩකරන ලද නිසාය. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත පනත ඉල්ලා අස්කර ගැනීම, යුද්ධ වින්දිතයින්ගේ සාධාරණ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම යනාදී කිසිවක් සිදුව නැත.

1995 සිට මේතාක් කොපායි දෙමළ ජනයාගේ ඉඩම් අක්කර දෙකහමාරක් පොලිසිය සහ හමුදාව අල්ලා ගෙන සිටින බව එහි ප්‍රාදේශීය ලේකම්වරයා තහවුරු කලේ පසුගිය සතියේය.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් මෑත දී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ උතුරු නැගෙනහිර පළාත්හි  සාමය ගොඩනැගීමේදී ප්‍රවේශය, පාලනය සහ බෙදා හැරීම කේන්ද්‍ර කරගත් ඉඩම් ආරවුල් ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින බවයි. පශ්චාත් ගැටුම් ආරවුල් බොහෝ විට රාජ්‍යය, හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,  වනජීවී සහ මහවැලි අධිකාරිය වැනි ආයතන සමඟ සම්බන්ධ වන බවත් එය දක්වයි. ඒ සිංහල බෞද්ධ මහෝත්තමවාදී පාර රාජ්‍ය හවුලය.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නව දේශපාලන සංස්කෘතික අත්තිවාරම  විය යුතුව තිබුණි. සංකේතාත්මක අර්ථයෙන් කොළඹ සටන සහ යාපනේ සටන ඒ දිශාවට රට ගෙන යන්නේදැයි කල්පනා කර බලන්න.

රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය : බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳ දැමු 'වීරයා'  මෙන්න - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)

සම්මුති විසම්මුති : සබැඳි ලිපි

සම්මුති විසම්මුති : වීර කාව්‍ය, ග්‍රේතා තුන්බර්ග් සහ අපේ එළිපත්ත | සුනන්ද දේශප්‍රිය

සම්මුති විසම්මුති : ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද ඇයි ද කා සඳහා ද? | සුනන්ද දේශප්‍රිය

සම්මුති - විසම්මුති : අපූරු දවසක්, හිම දිය වූ කඳු පිරිසිදු කිරීම | සුනන්ද දේශප්‍රිය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...