The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝකය ඉදිරියේ අපේ රට රිළා - වඳුරු කොදෙව්වක් වේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

June 21, 2025 • 9:55 AM

ලෝකය ඉදිරියේ අපේ රට රිළා - වඳුරු කොදෙව්වක් වේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි ප්‍රතිඵල ජූනි 12 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය හමුවේ තබනු ලැබූ අතර එය දුටු විට ‘දැවැන්ත ව්‍යාපෘතියක් කළේය’ යැයි සතුටින් අත්පොළසන් තලනවාට වඩා ‘මොකක්ද මේ සිද්ධ වුණේ?’ යැයි සිතමින් විස්සෝප වන්නට සිදු වූ බව පෙනෙන්නට තිබිණි.
  • ශ්‍රී ලංකාවේ මිනිස් ජනගහනය ආසන්න වශයෙන් මිලියන 22 ක් වේ.
  • එයින් අදහස් වන්නේ සෑම පුරවැසියන් හතර දෙනෙකුටම එක් රිළවකු බැගින් සිටින බවය.
  • අපේ රට රිළා - වඳුරු කොදෙව්වක් බවට පත්වෙමින් පවතී ද යන සැකය ද මෙහි දී මතු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි ප්‍රතිඵල ජූනි 12 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය හමුවේ තබනු ලැබූ අතර එය දුටු විට ‘දැවැන්ත ව්‍යාපෘතියක් කළේය’ යැයි සතුටින් අත්පොළසන් තලනවාට වඩා ‘මොකක්ද මේ සිද්ධ වුණේ?’ යැයි සිතමින් විස්සෝප වන්නට සිදු වූ බව පෙනෙන්නට තිබිණි.

මේ වාර්තාවට අනුව අප රටේ සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල මෙසේය.

රිළව් (toque macaques) මිලියන 5.17

වඳුරන් (gray langurs) මිලියන 1.74

දඬුලේනුන් මිලියන 2.66

මොණරුන් මිලියන 4.24

 

මේ සත්ත්ව සංඛ්‍යාවන් සියල්ල මිනිස් ජනාවාස ආශ්‍රිත පරිසරය තුළින් ලබා ගත් ඒවා වන අතර මෙයට වනාන්තර තුළ සිටින සත්ත්ව ගහනය ද එකතු වූ විට ශ්‍රී ලංකාවේ සත්ත්ව ගහනය කෙතරම්දැයි සිතා ගත නොහැකිව අයා ගත් මුව වසා ගන්නට අමතක වන තරමේ විස්මයකට පත් වෙයි. ශ්‍රී ලංකාවේ මිනිස් ජනගහනය ආසන්න වශයෙන් මිලියන 22 ක් වේ.

monkey 250618

එයින් අදහස් වන්නේ සෑම පුරවැසියන් හතර දෙනෙකුටම එක් රිළවකු බැගින් සිටින බවය. එය ගෝලීය වශයෙන් ගත් කල යථාර්ථය ඉක්මවා යන තරමේ ප්‍රමාණයකි. අපේ රට රිළා - වඳුරු කොදෙව්වක් බවට පත්වෙමින් පවතී ද යන සැකය ද මෙහි දී මතු වේ.

නමුත් මේ සංඛ්‍යාවන්ට වඩා වැඩියෙන් වැදගත් වන්නේ මේ සංගණනය වෙනුවෙන් භාවිත කළ ක්‍රමවේදය, කාලය සහ අරමුණු යන කාරණාවන්ය. මෙය විද්‍යාත්මක පදනමකින් සිදු කළ, දත්ත ඔස්සේ ක්‍රියාත්මක වූ සංගණනයක් ද? එසේත් නැත්නම් මූලික හේතුව සොයා පිළියම් කරනවාට වඩා ගොවීන්ගේ දුක්ගැනවිලි සඳහා කඩිනම් විසඳුමක් සොයන්නට උත්සුක වන්නේ යැයි පෙන්වමින් සිදු කළ ගැල විජ්ජාවක් ද යන ගැටලුව මෙහි දී ඉස්මතු වේ.

අප මුලින්ම ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කරමු

 



මේ සත්ත්ව සංගණනය වැඩි වශයෙන් රඳා පැවතියේ පොළොව මට්ටමේ වූ නිරීක්ෂණ, ජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු මතය. ප්‍රජා සහයෝගීතාව ප්‍රශංසනීය වුව ද, මේ සඳහා සම්මත වන ජීවී සමීක්ෂණ ක්‍රමවේදයන් භාවිත වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. මේ ක්‍රමවේදය තුළ කැමරා උගුල්, චන්ද්‍රිකා නිරීක්ෂණ, නියැදි මත පදනම් වූ ආදර්ශයන්, GPS සිතියම්ගත කිරීම්, DNA නියැඳි හෝ මල අපද්‍රව්‍ය පතිත වීම් හෝ පා සලකුණු වැනි සත්ත්ව සංගණනයක දී භාවිත වන කාරණා සලකා බැලූ බවක් පෙනෙන්නට තිබුණේම නැත.

Wildlife Drones 0Z1A7690.jpg.medium.800x800

මෙයට සාපේක්ෂව ඉන්දියාව පිළිබඳ අවධානය යොමු කළ හොත් එහි ජාතික කොටි සංගණනය සඳහා භාවිත කළ විද්‍යාත්මක ආදර්ශය ඉතා සාධනීය වේ. එහිදී කැමරා උගුල් 40,000කටත් වඩා ද, භූ විද්‍යාත්මක තොරතුරු මත කරන ලද සිතියම් ගත කිරීම් (GIS mapping) සහ ක්ෂේත්‍ර මට්ටමේ ජාලක නියැඳි ගත කිරීම් (මෙහිදී සමීක්ෂණයට බඳුන් කරන ප්‍රදේශය ජාලවලට බෙදා සිතියම් ගත කිරීමක් සිදුවේ) ආදිය භාවිතයට ගනු ලැබිණි.

කෙන්යාවේ සත්ත්ව සංගණනයක් සඳහා ඩ්‍රෝන තාක්ෂණය සහ හෙලිකොප්ටර් භාවිතයට ගත් අතර ඒ සඳහා GPS තාක්ෂණය ද එක් කර ගෙන තිබිණි. බ්‍රසීලයේ එවැනි සංගණන සඳහා, විශේෂයෙන් ඝන වනාන්තර ප්‍රදේශ තුළ, ශබ්ද ඔස්සේ සිදු කෙරෙන ආවේක්ෂණ (acoustic monitoring) සහ චන්ද්‍රිකා ඡායාරූප ක්‍රමවේද භාවිතයට ගනු ලැබිණි.

මෙකී ක්‍රමවේදයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ප්‍රවේශය වූයේ හුදෙක් ඒ මොහොතේ සතුන් නිරීක්ෂණය කිරීම සහ ක්ෂේත්‍ර සටහන් පමණි. මේවා යල්පීනු ක්‍රමවේදයන් සේම සංඛ්‍යානමය වශයෙන් විශ්වසනීය වූ ඒවා ද නොවේ. නිරවද්‍ය නොවන වනජීවි දත්ත දුර්වල ප්‍රතිපත්ති තීරණය ගැනීමට හේතු වේ. එහි දී අරමුදල් අපතේ යාමේ සිට සත්ත්ව පාලනය කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේ දී වැරදි තීරණ ගැනීමට ආදියට ද හේතු විය හැකිය.

මේ සංගණනය කඩිමුඩියේ පවත්වන්නට හේතු වූයේ කාලයක් තිස්සේ ග්‍රාමීය ගොවි ජනතාව සහ වන ජීවය අතර වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නේය යන්න පෙන්වීම සඳහාය.

AFP 372G7TR

රිළවුන්, වඳුරන්, දඬුලේනුන් සහ මොණරුන් නිසා සිදු වන වගා හානි පිළිබඳ කාලයක් තිස්සේම බොහෝ මැසිවිලි නැගෙමින් පැවතිණි. නමුත් මේ සඳහා ගැටුම් අවම කිරීමේ තිරසාර උපායමාර්ග ක්‍රියාත්මක කරනවා වෙනුවට ආණ්ඩුව සිදු කළේ සතුන් ගණන් කොට, මේ සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මුලපිරුවේ යැයි ජනතාවට පෙන්වීම සඳහා කඩිමුඩියේ උප්පරවැට්ටියක් යෙදීම පමණි.

නමුත් ක්‍රියාත්මක කිරීමකින් තොර දත්ත හෝ නිවැරදි නොවන ක්‍රමවේදයන් ඔස්සේ ලබා ගත් දත්තවලින් ගැටලු විසඳෙන්නේ නැත. එයින් සිදු වන්නේ සාධනීය මැදිහත් වීම් තවදුරටත් ප්‍රමාද වීම පමණි.

අපි මේ සංගණනයෙන් ලැබුණු සංඛ්‍යා පිළිබඳ තවදුරටත් සලකා බලමු..



Japanese Snow Monkey Macaque Mother Grooms Her Youngජපානයේ හිම රිළවුන්

ශ්‍රී ලංකාව තුළ මිලියන 5.17ක රිළව් ගහනයක් සිටින්නේ යැයි පැවසීම අතිශයෝක්තිය යන්න පවා ‘ඩබල්’ කිරීමකි. නිදසුනක් ලෙස ගතහොත් ජපානයේ හිම රිළවුන් (Japanese macaque) සිටින්නේ ලක්ෂයකට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි. ඉතා අධික භූමි ප්‍රදේශයක් සහ වනාන්තර ප්‍රදේශ පවතින ඉන්දියාවේ මේ සංඛ්‍යාව ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් අඩු අගයක පවතී. රිළවුන් සහ වඳුරන් නිරීක්ෂණය කිරීම සඳහා ලෝකයේ ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සැලකෙන ජිබ්‍රෝල්ටාවේ සිටින්නේ එරටට ආවේණික Barbary macaques රිළවුන් 300 කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි.

මේ අනුව බලන කල සිතෙන්නේ එක්කෝ ශ්‍රී ලංකාව සැබවින්ම ලෝකයේ සාමාන්‍යයෙන් පවතින පාරිසරික පද්ධතියකට වඩා අතිශයින් වෙනස් එකක් බව හෝ නිරවද්‍ය නොවූ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් නිසා මේ ආකාරයේ විපරීත සංඛ්‍යාවන් ලැබුණු බව හෝ පමණක් බවය.

අනතුරුව සලකා බැලෙන කාරණය වන්නේ මේ සංගණනය තුළින් ගොවීන්ට ප්‍රතිලාභයක් ලැබේ ද යන්නය. වන ජීවීන් නිසා දිවයින මුළුල්ලේ ම ජීවත් වන ගොවීන්ගේ වගාවන්ට දැඩි හානියක් සිදු වේ. නමුත් රිළවුන්, වඳුරන් හෝ මොණරුන් කෙතරම් සංඛ්‍යාවක් සිටින්නේදැයි දැන ගැනීම තුළින් පමණක් වගාවන් ආරක්ෂා වන්නේ නැත.

AFP 20230830 33TY2QB v1 Preview IndiaG20SummitMonkeys

රජය, පරිසර විද්‍යාඥයින්ගෙන් හෝ සංරක්ෂණ සැලසුම්කරුවන්ගෙන් හෝ උපදෙස් ලබාගෙන තිබුණේ නම්, ඔවුන් ඒ සඳහා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන රිළවුන් සහ වඳුරන් වන්ධ්‍යකරණය කිරීමේ ක්‍රමවේද අනුගමනය කරන ඉන්දියාව හෝ වගා බිම්වලින් රිළවුන් සහ වඳුරන් පළවා හැරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන ජපානය හෝ අධික කැන්ගරු ජනගහනයෙන් වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා වැටවල් ඉදිකිරීමේ නවීනතම තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නා ඔස්ට්‍රේලියාවෙන් හෝ දැනුම ලබා ගන්නා බව නිසැකය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දිගු කාලීන වනජීවි කළමනාකරණ උපායමාර්ගයක් දකින්නට ලැබෙන්නේ නැත. ව්‍යුහගත නැවත ස්ථානගත කිරීම්, වන්දි ගෙවීම් සඳහා අරමුදල් වෙන් කිරීම් හෝ වනජීවීන් පළවා හැරීම සඳහා ප්‍රජා මූලික ක්‍රමවේදයන් භාවිත කිරීමක් හෝ දකින්නට නැත. මේ සංගණනය හුදෙක් ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් විනා සාධනීය ප්‍රතිඵලයක් ළඟා කරදෙන්නක් නොවන බවට මැසිවිලි නැගෙමින් පවතී.

3GfV0GCMgyVwI9Hy Article Cover

මෙහි සලකා බැලිය යුතු තවත් ගැඹුරු කාරණාවන් ද තිබේ. ශ්‍රී ලංකාව තුළ වන සංරක්ෂණයේ දී, වන ජීවය ආරක්ෂා කිරීම සහ මිනිස් ජීවිකාවන් ආරක්ෂා කිරීම යන කාරණා දෙක පැහැදිලි රේඛාවකින් බෙදා තිබිණි. නමුත් වසර ගණනාවක් තිස්සේ වූ ශීඝ්‍ර වනහරණය, මානව මැදිහත් වීම සහ නාගරීකරණය යන කාරණා නිසා ස්වාභාවික ජනාවාස විනාශයට පත්ව තිබේ. සිදුව ඇත්තේ, රිළවුන්, වඳුරන් සහ මොණරුන් සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය වීමක් නොව, ඔවුන්ගේ ජනාවාස අහිමි වීම නිසා මානව ජනාවාස කරා කෙමෙන් ගමන් කිරීමය.

අනෙක ශ්‍රී ලංකාව සතුව මධ්‍යම, පාරදෘශ්‍ය වනජීවී දත්තමූලයක් (transparent wildlife database) නැත. ක්ෂේත්‍රයෙන් ලබාගන්නා දත්ත චන්ද්‍රිකා ආදාන, ග්‍රාමීය මට්ටමින් ලැබෙන වාර්තා සමග සම්බන්ධ කර ගනිමින් නිවැරදි ලෙස සංගණනයක් පවත්වා එවැනි දත්ත මූලයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව පැවති නමුත් විපරීත ප්‍රතිඵල ලබා දෙන සංගණනයක් සිදු කරමින් ඒ මහඟු අවස්ථාව අහිමි කර ගත්තේය.

monkeys250503

මේ සංගණනය පිළිබඳ සංවාදයන් පවතින අතරේ ආණ්ඩුව පාර්ශ්වයෙන් දැක්වූ එක් අදහසක් වූයේ සියලු රිළවුන් සහ වඳුරන් දූපතක සිර කරන බවය. ඒ අදහසත් සමග ලෝකයේ පවතින එබඳු දූපත් පිළිබඳව ද සඳහන් කිරීම වැදගත් යැයි සිතේ. ඒ අතරින් පොටෝ රිකෝ හි කායෝ සන්තියාගෝ දූපත එකකි. එහි රීසස් වඳුරන් ජීවත් වන අතර ඔවුන් විවිධ පර්යේෂණ සඳහා යොදා ගැනේ. ලයිබීරියාවේ වඳුරු දූපත තවත් නිදසුනකි. අනාථ වූ චිම්පන්සීන් සඳහා මේ දූපත වෙන්ව තිබේ. බාලි දූපතේ වූ වඳුරු වනාන්තරය තවත් නිදසුනක් වන අතර එය සංරක්ෂණය සහ සංචාරක යන අරමුණු දෙකම ඉටු කර ගන්නේ කෙසේද යන්න සඳහා ආදර්ශයක් ලෙස භාවිත වේ.

960x0 2පොටෝ රිකෝ හි කායෝ සන්තියාගෝ දූපත
කෙසේ නමුත් මේවා පාලනයක් සහිත පරිසරයන් හෝ සත්ත්ව ආචාර ධර්මවලට අනුව සකස් කරන ලද සරණාගත භූමි ප්‍රදේශයන්ය. අනෙක් අතින් බලන කල ශ්‍රී ලංකාව මිනිසුන් සහ සතුන් අතර අර්බුදකාරී සහජීවනයක් සහිත රටක් බවට පත්ව ඇති අතර මෙය විශාල වශයෙන් කළමනාකාරිත්වයක් නොමැති, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගැටලුවක් බවට ද පත්ව තිබේ.

සංගණනයක් පැවැත්විය යුත්තේ ඇඟ බේරා ගැනීමකට නොව මේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ මූලාරම්භයක් ලෙසය. එනයින් බලන කල මේ සංගණනය තිරසාර වනජීවි පාලනයක් උදෙසා සංධිස්ථානයක් බවට පත් කර ගන්නට තිබුණි. දේශීය දැනුම සමග නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගන්නට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ගෝපදේශ සාධක සහිත ප්‍රතිපත්ති සැලසුම් කිරීම් සඳහා උපයෝගී කරගන්නට තිබිණි. නමුත් ඒ වෙනුවට සිදු වූයේ සැලසුම් ගත කිරීමේ ලේඛනයක් පුරවනවා වෙනුවට කුඩා කොල කැබැල්ලක ‘හරි’ සලකුණු දමමින් අහම්බෙන් දකින සතුන් ගණන් කිරීමේ ප්‍රාථමික ක්‍රියාදාමයක් පමණි.


rilawaduru4සත්ත්ව සංගණන සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතය

මෙවැනි සංගණනයක් සඳහා විධිමත් විද්‍යාත්මක වලංගු කිරීමක්, තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ලබා ගන්නා යාවත්කාලීනයන්, අර්බුද විසඳාලීම සඳහා වූ ශක්තිමත් ක්‍රියා සැලසුම් සහ විනිවිදභාවයෙන් යුක්ත මහජන සංවාද තිබිය යුතු නමුත්, එසේ නොවන සංගණනයක ප්‍රතිඵල යනු අමාත්‍යංශයක දූවිලි වැකුණු ලිපි ගොනුවක් බවට පත්වන්නක් පමණක් බවට පත් වේ.

නිවැරදි ලෙස පවත්වනු ලබන වනජීවි සංගණනයන්, සංරක්ෂණය සහ මානව පැවැත්ම අතර සමබරතාව පවත්වාගෙන යන්නට උපකාරී වන දෙයක් බවට පත්වේ. නමුත් දුර්වල, විපරීත ප්‍රතිඵල ලැබෙන සංගණනවලින් සිදු වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ පොළොවේ ජීවත් වන ජනතාව අතර වූ භේදය තවත් තීව්‍ර කිරීමක් පමණි.


rilawaduru5සත්ත්ව සංගණන සඳහා කැමරා උගුල් භාවිතය 

ශ්‍රී ලංකාව රටක් ලෙස තීරණය කළ යුත්තේ මේ සත්ත්ව සංගණනය මුල් පියවරක් ද එසේත් නොමැති නම් ඇඟ ගලවා ගැනීමක් පමණක් ද යන්නය. එමෙන්ම පරිසරය සහ සොබාදහම පිළිබඳ වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව විචාරශීලීව කටයුතු කිරීම අවශ්‍ය වන අතර එසේ නොවුනහොත් සොබා දහම සහ පරිසරය පිළිබඳව මේ ආණ්ඩුවට තැකීමක් නැතැයි ජනතාව තුළ පවතින අදහස තවදුරටත් මුල්බැස ගන්නට ඉඩ තිබෙන බව ද සඳහන් කළ යුතු වේ.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකය ඉදිරියේ අපේ රට රිළා - වඳුරු කොදෙව්වක් වේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක | The Leader