The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : විනාශ කාලේ විකෘති බුද්ධි

T

The Leader Desk

June 22, 2025 • 9:30 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : විනාශ කාලේ විකෘති බුද්ධි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ගුවන් තොටුපොළට ළඟා වනවිට විනාඩි දහයක් ප්‍රමාද වී තිබුණි.
  • ඇය එනතුරු බලා නොසිටි එයාර් ඉන්ඩියා ගුවන් යානය නියමිත වෙලාවටම අහසට නැගුණේ තව විනාඩි කිහිපයකින් මරුවා හමුවන බව නොදැනය.
  • ඕනෑම සිද්ධියක හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක් ද ඇත.
  • ගුවන්යානා ඛේදවාචකයේදී ඔවුන් ආදර්ශයට ගත්තේ ප්‍රමාදයේ වාසිජනක බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය ගුවන් තොටුපොළට ළඟා වනවිට විනාඩි දහයක් ප්‍රමාද වී තිබුණි. ඇය එනතුරු බලා නොසිටි එයාර් ඉන්ඩියා ගුවන් යානය නියමිත වෙලාවටම අහසට නැගුණේ තව විනාඩි කිහිපයකින් මරුවා හමුවන බව නොදැනය.

ගුවන් ඛේදවාචකය ගැන මුළු ලොවම තවමත් කම්පා වෙති. සිරි ලංකාවාසීන්ද එසේමය.

 

මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ

ඕනෑම සිද්ධියක හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක් ද ඇත. සිරි ලාංකික උදවිය සහජයෙන්ම බුද්ධිමත්ය. ඒ නිසා වහාම හොඳ පැත්ත තෝරා ගනිති. තවත් විදිහකින් කියනවා නම් වාසි පැත්ත අල්ලා ගනිති.

ගුවන්යානා ඛේදවාචකයේදී ඔවුන් ආදර්ශයට ගත්තේ ප්‍රමාදයේ වාසිජනක බවය. මේ නිසා වෙනදා කන්තෝරුවලට වෙලාවට වාර්තා කළ උදවියත් දැන් විනාඩි දහයක් හෝ ප්‍රමාද වී පැමිණීමට පටන්ගෙන ඇත. කල් තියා පැමිණෙන අය ද, ගේට්ටුව අසල විනාඩි දහයක් රැඳී සිට ඇතුළට එති.

1597561315504

 

ඔවුන්ට අනුව ඉක්මන කොටය. ඉන් ජීවිතය පවා කෙටිවීමට ඉඩ තිබේ. ප්‍රමාදය නරක නැත. ඉන් බොහෝ වාසි සැලසෙයි. ජීවිතය පවා දිගු වෙයි. රැක දෙයි.
අපේ කාර්යාලයේ මිතුරකු වන ‘සිරී’, විනාඩි දහයක් පහළොවක් ප්‍රමාද වී වැඩට එන්නට පටන් ගත්තේය. බොස්ට තද වුණේය.

“මොකද අයිසෙ දැන් හැමදාම පරක්කු?”

“පරක්කු වෙන තරමට ඇඟට ගුණයි සර්.”

“ආ එහෙමද? පරක්කු වෙලා ආවට කමක් නෑ, යනකොටත් ඒ වෙලාවම පරක්කු වෙලා යනවා.”

“අනේ ඒක නං කරන්න බෑ සර්... එතකොට වයිෆ් හිතන්නෙ, මං යාළුවෝ එක්ක සෙට්වෙලා එනවා කියලා.”

 

drink with friends
සිරී කං කෙඳිරි ගෑවේය. ඒ ප්‍රශ්නය කෙසේ සමථයකට පත්වුණිදැයි නොදනිමි.

පසුගියදා, කාර්යාලයේ තවත් උණුසුම් කතාබහක් ඇතිවුණි.

“ලබන අවුරුද්දෙ ඉඳන්, කාර්යාලවල වැඩට කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කර ගන්ඩයි හදන්නෙ.” බොස් කීය.

“මළ කෙළියයි! එතකොට අපේ සාමාන්‍ය බුද්ධිය.” සිරී, ඇස් ලොකු කළේය.

“සාමාන්‍ය බුද්ධිය නැතුව කොහොමද කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන්නෙ?”

“ආ... එතකොට දෙකම ඕනෙ?”

තාක්ෂණයේ බුද්ධත්වය කාත්‍රිම බුද්ධියයි

 

“ඔව් ඔව්... තමුසෙල වගේ මිනිස්සු පැන්ෂන් යනකල් දෙකම ඕනෙ වෙයි.” බොස් කට කොනකින් සිනාසුණේය.

සිරී මේ ආරංචිය කන්තෝරුව පුරාම ගෙන ගියේය. තවමත් “වට්ස්ඇප්”වත් ඩවුන්ලෝඩ් කර ගැනීමට නොදන්නා සිල්වා මහතා ඉන් තිගැස්සුණේය.

“ඕවා වෙන වැඩ නෙවෙයි සිරී. කාලෙකට උඩදි කිව්වා, ඔෆීස් රොබෝස්ලා කියලා ජාතියක් හදලා තියෙනවා. ඒවා ආවම අපි ගෙදර කියලා. අන්තිමේට ආවෙ මොකක්ද? ෆොටෝකොපි මැෂින් එකක්.”

“එහෙම කියන්ඩ එපා සිල්වා මහත්තයා. දැන් චීනෙ හදල තියෙනවලු ගෑනියකුට සමාන  රොබෝ කෙනෙක්. ගෑනු කෙනෙක් කරන ඕන වැඩක් කරනවලු එකක් ඇර.”

“ඒ මොකක්ද?”

AI: කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු
“පිරිමි අනං මනං වැඩ කරන්ඩ ගියොත් කරන්ට් වදිනවලු.”

“ඇයි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැද්ද?”

“නෑ... රොබෝ නෝනට ට්‍රිප් එක වැඩ කරන්නෙ නෑ.”

“එහෙමනං ඔය චීන රොබෝලා ජනප්‍රිය වෙන එකක් නෑ.”

“ඇමරිකාවෙන් හදන්ඩ යනවා චීන රොබෝ නෝනට හරියන පිරිමි රොබෝ කෙනෙක්. එයාට කරන්ට් වදින්නෙ නෑ.”

“එකත් එකටම ඕක ට්‍රම්ප්ගෙ ඇමරිකා ෆර්ස්ට් වැඩපිළිවෙළේම කොටසක්.”

 

ට්‍රම්ප් ජයග්‍රහණයෙන් එළියට එන ඇමෙරිකාවේ කළු සුදු සටන


“වෙන්ඩ පුළුවන්. චීන රොබෝ නෝනයි, ඇමරිකන් රොබෝ පිරිමියයි එකතු වුණාම මොකද වෙන්නෙ? ඇමරිකන් රොබෝ පැටව් බිහි වෙනවා.”
සිල්වා ඔළුවේ අත ගසා ගත්තේය.

ඔහු අසල සිටි මිස් මිනෝලි, හෑන්ඩ් බෑගයෙන් මුහුණ වසා ගත්තාය. සිරී බැරෑරුම් මුහුණක් මවා ගත්තේය.

“තව දෙයක්. ඇමරිකන් රොබෝ පිරිමියාගෙන් ගෑනුන්ට කරන්ට් වදින්නෙ නැතිලු.”
සිල්වාගේ ඇස් ලොකු වුණේය.

මිස් මිනෝලි හෑන්ඩ් බෑගය පසෙකට කර නියපොතු සපන්නට ගත්තාය.

“ට්‍රම්ප් කියන්නෙ ඒ.අයි. ප්‍රඩක්ට් එකක්. මිනිහා වැඩ කරන්නෙ කෘත්‍රිම බුද්ධියකින්.”

 

860x394
සිල්වා තරමක කෝපයෙන් කීය.

“හැබැයි මේ කරගෙන යන වැඩවල හැටියට නං පේන්නේ, ට්‍රම්ප්ට කෘත්‍රිම බුද්ධියත් නෑ, සාමාන්‍ය බුද්ධියත් නෑ.” සිරී, කීචොක් සිනාවක් පෑවේය.

“මිනිහට තියෙන්නෙ විකෘති බුද්ධියක්.”


අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...