The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එලොව ගිහින් මෙලොව ආ යකැදුරන්ට මොකද වුණේ ? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

June 23, 2025 • 7:05 AM

එලොව ගිහින් මෙලොව ආ යකැදුරන්ට මොකද වුණේ ? | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, තමන්ගේ සේවාලාභියකු මරු මුවින් ගලවා ගැනීම පිණිස මරු මුවට පැන එහි රැඟුම් දක්වන සුවිශේෂ මිනිස්සු පිරිසක් අප අතර වෙති.
  • නමුදු එහි ඛේදනීය හා විස්මයකට තුඩු දෙන කරුණ වනුයේ මීට දශක කිහිපයකට පෙර අප සමාජයේ සුලබ ලෙස දක්නට ලැබුණු එම ජන කොටස මෙය ලියන වකවානුව වන විට වේගයෙන් අභාවයට යමින් පැවතීම ය.
  • මෙම තොවිල් පවිල්වල යෙදෙන යකැදුරන් කිසිවකු ගේ ජීවිතය රැක දීම පිණිස අභීතව මරුවා ඉදිරියට පැනීම ඒ අතුරින් වඩාත්ම බරපතල කොටස බව මගේ වැටහීම ය.
  • ඉහත සඳහන් ආකෘතියේ යක් තොවිල් හැඳින්වීම පිණිස මා ඉපදී හැදී වැඩුණු ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් විසින් යොදන ලද විශේෂිත වදනක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, තමන්ගේ සේවාලාභියකු මරු මුවින් ගලවා ගැනීම පිණිස මරු මුවට පැන එහි රැඟුම් දක්වන සුවිශේෂ මිනිස්සු පිරිසක් අප අතර වෙති. නමුදු එහි ඛේදනීය හා විස්මයකට තුඩු දෙන කරුණ වනුයේ මීට දශක කිහිපයකට පෙර අප සමාජයේ සුලබ ලෙස දක්නට ලැබුණු එම ජන කොටස මෙය ලියන වකවානුව වන විට වේගයෙන් අභාවයට යමින් පැවතීම ය.

මෙරට පහත රට බලිතොවිල් ශාන්ති කර්ම සම්ප්‍රදාය බෙන්තර, මාතර යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. රයිගම යනු ද ඊට එක් කළ හැකි තවත් සම්ප්‍රදායකි. එම පහත රට ශාන්ති කර්ම අතරට එක් වන සූනියම් කැපීම, සන්නි යකුම, රට යකුම හෙවත් රිද්දි යාගය, මහසෝන් සමයම සහ කළුකුමාර යන ශාන්ති කර්ම හුදෙක් අනේක විධ විපත් කරදරවලට පත් පුද්ගලයන් සහ පවුල් කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරේ. ගම් මඩුව, දෙවොල් මඩුව, පූනා මඩුව, කිරිමඩු.කොහොඹ කංකාරිය ආදී වශයෙන් වන ප්‍රජා ශාන්ති කර්මවල නොමැති මෙම තොවිල් පවිල් ශාන්ති කර්ම හා සම්බන්ධ බරපතලම කොටස් කිහිපයක් ද තිබේ.


මෙම තොවිල් පවිල්වල යෙදෙන යකැදුරන් කිසිවකු ගේ ජීවිතය රැක දීම පිණිස අභීතව මරුවා ඉදිරියට පැනීම ඒ අතුරින් වඩාත්ම බරපතල කොටස බව මගේ වැටහීම ය.

ඉහත සඳහන් ආකෘතියේ යක් තොවිල් හැඳින්වීම පිණිස මා ඉපදී හැදී වැඩුණු ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් විසින් යොදන ලද විශේෂිත වදනක් විය. එනම් ‘වයිද්දය’ යන්න ය. මෙය බොහෝ විට වෛද්‍ය යන වදනේ සුබෝච්ඡාරණයක් විය යුතු ය.

වර්තමානයේ මෙලොව ඇති සියලුම වෛද්‍ය ක්‍රමවල මූල රූපය හුදෙක් ආධ්‍යාත්මික හා සංස්කෘතික පදනම් මත ගොඩනැඟී ගත් උපශමනමය (Healing) ක්‍රියාකාරකම් බව මානව විද්‍යාත්මකව සනාථ වී තිබේ. ඒ අනුව අප ගේ පාරම්පරික ගැමියන් මේවා ද වෛද්‍යමය කටයුතු සේ සිතන්නට ඇත.
 

images 2025 05 09T130606.701

ඉතා පුළුල් විෂයක් වශයෙන් විස්තර කළ හැකි මෙම බලි තොවිල් ශාන්ති කර්ම අතුරින් ගැමියන් වයිද්දය යන නමින් හඳුන්වන ලද ශාන්ති කර්ම සඳහා හේතු වූ නිමිති කිහිපයක් තිබේ. කිසියම් පවුලක එක දිගට අකල් මරණ එකකට වැඩි ගණනක් සිදුවීම, එම පවුලේ සාමාජිකාවක නිරන්තර දරු ගැබ් හැලීමකට ලක් වීම, වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි අසාධ්‍ය රෝග පැවැතීම, එම නිවස හා සම්බන්ධ සියලු යහපත් තත්ත්වයන් එක් වරම බිඳ වැටී දැඩි පිරිහීම් සහගත බවක් දක්නට ලැබීම ඒ අතුරින් කිහිපයකි.

ගුප්ත ශාස්ත්‍ර හා සම්බන්ධ පරපුරකින් පැවැත එන ගණේමුල්ලේ, තිබ්බටුගොඩ විසූ පියදාස විද්‍යාරත්න (විපුලසේන) මහතා වරක් ඒ සම්බන්ධයෙන් මා හා විස්තර කළේ මෙලෙසිනි.

“සමහර ලෙඩ දුක්වලට සිංහල ඉංගිරිසි බෙහෙත් කරලා බැරිම තැන ලෙඩාව මහ ඉස්පිරිතාලේ නතර කරනවා. ඒත් ටික කාලයක් එහෙම නතර කරලත් සනීප කරන්න බැරි ලෙඩවලදී එහේ ලොකු දොස්තර මහත්තුරු කරන්නේ දැන් ඉතින් කැමති දෙයක් කන්න බොන්න දීලා ලෙඩා ගේ හිත සතුටින් තියන්න කියලා ගෙදර එවන එක. අන්න ඒ වගේ අසද්ද (අසාධ්‍ය) ලෙඩ්ඩුන්ටත් ඔය වයිද්දයක් කරනවා” ඔහු කී අන්දමට නාඩි දුර්වල වූ, ශරීර උෂ්ණත්වය බිඳ වැටුණු, දෙනෙත් මළාණික වූ අත් පා දරදඬු වූ ස්වසනය බිඳ වැටුණු, සිහි විකලතාවයෙන් යුතු රෝගීන් පවා මෙවන් ශාන්ති කර්ම මගින් සුවපත් වූ බවට තොරතුරු ලැබී තිබේ.

එහෙත් ඔහු එහි දී ඉදිරිපත් කරන ලද කරුණු ප්‍රවාදගත ඒවා බැවින් ඒවා මෙහි දැක්වීමට මම අදහස් නොකරමි.

 

3881536034 9d819c8886 z
එමෙන්ම රෝගීන් ගේ ජීවිත ගලවා දීම සම්බන්ධ මෙම ශාන්ති කර්ම වයිද්ද හෙවත් වෛද්‍ය නමින් සේම ඒවා සිදු කෙරෙන යකැදුරන් “වෙද”නාමයෙන් හැඳින්වීමක් ද අතීතයේ සිදුවිය.මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීය පුස්තකාලයේ සංරක්ෂණය කෙරෙන හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ කඩවර කම්බිලි කවි නම් පුස්කොළ පොතේ සඳහන් “කඳුබඩගම මහ වෙදා”යන්නෙන් හැඳින්වෙනුයේ ප්‍රබල යකැදුරකු මිස වෙද මහතකු නොවේ ඉහත සඳහන් ගණයේ ශාන්ති කර්ම අතුරින් මහසෝනා සහ රීරි යකා වැනි දරුණු යක්ෂයන් උදෙසා සිදුකරනු ලබන පැදුරේ දැපවිල්ල හා මරුවා නැටීම යන්න එලෙස රෝගියා හෙවත් ආතුරයා උදෙසා ඇදුරා තම ජීවිතය පරදුවට තබන යාතු කර්මයක් සේ සැලකේ.

පහත රට ශාන්ති කර්ම අතරට අයත් මෙය ද බෙන්තර, මාතර හා රයිගම යන සම්ප්‍රදායන් තුන තුළ විවිධ විෂමතා සහිතව ඉදිරියේ කෙරෙන්නකි. එහෙත් ඒවා සම්බන්ධයෙන් මහාචාර්ය තිස්ස කාරියවසම්, ජයසේන කෝට්ටෙගොඩ, කේ. එස්. ප්‍රනාන්දු, ලයනල් බෙන්තරගේ, චන්ද්‍රසේන දළුවත්ත, විභාවි විජය ශ්‍රී වර්ධන ඇතුළු එම විෂයන් හා සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් හෙළි කොට තිබූ තොරතුරු මේ වන විට ප්‍රායෝගික මට්ටමින් අත්දකින්නට ලැබීම අතිශය දුලබ කරුණක් වී තිබේ.

image 28f6807118

පැදුරේ දැපවිල්ල හා මරුවා නැටීම යනු පැදුර මුල් කොට ගත් පුරාණෝක්ති සහිත කවි ගායනා කිරීමේ සිට පැදුරේ අට කොණකට දිෂ්ටි ලබා දෙමින් ආවේශ වන ඇදුරා දිෂ්ටි මන්ත්‍ර ජප කරමින් කේසාන්තයේ සිට පාදාන්තය තෙක් වසා ගෙන එම ශාන්ති කර්මයට මුල්වන රෝගියා ගේ හෙවත් ආතුරයා ගේ ප්‍රාණය බව අඟවමින් එම පැදුරේ දැපීම හෙවත් සැතපීමකි. එහි දී යක් බෙර හඬ හා තීව්‍ර දුම්මල ආඝ්‍රාණය මැදින් ඒ වෙත මරු රීරි යක්ෂයා ලෙස පැමිණෙන ඇදුරා වියරු වෙසින් රැඟුම් පාමින් තම සුරතේ ඇති කඩුවෙන් ඇදුරා ගේ සිරුරේ හිස, අත්, කලව ආදී ප්‍රදේශ කපා රුධිරය පානය කරන අයුරු නිරූපණය කරයි. එය එම ආතුරයා තුළ සේම තොවිලය නරඹන්නන් තුළ ද මහත් ත්‍රාසයක් උපදවන්නකි.

මෙහිදී ඇතැම් පරම්පරාවන්ට අයත් ඇදුරෝ එම යාතු කර්මයට සම්බන්ධ ආතුරයා ගේ ප්‍රාණය රැක දීම වෙනුවෙන් තමන් ගෞතම බුදුන් ගේ අණ පරිදි තම රීරි මංශය හා කළල් මේ යකුන්ට පුද කරන බවත් හඬ නඟා පවසති. ඔවුන් පවසනුයේ සමයං පැදුර වටා අට කොණේ දැල්වෙන විලක්කු අටේ සීමාව තුළ දිෂ්ටි මන්ත්‍ර ජීවම් කිරීමෙන් ඒකාන්ත වශයෙන්ම මහසෝනාගේ හා රීරි යකාගේ බැල්ම තමන් වෙත යොමු වන බවකි.

 

niranjan p 7896 dscf3
එසේ දිෂ්ටි මන්ත්‍ර ජීවම් කිරීමෙන් පසුව ඇදුරා එතුළම සිහි විසඥවන අතර පසුව ඒ පැදුර තුන් තැනකින් ගැට ගසා ඇදුරා මළකුණක් සේ සළකා ඉන් ඉවත් කෙරේ. නමුත් එමගින් ඔහුට සත්‍ය වශයෙන්ම අත් විය හැකි විවිධ උපද්‍රව සම්බන්ධයෙන් නිරතුරු සැලකිලිමත් වන ඔහුගේ සහායකයෝ ඇදුරා යළි සිහි ගැන් වී ප්‍රකෘති තත්ත්වයට පත් වීමට අවශ්‍ය සියලු කටයුතු අනලස්ව යොදති.

ඇතැම් පරම්පරාවල ඇදුරෝ මෙම අවස්ථාව සඳහා “මරු ආච්චි” නම් වන වියපත් කාන්තාවක සේ රඟන ඇදුරෙකු ද එක් කරති. එහෙත් මේ මරු ආච්චි ඇදුරා බිළි ගැනීමට එන යක්ෂයාගේ කවුරුන් දැයි අවිනිශ්චිත ය. ඒ කෙසේ හෝ අප සමාජයේ ජන රංගනවල දී වියපත් කාන්තා චරිතවලට ප්‍රධාන තැනක් ලබා දී තිබේ. මෙය බටහිර සුරංගනා කතාවල බහුලවම දක්නට ලැබෙන නපුරු මායාකාරිය ගේ දේශීය ස්වරූපයක් ලෙස ද හඳුනා ගත හැක.

 ඉහත සඳහන් ශාන්තිකර්ම අතුරින් මට ජීවිතයේ කිසිදු අමතක නොවන අතිශය ත්‍රාසයෙන් සපිරි මුල්ම අත්දැකීම ලද හැකි වූයේ 1970 දශකයේ මුල් භාගයේ මා යන්තම් හයක් හතරක් තේරුම් ගනිමින් හිඳින කොලු පැටවකුව සිටි අවදියේ ය. මගේ මතකය නිවැරදි නම් ඒ එම රාත්‍රියේ තුන් වන යාමයයි. ඒ වන විට තද නින්දකට වැටී සිටි මා එක්වරම අවදි වූයේ අප ගේ නිවසට තරමක් නොදුරින් නැඟෙන මහා විලාප හඬකිනි. ඒ නිසැක වශයෙන්ම තම පවුලේ සාමාජිකයකු ගේ හදිසි අකල් වියෝවක් මුල් කොට නැඟෙන මහා දුක්ඛිත විලාපයකි.

“අනේ රත්තරනේ, උඹව අපි ආයිත් කවදා දකින්නද? අප්පා, උඹ අපිව දාලා මෙහෙම යන්නේ ඇයි අප්පොච්චියේ” වැනි වේදනාත්මක හඬවල් එවක අද මෙන් නාගරීකරණයෙන් ඉඳුල් නොවූ ගැමි පරිසරයේ පැවැති පාළු නිහැඬියාව සුන්නද්දූලි කරමින් නැඟෙන්නට විය.

පසුව මට වැටහී ගිය අන්දමට ඒ අප නිවසට මඳක් නොදුරින් පිහිටි ගණේමුල්ල, තිබ්බටුගොඩ පොදු සුසාන භූමියට මෘත දේහයක් රැගෙන එන කණ්ඩායමක ගේ විලාප හඬ බව අඩ නිදිමතේ වුව මට අනුමාන කළ හැකි විය. ඒ විලාපය කෙතරම් උද්වේග කර ද යත් ඒ වන විට තද නින්දකට පිවිස හුන් මා මෙන්ම මගේ මා පිය දෙපළ සේම එකම නැගණිය ද මට පළමු නින්දෙන් අවදි වී ඇති වගක් මට වැටහුණි. එපමණක් නොව ඒ වන විට අප නිවස රැකීමට කැප වී සිටි දඩෝරියා ද ඒ කාරිය පසෙක ලා අප අසල්වැසි බලු මුළුව ද සමඟ එම හඬ නඟන පිරිස ඉදිරියට ගොස් ඉවක් බවක් නොමැතිව බිරුසන් දෙනු අපට වැටහිණ.

kanaththa

 

“බය වෙන්න දෙයක් නෑ ඔය ඇට කොරසට දරහැවක් ගේනවා’ ඒ වන විට ඉමහත් සන්ත්‍රාසයෙන් අන්දමන්දව සිටි අප තිදෙනාට පියා කීයේ සිනාසෙමිනි. ඇට කොරස යනු අදටත් අප ගම්මානයට අයිති ගණේමුල්ල, තිබ්බටුගොඩ පොදු සුසාන භූමිය පිහිටි බිම්කඩ හැඳින්වීමට ගම්මුන් යොදන නමකි. සාමාන්‍ය ජන වහරට අනුව දරහැව සහ ලේඛනයන් හිදී ‘දරැහැව ගෙන යාම’ ලෙසින් හැඳින්වෙන මෙය කිසියම් යක් තොවිලයකදී යකුන් රැවටීම පිණිස ඇඳුරන් විසින් සංවිධානය කරනු ලබන “ව්‍යාජ මළගමක්” බව මට වටහා ගත හැකි වූයේ ඊට පසු කලෙක ය. 

විශේෂයෙන් සුව කළ නොහැකි රෝගියකු හෙවත් ශාන්ති කර්ම භාෂාවෙන් කිවහොත් ආතුරයකු උදෙසා කරනු ලබන තොවිලයකදී එම ආතුරයා ගේ ජීවිතය ඉල්ලා පොර කන යකුන් ගෙන් එය රැක දී ඒ වෙනුවට ඇදුරා එසේ මරණයට කැප වූ ආතුරයා සේ පෙනී සිට අප කාටත් වැටහෙන ලෙසින් කිව හොත් ඒ යකුන්ට “කොළේ වැහීම” මෙහි සරල ක්‍රියාවලියයි. ඒ අනුව මගේ වැටහීම අනුව මෙම යකැදුරන් විසින් තම සේවාලාභියා උදෙසා කරනු ලබන මෙතරම් බරපතල කැප කිරීමක් මෙලොව තවත් තිබේද යන්න දෙතුන් වරක් නොව කිහිප වරක්ම සිතා බැලිය යුතු ය.

ඉහත සඳහන් දරහැව හෝ දැරැහැව යන්න සම්භාව්‍ය සිංහලයේ එන වදනක් නොවේ. එය හුදෙක් සිංහල ගැමි වහරකි. නමුත් ලියනගේ සූරීන් විසින් සම්පාදිත ජනශ්‍රැති ශබ්දකෝෂයේ දැරැහැව්ව යන වදනක් සඳහා ගෙදර ඇති බඩු මුට්ටු යන අරුත දක්වා තිබේ.

ඒ කෙසේ වුව අතීත සමාජයේ මෙබඳු ප්‍රාණ පරිත්‍යාගී යාතු කර්ම කළ බොහෝ ඇදුරන් එය හුදෙක් තමන් තුළ පවත්නා ආධ්‍යාත්මික විශ්වාස මත පදනම්ව එම ආවේශ හා ආරූඪ තත්ත්වයන් අව්‍යාජ ලෙස තමන් හට ආරෝපණය කර ගෙන එම කටයුතුවල නිරත වූ බව පෙනෙයි. එමෙන්ම එය ඒ වන විට තම ජීවිතාපේක්ෂාවෙන් පවා සිඳ බිඳ දමා ගෙන ඇති රෝගියකු තුළ එය සුවිසල් චිත්ත ප්‍රබෝධයක් දනවන නොවිධිමත් මනෝ චිකිත්සාවක් බව ඉතා පැහැදිලි ය. ඒ අනුව එවන් රෝගියකු තුළ ඇති වන මනෝ ජෛව ප්‍රතිශක්තියේ පිබිදීමත් සමඟ ආයු කාලයේ කිනම් හෝ ප්‍රවර්ධනයක් ඇති වීමේ විද්‍යාත්මක පදනමක් ද තිබේ.

400px nhytujhgxc

නමුත් ගුප්ත විශ්වාස පදනම් කොට මෙවන් දැඩි චිත්තාවේගී යාතු කර්මවල යෙදෙන යකැදුරන් බිඳුණු හෘද සහලක්ෂණය ( Broken heart syndrome) යනුවෙන් හැඳින්වෙන තත්ත්වයට පත්වීමට ඇති සම්භාවිතාව මත ඔවුන් මේවා සිදුකරන අතරේ සොහොන් පිටි ආදියේ දී ක්ෂණික මරණවලට පවා පත්වීමේ යම් අවදානමක් තිබේ. නමුදු එම විද්‍යාත්මක සත්‍යය නොදත් අප සමාජය සිතනුයේ එම ක්ෂණික මරණ ඒ ආතුරයා බිළි ගැනීමට පැමිණි යක්ෂයා ඒ වෙනුවට යකැදුරා බිලි ගැනීමක් ලෙසිනි.

ඒ කෙසේ හෝ ගත වූ දශක කිහිපය මුළුල්ලේ අප සමාජය විද්‍යා තාක්ෂණික ආලෝකයෙන් පිරී යාමත් සමඟ ඉහත සඳහන් ආකාරයේ සාම්ප්‍රදායික යාතු කර්ම ක්ෂය වීයාම නිසා ඒ සම්බන්ධ පරම්පරානුගත ඇදුරු ප්‍රජාව මේ වන විට විතැන්ව ගොස් ඇති බවක් පෙනේ. ඒ ඔවුන් ගේ වත්මන් පරපුර වෙනත් රැකියා සහ ජීවනෝපායන් මඟින් තම ආදායම් මාර්ග සකසා ගෙන ඇති බැවිනි. ඒ වෙනුවට හුදෙක් ජාවාරම්කරණය ඉලක්ක කොට ගත් ව්‍යාජ සමාජ ජාල යකැදුරු ප්‍රතිරූපකයන් විසින් ඉහත සඳන් යාතු කර්මවල පැවැති මානව විද්‍යාත්මක හරයන් සියල්ල සුණු විසුණු කොට දැමීම වර්තමානයේ අප හමුවේ පැන නැඟී ඇති තවත් ප්‍රබල සමාජ ඛේදවාචකයකි.

සංස්කෘතික උරුමය යන වදනේ අන්තර්ගතය මෑත දශක කිහිපය තුළ අන්තර්ගතය සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති අතර අශ්පර්ශනීය සංස්කෘතික උරුමය (Intangible culture heritage) ලෙසින් යුනෙස්කෝව විසින් හඳුන්වා දී ඇති අන්දමට අප සතු සංස්කෘතික උරුමයන් ස්මාරක සහ වස්තු එකතුවෙන් පමණක් අවසන් නොවේ. එයට අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ සහ අපගේ පරම්පරාවට ලබා දෙන සම්ප්‍රදායන් හෝ ජීවමාන ප්‍රකාශන ද ඇතුළත් වේ.

thovil shanthi karma copy 800x450

එනම් වාචික සම්ප්‍රදායන්, රංගන කලාවන්, සමාජ පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, උත්සව සිදුවීම්, සොබා දහම සහ විශ්වය පිළිබඳ දැනුම සහ භාවිතයන් හෝ සාම්ප්‍රදායික ශිල්ප නිෂ්පාදනය සඳහා දැනුම සහ කුසලතා ද ඊට එක් කොට තිබේ. නමුදු එවන් පසුබිමක් යටතේ හුදු භෞතික සීමාව තුළ පමණක් විස්තර කළ නොහැකි ඉහත සඳහන් ජන සංස්කෘතිකාංග තුළ ගැබ් වූ මිනිසා සහ සොබා දහම අතර සුසංවාදාත්මක සමාජ, මානව හා ප්‍රජා මනෝ විද්‍යාත්මක මූලයන් යළි අප සමාජය තුළට කෙසේ අවශෝෂණය කළ හැකිද යන්න කෙසේ වත් විසඳා නොහැකි ගැටළුවක් බව අප ගේ වැටහීම ය.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම-  vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...