The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තරුණියකගේ ජීවිතයම වෙනස් කළ භූත බලපෑම කුමක්ද?

T

The Leader Desk

June 24, 2025 • 8:06 AM

තරුණියකගේ ජීවිතයම වෙනස් කළ භූත බලපෑම කුමක්ද? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදු වූ දේ සිහි කරන්නටත් ඇයට තදබල බියක් දැනිණි.
  • කිසිවකුටත් එලෙස සමීප ව ලෙන්ගතු මිතුරු ඇසුරක් පැවැත්වීමේ කුමක්දෝ අපහසුවක් ඇයට තිබිණි.
  • දිනක් හදිසි රාජකාරී ගමනක් යෙදීම හේතු කොට ගෙන තමා දුම්රිය පොළට පැමිණීමට ප්‍රමාද වන බව පියා දුරකථන ඇමතුමකින් උපුලීට දන්වා සිටියේය.
  • පියා එනතුරු දුම්රිය පොළෙහි රැඳී සිටින ලෙස කීවද, එලෙස තනිව සිටීමට අපහසු ගතියක් දැනුණු බැවින් උපුලී සිතට දිරි ගෙන පාරට බැස්සේ නිවසට යාමේ අරමුණෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදු වූ දේ සිහි කරන්නටත් ඇයට තදබල බියක් දැනිණි. ඇය කොයිතරම් බියවී සිටියේ දැයි කිවහොත් අඩු තරමින් ඒ පිළිබඳව සිය මවටවත් කියන්නට ඇගේ දිව නැමුණේ නැත. එය තව කෙනෙකුට පැවසීමට වචන එක්කාසු කර ගැනීම පවා ඇයට බිය ගෙන දෙන්නක් විය.

උපුලී ඇගේ දෙමාපියන්ට සිටි එකම දරුවා ය. එනිසාම දෙමාපියන්ගේ දැඩි ඇල්ම බැල්ම මධ්‍යයේ හැදී වැඩුණු ඇයට සිය මවගේ හෝ පියාගේ උපකාරයක් නැතිව කිසිදු වැඩක් කළ නොහැකි තත්ත්වයක් තිබිණි. කිසිදු තැනකට ඇය තනිව ගියේ නැත. පාසලේ උසස් පෙළ අවසන් වන තුරුත් ඇගේ මව ඇයව පාසලට ඇරලුවාය. ඇයට සමීප මිතුරු මිතුරියන් කිසිවකු සිටියේ ද නැත. කිසිවකුටත් එලෙස සමීප ව ලෙන්ගතු මිතුරු ඇසුරක් පැවැත්වීමේ කුමක්දෝ අපහසුවක් ඇයට තිබිණි. මේ නිසා ඇය ළමා වියේ සිටම සමාජ ඇසුරින් තොරව හැදී වැඩුණාය. 

only child

 

උසස් පෙළ අවසන් වූ පසු විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවත් ඇය එහි යාම ප්‍රතික්ෂේප කළාය. ඉන්පසු පරිගණක පාඨමාලාවක් හදාරා උපුලී පෞද්ගලික ආයතනයක සේවයට ගිය අතර ඇය මුල් වරට තනිව ගමන් බිමන් යාමට පුරුදු වුණේ ඉන් පසුව ය. නමුත් ඒ රැකියාවට යාමට ඒමට පමණි. වෙන කොහේ ගියත් ඇයට මව හෝ පියා අවශ්‍ය විය. කාර්යාලය තුළ ද තමන්ගේ වැඩකටයුතු කරගෙන හුදෙකලාව සිටියා විනා ඇය කිසිවකුගේ සමීප ඇසුරකට ගියේ නැත. 

        
කොළඹින් තරමක් දුර බැහැර ප්‍රදේශයක පදිංචිව සිටි උපුලී රැකියා ස්ථානයට යාම් ඊම් කළේ දුම්රියෙනි. නිවසේ සිට දුම්රිය ස්ථානයට කිලෝමීටරයකට ආසන්න දුරක් තිබිණි. උදේට තනිව ගියත්, රැකියාව නිම වී ආපසු පැමිණෙන විට අඳුරු වැටෙන නිසා දිනපතා උපුලිගේ පියා ඇය කැටුව යාමට දුම්රිය පොළට පැමිණෙයි.
        
දිනක් හදිසි රාජකාරී ගමනක් යෙදීම හේතු කොට ගෙන තමා දුම්රිය පොළට පැමිණීමට ප්‍රමාද වන බව පියා දුරකථන ඇමතුමකින් උපුලීට දන්වා සිටියේය. පියා එනතුරු දුම්රිය පොළෙහි රැඳී සිටින ලෙස කීවද, එලෙස තනිව සිටීමට අපහසු ගතියක් දැනුණු බැවින් උපුලී සිතට දිරි ගෙන පාරට බැස්සේ නිවසට යාමේ අරමුණෙනි. තාර පාරක් දිගේ සෑහෙන දුරක් පැමිණ ඉන්පසු ඇගේ නිවස දක්වා යාමට තවත් මීටර් ⁣තුන්සීයක පමණ දුරක් ගුරු පාරක යා යුතු විය. එම ගුරු පාරේ තැනින් තැන තිබූ විදුලි පහන් කණුවල විදුලි බල්බ එකක්වත් දැල්වුණේ නැත. එම විදුලි බල්බ පිළිස්සී සෑහෙන කලකි. උපුලී යාන්තමට තිබූ තරු එළියේ ආධාරයෙන් පසුනොබලාම වේගයෙන් යන්නට වූවාය. 
 
original
එකවරම ඇයට තමන් පිටුපසින් කිසිවකු එන අඩි ශබ්දයක් ඇසිණි. බියෙන් ගැහෙමින් පසුපස බැලූ ඇය ට දකින්නට ලැබුණේ කළු පැහැති හැඩි දැඩි මිනිස් රුවකි. ඇගේ උගුර කට වියළී සියොළඟ දහඩියෙන් තෙත් විය. හැකි තරම් දෙපයට වෙර යොදා ඇය දුවන්නට වූවාය. එවිට අඩි ශබ්දයත් තමා පසුපසින් ලුහුබඳින හඬ ඇයට ඇසිණි. පිහිටක් ඉල්ලා කොතරම් කෑ ගසන්නට උත්සාහ කළත් ඇගේ මුවින් හඬක් පිටවූයේ නැත. මරණ භයින් මුසපත් වූ ඇය අන්ත අසරණ ලෙසින් දෑස තදින් පියාගෙන ඉතිපිසෝ ගාථාව කියමින් ම පාර අයිනේ වූ ගසක් බදා ගත්තාය. 
මඳ වේලාවක් එලෙස සිටි උපුලී හෙමිහිට දෑස විවර කර බැලුවේ හාත්පස පරිසරයෙහි ම ඒ වනවිට නිහඬ බවක් දැනුණු නිසා ය. හැඩි දැඩි පිරිමි රුව අතුරුදන්ව තිබිණි. ආයාසයෙන් සිතට ශක්තිය ගත් උපුලී නිවසට යනතුරුම දිව්වාය.
scht67
       
තමා දුටුවේ අවතාරයක් බව උපුලිට විශ්වාස ය. ඒ සැබෑ මිනිස් රුවක් නම් තමා පසුපසින් දිව එන්නට විදියක් නැත. එසේ දිව ආවේ නම් තමාට කුමක් හෝ අනතුරක් ඔහුගෙන් සිදු වනු නිසැක ය. නමුත් එවැන්නක් ද සිදු නොවිණි. නිසැක ලෙසම එම අවතාරය තමා බුදු ගූණ කියන විට අතුරුදන් වන්නට ඇත. කෙසේ වුවද මේ පිළිබඳව සිය මවට කියන්නටවත් උපුලී උත්සාහ නොකළේ එය තවත් කෙනෙකුට පවසනු තබා සිහිකිරීමත් ඇගේ සිතට මහත් බිය ගෙන දෙන්නක් වූ බැවිනි. 
        
නමුත් ඒ මොහොතේ සිටම ඇගේ සිතෙහි නිරන්තරයෙන් මැවි මැවී පෙනෙන්නට වූයේ එම අවතාරයයි. කාර්යාලයේ රාජකාරී කටයුතුවල යෙදෙන විට පවා එම අවතාරය ඇගේ මනස ඉදිරියෙහි මැවී පෙනෙන්නට විය. මෙසේ දින කිහිපයක් ගතවිය. කාර්යාලයට විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පැමිණෙන නොයෙකුත් තරාතිරම්වල පුද්ගලයන් තමා දෙස වෙනදාට වඩා විපරමින් බලන්නේ යැයි උපුලීට සිතිණි. එම පුද්ගලයන් අතර තමා එදා දුටු අවතාරයද හිඳින්නේ යැයි ඇයට නොයෙක් වර දැනිණි. මනුෂ්‍ය වේශයෙන් මෙසේ කාර්යාලයට පැමිණ සිටින්නේ එම භූතයා විසින් එවන ලද කණ්ඩායමක් විය හැකි යැයි හදිසියේම සිතී උපුලී මහත්සේ තැති ගත්තාය. 
 
wfb
ඇය සමීපව මිතුරු මිතුරියන් ඇසුරු කළේ නැතත් ඇයට ෆේස් බුක් ගිණුමක් තිබිණි. එහි ඇගේ මිතුරු මිතුරියන් ලෙස දන්නා අය සේම නොදන්නා අයද සිටියහ. එම මිතුරු මිතුරියන් අතර බෙදාහදා ගත් විවිධ සටහන් ඇය දිනපතාම පාහේ කියවූවාය. මේ අතර වෙනත් කාන්තාවකගේ නිරුවත් ශරීරයකට තම මුහුණ යොදා වීඩියෝ පටයක් සකස්කර අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ක්ෂණිකව ඇගේ සිතට සිතිවිල්ලක් නැගිණි. ඇය මුහුණු පොත පුරා සැරිසරමින් එය සෙව්වත් එවැන්නක් ඇයට හමුවූයේ නැත. උපුලී මහත්සේ කලබල වූවාය. මෙවැනි දෙයක් කරන්නට ඇයට සතුරන් සිටියේ නැත. නිසැක ලෙසම මෙයද භූත බලවේගය විසින් මෙහෙයවන්නක් බව ඇයට විශ්වාස ය. 
office2pr82
 
පසුදින සිටම ඇයට පෙනුණේ කාර්යාලයේ සිටින අය වෙනදාට වඩා තැන් තැන්වල කසුකුසු ගාන ස්වභාවය වැඩි බවයි. නිසැක ලෙසම ඒ තම මුහුණ සම්බන්ධ කර අන්තර්ජාලයට එක් කර ඇති නිරුවත් වීඩියෝ පටය ගැන විය යුතුයැයි උපුලී සිතුවාය. ඇයට කිසිවකුට මුහුණ දෙන්නට දැඩි අපහසුතාවයක් දැනිණි. ඇය කාර්යාලය තුළ අසුන මතම සිටියා විනා නැගිට්ටේවත් නැත. 
        
උපුලී ගේ මෙම මානසික ව්‍යාකූලතාවය නිසා ඇය අතින් රාජකාරී කටයුතු ක්‍රමක්‍රමයෙන් මඟහැරෙන්නට විය. මෙලෙස රාජකාරී කටයුතු අතපසු වන විට ඇගේ ප්‍රධානියා ඇය කැඳෙව්වේය. ඇගෙන් අතපසු වන කාර්යයන් පිළිබඳව සිහිගැන්වූ ඔහු මින් මතු එවැනි දේවල් සිදු නොවන්නට වග බලා ගන්නා මෙන් තරයේ අවවාද කළේය. උපුලී තම ප්‍රධානියා දෙස බලා සිටියේ අන්ද මන්ද විලාසයෙනි. කිසිවෙකුගේවත් සිතක් නොරිදවන කාරුණික පුද්ගලයකු වූ තම ප්‍රධානියා මෙලෙස තමාට දොස් නැගුවේ භූතයා ඔහුට ආවේශ වීම නිසා යැයි උපුලී විශ්වාස කළාය. එයින් ඇගේ බිය තවත් ශීඝ්‍රයෙන් ඉහළ නැංවිණි. එදා නිවසට පැමිණ ඇය දෙමාපියන්ට පැවසුවේ ප්‍රධානියා දොස් පැවරූ නිසා යළි කිසිදා රැකියාවට නොයන බවයි. එවැනි සුළු දෙයක් නිසා රැකියාවෙන් ඉවත් නොවන ලෙස දෙමාපියන් කොතෙක් අවවාද කළත් ඒ කිසිවකටත් උපුලී අවනත වූයේ නැත.
        
නොදන්වා සේවයට නොපැමිණ මෙසේ දෙදිනක් ගත ගතවිය. දිනක් උපුලී ගේ කාර්යාලයේ යෙහෙළියන් දෙදෙනෙකු ඇය සොයා පැමිණියේ ඇගේ ජංගම දුරකථනය ද දිගින් දිගටම ක්‍රියා විරහිත කර තිබූ බැවිනි. ඇය කාමරයටම කොටුවූ ජීවිතයක් මේ වන විට ගත කරමින් සිටියාය.
 
vq45u56
        
කාර්යාලයේ දෙදෙනෙකු පැමිණ ඇති බව මව දැන්වූ විට උපුලී බෙහෙවින් බියට පත්විය. 
        
"දොර අරින්න එපා. දොර අරින්න එපා. ඔය ඇවිත් තියෙන්නේ භූතයෙක් මාව මරන්න. දොර නම් අරින්න එපා" කියමින් උපුලී මව ඉදිරියේ කෑ ගසමින් බැගෑපත් වූවාය. 
         
සිය දියණියගේ මේ වෙනස දැක මව තුළ ඇතිවූයේ ඉමහත් බියකි. ඇයට කිනම් හෝ භූත බලපෑමක් එල්ල වී ඇතැයි සැක කළ ඔවුන් දිගින් දිගටම හාරහාරා කරුණු විමසන විට තමා එදා රාත්‍රියේ තනිව එද්දී පසුපසින් එළවූ අවතාරය ඇතුළු සියලු දේවල් දෙමාපියන් ඉදිරියේ උපුලී මුල් වරට හෙළි කළාය. 
 
schiowqurc0923
අමනුෂ්‍ය බලවේගයක් දියණියගේ ශරීරයට ඇතුළු වී ඇතැයි ඒකමතිකවම තීරණය කළ දෙමාපියෝ යකැදුරකු ලවා නිවසේ තොවිලයක් සංවිධානය කළහ. නමුත් එයින් අත්වූයේ නොසිතූ ප්‍රතිඵලයකි. උපුලී මෙතෙක් බියෙන් සැඟවී සිටියා විනා ප්‍රචණ්ඩකාරී හැසිරීම් පළ කළේ නැත. නමුත් තොවිලයෙන් පසු නිතර නිතර ආවේගශීලී ලෙස හැසිරෙන්නට වූ ඇය පාලනය කිරීම ඇතැම් විට දෙමාපියන්ට පවා අපහසු විය. අවසානයේ ඔවුහු උපුලී ව රෝහල්ගත කළහ. ඇය මට හමු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
උපුලී මෙම තත්ත්වයට පත් වූයේ අමනුෂ්‍යයකුගේ බලපෑමකින් ද?
 
social phobia
මෙම තරුණිය සමාජ ඇසුරකින් තොරව හැදුනු වැඩුණු අයෙකි. ඒ නිසාම සමාජයට යාමට අපහසු සමාජ භීතිකාව (Social Phobia ) නම් පෞරුෂ දුර්වලතාවය ඇයට තිබිණි. එම පෞරුෂ දුර්වලතාවය නිසාම සෙසු අය හා අදහස් හුවමාරු කර ගැනීමේ අපහසුතා ඇයට තිබූ අතර මේ නිසාම ඇයට රැකියා ස්ථානය පවා පීඩනයක් ලෙස දැනුණා විනා සතුටක් හෝ මානසික සුවයක් වූයේ නැත. 
උපුලී රැකියාව නිම වී අඳුරේ තනිව නිවසට පැමිණෙන විට සැබෑවටම ඇය පසු පසින් පුද්ගලයෙකු පැමිණියා වන්නට ද පුළුවන. නොඑසේ නම් රාත්‍රියේ තනිව එන විට දැනුණු දැඩි බිය නිසාම සිතේ ඇඳුනු මායාවක් (illusion) වීමටද බැරිකමක් නැත. ඇයට මානසික රෝගයක් මතුවීමට එම මායාව හෝ ඇය විසින් භූතයකු ලෙස වරදවා වටහා ගත් පුද්ගලයා බලපා තිබූ බව පැහැදිලි ය. 
 
social anxiety
          
ඇගේ කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණි බාහිර පුද්ගලයන් යනු තමා ගැන විපරම් කිරීමට භූත බලවේගයක් විසින් එවන ලද කණ්ඩායම් ලෙස ඇතිවූ වැරදි වැටහීමට හේතුව ඇය රාත්‍රියේ තනිව එන විට මුහුණ දුන් සිද්ධියෙන් පසු හටගත් පීඩනෝන්මාද මෝහ (Persecutory Delusion ) තත්ත්වය යි. 
         
මුහුණු පොතට සම්බන්ධ වී සිටි මිතුරු මිතුරියන් පවා ඇය තම සතුරන් ලෙස සැලකූවේත්, තමන්ගේ මුහුණ යොදා නිරුවත් වීඩියෝ පටයක් සකස් කර ඇති බවට වැරදි විශ්වාසයක් හට ගත්තේත් තමන් ලබන සෑම අත්දැකීමක්ම ඇගේ මෝහමය තත්ත්වයට සම්බන්ධ සිද්ධීන් බවට පත් කර ගැනීම නිසයි. උපුලී සෑම දෙයක් දෙසම සැකයෙන් බලන්නට හේතුවද එයම වේ. අනෙක් අය වෙන කුමන දෙයක් ගැන කතා කළත් ඒ දකින උපුලී සිතුවේ ඔවුන් තමා පිළිබඳව නරක දෙයක් කතා කරන බවයි. මේ තත්ත්වය Delusion of reference ලෙස මනෝවිද්‍යාවේ දැක්වෙයි.
        
මේ මෝහමය තත්ත්වය වඩාත් සංකීර්ණ වන විට තමාට දෝෂාරෝපණය කළ කාර්යාල ප්‍රධානියාට ද භූතයා ආරූඪ වී ඇති බවට ඇය තුළ වැරදි විශ්වාසයක් ගොඩනැගෙන්නට විය. පුද්ගලයන් වැරදි ලෙස හඳුනා ගැනීමේ මේ තත්ත්වය Delusional misinterpretation නම් වෙයි. 
social phobia anxiety disorder consept sad woman struggle with loneliness and solitude in crowd outcast illustration vector
එයිනුත් පීඩාවට පත්ව රැකියාවට යාම ප්‍රතික්ෂේප කළ උපුලී සියලු දෙනා පිළිබඳවම සැක කළේ තමා මරා දැමීමට එන අය ලෙසිනි. මේ සියලු තත්ත්වයන් අමනුෂ්‍ය බලපෑමක් ලෙස වරදවා වටහාගෙන තොවිලයක් කිරීමෙන් සිදුවූයේ උපුලී ගේ මානසික ආබාධය තව තවත් උත්සන්න අතට පත්වීම ය. 
        
ඇය තුළ තිබූ ඉහත කී සියලු රෝග ලක්ෂණ භින්නෝන්මාදය (Schizophrenia) නම් තදබල මානසික රෝගයේ ලක්ෂණ වේ. ඇය අඳුරු රාත්‍රියේ තනිව ගමන් කරන විට ඇතිවූ බිය මේ රෝග තත්ත්වය ඇතිවීමට මුල් වී තිබූ බව පැහැදිලි ය.
healinghewe
 
භින්නෝන්මාදය යනු මොළයේ ජීව විද්‍යාත්මක රසායනික ක්‍රියාවලියක් නිසා ඇතිවන මානසික රෝගයක් මිස කිසිදු අමනුෂ්‍ය බලපෑමකින් ඇතිවන තත්ත්වයක් නොවේ. භින්නෝන්මාදයට අනිවාර්යෙන්ම මනෝ වෛද්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතුය. ඒ අතරම රෝගියා පුනරුත්ථාපනය කිරීම සඳහා පවුලේ අය සහ ඇසුරු කරන අයගේ සහාය ද අවශ්‍ය වේ. මෝහනය කිරීම හෝ තොවිල් කිරීම මගින් රෝගය තවත් උත්සන්න වීමට තිබෙන හැකියාව ඉතා වැඩි ය.
 
උපදෙස් 
rubanගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් 
 
 
 
 
සැකසුම :
ඉන්දු පෙරේරා
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...