The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍ය සේවය සාරංගිකාකරණයට? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

June 26, 2025 • 9:02 AM

රාජ්‍ය සේවය සාරංගිකාකරණයට? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ වුවද පළාත් පාලන ඡන්දයේ දී ආණ්ඩුවට සිදුවුණේ ඉරානයෙන් අඛණ්ඩව වැදුණු බැලස්ටික් මිසයිල වර්ෂාව ඉදිරියේ ඊශ්‍රායලයට සිදුවුණාක් මෙන් ආරක්ෂක බංකර් තුළට පිවිස හානිය අවම කර ගැනීමේ පියවරක් අනුගමනය කරන්නට ය .
  • අන්තිමේදී එළියට බැස වට පිට බලන විට ආණ්ඩුවට තේරුම් ගියේ තමන්ට සෑහෙන හානියක් සිදුවී ඇති බව ය.
  • එහෙත්, ඉරාන බැල්ස්ටික් මිසයිල්වලින් රිදෙන්නටම බැට කෑ බෙන්ජමින් නෙතන්යාහු ආණ්ඩුව මෙන් ජාජබ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ට එසේ හානියක් සිදුව නැති බව ය.
  • අවසානයේ පළාත් පාලන ආයතනවල සභික ධුරවලින් 50% දිනාගන්නට කිසිදු පක්ෂයකට නොහැකි වූ සභාවල සභාපති වරුන් තේරීමේදී ආණ්ඩුවට වැදුණු ජනතා ප්‍රහාරයේ තරම රටට ප්‍රදර්ශණය වීම වැලැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ආණ්ඩුව තුළ ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා තීරයේදී තමන්ට කොචොක් කරමින් ඩ්‍රෝන හා රොකට් ප්‍රහාර එල්ල කළ හමාස් සංවිධානය සුනු විසුණු කරමින් ප්‍රහාර එල්ල කළ ඊශ්‍රායලය මෙන් තමන්ට ඡන්ද 3%,න් ඉහළට එන්න බැරියැයි කෝචොක් කළ අලි පොහොට්ටු දුරකථන සියල්ලන් සුණු විසුනු කරමින් පසුගිය මහ මැතිවරණයේදී තුනෙන් දෙකකටත් වඩා බලයක් අත්පත් කර ගනිමින් ජයග්‍රාහී ගමනක යෙදුණු ජාජබ ආණ්ඩුව පළාත් පාලන ඡන්දයෙන් ඊට ද වඩා දැවැන්ත පෙරලියක් බලපොරොත්තු විය.

එසේ වුවද පළාත් පාලන ඡන්දයේ දී ආණ්ඩුවට සිදුවුණේ ඉරානයෙන් අඛණ්ඩව වැදුණු බැලස්ටික් මිසයිල වර්ෂාව ඉදිරියේ ඊශ්‍රායලයට සිදුවුණාක් මෙන් ආරක්ෂක බංකර් තුළට පිවිස හානිය අවම කර ගැනීමේ පියවරක් අනුගමනය කරන්නට ය . අන්තිමේදී එළියට බැස වට පිට බලන විට ආණ්ඩුවට තේරුම් ගියේ තමන්ට සෑහෙන හානියක් සිදුවී ඇති බව ය.

 

අද (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ කොහොම  ද?

එහෙත්, ඉරාන බැල්ස්ටික් මිසයිල්වලින් රිදෙන්නටම බැට කෑ බෙන්ජමින් නෙතන්යාහු ආණ්ඩුව මෙන් ජාජබ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ට එසේ හානියක් සිදුව නැති බව ය. අවසානයේ පළාත් පාලන ආයතනවල සභික ධුරවලින් 50% දිනාගන්නට කිසිදු පක්ෂයකට නොහැකි වූ සභාවල සභාපති වරුන් තේරීමේදී ආණ්ඩුවට වැදුණු ජනතා ප්‍රහාරයේ තරම රටට ප්‍රදර්ශණය වීම වැලැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ආණ්ඩුව තුළ ඇති විය.

එහිදී ප්‍රමුඛත්වය ලැබුණේ කොළඹ මහ නගර සභාවට ය. කොළඹ මහ නගර සභාවේ වලංගු මුලු ඡන්දවලින් ආණ්ඩුවට ලැබුණේ 36.6%ක් පමණ වන සුළුතර ඡන්ද ප්‍රතිශතයකි. ඒ මත ඔවුන්ට දිනාගත හකි වූයේ මුලු සභික සංඛ්‍යාවෙන් 41%කි. මේ නිසා ඔවුන්ට එරෙහිව ඡන්දය ඉල්ලූ සජබය එජාපය පොහොට්ටුව වැනි විපක්ෂය එක්සත් වුණොත් කොළඹ නගරාධිපති ධුරයට තම පක්ෂයෙන් අයෙකු පත්කිරීමට හැකියාවක් නොලැබෙන බව තේරුම් ගත් ආණ්ඩුව යම් ආකාරයකට වෙනත් පක්ෂ වලින් තේරී පත්වූ සභිකයන් 11දෙනෙකුගේ වත් සහය ලබා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සකසන ලදී.

 

CMC 250517කොළඹ මහ නගර සභාව
මෙහිදී ද විවෘතවම සහය දැක්වීමට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් වලින් පත්වූ සභිකයන් ප්‍රමාණවත් නොවූ නිසා පක්ෂ වලින් පත් වූ සභිකයින්ගේ සහය ලබා ගැනීමට ද ආණ්ඩුවට සිදුවූ බව පෙනේ. ස්වාධීන කණ්ඩායම් වල සභිකයන්ට නම් විවෘත රහස්‍ය ආදී ඕනෑම ඡන්දයක් ප්‍රශ්නයක් නොවන්නට ඇත.

නමුත් දේශපාලන පක්ෂ වලින් තේරීපත් වූ සභිකයන් සිය පක්ෂය මඟින් ගන්නා තීරණයට පිටින් නගරාධිපති පත්කිරීමේ දී ඡන්දය පාවිච්චි කළ හොත් තම ඡන්ද දායකයන්ට මුහුණ දීමට අදාල පක්ෂයෙන් ඉවත් කිරීම මෙන්ම ඒ නිසාම සභිකත්වය අහිමි වීමේ අවදානමකට ද මුහුණ දිමට එම සභිකයන්ට සිදු වේ. මේ සඳහා විසඳුමක් ලෙස තම ජාම බේරා ගැනීමට නගරාධිපති පත් කිරීම රහස්‍ය ඡන්දයකින් සිදු කර ගැනීම ආණ්ඩුවට අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නට ඇත.

රහස්‍ය ඡන්දයක් පැවැත්වුවහොත් තම ඡන්දය ආණ්ඩුවේ අපේක්ෂකයාට දෙන බවට විපක්ෂ දේශපාලන විපක්ෂයේ පක්ෂ වලින් තේරීපත් වූ සභිකයින්ගෙන් පොරොන්දුව හීන් සීරුවේම ලබාගත් ආණ්ඩුවේ නායකයින්ට ඊළඟ මෙහෙයුම කරන්නට සිදු වන්නට ඇත්තේ අනිවාර්‍යෙන්ම රහස්‍ය ඡන්දයක් පැවැත්වීම තහවුරු කරන්නට ය.

 

124055282 193876018994883 1966080173165947589 n
ඒ වන විටත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පළාත් පාලන ආයතනවල සභාපති වරුන් තේරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පරිපාටිය ඇතුලත් මාර්ගෝපදේශ සංග්‍රහයක් පිළියෙල කර සියලු පලාත් සභාවල පළාත් පාලන කොමසාරිස්වරුන්ට ලබාදී තිබුණි. එහි සඳහන්වූයේ එහි දී පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද යන්න පිළිබඳව තීරණය කිරීමේදී එක් එක් සභිකයා ගෙන් විමසා බහුතරයේ තීරණය දැනගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු බවට ය.

මේ මාර්ගෝපදේශය සකසා ඇත්තේ පළාත් පාලන ඡන්ද විම්සීම් ආඥා පණතේ විධිවිධානයන් මනා ලෙස අධ්‍යනය කර එම විධිවිධානයන්ට බෙහෙවින් අනුකූල වන ලෙස බව පැහැදිලි ය.

සමාජ මාධ්‍ය සමූහයක අදහස් දක්වා තිබුණු එම අමාත්‍යංශයේ පලාත් පාලන අංශයේ වගකිව යුතු නිලධාරියෙකු ආඩපාලි ස්වරූපයෙන් සඳහන් කර තිබුණේ, එම මාර්ගෝපදේශය නිකුත් කරන තුරු තමන් හෝ එම අංශය භාර ලේකම්වරයා නොදුටු බව ය.ඉන් සිතාගත හැක්කේ එම මාර්ගෝපදේශය එහි නීති අංශය මගින් සකසන්නට ඇති බව ය.

 

sarangika

කෙසේ නමුත් කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමේ රැස්වීමට පෙර මේ මාර්ගෝපදේශය පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කර ආණ්ඩු පක්ෂයේ අවශ්‍යතාවය කෙරෙහි ඉන් ඇති විය හැකි අහිතකර බලපෑම සමනය කර ගැනීමේ උපක්‍රම සකසා ගත් බව පැහැදිලි වූයේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර විසින් කොළඹ නගර සභාවේ උක්ත රැස්වීමේදි මුල් වකවනුවේදීම තමා මේ මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය නොකරන බවත් ඒ වෙනුවට පණතේ විධිවිධානයන් අනුගමනය කරන බවත් ප්‍රකාශ කර සිටීම නිසා ය.

ස්වකීය රාජකාරිය අරබයා අදාල අමාත්‍යංශ දෙපාර්තමේන්තු නිකුත් කරන චක්‍රලේඛන අත්පොත් මාර්ගෝපදේශ කාර්ය සංග්‍රහ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි ආදිය අනුගමනය කිරීමට රාජ්‍ය නිලධාරීහු බැඳි සිටිති.

 

daily work 1 1
ආයතන සංග්‍රහයේ විනය පරිපාටියේ ඇති රාජ්‍ය නිලධාරින් විසින් සිදු කළ හැකි බරපතල වැරදි පිළිබඳ පලමු උපලේඛනයේ 15වන වරද වන්නේ ආයතන, සංග්‍රහ මුදල් රෙගුලාසි, භාණ්ඩාගාර චක්‍රලේඛන, රජයේ උපදෙස් සංග්‍රහ, චක්‍රලේඛන අත්පොත්වල විධිවිධාන ,උල්ලංඝණය හිතාමතාම හෝ අනවධානය හෝ නොසලකා හැරීම හෝ මග හැරීයන අයුරින් කටයුතු කිරීම යි.

මෙය රජයේ සේවයෙන් පහ කිරීමෙන් දඬුවම් ලැබිය හැකි අන්දමේ වරදකි. එබඳු මාර්ගෝපදේශයක් කාර්ය සංග්‍රහයක් චක්‍රලේඛනයක් අනුගමනය කිරීමෙන් වැලකී සිටිය හැක්කේ එමගින් නියමකර ඇති පරිපාටිය නීතියෙන් නියම කර ඇති විධිවිධානයන්ට පට හැනි නම් පමණි.

ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ පලමු පංතියේ නිලධාරිනියක වන බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර සතුව මේ ආයතන සංග්‍රහයේ මූලික විධිවිධාන ගැන අවබෝධයක් නැතැයි කිව නොහැකි ය.එසේ නම් ප්‍රසිද්ධියේම මෙම මාර්ගෝපදේශ අනුගමනය නොකරන බව නිවේදනය කරන්නට නම් එම මාර්ගෝපදේශ නිකුත් කළ බලධාරියාට වඩා ඉහළ බලධාරියෙකුගේ රැකවරණය තමාට ඇති බව තහවුරුවී තිබිය යුතුයැයි සිතා ගැනීම සාධාරණ ය.

cmc iugc78rt374r

කෙසේ වුවද තම පක්ෂයෙන් නගරාධිපති පත්කර ගැනීමේ සටන සඳහා ආණ්ඩු පක්ෂය ඉතා සියුම් තියුණු සැලැස්මක් සකස් කළේ තිරය පිටුපස සිට ය. වෙනත් ලෙසකින් කිවහොත් කොළඹ මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම වෙනුවෙන් ආණ්ඩුවේ නැට්ටුවන් වෙස්මුහුණු බැන්ඳේ හැංගී ගෙන ය.ආණ්ඩුව පැත්තේ නැට්ටුවන් මදිකම වසා ගන්නට විපක්ෂයෙ පක්ෂවලින් අඩව් කස්තිරම් අල්ලන්නට සමත් කීපදෙනෙකුට ද වෙස් මුහුණු පළඳවා සූදානම් කළේ කාටත් නොදැනෙන්නට ය. ඒ අප රටේ සමස්ත විපක්ෂය හොර ගුහාවක් ය යන ජනපති වරයා ගේ සිට ඇසුණු කතාව හිස් පුස්සක් බවට පත් කරමිනි.

අන්තිමේදී මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම පලාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන්‍ රැස්වුණු විට ආණ්ඩුවට අවශ්‍ය ලෙස නගරාධිපති පත්කර ගන්නට නම් සභිකයන්ගේ රහස් ඡන්දය ලබාගැනීම කළ යුතුවම තිබුණි.ඒ සඳහා පිහිටට ආවේ කොමසරිස් වරියයි. ඇය නගරාධිපති පත්කිරීමේ ඡන්දය පැවැත්විය යුත්තේ විවෘතව ද රහස්‍යව දැයි සභාවෙන් විමසා පණත අනුව ක්‍රියා කිරීම ඇරඹවා ය.

 



එවිට සභාවෙන් යෝජනා දෙකක් ඉදිරිපත් විය. ඒ විවෘත ඡන්දයක් හා රහස්‍ය ඡන්දයක් ඉල්ලා සිටිමිනි. මෙවන් අවස්ථාවක මාර්ගෝපදේශ සංග්‍රහයේ උපදෙස් දී තිබුණේ එක් එක් සභිකයාගේ නම අඩගසමින් ඔහුගේ කැමැත්ත කවර ක්‍රමයකටදැයි දැන ගැනීමට ය. එහෙත් කොමසාරිස් වරිය මාර්ගෝපදේශය ඉවත්කර ක්‍රියා කරන බව ප්‍රකාශ කර සභිකයන් ගේ කැමැත්ත රහසිගතව විමසා බැලීමට තීරණය කළේ කලින් සකස් කර තිබුණු සැලැස්මට අනුකූලව ය.

ඊට එරෙහිව විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කර සියලු කරුනු ප්‍රතික්ෂේප කරමින් කොමසාරිස්වරිය රහස්‍ය ඡන්ද විමසීම ආරම්භ කිරීමට සූදානම් වෙද්දී විරුද්ධ පක්ෂයෙන් එක් අයෙකු නැගිට එසේ නම් කෙලින්ම රහස් ඡන්දයෙන් නගරාධිපති තෝරන ලෙස යෝජනා කළේ ය. මෙය හරියටම අපේ ගම්බද භාෂාවෙන් කිවහොත් දක්කන පාරේ නොයන ගොනාව යන පාරේ දැක්කීමට තීරණය කිරීම බඳු වැඩකි. ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වා සේ වහාම ආණ්ඩු පක්ෂයේ අයෙකු ක්ෂණිකව එම ස්ථිර කරන ලදී.

කෙසේ හෝ රහස්‍යව ඡන්දයක් පැවැත්වීමට සිතා සිටි කොමසාරිස් වරියට මේ යෝජනාවේ එල්ලී ජාම බේරාගත හැකි බව තේරුම් ගොස් සභාවේ මතය එය නම් නගරාධිපති පත්කිරීම සඳහා රහස්‍ය ඡන්දය පවත්වනවායැයි ප්‍රකාශ කර රහස්‍ය ඡන්දයක් පැවැත්වීම ඇරඹුවා ය. අවසානයේ ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටුකරමින් තම පක්ෂයට අයත් නොවන 13දෙනෙකුගේ ඡන්දත් ලබාගෙන ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා නගරාධිපති ධුරයට පත්විය.

කොළඹ මහ නගර සභාවට එසේ ආණ්ඩුවේ අවශ්‍යතාව මත නගරාධිපති පත්කර ගත්තත් එහිදී කොමසාරිස් වරිය ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කරන විශාල පිරිසක් ඊට අප්‍රසාදය පළ කරමින් අදහස් දක්වන්නට වූහ. ඊළඟට කොමසාරිස් වරියව ශුද්ධ කිරීමට බැලූ බල්මට දේශපාලනමය නොවන චරිත කිහිපයක් ද ඉදිරිපත් වනු දක්නා ලදී. ඒ කවුරුත් එල්ලුණේ අවසානයේ රහස් ඡන්දයක් තියන්නයැයි විපක්ෂයේ පක්ෂයක නියෝජිතයෙකු කළ යෝජනාවේ ය.

කොමසාරිස් වරිය මුල සිටම රහස් ඡන්දයක් මගින් නගරාධිපති පත්කරන ඡන්ද ක්‍රමය තෝරාගත යුතු බවට විනාඩි හතලිස් පහක් තිස්සේ තර්ක විතර්ක කිරීම ගැන ඔවුහු අදහස් පළේ නැත.ඔවුන් කතා කළේ දිය හැළිය උතුරන්නට පැය ගණන් දැවුණු දර ගැන නොවේ. උතුරන්නට ඔන්න මෙන්න කියා ලිපට වැටුණු පොල් කොළය ගැන ය.

 

1750050373 ballot 6

ඇතමෙකු මෙම සමස්ත ක්‍රියාවලිය තුට්ටුවකට මායිම් නොකොට කොමසාරිස් වරියට අභිමතානුසාරී බලයක් ඇතැයි කියා ලිස්සා ගොස් අවසානයේ සභාවේ යෝජනාව පෙන්වා කොමසාරිස් වරිය ශුද්ධ කිරීමට පරිස්සම් විය. තව ප්‍රවීණයෙකු කීවේ කතානායක තෝරන්නෙත් ජනාධිපති තෝරන්නෙත් මහජන නියෝජිතයන්ව තෝරන්නෙත් රහස් ඡන්දයෙන් නිසා නගරාධිපති /සභාපති තේරීමද රහස් ඡන්දයෙන් විය යුතු බව ය. ඒ සඳහා පණතට සුදුසු සංශෝධන ගෙන ආයුතු බව ය. ඉන් ඔහු අදහස් කරන්නට ඇත්තේ රහස් ඡන්දයක් වෙනුවෙන් කොමසාරිස් වරිය නීතිය නොතකා පෙනී සිටීම ප්‍රශ්නයක් නොවන බව ඇඟවීමට විය යුතු ය.

තව නීති ඔස්තාද් කෙනෙක් ප්‍රකාශ කළේ මෙහි දී කොමසාරිස්ට එරෙහිව නඩු දැමීමට බැරි බව ය. මේ අන්දමින් අපූරුවට පළාත් පාලන කොමසාරිස් වරිය ආවරණය කිරීමට ද පිරිස් ඉදිරිපත්වූයේ ද එම සැලසුමේ ම කොටසක් ලෙස විය යුතුය. සමහරකු ඒ සඳහා ස්වෙච්වෙඡාන්ම පාවිච්චි වුණා වන්නට ද පුලුවන.

 



කෙසේ වුවද බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය මූලාසනය ගෙන පවත්වන්නට යෙදුණු පලාත් පාලන ආයතන ප්‍රථම රැස්වීම් සියල්ලේම සභාපති පත්කිරීමේ ඡන්ද ක්‍රමය විවෘතද රහස්‍ය ද යන්න තෝරා ගැනීමට රහස්‍ය ඡන්දයක් පැවැත්වීමේ “තියරිය” බස්නාහිර පළාත් පාලන කොමසාරිස් අඛන්ඩවම ඉදිරියට ගෙන යමින් තිබේ. සීතාවක ප්‍රාදේශීය සභාවේ හා නගර සභාවේ සභිකයින් බහුතරය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියත් එය ලබා නොදීම නිසා සභිකයන් බහුතරය ඉවත් වීමෙන් සභාවේ ගණ පූර්ණය නැති වී රැස්වීම කඩා කප්පල් විය.

 

1750657056 mathale L

ආණ්ඩුව රහස්‍ය ඡන්දය වඩා ප්‍රජතන්ත්‍රවාදීයැයි මතයක් පතුරුවමින් කොමසාරිස්ව ආරක්ෂා කරමින් සිටියි. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන මධ්‍යම පලාතේ පලාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු විවෘතව සභිකයින්ගේ අදහස් විමසා තම වෘත්තීය ගෞරවය ද රැක ගනිමින් ඡන්දය පවත්මින් සභාපතිවරුන් පත්කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ පුරවැසියෝ සිය පරමාධිපත්‍ය බලය මත පාර්ලිමේන්තු ජනාධිපතිවරණ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ වලදී රහසින් ඡන්දය භාවිතා කරමින් එම ආයතන වලට නියෝජිතයින් පත්කරති. ජනාධිපතිවරණය හැර එම ඡන්දවලදී ජනතාව ඡන්දය දෙන්නේ කිසියම් පක්ෂයකට හෝ කණ්ඩායමකට මිස පුද්ගලයෙකුට නොවේ. එසේ පක්ෂ හෝ කණ්ඩායම් වලින් පත්වෙන නියෝජිතයින් රහස් ඡන්දයක් භාවිතා කළ යුතු බවට නීතියෙන් නියම කර ඇත්තේ අවස්ථා දෙකක දී පමණි. ඒ පාර්ලිමේන්තුවේ කතානායක පත්කිරීම හා පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පත්කළොත් එබදු අවස්ථාවක දී පමණි.

අනික් සෑම අවස්ථාවක දීම මහජන නියෝජිතයින් සිය ඡන්දය භාවිතා කරන්නේ විවෘතව ය. එයින් පරිබාහිරව රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට අදාල සභාවේ බහුතර අනුමැතියකින් යුතුව ඉල්ලා සිටිය යුතු වේ. මේ සරල දේ වෙනුවට සභාවේ අදහස නොතකා රහස්‍ය ඡන්දයක් පැවැත්වීමෙන් සිදු කරන්නේ මහජන නියෝජිතයෙකුට තමන් ලත් ජන වරම දූෂණයකට යොදා ගැනීමට ඉඩ සලසා දීමකි.

Vraie
එමෙන්ම මහජන නියෝජිතයෙකු මගින් නියෝජනය වන්නේ සමූහයකි. එම සමූහයට සිය නියෝජිතයා ඡන්දය භාවිතා කළ අන්දම දැන ගැනීමට අයිතියක් ඇත. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා තෝරා පත්කරගත් අවස්ථාවේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් තමාගේ මැතිවරණ බල ප්‍රදේශයේ පක්ෂ ශාඛා සමිති සභාපතිවරුන් එක් එක් කෙනා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් තමා ඡන්දය භාවිතා කළ යුත්තේ කවර අපේක්ෂකයෙකුටදැයි විමසා සටහන් කර ගත් සිද්ධියක් මම දනිමි. රහස්‍ය ඡන්දයකදී වුවත් තමන් ට බලය දුන් පිරිසගේ අදහස අනුව තමන් ක්‍රියා කළ යුතු බව ඒ මහජන නියෝජිතවරිය දැන සිටියාය.

ඒ නිසා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරිය ඉහත සඳහන් තනතුරු පත්කිරීමේදී මේ අනුගමනය කරමින් ඇත්තේ නීතියවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් සදාචාරයවත් නොවන බව නම් කිව හැකි ය. අඩුම තරමින් එලෙස තම පක්ෂයෙන් බැහැරව ඡන්දය පාවිච්චි කළ අපේක්ෂකයකු හට ඒ බව සිය ඡන්ද දායකයන් හමුවේ කීමට වත් හැකි වේද? මේ අතර පසුගිය කන්ටේනර් සිද්ධියේදී ආණ්ඩුව අනුගමනය කළේ “අරුග්ගොඩ කරණය” බවත් පළාත් පාලන සභාපතිවරුන් පත්කිරීමේදී අනුගමනය කරමින් ඇත්තේ “සාරංගිකා කරණය” බවත් ජනතාව පවසති.

නමුත් මේ දෙකම ආණ්ඩුව දේශපාලනිකව අකලට මහළු හා බෙලහීන කිරීමට හේතු වන බව නම් ඒකාන්තයෙන් කිව යුතු ය.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...