එකල අධ්‍යාපන ඇමතිවරයා වූයේ හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමට නොපැකිලෙන, කියන දෙයක් ඉස්පිළි-පාපිළි අඩු නැතුව කියන, ඉමියා මුදියන්සෙලාගේ රැෆියෙල් අභයවන්ස ඊරියගොල්ල ය.
60 දසකයේ අවසාන වසර කිහිපයේ පාසල් අධ්‍යාපනයේ සිටම ළමුන් වෘත්තියාභිමුඛ අධ්‍යාපනයකට හුරු කළ යුතු යැයි නාගරික මතය විය. ඔහුගේ අධ්‍යාපන ඇමති ධූර කාලය, උපාධිධාරි විරැකියාව ගැන ලොකු සමාජ විරෝධයක් ගොනුවූ කාලයකි. ඒ විරෝධය හේතුවෙන් උපාධීලාභීන් පමණක් නොව, ආචාර්ය මහාචාර්යවරුන් පවා ඔහුට විරුද්ධව 1970 මහ මැතිවරණයේදී කුලියාපිටිය ආසනයෙහි කඳවුරු බැඳ ගත්හ.
| අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල
ඒ වනවිට, ඊරියගොල්ල ඇමති විසින් අධ්‍යාපනයෙහි ප්‍රතිසංවිධාන ගණනාවක් කර තිබිණ. විශ්ව විද්‍යාල ප්‍රවේශය අද මෙන් එදාද, උසස් පෙළ සමත් වන සියල්ලන්ට හිමි නොවූයෙන්, විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඊරියගොල්ල ඇමති කාර්මික විද්‍යාල 06 ක් “කණිෂ්ඨ විශ්ව විද්‍යාල” ලෙස ප්‍රතිසංවිධානය කළේය. පාසල් පෙළ පොත් ප්‍රකාශනයට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේද ඔහු විසිනි.
පේරාදෙනිය ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලය දියුණුකර එකල ප්‍රමිතියට අනුව එයට දියුණු භාෂා විද්‍යාගාරයක්ද ලබා දුන්නේය. අම්පාර හාඩි කාර්මික විද්‍යාලය රජයට පවරා ගනිමින් එය ජාතික කාර්මික විද්‍යාල පද්ධතියට ඇතුළු කරනු ලැබුවේද ඊරියගොල්ල ඇමති විසිනි.
කටුබැද්ද කාර්මික විද්‍යාලයද ඔහු ආරම්භ කෙරුවකි. අධ්‍යාපන සියවස වෙනුවෙන් තෝරා ගත් පාසල් 100 ක ඔහු පුස්ථකාල පිහිටු වීය. මසකට වරක් පාසල් ළමුන්ට කුසලතා වර්ධනයක් වෙනුවෙන් යැයි සරළ ප්‍රායෝගික වැඩවල යෙදවීමට නගරයේ ළමුන් ගමේ කුඹුරු වලට බැස්ස වූයේද ඔහු ය. ඒ වෙනුවෙන් “වැඩ හුරුවීමේ ගීතය” යැයි පාසල් ගීතයක්ද ඔහු ලියුවේ ය.
අධ්‍යාපන ඇමති ඊරියගොල්ලගේ අධ්‍යාපන ප්‍රතිසංවිධාන සියල්ල අසාර්ථක වූයෙන් 1970 ආණ්ඩු මාරුවෙන් පසු බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වූ අධ්‍යාපනවේදී ප්‍රේමදාස උඩුගම මහතාගේ මූලිකත්වයෙන් 1972 දී වඩා පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබිණ.

නව අධ්‍යාපන ක්‍රමය” ලෙස හැදින්වුනු ඒ ප්‍රතිසංස්කරණ මගින් අංක ගණිතය, වීජ ගණිතය හා ජ්‍යාමිත්‍ය ඒකාබද්ධ කෙරුණු “නව ගණිතය” 06 වසරේ සිට හඳුන්වා දෙනු ලැබිණ. ඉතිහාසය, භූගෝලය හා ප්‍රජාචාරය ඒකාබද්ධ කර ”සමාජ අධ්‍යනය” විෂය යැයි අලුත් විෂයක් විෂය මාලාවට ඇතුළු කරනු ලැබිණ. 06 වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අනිවාර්ය කෙරිණ. ඊට අමතරව, සෑම ප්‍රදේශයකම ජනප්‍රිය කර්මාන්තයක් ළමුන්ට පුරුදු පුහුණු කිරීමට “ප්‍රාග් වෘත්තීය” නමින් අලුත් විෂයක් හඳුන්වා දෙනු ලැබිණ. එවගේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග දෙකම අහෝසිකර ඒ වෙනුවට “පොදු ජාතික” හා “උසස් ජාතික” අධ්‍යාපනික සහතික පත්‍ර විභාග 1979 සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණි. පළමු වරට මෙරට විශ්ව විද්‍යාල සියල්ල 1972 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතින් “ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය” නමින් තනි විශ්ව විද්‍යාලයක් බවට පත් කරනු ලැබිණ.
නැවතත් 1977 මහ මැතිවරණයෙන් ජයවර්ධන ආණඩුව බලයට පත් වූ පසු එතෙක් සිදුකර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බොහෝමයක් ආපස්සට හරවන ලදී. ඒ වෙනුවට 1979 දී ඔවුන් “අධ්‍යාපන ධවල පත්‍රිකාවක්” පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් වූවත් විපක්ෂයේ හා විශ්ව විද්‍යාලවල දිග හැරුණු විරෝධය හමුවේ එය හකුළා ගැණින.

පාසල් හා උසස් අධ්‍යාපනයෙහි 1965 සිට වසර 15 ක පමණ කාලයක කෙරුණු ප්‍රතිසංවිධාන හා ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඒ කෙටි විස්තරය කෙරුවේ සමාජ කතිකාවකින් තොරව, කොළඹ ඉහළ පෙළ නිලධාරීන් සමග කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිසංස්කරණ සියල්ල අසාර්ථක වන බැව් කීමටය. අධ්‍යාපනයෙහි කෙරෙන එවැනි වෙනස්කම් විසින් පවතින අධ්‍යාපන ගැටළු සඳහා හරියාකාර විසඳුම් නොමැතිව, අලුත් ගැටළුද එකතු කරමින් ළමා පරම්පරාවන් අතරමං කෙරෙන්නේ යැයි කීමටය.
මේ රටේ ආර්ථිකය සමග සියලු සමාජීය බිද වැටීම්, පිරිහීම් හා දූෂණ සඳහා මුල පිරුම ඇත්තේ දසක ගණනාවක සිට අධ්‍යාපනයෙහි ගරා වැටීම සමග ඔඩු දුවන පිරිහීම් සමූහයෙහි ය. වසර 20 ට 30 ට පෙර මේ අධ්‍යාපනයෙන් බිහි කළ ගුරුවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් බිහි වුනු ඊළඟ පරම්පරාව, ඔවුන්ට වඩා දැනුමින්, හැදියාවෙන් හා වගකීම් දැරීමෙන් බාල පරම්පරාවක් විය. ඔවුන්ගෙන් ඊළඟට බිහි වූ පරම්පරාව ඊටද වඩා බාල, අඟුටු මිටි පරම්පරාවක් විය. මෙය මා හඳුන්වන්නේ ෆොටෝ කොපියකින් ෆොටෝ කොපි ගසනවා වැනි යැයි කියා ය.
එවැනි පසුබිමක, ක්‍රමානුකූලව දේශපාලනීකරණය වූ දූෂිත, අකාර්යක්ෂම රාජ්‍ය සේවාවෙහි ඉන්නා මේ පිරිහුණු අධ්‍යාපනයෙන් වසරක් පාසා බිහි කළ හුදු සහතිකලාභි පරිපාලකයින්, වෘත්තිකයින් කිහිප දෙනෙකු ගොනුකර වල් වැදුණු මේ අධ්‍යාපනය වැදගත් දියුණු අධ්‍යාපන ක්‍රියාවලියක් ලෙස ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. ඒ ගැන ගුරු සංගම් නායකයින් කතා නොකරන්නේ ගුරු වැටුප් වලට වැඩි දෙයක් ඔවුන්ද නොදන්නා හෙයිනි.
එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළ යුත්තේ මේ සමාජයේ සියලු වාර්ගික, ආගමික හා පළාත් ආශ්‍රිතව තවමත් ස්වාධීනව ඉන්නා ප්‍රජා ක්‍රියාකාරීන්, ස්වාධීන මත හසුරුවන්නන්, ලෝකයට විවෘත වූ වෘත්තිකයින් සහ පාසල්වල දසක කිහිපයක ඉගැන්වීමේ අත්දැකීම් ඇති ගුරුවර ගුරුවරියන් සමගය. ඔවුන් හවුල් කර ගත හැකි අයුරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සමාජ කතිකාවක් විවෘත කර ගැනීමෙනි.

මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුවට එවැනි සමාජ කතිකාවකට හවුල් වීමේ හැකියාවක් හා වුවමනාවක් නැතැයි මෙතෙක් අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනියගේ කල්කිරියාවෙන් පෙන්නුම් කරන්නකි. ඔවුන් බලයට පැමිණ තෙමසක් ගතව තිබියදී මා අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය වෙත පසුගිය පෙබරවාරි 24 වන දින “ලබන 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම” මැයෙන් වූ ලිපිය යොමු කරන විට, ඇය ජනවාරි 23 වන දින පාර්ලිමේන්තුවේදීත් පෙබරවාරි 15 වන දින කෝපායි හි ජාතික අධ්‍යාපන විද්‍යාලයේදීත් පෙබරවාරි 22 වන දින ආබාධිත දරුවන්ගේ නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීත් විෂය මාලාව හා විභාග ක්‍රමය ලබන 2026 වසරේ සිට වෙනස් කරන බවත් ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් දියුණු කිරීම සහ ගුරු-ළමා ඇසුර යහපත් කිරීම එහි මූලික කාරණා බවත් අවධාරණය කර තිබිණ.
ඒ කතා අතරතුර, මේ රටේ ඕනෑ තරම් ප්‍රතිපත්ති ඇතැයිද ප්‍රශ්නය වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම උදෙසා නිසියාකාරව මුදල් වෙන් නොකිරීම යැයිද එතුමිය ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නියෝජිතයින් සමග පවසා තිබුණේ මේ රටේ විධිමත් අධ්‍යාපනය ගැන ඇයට ඇත්තේ අල්ප දැනුමක් යැයි ප්‍රදර්ශනය කරමින් ය.
මේ රටේ පිළිගත් “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්” නැත. අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතාවට පෙර මුදල් වෙන් කිරීම ගැන යමක් කෙටියෙන් සඳහන් කළ යුතුය. අනෙක් වෘත්තීන් හා වෘත්තීය සමිති කිසිවක් හා ගනුදෙනු නොකරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 2012 වසරේ දියත් කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩි වැටුප් ඉල්ලීමේ උද්ඝෝෂණය දින 100 ට පමණ කල් ඇදෙන විට, අනෙක් වෘත්තීය සමිතිවල සහයෝගය හා සමාජ අවධානය ලබා ගැනීමට ඔවුන් අධ්‍යාපනය සඳහා ආණ්ඩු විසින් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 06 ක් ලබා දිය යුතු යැයි කීවේ, වැදගත් අධ්‍යයනයකින් පසුව නොවන බව, එදා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සටනේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක් වූ ආචාර්ය හරිනි අමරසූරියද දන්නී ය.

ඒ වනවිට වාර්ෂිකව වෙන් කෙරුණු සියයට 02 ත් 03 ත් අතර වන මුදල පවා වසරක් තුල වැය කර ගැනීමට තරම් කාර්යක්ෂමතාවක් නොමැති අධ්‍යාපන පාලනාධිකාරීන්ට කිසිදු සැළසුම්ක් නොමැතිව සියයට 06 ක් ලබා දිය යුත්තේ කුමට දැයි මා නැගූ ප්‍රශ්නයට එදා කිසිවකු උත්තර දුන්නේ නැත. “සියයට 06” වැදගැම්මකට නැති හිස් සටන් පාඨයක් පමණකි.
අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මේ සූදානම් වන්නේ ඊරියගොල්ල හා ප්‍රේමදාස උඩුගම එදා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ පැරණි අසාර්ථක ක්‍රමයටම යළි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නට ය. එනිසා ඊට වෙනස්ව සියල්ලට පෙර “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” සමාජ සම්මුතියකට යටත්ව, සමාජ හිමිකාරිත්වයක් ඇතිව සම්පාදනය කරගත යුතුයැයි මම නැවත කියමි. එයද බරපතල කාර්යයකි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමට අප පළමුව ඉදිරි වසර 15 ට හෝ 20 ට වලංගු වන අයුරු, අධ්‍යාපන අරමුණු කවරේදැයි තීන්දු කරගත යුතුව ඇත. මෙහි කිසිවකු කතා නොකරන හා පහසුවට කියන “තාක්ෂණ අධ්‍යාපනය” යනු කුමක්දැයි විස්තර කතා වන්නේද නැත.
අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව නම්, රැකියාභිමුඛ අධ්‍යාපනයක් සැළසුම් කිරීමට, ඉදිරි වසර 15 ක හෝ 20 ක කාලයේ අපේ දේශීය ආර්ථිකයෙහි උත්පාදනය කෙරෙන රැකියා කවරේදැයි අප දැන සිටිය යුතුය. දැන් අප ඉන්නේ ඉදිරි ඉලක්ක, අරමුණු ගැන කතා කළ හැකි ආර්ථිකයක නොවේ. මෙය ප්‍රධාන නගර කිහිපය කේන්ද්‍රගත වූ ජාවාරම්කාර වෙළඳපලක් පමණි. මෙහි වැඩිමනත් හැදෙන්නේ අවිධිමත් ආර්ථිකයක් සමග වන සේවාවන්හි තාවකාලික සිල්ලර රැකියා ය.

ගමෙන් හා වැවිලිකරයෙන් ප්‍රධාන නගර වෙත ලාභ ශ්‍රමය සංක්‍රමණය වන්නේ ඒ රැකියා සොයා ගෙනය. ජා.මූ. අරමුදලට අනුව මෙරට සමස්ථ ශ්‍රමික සංඛ්‍යාව වන මිලියන 08 ට වැඩි ශ්‍රමිකයින්ගෙන් සියයට 67 ක් අවිධිමත් ක්ෂේත්‍රයෙහි තාවකාලික ආදායම්ලාභීන් ය. මෙවැනි ආර්ථිකයක් වෙනුවෙන් සැළසුම් කළ හැකි අධ්‍යාපනයක් නැත. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කළ යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමගින් ය.
අධ්‍යාපන ඇමතිනිය ලෙස අගමැතිනිය තවමත් විටින් විට ගුරුවර ගුරුවරියන්ද, ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන්ද, දෙමාපියන්ද කිසිවක් නොදන්නා ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කරන්නාවූ කතාවල ඇති බරපතලකම වන්නේ ඒවා 2026 ක්‍රියාත්මක කිරීමට පියවර ගතහොත් මේ පිරිහුණු විධිමත් අධ්‍යාපනයෙහි ඇති වන ඊලඟ කඩා වැටීම, පාසල් වලට දරා ගත නොහැකි වීම ය.
එනිසා මම නැවත අධ්‍යාපන ඇමතිනිය වන ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ අගමැතිනියට කියන්නේ, මොනවා හෝ ප්‍රතිසංස්කරණ තිබේ නම්, ඒවා වහා ප්‍රසිද්ධ කළ යුතු යැයි කියා ය. ඒවා සමග මීට පෙර, 2020 සිට වසර 10 ක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමට පත් කරනු ලැබූ කොමිසම ඉදිරිපත් කළ වාර්තාවත් (NATIONAL EDUCATION POLICY FRAMEWORK (2020-2030)) ඉන්පසු නැවත වසර 25 ක කාලයක් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීම සඳහා 25 දෙනෙකුගෙන් යුත් “විශේෂඥ” කමිටුවක සහායද ඇතිව පත් කරනු ලැබූ ඇමති උප කමිටුවේ 2033 දක්වා වසර 10 ක් සඳහා වන ප්‍රතිපත්ති කෙටුම්පතද (National Education Policy Framework (2023-2033)) හවුල් කර ගනිමින් මේ සමාජයේ සියලු පාර්ශව සමග දුර දිග යන සාකච්ඡාවක් ආරම්භ කිරීම මේ ආණ්ඩුවේ වගකීමකැයි මම යළි අවධාරණය කරමි.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජුනි 26
සබැඳි ලිපි :
රජය ගෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය



