“මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි. එම තත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි සියලු පාර්ශ්වයන්ගෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු. මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතුය.”

මෙම ප්‍රකාශය ඉරානයට එල්ල ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරය අමතක කර තිබෙනවා පමණක් නොව මෙම ගැටුමෙහි ආසන්නතම හේතුව වන ගාසා හි ඊශ්‍රාලය කර ගෙන යන ජන ඝාතනය ගැන ද වචනයකත් නැත.
යුක්තිය සහ අයුක්තිය අතර ගැටුමකදී පාර්ශවයක් නොගැනීම අයුක්තිය වෙනුවෙන් පෙනී සිටීමක් බව යුග පැරණි සත්‍යකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රාලය පිහිටුවීමට සෝවියට් දේශයද දායක විය. එනමුත් වහාම ඇමෙරිකානු අධීරාජවාදය ඊශ්‍රාලය සිය වසඟයට ගෙන මැදපෙරදිග සිය ව්‍යාප්තවාදයේ නියෝජිතයා බවට එරට පත් කර ගත්තේය. ඊශ්‍රාලය පිහිටුවීමට මුල් පියවර තැබුවේ යුදෙව් ජාතික ඇමෙරිකානු - යුරෝපීය ධනකුවේර පවුලක් වන රොත්චිල්ඩ්වරුන්ය. පසුව යුදෙව් ජාතික අමෙරිකානු ධනකුවේර රොක්පෙලර්වරුන්ය. 1948 දී පලස්තීන භුමියෙහි ඊශ්‍රාලය පිහිටුවීමට පෙර එම බිමෙහි ඊශ්‍රාලය ජනාවාස බිහි කරන ලද්දේ මෙම ධනකුවේර සහායෙනි. මෙම මුල්කාලීන යුදෙව් ජාතිකයින් පලස්තීනයට පැමිණියේ වීසා ලබා ගෙනය.

අද අන්තර් ජාතික නීතිය සහ ඉල්ලීම් සහමුලින්ම නොසළකා තිර්ශ්චීන සහ ආක්‍රමණික පිළිවෙතක් ක්‍රියාත්මක කරන ඊශ්‍රාලය මෙම තත්වයට ගොඩ නැගුවේත් අද දක්වාම එහි ආරක්ෂකයින් ලෙස සේවය කරන්නේත් ඇමෙරිකාව සහ යුරෝපයයි. මැද පෙරදිග බල තුලනය තම වාසියට දෝලනය කරන සාධකය බවට ඇමෙරිකාව ඊශ්‍රාලය පත් කර ගත්තේ දිනකට ඩොලර් මිලියන 10.8 තරම් සහනාධාර ලබා දෙමිනි. එනම් වසරකට ඩොලර් බිලියන 3.3 කි. යුද ආධාර සඳහා ලබා දෙන මුදල්වලින් මිලදී ගත හැක්කේ ඇමෙරිකානු ආයුධ පමණය. මෙයට අමතරව අයෝමය ආවරණය, ඩේවිඩ්ගේ කැටපෝලය, ඊතලය යන මිසයිල ආරක්ෂක වැඩසටහන සදහා වසරකට ඩොලර් මිලියන 500 ක් ඇමෙරිකාව ලබා දේ. මෙහි ඩේවිඩ් යනු බයිබලයේ එන ඩේවිඩ් නම් තරුණයකු විසින් ගොලායත් නම් යෝදයා පරාජය කිරීමේ සංකේතයයි.
ලක්ෂ පහකට ආසන්න ගාසා තීරයේ ජනතාව ඝාතනය කළ ජන ඝාතක යුද්ධය කර ගෙන යාමට බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ප්‍රංශය ඇමෙරිකාව සමඟ එක්ව ඊශ්‍රාලයට යුද්ධාධාර මෙන්ම යුද්ධ බුද්ධි තොරතුරු තවමත් ලබා දෙති.

ගාසාහි යුද්ධය විසින් ස්පාඥය සහ අයර්ලන්තය වැනි රටවල් කිහිපයක හැරුණ විට අනෙක් සියළුම යුරෝපා රටවල මානව හිමිකම් තිරපට ඉරා දමා තිබේ.
1953 වන තුරු ඉරානයෙහි පැවතියේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවකි. රටෙහි පාලනය බාරව තිබුණේ පාර්ලිමේන්තුවටය. අගැමැති මෙසොඩෙක් ප්‍රගතිශීලී අදහස් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු විය. ඔහු බටහිරට අයත්ව තිබූ තෙල් කර්මාන්තය රජ සතු කළේය. සෝවියට් දේශය සමඟ සමීප සබදතා පවත්වා ගත්තේය රේසා ෂා පක්ලාවී රජ පෙළපතෙහි රජු විය.
මොසාඩෙක් පාලනය කොමියුනිස්ට්වාදී සෝවියට් දේශය කරා ඇදී යන්නේයැයි බියට පත් බටහිර අධිරාජ්‍යවාදීහු 1953 දී කුමංත්‍රණයක් මගින් ඔහුගේ පාලනය පෙරළා දමා බටහිර ගැති ඒකාධිපතිවාදී ඒකාධිපති රාජකීය ආණ්ඩුවක් පිහිටුවිය. එය බටහිර සහ ඊශ්‍රාලයට ගැති විය.
1979 ඉරානයෙහි ෂා පෙළපතට විරුද්ධ දැවැන්ත සමාජ විප්ලවයක් ඇති විය. එහි නායකත්ව සඳහා වූ අරගලයෙන් මූලධර්මවාදී ඉස්ලාමීය කණ්ඩායම් ප්‍රගතිශීලි කණ්ඩායම් පරාජය කර බලය අල්ලා ගත්තේය. ප්‍රංශයේ ජීවත් වූ අයතුල්ලා කොමේනි යළි ඉරානයට පැමිණ බටහිර විරෝධී උග්‍ර ෂියා ආගමික රජයක් පිහිටවූයේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය අල්ලා ගෙන එය යසර් අරපත්ගේ නායකත්වයෙන් යුතු පලස්තීන විමුක්ති සංවිධානයට ලබා දුන්නේය. ඊශ්‍රායලයට රාජ්‍යයක් ලෙස පැවතීමට අයිතියක් නැතයි ප්‍රකාශයට පත් කළේය.
අනෙක් අතට ෂියා ඉස්ලාමීය නායකයා වූ අයතුල්ලා කුමේනි ආගමික හා දේශපාලන ජීවිතය යන දෙකෙහිම පුළුල් අධිකාරියක් තමන් අතට ලබා ගත්තේය. ඔහු ප්‍රශ්න කළ නොහැක.

එමෙන්ම මේ වන විට නිල වශයෙන් ඒකාධිපති පාලනයක් නොවන නමුත් ඊශ්‍රායලය ද පැහැදිලි ඒකාධිපති ප්‍රවණතා පෙන්නුම් කරයි. අධිකරණ ස්වාධීනත්වය අඩපණ කිරීමට, මාධ්‍ය සීමා කිරීමට සහ බලය සංකේන්ද්‍රණය කිරීමට රජය දරන උත්සාහයන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ඛාදනය කරමින් තිබේ. දිගටම යුද තත්වය පැවතුනහොත් ඊශ්‍රායලය ඉක්මනින්ම සම්පූර්ණ ඒකාධිපති පාලනයකට පිවිසිය හැකි බවට අනතුරු හඟවන සංඥා දැල්වී තිබේ.
ඊශ්‍රායලයේ පාලක පක්ෂය වන ලිකුඩ්, ගතානුගතික ජාතිකවාදය සහ සියොන්වාදය තුළ මුල් බැසගත් මතවාදයක් සහිත උග්‍ර දක්ෂිණාංශික පක්ෂයකි. එය ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහ රාජ්‍යයේ යුදෙව් අනන්‍යතාවයට ප්‍රමුඛත්වය දෙයි. පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට විරුද්ධය. දැනට පලස්තීනය සතු බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈදා ගත යුතු බව යෝජනා කරයි.

ඊශ්‍රායලයෙහි අමානුෂික තත්වයක් යටතේ රඳවා තබා ගෙන පලස්තීන දේශපාලන සිරකරුවන් දස දහසකට වැඩිය. ඒ සඳහා වූ දරුණු මර්දන නීති එරට පනවා තිබේ.
ලොව පුරා මර්දනකාරී රාජ්‍යන්ට උපදෙස් මෙන්ම තාක්ෂනික සහය ලබා දීම ඊශ්‍රාලයේ තවත් භූමිකාවකි. ලංකාවේ යුද සමයෙහි දී ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවාව රජයේ හමුදා සමඟ ක්‍රියාත්මක විය. අද දක්වාම මොසාඩ් ඔත්තු සේවය මෙරට ක්‍රියාත්මකය.
දැඩි හිජාබ් නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මාශා අමිනීගේ මරණයෙන් පසු 2022 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ "කාන්තාව, ජීවිතය, නිදහස" යන ඉරාන ස්ත්‍රී නැගිටීම මර්දනය කිරීමට ස්ත්‍රීන් 500ක්ට වඩා කුමේනිගේ පාලනය විසින් ඝාතනය කරන ලදී. 20.000ක් තරම් සිරගත කරන ලදී. හිජාබ් නීති කඩ කිරීම සඳහා නීතිමය දඬුවම් වැඩි කරන ලදී.

ඉරානය රටවල් ගණනාවක ෂියා ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ ව්‍යාපාරයන්ට සහාය දෙයි. ගසාහි හමාස් සංවිධානයද ඉස්ලාමීය අන්තවාදී මතවාදයක් සහිතය. යම් විචාරකයින් පෙන්වා දෙන්නේ ප්‍රගතිශීලි සහ ලිබරල් පලස්තීන විමුක්ති සංවිධානය දුර්වල කිරීමට ඊශ්‍රාලය හමාස් සංවිධානය ගොඩ නැගූ බවයි. ඒ පසුව අන්තවාදී තලේබාන් බවට පත් ඇප්ගනිස්ථානයේ මුජහිඩීන් ගරිල්ලන් ඇමෙරිකාව විසින් දියත් කරන ලද පරිද්දෙනි.
මෙම සියලු තත්වයන් මැද ඉරානය, පසුගිය සති කිහිපය තුලදී ඊශ්‍රාලයේ අනභිභවනීය බව කුඩුපට්ටම් කළේය. ඇමෙරිකානු සම්බාදක විසින් තලා දමන ලද ඉරානයෙහි මෙවැනි යුද බලයක් ඇතයි ඇමෙරිකාව හෝ ඊශ්‍රාලය කල්පනා කළේ නැත.
මිසයිල කොපමණ ඉල්ලකක කරා ගියද මෙම යුද්ධයේ ජරාජිතයින් බවට පත්වනු ඇත්තේ දෙරටෙහිම සුලුතරයන් වන නිදහස ප්‍රිය කරන ජනයා ය. කුමේනි සහ නෙතෙන්යාහු තව දුරටත් සිය අන්තවාදී සහ ඒකාධිපතිවාදී බලය තහවුරු කර ගන්නවා ඇත.
ඉරාන නිදහස් මතධාරියකු සමාජ ජාලයෙහි තැබු මේ සටහන මෙම කෙටි විග්‍රහය අවසන් කිරීමට හොඳම වචනය.
“ඉරාන ජාතිකයෙකු ලෙස, මට ඔබට පැවසිය හැක්කේ තත්වය තවදුරටත් දේශපාලනික නොවන බවයි. එය අපේ පැවැත්මයි. අපි බිඳ වැටෙන ව්‍යුහ දෙකක් අතර සිරවී සිටිමු: එකක් අභ්‍යන්තර, එකක් බාහිර. එක් අතකින්, අපි උත්තරීතර නායකයා සහ ඉස්ලාමීය ජනරජයේ තේරී පත් නොවූ ආයතන විසින් මෙහෙයවනු ලබන ගැඹුරින් මර්දනකාරී රජයකට මුහුණ දෙමු.
දශක ගණනාවක ආර්ථික කළමනාකරණය, විසම්මුතිය මර්දනය කිරීම සහ කුරිරු දෘෂ්ටිවාදාත්මක පාලනය පරම්පරා ගණනාවක් හුදකලා කර ඇත. කිසිවෙකු තවදුරටත් ප්‍රතිසංස්කරණ විශ්වාස නොකරයි. මන්ද සෑම උත්සාහයක්ම තලා දමා ඇති නිසාය.

නමුත් මෙන්න විරුද්ධාභාසය: සෑම කෙනෙකුටම නිදහස පොරොන්දු වූ ඉරාකය, ලිබියාව, සිරියාව සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල බටහිර මැදිහත්වීම්වල ප්‍රතිවිපාක අපි දැක ඇති නිසා, පාලන තන්ත්‍ර බිඳවැටීම ගැන අපි බිය වෙමු. ඒ රටවල් අවුලින් අවුලට ගියේය. සිවිල් යුද්ධය සදාකාලික විය. නැතිනම් විදේශ පැමිණ වාඩිලා ගත්තේය. ඉතින් නැහැ, අපි එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය විශ්වාස කරන්නේ නැහැ. අපි අපේ පාලන තන්ත්‍රයට සහාය දෙන නිසා නොව - අධිරාජ්‍ය බලවතුන් මැද පෙරදිග 'නිදහස්' කරගත් ජාතීන්ට සලකන ආකාරය අප දන්නා නිසාය.”
යුද්ධය අප හමුවේ තබන්නේ බියකරු තෝරා ගැනීම්ය.
(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com
(උපුටා ගැනීම - අනිද්දා පුවත්පතින්..)
සම්මුති විසම්මුති : සබැඳි ලිපි
සම්මුති විසම්මුති : කොළඹ සටන සහ යාපනේ සටන | සුනන්ද දේශප්‍රිය
සම්මුති විසම්මුති : වීර කාව්‍ය, ග්‍රේතා තුන්බර්ග් සහ අපේ එළිපත්ත | සුනන්ද දේශප්‍රිය
සම්මුති විසම්මුති : ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද ඇයි ද කා සඳහා ද? | සුනන්ද දේශප්‍රිය
සම්මුති - විසම්මුති : අපූරු දවසක්, හිම දිය වූ කඳු පිරිසිදු කිරීම | සුනන්ද දේශප්‍රිය



