The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මතුගම සභාව ජගත් විතානටද? මාලිමාවටද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 30, 2025 • 3:45 AM

 මතුගම සභාව ජගත් විතානටද? මාලිමාවටද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි.
  • කොමසාරිස්වරිය ජාතික ජන බලවේගය පැත්තෙ බව දැන් පැහැදිලියි.
  • ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාව ලෙස 13ක් ලබාගත්තත්, විපක්ෂය ඉතා පහසුවෙන් 13 ඉක්මවා යමින් ආසන 20ක් දිනාගන්නවා.
  • සමගි ජන බලවේගය ආසන 10ක් දිනාගනිද්දි කොස් ගෙඩිය ලකුණෙන් තරග කළ කලින් පොදුජන පෙරමුණ සමග සම්බන්ධව සිටි, හිටපු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වාගේ අනුග්‍රහය ඇති බව කියන ස්වාධීන කණ්ඩායම ආසන 4ක් දිනාගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි.

සුපුරුදු පරිදි ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලාවි. සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට හරියට මුහුණ දෙන්නට පුළුවන් වුණොත්, රහස් ඡන්දයද, විවෘත ඡන්දයද කියලා ඡන්දයක් පැවැත්වේවි. කොමසාරිස්වරිය ජාතික ජන බලවේගය පැත්තෙ බව දැන් පැහැදිලියි. ඇය උත්සාහ කරන්නෙ කොහොම හරි රහස් ඡන්දයක් ලබාගන්නයි.

සමගි ජන බලවේගය සහ විපක්ෂය ලැබූ ජයග්‍රහණය ජාතික මට්ටමෙන්ම සුවිශේෂීයි. ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාව ලෙස 13ක් ලබාගත්තත්, විපක්ෂය ඉතා පහසුවෙන් 13 ඉක්මවා යමින් ආසන 20ක් දිනාගන්නවා.

සමගි ජන බලවේගය ආසන 10ක් දිනාගනිද්දි කොස් ගෙඩිය ලකුණෙන් තරග කළ කලින් පොදුජන පෙරමුණ සමග සම්බන්ධව සිටි, හිටපු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වාගේ අනුග්‍රහය ඇති බව කියන ස්වාධීන කණ්ඩායම ආසන 4ක් දිනාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව දිනාගෙන ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව තුනයි. එක්සත් ජාතික පක්ෂයේ ආසන 1යි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණෙන් ද මන්ත්‍රීවරයෙකු පත්වී සිටිනවා.

ජන අරගල සන්ධානයේ මන්ත්‍රීවරයාගේ සහයෝගය සමහර විට ජාතික ජන බලවේගයට විවෘතවම ලැබේවි.

 

Matugama12
ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂක ලලිත් සිරිවර්ධන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන නීතීඥවරෙයෙක්. මතුගම, අගලවත්ත ප්‍රාදේශීය සභා දෙකම නියෝජනය කර පළපුරුදු ඔහු සභාපතිකමට පමණක් නොවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට වුණත් සුදුසුයි. එහෙත්, ප්‍රදේශයේ ජවිපෙ බලවතා වන නලින්ද ජයතිස්ස පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු වෙනුවට දාගත්තේ, 2015-2020 සමයේ නලින්දගේ කාර්ය මණ්ඩලයේ වැඩ කළ, වෘත්තියෙන් ගුරුවරයකු වූ සංජීව රණසිංහයි. ලලිත් සිරිවර්ධන මතුගම සභාපති ධූරයට පත්වෙනවා නම් ඔහු රැකියාව අත්හැර ජවිපෙ පූර්ණකාලිකයෙකුගේ මට්ටමට පත්විය යුතුයි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ගැටලුව තමයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ භාරදූර වගකීම දැරිය හැකි මට්ටමේ පළපුරුදු නියෝජිතයකු නැතිකම. ඔහුගේ බොහෝ නියෝජිතයන් ඡන්ද ජයගත්තේ ජගත් විතානට තිබෙන ජනප්‍රියත්වය හා ඇතැම් තැනක සුළු ජාතික ඡන්ද දිනාගැනීමෙනුයි. ඒ අය අතර මතුගම උතුර ජයගත් දුලන්ත වික්‍රමනායක ඉන්නවා. ඔහු පවා කලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සජබ සමග එක් වූ අයෙක්.

2018දී එක්සත් ජාතික පක්ෂය (එතකොට සමගි ජන බලවේගය නැහැ) දිනුවේ වැලිපැන්න හා පාන්තිය (ඉද්දගොඩ) කොට්ඨාස දෙක පමණයි. එයින් ඉද්දගොඩින් පත් වූ රෝහිත තුඩුගල සභාපති පදවිය දැරීමට තරම් කුසලතා සහිත කෙනෙකු නොවේ යයි බොහෝ අය කියනවා. ජගත් නාම යෝජනා දෙන්නේ තමන්ට පාලනය කරගත හැකි ගෝලයන්ට පමණයි. ඒ නිසා තමයි මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ.

 

sjb neew 250525
කොස්ගෙඩිය ලකුණෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ නායක කසුන් මුණසිංහ සජබ සමග එක් වී තිබෙන අතර ඔහුට මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිකම ලබාදීමට සහයෝගය දීමට ජගත් විතාන මන්ත්‍රීවරයා තීරණය කර තිබෙනවා. කසුන් මුණසිංහ මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රාදේශීය සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. ජාතික ජන බලවේගයේ අය කියන්නේ ඔහුට දූෂණ චෝදනා ඇති බවයි. ඉදිරියේ ඔහු අත්අඩංගුවට ගන්නා බවට ද ඔවුන් වහසි බස් කියනවා.

මේ අතර කසුන් මුණසිංහට සභාපති පදවිය දුන්නොත් සජබ පිරිසක් කැඩී යන බවට තර්ජනයකුත් තිබෙන බව වාර්තා වෙනවා.

මේ වන විට, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග සමීප පුද්ගලයකු බව කියන ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරයාත්, ඇමති නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය ඇමති සුනිල් වටගල (ඔහුගේ ගම මතුගම බෝපිටිය) වැනි අය මේ වැඩේට සම්පූර්ණ බර දාලයි තියෙන්නෙ.

සජබ වගේම මාලිමාවෙ අයත් මේ දෙපැත්තෙම නායකයන්ට ෂුවර් නැහැ. ජගත් විතාන සජබ මන්ත්‍රී කණ්ඩායම හිර කරගෙනය කියලාත් චෝදනාවක් එල්ල වෙනවා. ඒ අයට ඡන්දය වෙනකල් එළියට යන්න දුන්නොත්, ජාතික ජන බලවේගයට විකිණෙන තත්වයක් තමයි තියෙන්නෙ. ඒ නිසා තමයි හිර කරගෙන වගේ ඉන්නෙ.

මේ අතර, ජගත් විතාන මන්ත්‍රීවරයාට ඉඩ දුන්නොත් තමන්ගේ බලය පිරිහෙන නිසා එක්සත් ජාතික පක්ෂයේ රාජිත සේනාරත්න, පොහොට්ටුව සමග සම්බන්ධව සිටි අය එහෙම රහස්‍ය ඡන්දයකදී ජගත්ගේ නියෝජිතයාට විරුද්ධව ඡන්දය දෙන්නට නියමිතයි.

ජගත් විතාන කියන්නෙ ධනවත් පුද්ගලයෙක්. ඔහුට ප්‍රදේශයේ දේපළ රාශියක් තිබෙනවා. ව්‍යාපාර තිබෙනවා. විශාල පිරිසකට රැකියා සපයා තිබෙනවා. මතුගම නගරයට රජයන්ගෙන් කර තිබෙන කාර්යභාරය අවමයි. නගරය මේ තරම් හරි කලඑළි වෙලා තියෙන්නෙ ජගත්ගෙ ගොඩනැගිලි නිසා. ඔහු මතුගම නගරයේ ලස්සනම තැනක් වන නගරය මැද පිහිටි බටමුල්ල කන්ද මත කලාත්මක නොවන බුදු පිළිමයක් පවා ඔහුගේ වියදමින් හදා තිබෙනවා. ඔහු සියල්ල දත් කෙනෙක්. වෙන අයගෙන් කිසිවක් අසා දැනගන්නට අවශ්‍ය කෙනෙකු නෙමෙයි. සල්ලි තියෙනවා. බලය විතරයි අවශ්‍ය. බලය මොකටද කියලා දන්නා බවක් නම් පෙනෙන්නෙ නැහැ. ලොක්කෙකු වෙන්න විය හැකියි.

අනෙක් අයත් වැඩි දෙනෙකු එහෙම තමයි. ඒ වුණාට ජගත් විතාන ඔවුන්ට වඩා ධනවත් නිසා ඔහුට ඉඩ දුන්නොත් තමන්ට අවස්ථාව නැතිව යන බවයි ඒ අයගේ අදහස. ඒ නිසා අද ජගත් විතානට ඉතාම අවාසිදායක තත්වයක් තමයි මතුගම තියෙන්නෙ.

කොහොම හරි විවෘත ඡන්දයක් ලබාගත්තොත්, ජගත්ට අවස්ථාවක් තියෙයි. රහස් ඡන්දයක් තිබ්බොත් සොරි තමයි. විවෘත ඡන්දයක් තිබ්බත්, අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් විය හැකියි. මාලිමාව මෙතනදී ජගත් පැරදවීම සඳහා ඕනැම සම්මුතියකට යන්නට ඉඩ තිබෙනවා.

මාලිමාව හා සජබ අතර දිනීමේ සම්භාවිතාව මෙහෙමයි: මාලිමාව 60%යි; සජබ 35%යි; වෙනත් 5%යි.

මතු පළකර ඇත්තේ කලින් කරපු වීඩියෝවක්


Ajith parakum J
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මතුගම සභාව ජගත් විතානටද? මාලිමාවටද? | අජිත් පැරකුම් ජයසිංහ | The Leader