ග්‍රාම නිලධාරි සේවාවට පැමිණි මුල්ම කාන්තා කණ්ඩායමට අයත් වූ ඒ මහත්මිය එම සේවාවට අන්තර්ග්‍රහණය වූයේ කෘෂි ව්‍යප්ති සේවකයෙකු ලෙස අම්පාර මල්වත්ත ගොවිපලෙහි සේවය කරමින් සිටිය දී 1989 වසරේ දී ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, ලෙවන්ගම, තලවත්ත ග්‍රාමයේ උපන් රොසලින් නෝනා මහත්මිය රාජ්‍ය සේවයට සම්බන්ධ වුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාප්ති සේවිකාවක් ලෙස ය. කෘෂි ව්‍යාප්ති සේවිකාවක් ලෙස නුවරඑළිය ප්‍රදේශයේ සේවය කරමින් සිටි ඇය 1977/78 වකවානුවේ අම්පාර මල්වත්ත ගොවිපලට ස්ථාන මාරුවක් ලබාගත්තා ය. එවක සිට මල්වත්ත ගොවිපලේත් අම්පාර කෘෂි ව්‍යප්ති කාර්යාලයේත් සේවය කරමින් සිටි ඇයට රජයේ තීරණය මත ග්‍රාම නිලධාරි සේවාවට අන්තර් ග්‍රහණය වන්නට සිදු විය. රොසලින් නෝනා මහත්මිය මුල්වරට මට මුණ ගැසෙන්නේ මෙසේ ග්‍රාම නිලධාරි සේවාවට අන්තර්ග්‍රහණය වූ අම්පාර දිස්ත්‍රික් කෘෂි ව්‍යප්ති සේවකයන් ග්‍රාම නිලධාරීන් ලෙස පුහුණු කිරීමට එවක අම්පාර කච්චේරියේ උප දිසාපතිවරයා ලෙස සේවය කළ මට සිදුවූ අවස්ථාවේ දීය.
ගමක් භාරව එයට නායකත්වය දෙමින් රාජ්‍යය සමග සම්බන්ධිකරණය කටයුතු කිරීම ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආරම්භක යුගය දක්වා වූ ඉතිහාසයක් සහිත සිද්ධියකි. නමුත් කිසි දිනක කාන්තාවක ගමක් භාරව ක්‍රියා කළ බවක් දැනගන්නට නොතිබුණි .එ නිසාම එවක උප දිසාපති වරුන් වූ අපට ද කෘෂි ව්‍යාප්ති සේවිකාවන් ලෙස කටයුතු කළ කාන්තාවන් ගමක් භාරව ග්‍රාම නිලධාරි කම කරන්නේ කෙසේද? යන්න බලවත් ප්‍රශ්නයක්ව පැවතුණි.ඒ කෙසේවුව ද ඒ වන විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සියලුම කෘෂි ව්‍යාපෘති සේවක සේවිකාවන් ග්‍රාම නිලධාරින් ලෙස අනුයුක්ත කර අවසන් ය.ඒ නිසා එතුමන් ගේ ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි බව සිහි කරමින් අනිකුත් නිලධාරීන්ද සමඟ ඒ කාන්තාවන් කිහිපදෙනාට ද ග්‍රාම නිලධාරි පුහුණුව ලබාදීම නොඅඩුව සිදු කිරීම අපට භාරව තිබුණි. මට මතක හැටියට එවක අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තා නිලධාරිනියන් සිටියේ කීප දෙනෙකි. ඔවුන් පුහුණුව නිම කර උප දිසාපති කොට්ඨාශ වලට අනුයුක්තව වසම් භාරව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. ටික කාලයකින් කිසිදු ගැටලුවක් නොමැතිව ග්‍රාම නිලධාරිනියන් තම වසම් වල රාජකාරි කිරීම අප කාටත් පුදුම දනවන සිද්ධියක් විය. මෙය එවක තරුණ පරිපාලන සේවා නිලධාරීන් වූ අපට වෘත්තීය හා රාජකාරීමය පරිචයක් ලබා ගැනීමට ද බෙහෙවින් ඉවහල් විය.
රොසලින් නෝනා මහත්මියට බොහෝ විට සිදුවූයේ මේ වසම් දෙකේම රාජකාරී කිරීමට ය. අඩ්ඩලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එකම සිංහල ගම වූ දිඝවාපියේ ග්‍රාම නිලධාරි ලෙස ඇය එම කාර්යාලයට අයත් එකම සිංහල නිලධාරිනිය ද වූවා ය. දිඝවාපි ගම්වැසියන්ගේ මෙන්ම අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු සියලුම නිලධාරීන්ගේ සිත් දිනාගනිමින් රොසලින් නෝනා මහත්මිය සිය රාජකාරිය මැනවින් ඉටුකළා ය. ගම්වාසීන් කිසිවකු ගෙන් රොසලින් නෝනා මහත්මියගේ රාජකාරි ගැන කිසිදු පැමිණිල්ලක් නොවීය.
උත්සවය අවසානයේ ජනපති තුමිය සඳහා තේපැන් සංග්‍රහයක් සූදානම් කිරීමට රස කැවිලි සපයා ගැනීම ගැටලුවක් විය.ඒ ඒවා ආරක්ෂිත පරිසරයක සකසා ගත යුතු වූ බැවිනි.. රොසලින් නෝනා මහත්මිය ඒ කාර්ය සිය කැමැත්තෙන්ම භාරගත්තා ය. ජනපති ආරක්ෂක අංශය විසින් එය අනුමත කරන ලදී. ඇය සිය නිවසේදීම තමන්ට විශ්වාසදායි කාන්තාවන් කීප දෙනෙකු ද එක් කර ගනිමින් සියලුම රස කැවිලි වර්ග පිළියෙල කර රැගෙන විත් දර්ශනීය තේ පැන් සංග්‍රහයක් සූදානම් කළාය.මේ වෙනුවෙන් වියදම් වූ මුදල උත්සව වියදම්වලින් පියවීමට ඉඩ තිබුණත් රොසලින් නෝනා මහත්මිය ඒ වෙනුවෙන් මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළාය..”මගේ වසමට රටේ ජනාධිපති තුමිය එනකොට මම තේ ටිකක්වත් දෙන්නෙ නැතුව කොහොමද සර්?”ඇය මගෙන් විමසුවාය. මම ඒ බවත් අපේ ෆේරියල් අෂ්‍රොෆ් ඇමති තුමියට පැවසීමි. අපේ ඇමතිතුමිය ජනාධිපති තුමියට ග්‍රාම නිලධාරී රොසලින් නෝනාව හදුන්වා දුන්නේ මේ තේපැන් සංග්‍රහය ඇයගේම එකක් බව ද කියමිනි. ජනාධිපති තුමිය සිනාසෙමින් ග්‍රාම නිලධාරි තුමියගේ අළුවා ඉතාම රස බව කියමින් අළුවා කෑලි දෙකක්ම රසවින්ඳා ය. පසුව ග්‍රාම නිලධාරිනිය සමග බොහෝ කුළුපගව දිඝවාපියේ බිම් මට්ටමේ තොරතුරු විමසූ ජනාධිපති තුමිය පිටත්ව යන්නට හද්ද්දී රොසලින් නෝනා මහත්මිය පාර්සලයක් ජනාධිපති තුමියට පිරිනැමුවේ මැඩම් යන ගමන් කන්න අළුවා කැලි ටිකක් කියමිනි. ජනාධිපතිතුමිය බෙහෙවින් ඇයට ස්තූති කර ඒ පාර්සලය තම අත්බෑගයේ දාගත්තේ “ඇත්තටම මම යන ගමන් කනවා. ඔයාගේ අළුවා හරිම රසයි” කියමිනි. ජනාධිපතිවරයෙකු ග්‍රාම නිලධාරියෙකු සමග එතරම් සමීපව කුළුපගුව කතා බහ කරනු මගේ රාජ්‍ය සේවා කාලය තුළ මම නුදුටුවෙමි.

කේ රොසලින් නෝනා බඳු පුරෝගාමී කාන්තා ග්‍රාම නිලධාරීන් ඉටු කළ ඒ විශිෂ්ට මෙහෙවර නිසා රජයට ග්‍රාම නිලධාරි වෘත්තියට කාන්තාවන් යෙදවීම අතිශය සුදුසු බව පෙනී ගියේ ය.එනිසාම කෙලින්ම ග්‍රාම නිලධාරි වෘත්තියට කාන්තාවන් බඳවා ගැනීම ඇරඹුනි. වර්තමානයේ ග්‍රාම නිලධාරි වෘත්තියේ නියැලෙන ග්‍රාම නිලධාරිනියන් මෙන්ම අනාගතයේ ඒ වෘත්තියට එක්වන කාන්තාවන් ඇතුලු කාටත් මඟ හෙලි කළේ කෘෂි ව්‍යාපෘති සේවක රැකියාවෙන් අන්තර්ග්‍රහණය වුණු පුරෝගමී ග්‍රාම නිලධාරිනියන් බව කිව යුතු ය..දීඝවාපියේ කේ රොසලින් නෝනා නම් වූ විශිෂ්ඨ ග්‍රාම නිලධරිනිය අන්න ඒ පුරෝගාමී නිලධාරිනියන්ගේ ඉදිරියෙන්ම සිටි කෙනෙකි.ඇය ග්‍රාම නිලධාරි වෘත්තියේ නිපුණ මහජන හිතකාමී අවංක කැපකිරීමෙන් රාජකාරි කළ දක්ෂතම නිලධාරිනියකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කේ. රොසලින් නෝනා යනු පරමාදර්ශි රාජ්‍ය නිලධාරිනියකි. මගේ මතකයේ හැටියට එතුමිය 2009 වර්ෂයේ විශ්‍රාම ලැබුවා ය.පසුව මඳක් අසනීපයෙන් පසුවූ ඇය මියයන විට වයස වසර හැත්තැ හයක් විය.මෙරට ග්‍රාම නිලධාරිනියන් හමුවේ පහන් ටැඹක් වූ එතුමියගේ නම කෙසේ වෙතත් රාජකාරීමය විශිෂ්ටත්වය නම් කිසිදා මිළිනව නොයනු ඇත.
එතුමිය ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවයට පත්වේවා.!!!!




