The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාතිවාදයට ජනාධිපති විරුද්ධ නම්, ‘ජාතිය’ අනුව බෙදපු බලය ආපසු පවරා ගන්න! | නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ

T

The Leader Desk

July 2, 2025 • 6:19 AM

ජාතිවාදයට ජනාධිපති විරුද්ධ නම්, ‘ජාතිය’ අනුව බෙදපු බලය ආපසු පවරා ගන්න! | නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම ඔහු, බ්‍රිතාන්‍ය නිව්කාසල් සරසවියේ සහ ස්කොට්ලන්තයේ, ශාන්ත ඇන්ඩෲස් සරසවියෙහි ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ මධ්‍යස්ථානයේ (CSTPV) හි ද ත්‍රස්තවාදය/ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ කටයුතු වල නියැලී ඇත.
  • ඇමරිකාවේ, ඩෙලවෙයාර් සරසවියේ, ජාතික ආරක්ෂාව පිළිබඳ හැදෑරීමට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ද දිනා ගත් ඔහු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයෙකි.] "කිසිදු විටක ජාතිවාදයට හිස ඔසවන්නට ඉඩ නොතබන බව" කියන්නට ජනපති අනුර දිසානායක රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවය තෝරා ගත්තේය.
  • ඒ ඉකුත් ජුනි 30 වනදා ගල්නෑවට ගිය විටය.
  • එහෙත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට ජීවත්වන සමාජයක් නිර්මාණය කළ හැකි බව ජනපති විශ්වාස කිරීම බෙහෙවින් අගය කළ යුතුය, එසේම, ප්‍රශංසනීයය.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම ඔහු, බ්‍රිතාන්‍ය නිව්කාසල් සරසවියේ සහ ස්කොට්ලන්තයේ, ශාන්ත ඇන්ඩෲස් සරසවියෙහි ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ මධ්‍යස්ථානයේ (CSTPV) හි ද ත්‍රස්තවාදය/ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ කටයුතු වල නියැලී ඇත.  ඇමරිකාවේ, ඩෙලවෙයාර් සරසවියේ, ජාතික ආරක්ෂාව පිළිබඳ හැදෑරීමට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ද දිනා ගත් ඔහු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයෙකි.]

"කිසිදු විටක ජාතිවාදයට හිස ඔසවන්නට ඉඩ නොතබන බව" කියන්නට ජනපති අනුර දිසානායක රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවය තෝරා ගත්තේය. ඒ ඉකුත් ජුනි 30 වනදා ගල්නෑවට ගිය විටය.

 


'ජාතිවාදය' ගැන ඇති බිය සිය කතාවෙන්ම ඔහු හෙළි කළේ, 'ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගී කර ගත් බවත්, ජාතිවාදයට යළි කිසිදු අවස්ථාවක හිස එසවීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්' වැඩිදුරටත් ප්‍රකාශ කරමිනි.

ජාතිවාදයට අනතුරු අඟවන්නට ජනාධිපතිවරයා උපසම්පදා මහෝත්සවයක් තෝරා ඇයි කියා වටහා ගන්නට පාඨකයාට අමුතු අටුවා-ටීකා උවමනා නොවේ. එහෙත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට ජීවත්වන සමාජයක් නිර්මාණය කළ හැකි බව ජනපති විශ්වාස කිරීම බෙහෙවින් අගය කළ යුතුය, එසේම, ප්‍රශංසනීයය.

'නීති තද කිරීමෙන් ජාතිවාදය යටපත් කළ හැකි බව' ජනපතිගේ අවබෝධයයි. "නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බව" ජනපති කියන්නේ ඒ නිසාය.

 

යථාර්ථය නම්, නීතිය මගින් පමණක් ජාතිවාදය කිසිසේත්ම පරාජය කළ නොහැක; හේතුව, ජාතිවාදය පැන නගින්නේ නීතියේ අඩුපාඩු වලට එහා ගිය, සංකීර්ණ සමාජ, සංස්කෘතික හා දේශපාලන හේතු ගණනාවක ඵලයක් ලෙස වීමයි.

එබැවින්, 'අන්ධයා අලියාගේ හැඩරුව කියන්නා සේ' ජාතිවාදයට හේතු, විසඳුම් සෙවිය හැකියැයි මම නොසිතමි. ඒ බව පෙන්වා දීම, මෙම ලිපියෙහි අරමුණයි.

අනන්‍යතා දේශපාලනය:


අනන්‍යතා දේශපාලනයේ ස්වභාවය වන්නේ, යම් අනන්‍යතාවයක් පාවිච්චි කර, රාජ්‍යයේ බල පංගුවක් ලබා ගැනීමට දේශපාලන වශයෙන් සංවිධානය වීමයි. බල දේශපාලනයේ සාමාන්‍ය රීතිය නම්, බලවත්ම කරදරකාරයාට බලයේ ලොකුම පංගුව හිමිවීමයි.

රටක, සමාජයක අනන්‍යතා රාශියක් ඇත. එබැවින්, සමාජයක 'බහුවිධ අනන්‍යතා' පවතින බව සැලකේ. සමහර අනන්‍යතා සංස්කෘතිකය. නිදසුනක් ලෙස, ජාතිය, ආගම, භාෂාව වැනි අනන්‍යතා සංස්කෘතික අනන්‍යතා ලෙස සැලකේ. එසේම, සමහර අනන්‍යතා සංස්කෘතික නොවේ: පංතිමය අනන්‍යතාවය, වෘත්තීමය අනන්‍යතාවය වැනි අනන්‍යතා, සංස්කෘතික නොවන අනන්‍යතා ලෙස සැලකේ.

රටක, සමාජයක මෙන්ම, පුද්ගලයෙකු සතුවද 'බහුවිධ අනන්‍යතා' පවතී. යමකුගේ ජාතිය, ආගම හෝ මව් භාෂාව ඔහුගේ සංස්කෘතික අනන්‍යතා ලෙස සැලකෙන අතර, ඔහුගේ සමාජ පංතිය, වෘත්තීමය අනන්‍යතාව යනාදිය සංස්කෘතික නොවන අ නන්‍යතා ලෙස සැලකේ.

ඒ අනුව, කුමන අනන්‍යතාව වෙනුවෙන් පෙනී ඉන්නේදැයි අවස්ථානුකූලව පුද්ගලයකුට තීරණය කළ හැකිය. නිදසුනක් ලෙස, සිංහල, දෙමළ, මුස්ලිම් නීතිඥයන්ට නීතිඥයන් ලෙස එක් වෘත්තීමය අනන්‍යතාවයක් යටතේ අවස්ථානෝචිතව ගොනු විය හැකිය. ශ්‍රී ලංකා නීතීඥ සංගමය එවැනි ගොනු වීමකි.

 


එහෙත්, ජාතිය, ආගම වැනි සංස්කෘතික අනන්‍යතා වල ස්වභාවය නම්, දේශපාලනය තුළ අනෙකුත් අනන්‍යතා යටපත් කරමින්, මුළු සමාජයම එක් සංස්කෘතික අනන්‍යතාවයක් මත බෙදා වෙන් කිරීමට එයට හැකියාව තිබීමයි. නිදසුනක් ලෙස, නීතීඥ අනන්‍යතාව අනුව එකට ගොනුවූ පුද්ගලයන්, තම ජාතියට තර්ජනයක් එල්ලවන බව ඒත්තු ගැන්වූ විට, නීතීඥ අනන්‍යතාව නොසලකා, ජාතිය බේරා ගන්නට තල්ලු කළ හැකිය.

එයට හේතුව, ජාතිය, ආගම වැනි සංස්කෘතික අනන්‍යතා, පුද්ගල ආවේග සමග තදින් බැඳී පැවතීමයි. දේශපාලනයේ සෙසු කරුණු පසෙකලා හෝ යටපත් කර, ජාතිය, ආගම මත දේශපාලන බලය සංවිධානය කිරීමේ හැකියාව ඇත්තේ, සංස්කෘතික අනන්‍යතා වලට පුද්ගල ආවේග සමග තිබෙන දැඩි සම්බන්ධය හේතුවෙනි.

එබැවින්, ජාතිය අනන්‍යතාවක් ලෙස පාවිච්චි කර, රාජ්‍යයේ බල පංගුවක් ලබා ගැනීමේ ලොකුම කරදරකාරයන් වීමට ජාතිය හෝ ආගම වෙනුවෙන් පෙනී ඉන්නා ජනප්‍රිය ප්‍රභූන්ට ප්‍රබල අවස්ථාවක් ලබා දේ. ජාතිවාදය ගැන ජනපති බිය, ඒ අනුව, ඉතා සාධාරණය.

ලාංකික දේශපාලනයේ 'ජාතිය:'

ශ්‍රී ලංකාව 'ජාතිය' පදනම් කරගෙන දේශපාලනයේ බලපංගුව වෙනුවෙන් තරග කරන්නේ නිදහස ලැබෙන්නටත් පෙර සිටය. ශ්‍රී ලාංකිකයන් ලෙස සිතනවාට වඩා සිංහලයන්, ද්‍රවිඩයන්, සහ මුස්ලිම්වරුන් ලෙස සිතීමට ලාංකික දේශපාලනයේ ස්වභාවික නැඹුරුතාවයක් ඇති බව, සර් අයිවර් ජෙනින්ස්, මීට ශත වර්ෂයකට පෙර පවා දුටුවේය.

13, රතු කබාය සහ සිවුර - (ජයසිරි අලවත්ත)
'ජාතිය' අනන්‍යතාවයක් ලෙස ශ්‍රී ලාංකික දේශපාලනයේ මස්තකප්‍රාප්ත වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 13 වන සංශෝධනය හරහාය. එම යෝජනා සහ පළාත් සභා ක්‍රමයේ පදනම වන්නේ, භූගෝලීය ඒකකය ජාතියක නියෝජිත ඒකකය ලෙස සැලකීමයි (geography as a proxy for ethnicity). උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර, එක් පළාත් සභාවක් පිහිටුවීමට යෝජනා වන්නේ, මෙකී පදනම තුළය.

දැන් එතනින් එහාට ගොස්, 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින්, ඉඩම් හා පොලිස් බලතල ද ජාතියේ නියෝජිත භූගෝලීය ඒකකය වූ පළාත් සභාව වෙත පවරන මෙන්ද, එතනින් නොනැවතී, ජාතිය පදනම් කරගත් ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙසද යෝජනා වී ඇත.

'ජාතිය' දේශපාලන අනන්‍යතාවයක් ලෙස සෙසු අනන්‍යතාවල කොඳු-නාරටි කඩා දමා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළට ද රිංගා, සිය කූඩාරම තම තවත් ලොකු කරගන්නට ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ උත්සාහ ගන්නේ එලෙසිනි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුහුණ දෙන්නේ මේ ආකාරයෙන් ශක්තිමත් වූ නෛතික, ආයතනිකමය, සහ ව්‍යුහාත්මක සතුරෙකුට එරෙහිවය.

ජාතිය අනුව බලය බෙදීම:

anura jaffna
ශ්‍රී ලංකාව 'ජාතිය' පදනම් කරගෙන බලය බෙදන්නේ, එසේ කළ විට ජාතිය අනුව බෙදුණු ලාංකික සමාජයේ ගැටුම් කළමනාකරණය කර, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හැකි බව විශ්වාස කරන නිසාය. 'ජාතිය', අනෙකුත් දේශපාලන අනන්‍යතා අභිබවා ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන දේහයේ මූලික නාරටිය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළු වී ඇත්තේ ඒ නිසාය.

 

ජාතිය, ආගම අනුව බෙදු ණු සමාජ වල ගැටුම් කළමනාකරණය කිරීමට නම්, ගැටුමට මූලික හේතුව වන ජාතිය හෝ ආගම පදනම් කරගෙන දේශපාලන බලය බෙදිය යුතු බව, මහාචාර්ය අරින් ලෙයිෆාට්, 1969 දී න්‍යායාත්මකව පෙන්වා දෙන ලදී.

 arend

මහාචාර්ය අරින් ලෙයිෆාට්

 

ඒ අනුව, සංස්කෘතික අනන්‍යතා මත බෙදුණු සමාජ වල ගැටුම් කළමනාකරණය කිරීමට අරීන් ලෙයිෆාට්ගේ කොන්සොසියේෂනල් ක්‍රමය (consociational) ලෝකය පුරා අත්හදා බැලුණු අතර, ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයෙහි මූලික පදනම ද කොන්සොසියේෂනල් ලක්ෂණ වලින් සමන්විත ය. එසේම, ශ්‍රී ලංකාවට යෝජනා කරන ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව හරහා බලය බෙදන්නට කතිකා කරන්නේද, කොන්සොසියේෂනල් බලය බෙදීමේ ක්‍රමවේදය හරහාය.

එබැවින්, ජාතිය හෝ ජාතිවාදය මත බෙදුණු ශ්‍රී ලාංකික දේශපාලන සමාජය තුළ, ජනපති ප්‍රාර්ථනා කරන, 'සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට සමගියෙන් ජීවත්වන සමාජයක්' හදන්නට කොන්සොසියේෂනල් ක්‍රමය මත පදනම් වූ පළාත් සභා ක්‍රමයට හෝ ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පුළුවන් ද? බැරිද? යන්න සලකා බැලීම කාලෝචිත ය.

බලය බෙදීමේ යථාර්තය:
conso

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව, ‘බලය බෙදා ගැනීම’ (power-sharing) යන යෙදුම ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වන්නේ, උතුරු අයර්ලන්තයේ ගැටුම් පිළිබඳ එලැඹුනු කෙටි කාලීන විසඳුම සමඟ 1972 දී ය.  

මේ ක්‍රමය යෝජනා කළ මහාචාර්ය ලෙයිෆාර්ට්, ‘දේශපාලන තීරණ ගැනීමේදී සියලු වැදගත් කණ්ඩායම්වල නියෝජිතයින්ගේ සහභාගීත්වය සුරක්ෂිත කරන යාන්ත්‍රණයක් ලෙස බලය බෙදා ගැනීම සැල කූ අතර, ජනවාර්ගික හෝ ආගමික වශයෙන් බෙදී ඇති සමාජයක, බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් මඟින් රාජ්‍ය තීරණ ගැනීමේ දී සියලු වැදගත් වාර්ගික-ආගමික කණ්ඩායම්වල ප්‍රභූ දේශපාලන නියෝජිතයින් සම්බන්ධ කර ගැනීම සහතික කළ යුතු බව’ අවධාරණය කළේය.

බලය බෙදා ගැනීමේ උපාය මාර්ගයේ යෝජකයන්ට අනුව, නියම කොන්දේසි, යෝජනා කර ඇති ආකාරයට කොන්දේසි හතක්, බලය බෙදා ගැනීමේ ආයතනවල සාර්ථකත්වයට හේතු වේ.  

එම කොන්දේසි වනුයේ:

powerioqc439
* බලය බෙදා ගැනීමේ ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රභූ ආධිපත්‍යයක් වාර්ගික ප්‍රභූන් සතුවී ම;  

* ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල දැකිය හැකි පරිදි කණ්ඩායම් අතර මතවාදී වෙනස්කම් ඇති වන විට, ගැටුම්වලට යොමු නොවී සාකච්ඡාමය විසඳුම් සොයා ගැනීමට නැඹුරුවක් ඇති සමාජ සංස්කෘතියක් පැවැතීම;

* බලය බෙදා ගැනීමේ ගිවිසුමට ගරු කිරීමට සියලු පාර්ශවකරුවන්ගේ අවංක කැපවීම;  

* ඵලදායී හා සුජාතභාවය සහිත ආණ්ඩුවක් සහ පරිපාලන නිල-බල ක්‍රමයක් සුරක්ෂිත කිරීමට අවශ්‍ය ශක්තිය රාජ්‍යයට තිබීම;  

* නිසි ලෙස සම්පත් බෙදා හැරීමේ යුක්තිය පසිඳලීමට පහසුකම් සපයන ආකාරයේ ආර්ථික සමෘද්ධියක් සහ සමානාත්මතාවයක් සමාජය තුළ තිබීම;  

* බලය බෙදා ගැනීමේ ගිවිසුමේ එකඟ වූ සමානුපාතික ක්‍රමයට බලපෑ හැකි බැවින්, ජනවාර්ගික කණ්ඩායම් අතර ස්ථාවර ජන අනුපාතයන් දිගටම පවත්වාගෙන යාම;  සහ

* ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සුබවාදී සබඳතාවයක් පැවතීම යන හිතකර කොන්දේසි හතය.

 

කළුකොඩි -සිංහකොඩි සහ ශිෂ්‍ය දේශපාලනයේ උතුර -දකුණ- (මංජුල වෙඩිවර්ධන)

බලය බෙදා ගැනීමේ ගිවිසුමක සාර්ථකත්වයට හිතකර වන එකී කොන්දේසි රැසක් ශ්‍රී ලංකාවට නොමැති බව තේරුම් ගැනීම අපහසු නොවේ. බලය බෙදාගැනීමේ උපාය මාර්ග පිළිබඳ විවේචකයන් පෙන්වා දෙන්නේ, ජනවාර්ගික වශයෙන් බෙදී ඇති සමාජවල බලය බෙදීම ට හිතකර තත්ත්වයන් දැකීම දුර්ලභ බවත්, සාමාන්‍යයෙන් ගැටුම් අවසානයේ, විශේෂයෙන්ම තීව්‍ර සිවිල් යුද්ධවලින් පසුව, මෙම හිතකර කොන්දේසි දැකීම ඉතාමත්ම විරල බවත් ය.

අත්හදා බැලුණු බොහෝ බලය බෙදා ගැනීමේ පාලන තන්ත්‍රයන්හි සිදුවූයේ, ජනවාර්ගික, ආගමික ගැටුම් ඇති කිරීමට, නඩත්තු කිරීමට හෝ අවසන් කිරීමට දායක වූ පක්ෂ සහ කණ්ඩායම් වල සිටින ප්‍රභූ පැලැන්තියට බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය හරහා බලය ලබා දීමයි.  

එබැවින්, ඔවුන්ට ලබා දෙන බලය, විශේෂයෙන්ම ගැටුමේ ප්‍රචණ්ඩකාරී අවධිය අවසන් වී, සාමය ඇති වූ විට, වඩාත් රැඩිකල් ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා බලපෑම් කිරීමට මෙම ප්‍රභූන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන බව පෙනී ගොස් තිබේ.  මෙම හැකියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ සාමයට තර්ජනයක් විය හැකි ආකාරයෙන් ගැටුම උත්සන්න කිරීමට මෙම ප්‍රභූ පැලැන්තියට අවස්ථාව සහ බලය ලබා දෙන අතර, විශේෂයෙන්ම සිවිල් යුද්ධ වැනි දරුණු ගැටුම්වලින් පසුව බොහෝ රටවල මෙම තත්ත්වය දක්නට ලැබේ.

2002 දී කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ න්‍යායාචාර්ය, අරෙන්ඩ් ලෙයිෆාර්ට්, 20 වන සියවසේ බලය බෙදාගැනීමේ පාලන තන්ත්‍ර දහසයක් (16) ලැයිස්තුගත කළේය.  

 philip roeder

මහාචාර්ය පිලිප් ජී. රෝඩර්

 

එහෙත්, කොන්සොෂියේෂනල් ක්‍රමයේ දුර්වලතා පිළිබඳ ශ්‍රාස්ත්‍රීය පර්යේෂ ණයකින් පසු, මහාචාර්ය පිලිප් ජී. රෝඩර්, 2005 දී පෙන්වා දෙන්නේ, එකී රටවල් දහසය අතරින්, (සුරිනාමය 1958-1973), නෙදර්ලන්ත ඇන්ටිලස් (1950-1985) සහ උතුරු අයර්ලන්තය (1999-1999) ස්වාධීන රාජ්‍ය නොවන බවත්, එමෙන්ම, තවත් හතරක් (ඔස්ට්‍රියාව 1945-  1966, නෙදර්ලන්තය 1917-1967, ලක්සම්බර්ග් 1917-1967, සහ කොලොම්බියාව 1958-1974) ජනවාර්ගික වශයෙන් බෙදී ගිය සමාජ නොවන බවත්, චෙකොස්ලෝවැකියාවේ බලය බෙදා ගැනීමේ සිව් අවුරුදු අත්හදා බැලීම (1989-1993) රට බෙදී යාමෙන් අවසන් වූ බවත්, එසේම, සයිප්‍රසය (1960-1963) සහ ලෙබනනයේ (1945-1975) අත්හදා බැලීම් සිවිල් යුද්ධ වලින් අවසන් වූ අතර, මැලේසියාවේ (1955-1969) බලය බෙදාගැනීමේ අත්හදා බැලීම ඉතා අවදානම් සහගත වන බවත්, මැලේසියාවේ ජනවාර්ගික වශයෙන් වෙනස් වූ කලාපයක් (සිංගප්පූරුව) බෙදී වෙන් වි ගොස්, සමූහාණ්ඩුවෙන් නෙරපා හැරුණු බවත්, එසේම,  වාර්ගික වශයෙන් වෙනස් වූ මැලේසියාවේ ‘සබා’ ප්‍රාන්තය වෙන්වීම වැළැකී ඇත්තේ, සන්නද්ධ උපක්‍රම මගින් බවත්, මැලේසියාවේ කොන්සොසියේෂනල් රජය පුළුල් වාර්ගික ප්‍රචණ්ඩත්වයකින් අවසන් වූ බවත්, එමෙන්ම, ‘ෆීජි’ හි වසරක බලය බෙදා ගැනීමේ අත්හදා බැලීම (1999-2000) හමුදා කුමන්ත්‍රණයකින් අවසන් වූ බවත්, සහ දකුණු අප්‍රිකාවේ (1994-1996) බලය බෙදා හැරීමේ විසඳුම සාමකාමී ලෙස බහුතරවාදයට නැඹුරු වී ගිය බව යි.

ඒ අනුව, අරෙන්ඩ් ලෙයිෆාර්ට් සාර්ථක යැයි කියූ 20 වෙනි සියවසේ බලය බෙදා ගැනීමේ අත් හදා බැලීම් වලින් මෙතෙක් සාර්ථක වී ඇති ජනවාර්ගික වශයෙන් බෙදී ගිය රටවල් වන්නේ, ස්විට්සර්ලන්තය (1943 -), බෙල්ජියම (1970 -), සහ ඉන්දියාව (1947 -) පමණක් බව මහාචාර්ය රෝඩර් පෙන්වා දෙයි.

 

pol 0035
එබැවින්, සමකාලීන යථාර්ථයන් බලය බෙදා ගැනීමේ විසඳුමකට අනුබල නොදෙන බව තේරුම් ගත හැකිය. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ යාන්ත්‍රණයක් ලෙස බලය බෙදා ගැනීම, ශ්‍රී ලංකාව සඳහා ඇති එකම සහ හොඳම විසඳුම බව පෙන්වීමට බොහෝ උත්සාහයන් ගත්තද, බලය බෙදා ගැනීමේ උපාය මාර්ගය මෙතෙක් අසාර්ථක වී ඇත.

බලය බෙදා ගැනීමේ අන්තරායන්:

මහාචාර්ය ඩොනල්ඩ් රොත්චයිල්ඩ් සහ මහාචාර්ය පිලිප් ජී. රෝඩර් වැනි බලය බෙදා ගැනීමේ උපාය මාර්ගයේ සාර්ථක/අසාර්ථක බ ව විමර්ශනය ට ලක් කළ පර්යේෂකයෝ, බලය බෙදා ගැනීමේ පාලන තන්ත්‍රයන් තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට තර්ජනය කරන කොන්දේසි 7 ක් නිරීක්ෂණය කළහ.

ඒ අනුව,

මැතිවරණ සටන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනද වේ -ජයදේව උයන්ගොඩ
* බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයෙහි දේශපාලන තීරණ ගැනීමේ භාවිතයන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගත් සම්මත තරගකාරීත්වයෙන් බැහැර වන බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන බවත්;  

* බලය බෙදා ගැනීමේ ආයතන විසින් ජනවාර්ගික කණ්ඩායම්වල නායකයින් බලය බෙදාගැනීමේ ගිවිසුමට අභියෝග කිරීමට හැකි ලෙස නිෂේධ බලය වැනි ආයතනිකමය ආයුධ සහ විධික්‍රමවලින් බල ගන්වනු ලබන බවත්;

* බලය බෙදා ගැනීමේ උපායමාර්ගය මගින් බලය සහ සම්පත් වාර්ගික කණ්ඩායම් අතර බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, එසේ කිරීමේදී සමානුපාතිකත්වයේ මූලධර්මය පමණක් අනුගමනය කරන බැවින්, සමානුපාතිකත්වයේ නීති එක් කණ්ඩායමකට හෝ වෙනත් කණ්ඩායමකට අසාධාරණ ලෙස අවාසිදායක වන්නේද යන්න බොහෝ විට විවාදයට ලක් වී ඇති බවත්;

* ජනවාර්ගික ප්‍රභූ පැලැන්තිය බලය බෙදා ගැනීම සඳහා වූ කැපවීම්වල දී මුලින් අවංකව කටයුතු කළද, 'දෙවන පරම්පරාවේ ගැටලුව' යනුවෙන් හඳුන්වන එම කණ්ඩායම තුළම වඩාත් රැඩිකල් නායකයින් මතුවීම නිසා, බලය බෙදීමේ ගිවිසුමේ එකඟතා නොසලකා කටයුතු කිරීමට ඔවුන් තල්ලු වන බව සර්බියානු බලය බෙදාගැනීමේ අත්දැකීමෙන් ද පැහැදිලි වන බවත්;

*  බලය බෙදා ගැනීමේ ආයතන සැලසුම් කර ඇත්තේ රාජ්‍යයේ නියෝජිතත්වය පුළුල් කිරීම සඳහා වන බැවින්, මෙම  පුළුල් නියෝජනය වඩාත් වැදගත් රාජ්‍ය කාර්‍යක්ෂමතාව හීන කරන බවත්;

* බලය බෙදීමේ ගිවිසුමට ඇතුල් වීමේදී ඒ මොහොතේ පවතින සමාජ තත්ත්වයන් පදනම් කර ගනිමින් බලය බෙදාගැනීමේ ගිවිසුමට ඇතුළු වන අතර, විශේෂයෙන් ගැටුම් වලට පසු සංක්‍රාන්තික කාලපරිච්ඡේදයක ගමන් ගන්නා සහ ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජ තත්ත්වයන්ට අනුවර්තනය වීමට බලය බෙදීමේ රාජ්‍යයන් නම්‍යශීලී නොවන තත්ත්වයන් පෙන්නුම් කරන බවත්; සහ

* එමෙන්ම, ගිවිසුමට ඇතුළු වන ප්‍රධාන කණ්ඩායම් වල ප්‍රභූන්ගේ අවස්ථාවාදී හැසිරීම් වලට එරෙහිව බලය බෙදාගැනීමේ ගිවිසුමක නීති බලාත්මක කිරීම අතිශයින් දුෂ්කර බව බලය බෙදීමේ විසඳුම පිළිබඳ ගෝලීය අත්දැකීම් ඇසුරින් පැහැදිලි වන බවත් මහාචාර්ය රොත්චයිල්ඩ් සහ මහාචාර්ය රෝඩර් පෙන්වා දෙති.

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ - රොහාන් සමරජීව

ජාතිය පදනම් කරගෙන බලය බෙදන ක්‍රමයේ හානිකර ලක්ෂණ අතර වැදගත් ලක්ෂණයක් වන්නේ, එමගින් පුද්ගල නිදහස, සමානාත්මතාව, සහ සහෝදරත්වය යන ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රිත්වය සම්පූර්ණ වශයෙන් සහතික නොකරීමයි. එනම්, ජාතිය අනුව ඇති ජනවාර්ගි ක බෙදීම් එළිපිටම පිළිගෙන, එම බෙදීම් ආණ්ඩුවේ මූලික පදනම ලෙස සලකා කොන්සොසියේෂනල් ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. එවැනි සමාජයක් 'වාර්ගික සමාජයක' ලක්ෂණ සහිත වන අතර, යම් ජාතියකට අයත් පුද්ගලයෙකුගේ ජීවිතයේ සියලුම අංග ඔහුගේ ජාතිය පදනම් කර ගනිමින් එහිදී තීරණය වේ.

එබැවින්, එම පුද්ගලයාගේ ජාතිය හෝ 'ජනවාර්ගිකත්වය', රාජ්‍යය තුළ ඔහු පෙරටුවෙන් යන බවත්, ඇතැම් විට එය පීඩාකාරී බාධාවක් ලෙස ක්‍රියාත්මක වෙමින්,  සමාජය සහ ආණ්ඩුව තුළ එකී ජාතියට ඔහුව කොටු කර, ඔහුගේ නිදහස සීමා කළ හැකි බවත් විවේචකයන් පෙන්වා දෙයි.

 

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය - ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස - 1)
යමෙකුගේ ජාතිය නොසලකා, නිදහසේ සමාජය සහ ආණ්ඩුව තුළ ක්‍රියා කිරීමට නොහැකි වීම, පුද්ගල නිදහස පැත්තෙන් ගත් කළ කොන්සොසියේෂනල් ක්‍රමයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන දුර්වලතාවක් වන අතරම, එමගින් පුද්ගල නිදහස, සමානාත්මතාව, සහ සහෝදරත්වය යන ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රිත්වය සම්පූර්ණ වශයෙන් සහතික නොවේ. එසේම, ජාතිය/ජනවර්ගය පදනම් කර ගනිමින් බලය බෙදීම මගින් සමාජ-දේශපාලන දේහය තුළ ‘ජාතිවාදය’ ද නිසර්ගයෙන් ජනිත වන බව, ජනාධිපති අනුර දිසානායක , ඒ අනුව, වටහා ගනු ඇතැයි අපේක්ෂා කරමි.

යථාර්ථය මෙය නම්, ශ්‍රී ලංකාව සඳහා බලය බෙදාගැනීමේ යෝජනාවක් සඳහා බල කරන යෝජකයින් බලය බෙදාගැනීමේ අන්තරාය ගැන නොදැන සිටිති, නැතහොත් ඔවුහු බොරු කියති, ඒ සමහර විට යටි අරමුණක් සහිතව විය හැකිය.  

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් 2022 නොවැම්බර් 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ඇති එකම විසඳුම ෆෙඩරල් මාවත බව සිංහල ජනතාවට ඇත්ත කියන්න... ඔහු ඒ බව සිංහල ජනතාවට පැවසීමට පසුබට නොවිය යුතුය. ෆෙඩරල් යනු වෙන්වීමක් නොවේ.  ඊට හාත්පසින්ම වෙනස් දෙයකි." කියායි. බලය බෙදාගැනීමේ අන්තරාය ගැන පොන්නම්බලම්ලා එක්කෝ නොදැන සිටිනවා විය යුතුය, එසේත් නැතිනම්, ඔවුන් බොරු කියනවා විය යුතුය.



බහු විධ සමාජයක මිථ්‍යාව:

බලය බෙදීම සම්බන්ධව ප්‍රචලිත තවත් වැදගත් මිත්‍යාවක් ගැන සඳහන් කළ යුතුවම ඇත. එනම්, කලින් සඳහන් කළ පරිදි, සමාජයක් සමන්විත වන්නේ බහුවිධ අනන්‍යතා සහිත පුද්ගලයන්ගෙන් ය;  සමහර අනන්‍යතා සංස්කෘතිකය. සමහර ඒවා සංස්කෘතික නොවන අනන්‍යතා වේ. සමාජයකට, පුද්ගලයෙකුට බහු අනන්‍යතා ඇත.  එහෙත්, බලය බෙදා ගැනීමේ යෝජනා හරහා ශ්‍රී ලංකාවේ සෙසු අනන්‍යතා යටපත් කොට, ජනවාර්ගිකත්වය පිළිබඳ අනන්‍යතාවට ප්‍රමුඛතාව දීමට ව්‍යවස්ථා සම්පාදකයන් උත්සාහ දරා තිබේ.

එසේ නම්, ජාතිය අනුව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණය විසින් යෝජනා කරන්නේ, අනෙකුත් අනන්‍යතා යටපත් කර, ජනවාර්ගික අනන්‍යතාවට පමණක් ප්‍රමුඛතාව ලබා දෙන විවිධත්වයකි. එය, අව්‍යාජ විවිධත්වයක් ලෙස ශීලාචාර සමාජයකට සැමරිය හැකිද? එවැනි ආකෘතියක් තුළ සංඛ්‍යාත්මක බහුතරයක් සහිත වාර්ගික අනන්‍යතාවය විසින් ලාංකීය සමාජයේ වෙනත් අනන්‍යතා ගිලගෙන, එකාධිපත්‍යය පවත්වයි.  

 

නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීම 2024 යොදාගනිමු
එබැවින්, එය සමානාත්මතාවයේ සහ විවිධත්වයේ ශිෂ්ඨ සම්පන්න මූලධර්ම හෝ බහුවිධ සමාජයක (a plural society) සාරය මත පදනම් නොවන බව පෙනී යා යුතුය. ඒ අනුව, ජනාධිපතිවරයාට වැටහිය යුත්තේ, "බලය බෙදා ගැනීම, බහුවිධ සමාජයක්  ඇති කරන බවට” බලය බෙදා ගැනීමේ යෝජකයින් තුළ ඇත්තේ මිත්‍යා විශ්වාසයක් බවයි.

ජාතිවාදයට ජනාධිපති විරුද්ධ නම්, ‘ජාතිය’ අනුව බෙදපු බලය ආපසු පවරා ගන්න!

ඒ අනුව, ඉහත සාරාංශ වශයෙන් දක්වා සිටියේ, ජාතිය/ජනවර්ගය මත පදනම්ව දේශපාලන බලය බෙදීමෙන්, 'ජාතිය' ලාංකික  දේශපාලනයේ කොඳු-නාරටිය බවට පත් කර ඇති බවත්, එය නිසර්ගයෙන් 'ජාතිවාදය' දක්වා තල්ලු කෙරෙන බවත්, බලය බෙදීමේ පාලන ක්‍රමයක් සාර්ථක කර ගැනීමට හේතුවන කොන්දේසි 7 න්, බොහොමයක් කොන්දේසි ශ්‍රී ලංකාවට නොමැති බවත්, බලය බෙදීමේ අන්තරායන් මගහරවා ගැනීමට, මේ වන තෙක්, ලෝකය අසමත් වී ඇති බවත්, ජාතිය පදනම් කර බලය බෙදීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ මූලික නීතිය බවට පත් කිරීම නිසා 'ජාතිය/ජනවර්ගය' අනුව දේශපාලනිකව සිතීම සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, විධිමත්ව ආයතන ගත කර, ව්‍යුහාත්මක හා නීතිමය යථාර්ථයක් බවට පත්කර ඇති බවත්ය.

එසේ නම්, ලාංකික දේශපාලනය තුළ 'ජාතිය' රටේ මූලික නීතියේ කොටසක්ව ඇති විටෙක, නීති තද කිරීමෙන් 'ජාතිවාදය' යටපත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබේද?

 

ප්‍රති-ත්‍රස්ත පනත මගින් සුවිශේෂී තත්වයන්හිදී පමණක් කල හැකි දේ සාමාන්‍යකරණය  නැවැත්විය යුතුය - (මහාචාර්ය රොහාන් සමරජීව)
මෙතෙක් ආණ්ඩුව අත්හදා බැලූ ආකාරයට, ICCPR නීතිය හෝ නව මාර්ගගත ආරක්ෂණ පනත හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හෝ පාවිච්චි කර, "දේශපාලනයට ජාතිය ගේන්න එපා" කියන්නවුන් හෝ, "තම ජාතිය දේශපාලන වශයෙන් උසස් කර, අනෙකා පහත් කර දක්වන්නන්" හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර, අත්අඩංගුවට ගැනීමෙන් 'ජාතිය' හෝ 'ජාතිවාදය' ශ්‍රී ලංකා දේශපාලනයෙන් යටපත් කර දැමිය හැකි යැයි සිතීම දුෂ්කරය. එසේම, එවැනි ආකාරයේ යටපත් කිරීමක අවසාන පිපිරීම වඩා භයානක වීමටද ඉඩ තිබේ.

ජනාධිපතිවරයා සිය කතාවෙන් ඉඟිකර ඇති පරිදිම, ජාතියට හෝ ජාතිවාදයට ශ්‍රී ලාංකික දේශපාලනයේ ලැබෙන ප්‍රමුඛතාවය අඩු කිරීමට නම්, නීතිය වෙනස් කළ යුතුව ඇත. ඒ අනුව, මුලින්ම වෙනස් කළ යුතුව ඇත්තේ, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා නීතියයි. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය, 'ජාතිය' මත නෛතිකමය, ව්‍යුහාත්මක සහ විධිමත් ආයතනිකමය වශයෙන් බෙදා, තහවුරු කර ඇත්තේ, එකී ව්‍යවස්ථා සංශෝධනය සහ නීතිය මගිනි. එබැවින්, ජාතිවාදයට ජනාධිපති විරුද්ධ නම්, ‘ජාතිය’ අනුව බෙදා ඇති බලය ආපසු අපසුපවරා ගත යුතුව ඇත.

එසේම, ජාතිය, ආගම වැනි සංස්කෘතික අනන්‍යතා වලට පණ දෙන, කොන්සොෂියේශනල් ක්‍රමවේදය වෙනුවට, සමාජය තුළ ඇති බහුවිධ අනන්‍යතාවලට පැතිරුණු, සාධාරණ දේශපාලන බලය සහතික කළ හැකි දේශපාලනමය ආයතනික පද්ධතියක් 'බහුවිධ බහුතරයන්ගේ ප්‍රවේශය' (multiple majorities approach) හෝ වෙනත් දියුණු ප්‍රවේශයක් මගින් ව්‍යවස්ථානුකූල රාමුවක් හරහා මූලික නීතියේ කොටසක් බවට පත් කිරීමට ද, තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් ඇති ජනධිපතිවරයාට හැකිය.

එවිට, පමණකි නෛතිකමය, විධිමත් ආයතනිකමය සහ ව්‍යුහාත්මක බලය සහිත ‘ජාතිය’ සහ එයින් පැන නගින ‘ජාතිවාදය’, ශ්‍රී ලාංකික දේශපාලනයෙන් යථාර්ථවාදී ලෙස යටපත් කිරීමේ විසඳුමක් ජනාධිපතිවරයාට සෙවිය හැක්කේ. ජනාධිපති අනුර දිසානායකට එසේ කළ හැකි නම්, එමඟින් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නව දේශපාලන සංස්කෘතියකට අඩිතාලම දැමිය හැකි වනු ඇත.

 WhatsApp Image 2025 07 02 at 7.51.31 AM(සටහන | නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ)
dodamgoda@icloud.com


* මෙම ලිපිය විශේෂ ලේඛකයෙකු විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා විසින් දරනු ලබයි.

* එසේම, මෙම ලිපිය සංවාදයට විවෘත අතර ඔබේ අදහස් comment හි පලකරන්න 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...