The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔබ නොදන්නවා නම්, ඇය කඹුරුපිටියේ විනීතා

T

The Leader Desk

July 2, 2025 • 8:59 AM

ඔබ නොදන්නවා නම්, ඇය කඹුරුපිටියේ විනීතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි සඳහන් වන කඹුරුපිටියේ විනීතා මට අවසන් වරට 2002 නොවැම්බරයේ හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් අවදි වූ පැරණි මතකයන් සමග ලියැවුනු මේ ලිපිය, අහඹු මතකයක් සමගින් මගේ විද්‍යුත් තැපෑලේ පැරණි ලිපි අතර තිබී සොයා ගත්තකි.
  • වික්‍රමසිංහ ආණ්ඩුව 2002 සාම සාකච්ඡා ආරම්භ කරන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හැදූ පසුබිමෙහි නොවේදැයි ඒ දිනවල මට නිතර සිතුනකි.
  • සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් දෙවැනි පථයේ (Track 02) පසු පෙළ ක්‍රියාකාරකම් සතු වැදගත්කම අනුව ඒ දිනවල මම නිතර කිලිනොච්චි ගියෙමි.
  • එල්.ටී.ටී.ඊය සමග සටන් විරාමයට අගමැති වික්‍රමසිංහ අත්සන් තැබුවේ 2002 පෙබරවාරි මස 22 වන දින ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද ජූලි මස 02 වන දාය. මෙහි සඳහන් වන කඹුරුපිටියේ විනීතා මට අවසන් වරට 2002 නොවැම්බරයේ හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් අවදි වූ පැරණි මතකයන් සමග ලියැවුනු මේ ලිපිය, අහඹු මතකයක් සමගින් මගේ විද්‍යුත් තැපෑලේ පැරණි ලිපි අතර තිබී සොයා ගත්තකි. එසේ නම්, මෙතැන් සිට ඒ ලිපිය කියවමු.
කුසල්


දැන් ඉතිං ආයේ කොළඹ එන්නත් පුළුවන් නේද?

වික්‍රමසිංහ ආණ්ඩුව 2002 සාම සාකච්ඡා ආරම්භ කරන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හැදූ පසුබිමෙහි නොවේදැයි ඒ දිනවල මට නිතර සිතුනකි. සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් දෙවැනි පථයේ (Track 02) පසු පෙළ ක්‍රියාකාරකම් සතු වැදගත්කම අනුව ඒ දිනවල මම නිතර කිලිනොච්චි ගියෙමි.

WhatsApp Image 2025 07 02 at 2.10.33 PM

එල්.ටී.ටී.ඊය සමග සටන් විරාමයට අගමැති වික්‍රමසිංහ අත්සන් තැබුවේ 2002 පෙබරවාරි මස 22 වන දින ය. ඒ සදහා සියලු පහසුකම් සැපයූවේ නිල වශයෙන් නෝර්වේ ආණ්ඩුව ය. ඒ තෙවන පාර්ශව මැදිහත්වීම ආරම්භ කෙරුනේ 2000 හෝ 2001 ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේ ය. ඊට ඉඩ ලැබුණේ 1999 නොවැම්බර් 29 වන දින වන්නියේ “මහවීර් දින” සැමරුම අමතා ප්‍රභාකරන් කළ ප්‍රකාශය විය යුතුය. ඔහු ප්‍රථම වරට “අපි සාමකාමී මාවත අත හැරලා නැහැ. අපටත් මේ ගැටුම සාමකාමීව විසඳා ගැනීමේ උවමනාව තියෙනවා” යැයි කීවේය. ඒ හුස්මටම ඔහු කීවේ, “සාම සාකච්ඡා පැවැත්විය යුත්තේ සුහද, සාමකාමී පසුබිමකයි. අන්‍යෝන්‍ය විශ්වාසයක් සහ හොඳ හිතක් ඇතිවයි......ජාත්‍යන්තර තුන්වන පාර්ශවයක මැදිහත්වීමක් සමගයි” යනුවෙන් ය.

වික්‍රමසිංහගේ යූ.ඇන්.පීය 2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් ආණ්ඩු බලයට පත් වූ විගස, ප්‍රභාකරන් දෙසැම්බර් 25 නත්තල් දින සටන් විරාමයක් ඒක පාර්ශවීයව ප්‍රකාශ කළේය. පෙබරවාරි 22 වන දින එය ද්වි-පාර්ශවීය නිල සටන් විරාමය බවට පත් විය. මෙවර පළමු වරට, සටන් විරාමය නිරීක්ෂණයට ජාත්‍යන්තර සටන් විරාම නිරීක්ෂණ කමිටුවක්ද නිල වශයෙන් පත්කර තිබිණ.

 

Elephant Pass 27 m Srilanka
බොහෝ දෙන එල්.ටී.ටී.ඊ සටන් විරාම ගැන කියන්නේ, දුර්වල වූ විට, නැවත සංවිධානය වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට ප්‍රභාකරන් සටන් විරාම වලට එකඟවනවා යැයි කියා ය. නමුත් 2001 දෙසැම්බරයේ ඔහු ඒක පාර්ශවීයව සටන් විරාම ගිවිසුම ප්‍රකාශ කෙරුවේ දුර්වල වූ අවස්ථාවක නොව, හමුදාමය වශයෙන් ශක්තිමත්ව සිටි අවස්ථාවකය. 2000 අප්‍රේල් මාසයේ එල්.ටී.ටී.ඊය, මාන්කුලම් සිට කිලිනොච්චිය පසුකර නුවර A-9 පාරේ අලිමංකඩද ඇතුළුව මුහමලෙයි දක්වා මුළු ප්‍රදේශයම අල්ලා ගෙන තිබිණ.

karikalan 1කරිකාලන් ඒ ගැනත් පොඩි කතාවක් ලියා තැබිය යුතු යැයි සිතමි. 2002 වෙසක් දිනයේ මම පොතුවිල්, අරුගම්බේ හා පානම ප්‍රදේශයෙහි එල්.ටී.ටී.ඊ දේශපාලන ක්‍රියාකාරීන් හමුවන්නට ගියෙමි. රාත්‍රියෙහි මා නතර වූයේ අරුගම්බේ පිහිටි විශේෂ කාර්ය සාධක බලකායේ කඳවුරෙහි ය. කැමති නම්, එල්.ටී.ටී.ඊයේ නැගෙනහිර දේශපාලන නායක කරිකාලන් හමුවන්නට කොක්කඩිචෝලෙයි යා හැකියැයි විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රාදේශීය ප්‍රධානියා මට කියුවේය. එසැණින් මම ඒ අවසරය ලබා ගෙන පසුදින කොක්කඩිචෝලෙයි ගියෙමි. එහිදී ඉතිහාසයේ ප්‍රථම හා එකම අවස්ථාව වූ එල්.ටී.ටී.ඊ නායකයෙකු සිංහලෙන් සාකච්ඡාවක් කෙරුවේ මා සමගින් ය.

 

020222oslo peace agreementප්‍රභාකරන්
කරිකාලන්ට සිංහල හොඳින් කතා කළ හැකියැයි මට කියුවේද විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරියෙකි. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් එල්.ටී.ටී.ඊය සිංහල භාවිත කරන්නේ නැත. සාම සකච්ඡා සහ එල්.ටී.ටී.ඊයේ බලාපොරොත්තු මොනවාදැයි දකුණේ ජනතාවට කීමට, එල්.ටී.ටී.ඊ නායකයෙකුගේ වචන වලින්ම මට සිංහලෙන් එය අවශ්‍යයැයි කියා සිටියෙන් එම අවස්ථාව ලැබුණේ කරිකාලන් ඒ වෙනුවෙන් කිලිනොච්චියේ සාම ලේකම් කාර්යාලයෙන් ලබා ගත් විශේෂ අවසරය සමගය. ඉන් දෙසතියකට පසු එම සාකච්ඡාව ඉරිදා ලංකාදීප පත්තරයෙහි පළ විය. ස්වාධීන රූපවාහිනියේද විකාශනය කෙරිණ.

tamiltig460

මට කියන්නට අවශ්‍ය වූයේ, සටන් විරාම ගිවිසුම අත්සන් කර තිබූයේ ඔමන්තායි සිට මුහමලෙයි දක්වා A-9 පාර පූර්ණ වශයෙන් විවෘත කිරීමට ය. කරිකාලන් එය මට කියුවේ, සටන් විරාම ගිවිසුම අත්සන් කළ සැණෙන් පළමු වරට ප්‍රභාකරන් සහභාගී වූ කිලිනොච්චියේ ඓතිහාසික මාධ්‍ය හමුවට ගිය කරිකාලන්ව පුරා දෙසතියක් මුලතීව්හි ප්‍රභාකරන් විසින් රදවා තිබුණි යැයි වූ කතාවේ ඇත්ත නැත්ත විමසූ විටය.

ඔහු සිනහවී කිව්වේ, ඔහුව රදවාගෙන නොසිටි බවත් ඔහු දෙසතියක් මුලතීව්හි රැඳී සිටියේ A-9 පාර පූර්ණ වශයෙන් විවෘත කිරීමට නැගෙනහිර එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන්ගේ විරෝධය දැන්වීමට බවත් ය. මාන්කුලම්, කිලිනොච්චි. එලිෆන්ට්-පාස් ඔවුන් අල්ල ගත්තේ වන්නියේ තරුණයින් යුද්ධ කර නොවේ යැයි ඔහු අවධාරණය කළේය. “ඒ යුද්ධ සඳහා විශල වශයෙන් ජීවිත කැප කෙරුවේ අපි නැගෙනහිරින් යවපූ අපේ තරුණ සටන්කාමීන්. A-9 පාර සම්පූර්ණයෙන් විවෘත කෙරුවම, ඒ කැප කෙරුව තරුණ ජීවිත වලට අපි වගකියන්නෙ කොහොමද? ඒ තරුණයින්ගේ දෙමාපියන්ට, භාර්යාවන්ට, සහෝදරයින්ට අපි කියන්නෙ මොනවද?” ඔහු කියුවේ ඒ ප්‍රශ්නයට ප්‍රභාකරන්ගේ විසඳුම රැගෙන එන්නට ඔහු දෙසතියක් මුලතිව්හි රැඳුණු බවය. “ඔමන්තායි ඉඳලා මුහමලෙයි දක්වා A-9 පාර අපි පාලනය කරන්න තීන්දු කෙරුවේ ඒ නිසයි” ඔහු කීවේය.  

 

307588597 10218029591606401 6200180720186127738 n 1සිරිතුංග ජයසූරිය
කොළඹ අප කිහිප දෙනෙකු මහේන්ද්‍රන් ලෙස හඳුනාගෙන සිටි ඔවුන්ගේ පොලිස්පති නඩේසන්ගේ දුරකතන අංකය මා ඉල්ලා ගත්තේ කරිකාලන් ගෙන් ය. මා නඩේසන් හඳුනා ගත්තේ සිරිතුංග ජයසූරියගේ නිවසේදී වූ හමුවීමකදී ය. ඒ 1978 දී පමණය. එවිට ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු වූයෙන් නව සමසමාජ දේශපාලනයට ඉතා රහසිගතව සම්බන්ධව සිටියෙකි. ඔහු පක්ෂය සමග සම්බන්ධය තබාගෙන සිටියේ සිරිතුංග සහෝදරයා මගින්ය. එහෙත් මා හමුවීමෙන් පසු ඔහු “කුසල් අයියා” යැයි කීමට තරම් මා සමග කුළුපග වූවෙකි. මා මහරගම ගුරු විදුහලේ සිටියදී ඔහු මහරගම පොලීසියට අනුබද්ධව සිටියේය. ඒ කාලයේ ඔහු ඉඳහිට මා හමුවන්නට මහරගම ගුරු විදුහලේ කැන්ටිමට එන්නේය.

 කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම


වරක් ඔහු පැමිණියේ තරුණියක් සමගින්ය. කතා බහෙන් ඇය සිංහල යැයි මම හැඳින ගතිමි. ඇය විනීතා ගුණසේකර යැයිද, පොලිස් මූලස්ථානයේ දුරකතන අමතන්නියක් ලෙස සේවය කරන්නේ යැයිද කීවාය. ඔවුන් විවාහ ගිවිසගෙන ඉන්නා බවත් වෙල්වටිතුරෙයි සහ කඹුරුපිටියේ පවුල්වල සියල්ලන් ඊට දැඩි ලෙස විරුද්ධ බවත් නඩේසන් වරක් මා සමග කීවේය. ‘83 ජූලි දෙමළ සංහාරය දියත් කෙරෙන විට, දෙපාර්ශවයේ දැඩි විරෝධ නොතකා ඔවුහු විවාහ වී සිටියහ. ඔවුන්ගේ විවාහය මට කියා තිබුණත් මා ඊට සහභාගි නොවූයේ ඒ වන විට මා පූණ්ඩළුඔය සේවයට ගොස් සිටියෙනි. එය 1982 දී ඉතා නිහඬව කෙරුණු විවාහයකි. ඒ විවාහයෙහි දෙපාර්ශවයේ සාක්ෂිකාරයින් වූයේ සිරිතුංග සහ වාසුදේව දෙදෙනා ය. විවාහය සිදු කෙරුණේ තිඹිරිගස්යායේ සිරිතුංග සහෝදරයාගේ නිවසෙහි ය.

 

485122560 1177017753797445 3981504115676016058 nනඩේසන් හා විනීතා ගුණසේකර
අප ම්ලේච්ඡයින් ලෙස දියුණු ලෝකය හඳුන්වන්ට වූ “කළු ජුලිය” අවසන් වනවිට ඔවුන් යාපනයේ ස්ථිර පදිංචියට ගොස් තිබිණ. ඒ සමග ලෙන්ගතුකම් ඉතිරිව තිබුණත් හමුවීම් නොවුනි. අප නැවත හමුවන්නේ අවුරුදු 20 ට පමණ පසු 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කළ පසුව ය. ඒ වනවිට ඔහු එල්.ටී.ටී.ඊ පොලිස්පති ය. ප්‍රභාකරන්ගේ වඩාත්ම විශ්වාසදායි පුද්ගලයා ඔහු යැයි කිලිනොච්චියේ කතා බහ විය. මට එය වැදගත් වූයේ සාම සාකච්ඡා සඳහා අවශ්‍ය අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීමේ හා පරිපාලනමය ගැටළු හදුනා ගැනීමට එවැනි සමීප සබඳතා වැදගත් වූයෙනි.

ceasefireagree

මේ එවැනි නිදසුනකි. සටන් විරාම ගිවිසුම අත්සන් කළ ආසන්නයේම, අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා සරණාගත ඇමති වූ වෛද්‍ය ජයලත් ජයවර්ධන විසින් වන්නියේ මාර්ග අලුත්වැඩියාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ යැයි කිලිනොච්චි සාම ලේකම් කාර්යාලය මට පැමිණිළි කෙරුවේ නඩේසන් මගින් ය. ඔහු මට කීවේ, එවැනි කාර්ය සදහා දෙපාර්ශවයේ එකඟතාව වන්නේ එල්.ටී.ටී.ඊ නියෝජනයක් ඇති තාවකාලික පරිපාලන කමිටුවක් පිහිටුවීම බවය. සමන් අතාවුදහෙට්ටි මගින් අගමැති වික්‍රමසිංහට දන්වා ජයලත් ජයවර්ධන ඇමතිගේ කොන්ත්‍රාත් වැඩ නතර කිරීමෙන් ආරම්භයේදීම වර්ධනය වන්නට ඉඩ තිබූ එක ගැටුමක් වැළකින.  

piramanalankulam jeyalath 150102

නඩේසන් අවසන් වරට මට හමුවූයේ 2002 නොවැම්බරයේදී මා කිලිනොච්චි ගිය විටය. එවර මා කිලිනොච්චි ගියේ උතුර-දකුණ හවුල් කෙරෙන සිංහල-දෙමළ ගුවන් විදුලි සේවාවක් ගැන එල්.ටී.ටී.ඊ සාම ලේකම් කාර්යාලයේ පුලිදේවන් සමග කතා කිරීමට ය. එදින ප්‍රමාදවූ දහවල් කෑම වේලකට මට නඩේසන්ගෙන් ඇරයුමක් ලැබිණ. අවුරුදු 20 ට පසු මට විනීතාව නැවත හමුවන්නේ ඒ කෑම මේසයේදී ය. ගතවූ අවුරුදු 20 ක කාලය ඇයගෙන් දිස් නොවූවා නොවේ. එහෙත් ඇගේ කතා ලාලිත්‍ය එසේම විය. එහි වූ ලෙන්ගතු ස්වරය වෙනස් නොවුනකි. “කුසල් අයියා එනවා කියුව නිසා.... මං ගමේ කුකුල් කරියක් හැදුවා” ඇය සිනහ වෙමින් කීවා ය. කරුවල වැටෙන්නට පෙර අනුරාධපුරට යා යුතු වූයෙන් මම නඩේසන්ගෙන් සහ විනීතාගෙන් සමු ගත්තේ, “අපි දැන් ඉතිං ආයේ කොළඹදි හමුවෙමු” යැයි කියමින් ය.  

අප කාගෙත් ඉරණම් ගමන් තීන්දු වන්නේ අප තීන්දු කරන ප්‍රකාරම නොවේ යැයි මා තේරුම් ගත්තේ යුද්ධයේ අවසාන දින කිහිපයෙහි සුදු කොඩි ඔසවාගෙන යටත් වන්නට පැමිණි එල්.ටී.ටී.ඊ නායක පිරිසක් රජයේ හමුදා විසින් ඝාතනය කෙරුවේ යැයි හා ඒ අතර නඩේසන් හා විනීතාද සිටියේ යැයි වූ ආරංචිය සමග ය. 2002 දෙසැම්බර් ඔස්ලෝ සාම සාකච්ඡා වටයේදී සාමය වෙනුවෙන් ස්ථිර පදනමක් වැටේ යැයි වූ විශ්වාසය සමගින් නොවැම්බරයේදී කිලිනොච්චියෙන් පිටත්වූ මට, නඩේසන් හා විනීතා නැවත කොළඹදී හමුවන්නට ඉරණම් ගමනක් නොවුනි.

 

image f76137b07fනාට්‍යවේදී සුගතපාල ද සිල්වා
2002 දෙසැම්බරයේ ශ්‍රී ලංකා ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊය අතර ෆෙඩරල් පන්නයේ විසඳුමකට අත්සන් තැබුණු ඔස්ලෝ ගිවිසුම අකර්මන්‍ය කෙරුණු ගෙවුනු වසර 06 ක පෙරැළිය එවැනි ය. මා හා වික්ටර් අයිවන් සමග ඔස්ලෝ නුවරදි ඇන්ටන් බාලසිංහම් කියූ, “සුගත්ලා (නාට්‍යවේදී සුගතපාල ද සිල්වා) අපි ඒ කාලේ කොළඹ ගත කළ සුන්දර ජීවිතය අපේ තරුණ කොල්ලන්ට අත් විදින්නට ලැබෙන එක තමයි මේ සාකච්ඡාවල වැදගත්ම කාරණාව” දැන් කෙසේ සිදුවේදැයි නොදනිමි.

2009 ජුලි අග  

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...