The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිවී ගිය රතු සඳ එළිය ; මහාචාර්ය පියසිලී විජේගුණසිංහ

T

The Leader Desk

July 3, 2025 • 7:33 AM

නිවී ගිය රතු සඳ එළිය ; මහාචාර්ය පියසිලී විජේගුණසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සටහන යළි පාඨකයන් වෙනුවෙන් පළ කරන්නට සිතුවේ වත්මන් පරපුර ඇය පිළිබඳව යම් පමණකින් හෝ දැන සිටීම වැදගත් යැයි සිතුණු බැවිනි.
  • පියසිලී විජේගුණසිංහ මහත්මියගේ රුව රැගත් එම පෝස්ටරයේ සටහන්ව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට මා මොහොතක් ඒ අසල නැවතී කියවන්නට වීමි.
  • එය ඇයගේ කිසියම් ශාස්ත්‍රීය කාර්යයක් අරභයා වන ප්‍රචාරක පෝස්ටරයක් යැයි මා මුලින් සිතුවද එහි සටහන්ව තිබූ පණිවිඩය මා සිත ඇති කළේ දොම්නසකි.
  • පෙබරවාරි 20 දින ගාල්ලේ හපුගලදී උපන් ඇය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සටහන යළි පාඨකයන් වෙනුවෙන් පළ කරන්නට සිතුවේ වත්මන් පරපුර ඇය පිළිබඳව යම් පමණකින් හෝ දැන සිටීම වැදගත් යැයි සිතුණු බැවිනි. පහත පළවන්නේ එම සටහනය.


පසුගිය දිනෙක කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබූ එක්තරා පෝස්ටරයකට මගේ ඇස ඇදී ගියේ නිරායාසයෙනි. පියසිලී විජේගුණසිංහ මහත්මියගේ රුව රැගත් එම පෝස්ටරයේ සටහන්ව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට මා මොහොතක් ඒ අසල නැවතී කියවන්නට වීමි. එය ඇයගේ කිසියම් ශාස්ත්‍රීය කාර්යයක් අරභයා වන ප්‍රචාරක පෝස්ටරයක් යැයි මා මුලින් සිතුවද එහි සටහන්ව තිබූ පණිවිඩය මා සිත ඇති කළේ දොම්නසකි. එහි සටහන් වූයේ මෙරට සිටි අග්‍රගණ්‍ය මාක්ස්වාදී කලා විචාරිකාවගේ අභාවය පිළිබඳවය.

Piyaseeli Wijegunasinghe SEP

පියසිලී විජේගුණසිංහ නමැති රූපකාය තුළ රුව, ගුණ, තේජසින් යුතු අපූරු කාන්තාවක සැඟව සිටියේය. මාක්ස්වාදී චින්තනයෙන් පෝෂණය ලබා එයින්ම පන්නරය ලද ඇය එතෙක් මෙරට පැවැති සම්මත විචාරයට එරෙහි වෙමින් ගැඹුරු මාක්ස්වාදී විචාර කලාවක් හඳුන්වා දෙන්නට පුරෝගාමී වූවාය. කව් සිළුමිණ, ගුත්තිලය වැනි කාව්‍ය පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කළ ඇය සිනමාව, නාට්‍ය, සාහිත්‍යය වැනි සියලු කලාවන් පිළිබඳ විචාරයේ නිරත වූයේ නූතන විචාර කලාවේ පවත්නා සුවිශේෂී මිනුම්දඬු උපයෝගී කරගනිමිනි.

විප්ලවවාදී ලෝක පක්ෂයේ හතරවැනි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකාවක වූ ඇය දැඩි ට්‍රොට්ස්කිවාදිනියක වූ අතර නිර්ධන පාන්තිකයන් උදෙසා කැපවූ සටන්කාමිනියකද වූවාය.

1943 පෙබරවාරි 20 දින ගාල්ලේ හපුගලදී උපන් ඇය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. විශ්වවිද්‍යාලය තුළ සටන්කාමිනියක ලෙස කැපී පෙනුණු ඇය සිසු අරගලවලට මූලිකත්වය ලබා දුන් අතර ඒ නිසා පන්ති තහනමටද ලක්වූවාය. තම හෘදය සාක්ෂියට අනුගතවෙමින් කම්කරු දේශපාලන පක්ෂයකට එක් වූ ඇය එම අරමුණ උදෙසා තම ජීවිතයම කැප කළාය.

475403596 582739127968502 2069886780544843611 n

එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් ලද පියසිලී විජේගුණසිංහ අපරදිග කලාවන් පිළිබඳ දැනුමින් මනාව පෝෂණය වී සිටියාය. කලක් මානෙල් හපුගල යන අන්වර්ථ නාමයෙන් පක්ෂ පුවත්පත සඳහා සාහිත්‍ය හා කලාව පිළිබඳ ලිපි ලේඛන රැසක් ඇය විසින් ලියුවාය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස සේවය කරන අතර මෙරට කලා විචාරයට මාක්ස්වාදී මුහුණුවරක් හඳුන්වා දුන් ඇය තම ප්‍රථම කෘතිය – සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක් – නමින් 1982දී එළිදැක්වූවාය.

එම කෘතිය සම්බන්ධයෙන් එවක සිටි ප්‍රධාන ධාරාවේ විචාරකයන් ඇයට එරෙහි වෙද්දී ඒවාට පිළිතුරු ලෙස තම දෙවැනි කෘතිය වූ – නූතන සිංහල සාහිත්‍ය විචාරය – මාක්ස්වාදී අධ්‍යයනයක් නමින් පළ කළාය. පසුව මහාචාර්ය සුචරිත ගම්ලතුන් විසින් මෙම කෘති ද්වයම නිර්දය ලෙස විචාරයට ලක් කළ අතර ඇය සුචරිතගේ විචාරයට එරෙහිව -මාක්ස්වාදී කලා විචාරයෙහි මූලධර්ම නමින් තම තෙවැනි කෘතිය එළිදැක්වූවාය.

 

Sucharitha Gamlathමහාචාර්ය සුචරිත ගම්ලත්
ඇයගේ සිව්වැනි කෘතිය වූයේ ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් විචාරයක් සහ පිළිතුරක් නමැති කෘතියයි. ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් කෘතිය සම්බන්ධයෙන් ඇය විසින් ලියන ලද විචාරයට එරෙහිව මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් නගන ලද චෝදනාවලට පිළිතුරු ලෙස ඇය එම කෘතිය රචනා කර තිබිණි.

 

wije dias 22.9.2විජේ ඩයස්
වරින් වර විවිධ රජයන් යටතේ තම පක්ෂයට එල්ල වූ තහංචිවලට මුහුණ දෙමින් 2022 ජුලි 28 දින අප අතරින් වියෝ වූ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපතිවරයාව සිටි විජේ ඩයස් නමැති තම සැමියා සමඟ එක්ව සිය දේශපාලන අරමුණු උදෙසා අය නොසැලී සිටියාය.

IMG 20250702 WA0006

Bandula jayawardanaබන්දුල ජයවර්ධනශ්‍රී ලංකාවේ නූතන පරපුරට මාක්ස්වාදී කලා විචාරය කුමක්දැයි හඳුන්වා දුන් ඇය 1997 සිට 2009 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරිය ලෙසින්ද කටයුතු කළාය. එම කාලය තුළ මාක්ස්වාදී කලා විචාරය හැදෑරීමට පාඨමාලාවක්ද ඇය ආරම්භ කළාය.

විචාරිකාවක, ලේඛිකාවක මෙන්ම ඇය දක්ෂ ගායිකාවක හා නිළියක බව දන්නේ ටික දෙනෙකි. බන්දුල ජයවර්ධනයන්ගේ ස්වර්ණ හංස නාටකය ඇයගේ රංගනයෙන් හා ගායනයෙන් ඔපවත්වූවකි. බටහිර සම්භාව්‍ය සංගීතයට දැඩි ඇල්මක් දැක්වූ ඇය බෙතෝවන්ගේ සංගීත ඛණ්ඩවලට දැඩි ඇල්මක් දැක්වූවාය.

 

images 2025 07 03T121306.407
විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගිය පසුද ඇය දිගටම ලේඛන කලාවේ නිරත වූවාය. ට්‍රොට්ස්කිවාදි ව්‍යායාපාරයේ සම්මන්ත්‍රණ ලිපි මාලා විශාල ප්‍රමාණයක් ඇය වෙතින් සිංහලට පරිවර්තනය විය. පසුකාලයේ ඇගේ ලිපි වැඩි වශයෙන් පළවූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේය. ඉංග්‍රීසි බසින් රචිත එම ලිපි ලොව බොහෝ පිරිසකගේ දැනුම් පරාසය පුළුල් කරන්නට සමත් විය.

සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් සිටියද මෙම ධෛර්යවන්ත ගැහැණිය සුපුරුදු ලෙස තම කාර්යභාරය ඉටු කළාය. ඇයගේ සිරුර තුළ සැඟවී සිටි රෝගකාරකයා ඇයගේ දිවිගමන 67 වැනි වියෙන් අවසන් කරන ලද්දේ තවත් බුද්ධිමතියක ශ්‍රී ලංකාවට අහිමි කරමිනි. මට ඇය හමුවී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එහෙත් එම හමු සදානුස්මරණීය මතකයන්ය.

ඔබට අපේ විප්ලවීය ආචාරය


(සටහන | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

(උපුටා ගැනීම -LDM )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිවී ගිය රතු සඳ එළිය ; මහාචාර්ය පියසිලී විජේගුණසිංහ | The Leader