The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : මානව හිමිකම් කොමසාරිස්ගේ සංචාරයේ ධන සහ රින | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

July 4, 2025 • 10:32 AM

සම්මුති විසම්මුති : මානව හිමිකම් කොමසාරිස්ගේ සංචාරයේ ධන සහ රින | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනමුත් ලංකාවේ ගත කළ කාලය තුළ ටර්ක් සිව් දිසාවෙහිම දේශපාලනඥයින්ද හිමිකම් ක්‍රියාධරියන් සහ ක්‍රියාධරයන්ද හමු විය.
  • රජයට සහයෝගය දීමට එක්සත් ජාතීන් සූදානම්ය.” සෙයිද් අල් හුසේන් 2016 වසරෙහි යහපාලන ආණ්ඩුව පිහිට වූ එම පෙබරවාරියේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වූ සෙයිද් අල් හුසේන් මෙරට සංචාරය කළේද එම අරමුණම ඇතිවය.
  • එම ආණ්ඩුව සිය මුල් වසර කිහිපය තුළ යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් ආමන්ත්‍රණය කිරීම පිණිස සාධනීය පියවර ගත්තේය.
  • උතුරුකරයෙහි දේශපාලනය පෙන්නුම් කරන්නේ එම සංහිදියා පියවර ඉදිරියට නොයාම නිසා අප සමාජයෙහි පවත්නා වාර්ගික බෙදීම් තවමත් අවසන්ව නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එනමුත් ලංකාවේ ගත කළ කාලය තුළ ටර්ක් සිව් දිසාවෙහිම දේශපාලනඥයින්ද හිමිකම් ක්‍රියාධරියන් සහ ක්‍රියාධරයන්ද  හමු විය. ඔහු සිවිල් සමාජ කණ්ඩායම් අතර ඇවිද ගියේ ප්‍රතිචාරාත්මක හැගීමකිනි.

ඔහු ශ්‍රී ලංකාව වර්ථමාන තත්වය සම්බන්ධයෙන් දැක්වූ අදහස සාරාංශ කරන්නේ නම් ඒ මෙසේය: “ මෙය වෙනස්කම් සදහා අවස්ථාවකි. රජයට සහයෝගය දීමට එක්සත් ජාතීන් සූදානම්ය.”

සෙයිද් අල් හුසේන්
2016 වසරෙහි යහපාලන ආණ්ඩුව පිහිට වූ  එම පෙබරවාරියේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වූ සෙයිද් අල් හුසේන් මෙරට සංචාරය කළේද එම අරමුණම ඇතිවය. එම ආණ්ඩුව සිය මුල් වසර කිහිපය තුළ යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් ආමන්ත්‍රණය කිරීම පිණිස සාධනීය පියවර ගත්තේය. නමුත් ඒ කිසිදු පියවරක් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගත්තේ නැත.

උතුරුකරයෙහි දේශපාලනය පෙන්නුම් කරන්නේ එම සංහිදියා පියවර ඉදිරියට  නොයාම නිසා අප සමාජයෙහි පවත්නා වාර්ගික බෙදීම් තවමත් අවසන්ව නැති බවයි.

මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වෙත දෙමළ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඔහුගේ මෙරට සංචාරය සාර්ථකවීමට නම් ඉටු කර ගත යුතු ප්‍රධාන කරුණු ලෙස පෙන්වා දුන්නේ යුද්ධ කාලීන හිමිකම් කෙලෙසීම් සඳහා යුක්තිය ලබා ගැනීම ඉදිරියට ගෙන යා යුතු බවය.

 127578966 fxiwujcxgaemvsu.jpg

වර්තමාන ජාජබ ආණ්ඩුව සංහිදියාව සහ යුද්ධකාලීන හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් ස්වකීය සාධනීය ප්‍රතිචාර ලෙස පෙන්වා සිටි අතුරුදහන්වූවන්ගේ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය සහ ජාතික සමගිය සහ සංහිදියාව සඳහා කාර්යාලය යන සියල්ල පිහිටුවන ලද්දේ යහපාලන ආණ්ඩුව යටතේය.

යහ පාලන ආණ්ඩුවට ජවිපෙ අනියම් සහායක් දුන් බැවින් එහි යම් අයිතියක් ජාජබ ආණ්ඩුවට ද තිබේ.

යහ පාලන ආණ්ඩුවට අපේක්ෂිත සංහිදියා යාන්ත්‍රණයන් දෙකක් පිහිටුවීමට නොහැකි විය. ඒ සත්‍ය සෙවීමේ කොමිසමක් සහ යුද්ධ කාලීන අපරාධ විමර්ශන යාන්ත්‍රණයකි. සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යම් මූලිකත්වයන් ගනු ලැබුණද දැන් ඒ ක්‍රියාවලිය ජාජබ ආණ්ඩුව යටතේ නතර වී තිබේ.

මෙම තත්වය යටතේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වීමට පෙර වොල්කර් ටර්ක් පැමිණීම ද සෙයිද් අල් හුසේන්  සංචාරය සමාන වැදගත්කමක් දරයි.

dsfdddv

ආණ්ඩුව මහ කොමසාරිස්වරයාට ඔහුට අවශ්‍ය පරිදි සැරිසැරීමටත් සිවිල් ජනයා හමුවීමටත්, සංහිදියා යාන්ත්‍රණ හමුවීමටත් චෙම්මනී සමූහ මිනිවල නැරඹීමට යාමටත් පහසුකම් සැලසීය. රජයේ සහ විපක්ෂයේ ප්‍රධානීන් හමුව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසුවේය.

Chemmani UN 7

ගැටලු විසඳීම සඳහා රජය සතු සැබෑ විවෘතභාවය  සාකච්ඡා මඟින් පෙන්නුම් කර ඇති බව සදහන් කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට සාමකාමී සහජීවනයේ ආදර්ශයක් බවට පත්විය හැකි අතර රටේ විවිධත්වය ශක්තියක් ලෙස සංවර්ධනය සඳහා යොදා ගත හැකි බවද ප්‍රකාශ කළේය.



ඒ සියල්ල ධන ලකුණු ය.

අනෙත් අතට  ජනපති, අගමැති, විදේශ ඇමති යනාදීන්  ඔහු හමුවුවද ඒ කිසිවකු ප්‍රතිචාර වශයෙන් නිල ප්‍රකාශයක් කළේ නැත.

 

මහ කොමසාර්ස් ටර්ක් මෙරට දී කළ ප්‍රසිද්ධ ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකෙහිදී අවධාරණය කළ කරුණු දෙක 2016 වසරෙහි ද සෙයිද් අල් හුසෙන් විසින් ද ඉස්මතු කරන ලැබ තිබුණි. පළමුවැන්න නම් සාමය සහ ස්ථාවරභාවය සඳහා යුක්තිය ඉටු කිරීම මෙන්ම මෙරට දිගින් දිගටම පවතින දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ අවශ්‍යතාවයයි.  

දෙවැන්න නම් දූෂණය පිටුදැකීම සහ සමාජ සාධාරණත්වයේ අවශ්‍යතාවයයි.

500063847 4250124515215781 8090167932105490401 n
යුද්ධ කාලීන හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු විය යුතු බවට ටර්ක් කළ ප්‍රකාශයට ආණ්ඩුව උත්තර බැන්දේ නැත.

විදේශ අමාත්‍යංශය ඔහුගේ ගමන අවසානයේ දී ප්‍රකාශයක් පළ කළේය.  එහිලා ආණ්ඩුව කීවේ මෙයයි.

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම, ජාතික සංහිඳියා ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ සමාජ යුක්තිය සහතික කිරීම සඳහා වන පියවර පිළිබඳ සාකච්ඡා පැවැත් වූ බවත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවංක කැපවීම රජය මහ කොමසාරිස්වරයාට නැවත අවධාරණය කළ බවත්ය.  

 

PTA250415

විශ්වාසය ගොඩනැගීමේ පියවර, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, දූෂණ විරෝධී මුලපිරීම්, සංහිඳියා යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යෑම සඳහා නව නීති ඇතුළු දැනටමත් ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග පිළිබඳවද රජය විසින් ඔහුට අවධාරණය කරන ලද බවය.

යුද්ධ කාලීන හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කොළඹ දී ටර්ක්ට ප්‍රතිචාර නොදැක් වූ නමුත් ආණ්ඩුව සිය ප්‍රතිචාරය ඔහුගේ මහ ගෙදර වන ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රසිද්ධ කළේ ඔහු මෙරටට පැමිණීමට සතියකට පෙරය.

එහිදී ශ්‍රී ලංකා තානාපතිනිය නොකියා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගවීම සහ දූෂණ මැඩලීම වැනි අරමුණ වෙනුවට  මානව වර්ගයාගේ යහපත සඳහා කඩිනමින් විසඳිය යුතු ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, සංවර්ධනය සහ දේශගුණික විපර්යාස වැනි තේමාත්මක ගැටළු සඳහා කවුන්සිලය ප්‍රමුඛත්වය දිය යුතු බවය.

සිවිල් සහ දේශපාලන මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම අදාළ රටවලට බාර දිය යුතු බවද එම ප්‍රකාශයෙහි අදහස විය.

 

 126707788 whatsappimage2022 09 14at3.02.18pm 1.jpg
ජිනිවා මානව හිමිකම් කවුන්සිලය විසින් 2016 සිට සම්මත කරන ලද  යෝජනා (46/1, 51/1, 57/1)  සහ මෙරට මානව හිමිකම් කෙලෙසීම් පිළිබඳ  සාක්ෂි එක්රැස් කිරීමේ කවුන්සිලයේ යාන්ත්‍රණයද ජාජබ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබේ. එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභියෝගයක් බව රාජපක්ෂ ආණ්ඩු විසින් ගන්නා ලද ස්ථාවර ජාජබ ආණ්ඩුව ද කියා සිටී.

මේ රින ලකුණුය.

කොමසාරිස් ටර්ක් ඊට ප්‍රතිවිරුද්ධව එම ක්‍රියාවලිය සහ සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය අගය කළේය.  ඔහු අවධාරණය කළේ අන්තර් ජාතික සහභාගිත්වයක් ඇති වගවීමේ යාන්ත්‍රණයක ඇති වැදගත්කමයි.

වොල්කර් ටර්ක්ගේ සංචාරය වැදගත් වන්නේ ලබන සැප්තැම්බරයේ දී ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යළි සමාලෝචනයක යෙදෙන බැවිනි. ඊට පාදක වනු ඇත්තේ මහ කොමසාරිස් ටර්ක් විසින් ඉදිරිපත් කරනු ඇති විස්තීර්ණ වාර්තාවයි. එම වාර්තාවට ඔහුගේ සංචාරයේ අත්දැකීම් එක්වනු ඇත. බොහෝ විට මෙම සංචාරයේ අරමුණ වන්නට ඇත්තේ එම වාර්තාව සඳහා ඔහුගේ නිරීක්ෂනයන් ලබා ගැනීමයි.

ලංකාණ්ඩුවේ කිසිදු ප්‍රකාශයක සත්‍ය සෙවීමේ කොමිසම ගැන හෝ පිහිටු වන බවට ශපථ කර ඇති අභ්‍යන්තර වගවීමේ යාන්ත්‍රණය ගැන වචනයක්වත් නැත. එය අතිශය වැදගත් කරුණක් මඟ හැරීමකි. ඉන් ලැබෙන්නේ දෙගුණයක් වූ රින ලකුණකි.

 250626 Turk Jaffna FoD 2


මහ කොමසාරිස් ටර්ක් විසින් ඉදිරිපත් කරනු ඇති විවේනාත්මක වාර්තාව උඩ, එලඹෙන සැප්තැම්බරයෙන් පසුද ශ්‍රී ලංකාව දිගටම මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ තිබීමට ඇති ඉඩ වැඩිය. පෙනෙන විදියට ආණ්ඩුව මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ගේ සංචාරය සමස්ත ධන ලකුණක් බවට හරවා ගැනීමට අසමත් වී තිබේ.

sunanda deshapriya

(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...