The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

July 6, 2025 • 11:21 AM

කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය.
  • යමෙකු තුළ ආගමික භක්තිය අවිචාරවත් ලෙස වර්ධනය වීමට සාපේක්ෂව ලෝකය හා සමාජය දෙස යථාර්ථවාදීව බැලීමේ හැකියාව ඒ තැනැත්තා තුළ අවප්‍රමාණ වන බව මෙම හාම්පුත්තු දැන සිටියහ.
  • මේ අතරතුර දිළිඳු පැලැන්තියේ හින්දු පවුලකින් බිහි වූ තරුණයෙක් හින්දු කෝවිලක සේවයට බැඳී පසුව එහි පූජකවරයෙකු බවට පත්විය.
  • මනා දේහධාරී කඩවසම් තරුණයෙකු වූ ඔහුට තම ඥාති මිත්‍රාදීන් විඳින දුක යථාර්ථවාදී ලෙස දැකගැනීමේ නුවණක් තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොට ස්වාමි-සේවක දෙකොටසක් බෙදී ඔවුන් අතර සමාජ පරතරය තව තවත් පුළුල් වීමයි.

මෙහිදී ශ්‍රමය වගුරවන්නවුන් හට ඉතා සුළු වැටුප් ගෙවා වැඩි කොටස තමන් සතු කරගත් හාම්පුත්තු සේවක කාරකාදීන්ගෙන් එල්ලවන විරෝධය මැඩපැවැත්වීමට කදිම උපායක් යෙදූහ. එනම් එවක එහි විසූ හින්දු පූජකයන් වෙතට ගොස් කම්කරුවන් තුළ දේව භක්තිය වැඩිකරවන මෙන් ඉල්ලා සිටීමයි.

The Essence of Worship at Hindu Temples in Manchester 0002

 

යමෙකු තුළ ආගමික භක්තිය අවිචාරවත් ලෙස වර්ධනය වීමට සාපේක්ෂව ලෝකය හා සමාජය දෙස යථාර්ථවාදීව බැලීමේ හැකියාව ඒ තැනැත්තා තුළ අවප්‍රමාණ වන බව මෙම හාම්පුත්තු දැන සිටියහ. ඒ අනුව තම සේවකයින්ට වැටුප් ගෙවිය යුතු මුදලින් කොටසක් හින්දු පූජකයන්ට ප්‍රදානය කළ හාම්පුත්තු ඒවායින් හින්දු කෝවිල් සහ දේව ප්‍රතිමා ඉදි කරවීමට දිරි දුන්හ.

ඉන්පසු හාම්පුතුන් තමන්ට එල්ල කරන දැඩි පීඩනයට එරෙහිවීමට අදහස් නොකළ කම්කරුවන් කළේ කෝවිල්වලට ගොස් එහි පූජකයන් ලවා ඒ ඒ දෙවිවරුන්ට යාතිකා කරවා ගැනීම ය. එහිදී එම පූජකයන් පවසන ස්තෝත්‍ර ආදිය ඇසීමෙන් මනැස් හිරිවට්ටවා ගත් සේවකයෝ තම හාම්පුතුන් සඳහා පෙර සේම සේවය ලබාදුන්හ.

මේ අතරතුර දිළිඳු පැලැන්තියේ හින්දු පවුලකින් බිහි වූ තරුණයෙක් හින්දු කෝවිලක සේවයට බැඳී පසුව එහි පූජකවරයෙකු බවට පත්විය. මනා දේහධාරී කඩවසම් තරුණයෙකු වූ ඔහුට තම ඥාති මිත්‍රාදීන් විඳින දුක යථාර්ථවාදී ලෙස දැකගැනීමේ නුවණක් තිබිණි. එහෙත් පූජකයෙකු වූ නිසා තම ආගමික සීමාව තුළ දී කම්කරු ප්‍රජාව දුක් විඳින සැබෑ හේතුව යථාර්ථවාදී ලෙස ඔවුන්ට වටහාදීමේ හැකියාවක් ඔහුට නොතිබිණි. එබැවින් ඔහු තම ආගම ද නොකෙළෙසා ඊට යථාර්ථවාදී අර්ථකථනයක් දෙන්නට කටයුතු කළේය.

 

Varanasi, India - December 16, 2015 : Sacred flowers are taken for worship on hand at river Ganges, varanasi, uttar pradesh, india.

‘‘මට දෙවියන්ගේ හඬ ඇසී තිබෙනවා. දෙවියන් පවසන දේ මට වැටහී තිබෙනවා. දෙවියන් කියන්නේ ඔබේ දෙවියන් කෝවිලක ගල්, ලෝහ හෝ මැටි පිළිරුවකින් නොදැක ඔබ තුළින්ම දැකීමට පුරුදු විය යුතු බවයි. මක් නිසා ද යත් අවංකව කටයුතු කරන ඔබේ හෘද සාක්ෂිය තුළ දෙවියන් සුවසේ වැඩ සිටින නිසයි. කිසියම් කෙනෙක් ඔබට නපුරක්, අයහපතක්, අසාධාරණයක් කරනවා නම් පළමුව ඔබේ හෘද සාක්ෂිය තුළ වැඩ සිටින ඔබේම දෙවියන්ගෙන් අසන්න. එවිට ඔබ කුමක් කළ යුතු දැයි ඔබේ දෙවියන් ඔබට කියාවි. එසේ නොකොට ඔබ කෝවිල් වෙතට ගොස් ඒවායේ ඇති දෙවිවරුන්ගේ ප්‍රතිමා ඉදිරියේ කොතෙක් වැඳ වැටුණත්, බාරහාර වුණත්, කන්නලව් කළත් වැඩක් වෙන්නේ නෑ. ඒ සියලු දෙවිවරුන්ගේ පිහිට ඔබට ලැබෙන්නේ ඔබේ හෘද සාක්ෂියේ දෙවියන් පුබුදුවා ගෙන ඔබේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළොත් පමණයි. නිරතුරුවම ඔබට ආසාධාරණකම් කරන්නවුන් උදෙසා දෙවියන් යැදීමට වඩා ඒ අසාධාරණකම්වලින් අත්මිදීමේ ක්‍රම ගැන ඔබේ හෘද සාක්ෂියේ දෙවියන්ගෙන් අසා ඒ අනුව කටයුතු කරන්න.’’

devo

 

පසුව හරිහරන් ස්වාමි නමින් ප්‍රකට වූ මේ තරුණ පූජකයාගේ එම විප්ලවවාදී මතවාදය එවක තරුණ පිරිස් ඉමහත් ආදරයෙන් වැළඳගත්හ. එමෙන්ම ඔහු පැවසූ ඒ නව දේව නියමය කොයිම්බටූර්හි ජනතාව අතරේ ශීඝ්‍රයෙන් ප්‍රචලිත විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තමන්ට හාම්පුතුන්ගෙන් ලැබෙන වැටුප් හා දීමනා මඳවීම පිළිබඳව වගේ වගක් නොමැතිව සිටි තරුණ පිරිස් වැඩි වැටුප් හා දීමනා ඉල්ලා අරගල කිරීමට පෙළඹීමයි.

 තම සේවක තරුණයන්ගේ සිතුවිලි මෙලෙස එක්වරම වෙනස්වීමට හේතු විමසා සිටි එම හාම්පුතුන් ඊට හරිහරන් ස්වාමි නම් වන පූජක වෙස් ගත් අරගලකරුගේ ඉගැන්වීම් මුල්වී ඇති බව දැනගන්නට ලැබිණි.

පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් එහි හින්දු කෝවිල් භාරව සිටි පූජකරුවන්ට දන්වන ලදි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඒ තරුණ පූජකවරයා ආගම් ද්‍රෝහියකු සේ සළකා එම සියලු කෝවිල්වලින් නෙරපා හැරීමයි. එහෙත් ඉන් අධෛර්යමත් වනු වෙනුවට තවදුරටත් ධෛර්යමත් වූ ඔහු සංචාරක දේශකයෙකු වශයෙන් ඒ ප්‍රදේශයේ ගමක් ගමක් පාසා සැරිසරමින් දෙසුම් පවත්වන්නට වූයේ සිය දහස් ගණන් තරුණ පිරිස් තම අනුගාමිකයන් බවට පත් කරගනිමිනි.

 

VOM Stories iCommit PlaceholderV2 978x640
මෙසේ තම අනුගාමිකයන් සමඟ සංචාරක දේශකයෙකු ලෙස කටයුතු කරන අතරේ මෙම තරුණ පූජකයා හිටිහැටියේ අභිරහස් ලෙස මිය ගියේය. ඇතැමෙකු කියා සිටියේ සතුරු බලවේග විසින් ඔහුට වස දී මරණයට පත්කළ බවකි.එහෙත් එම පූජකයාගේ මරණයෙන් පසුව එවක එහි ආධිපත්‍යය ගෙන සිටි පූජක පැලැන්තිය එහි වැසියන්ට මෙසේ කීහ.

‘‘නුඹලාගේ දුක්වේදනා වෙනුවෙන් යාදිති, කන්නලව් ඇසීමටත්, පුද පඬුරු බාරගැනීමටත් කෝනි අම්මාන් දෙවඟනගේ ගේ දේව මණ්ඩලයට සැපත්ව හිඳින හරිහරන් ස්වාමිගේ දේවාත්මය දැන් සූදානමින් සිටියි. එනිසා දැන් නුඹලා කළ යුත්තේ අතීතයේ ලෙසින්ම කෝවිල්වලට පැමිණ කලින් දෙවිවරුන්ට වඳින පුදන කන්නලව් කරන අතරේ කෝනි අම්මාන් ගේ දේව මණ්ඩලයේ හිඳින හරිහරන් ස්වාමි නම් වන ඔබේ අලුත් දෙවියාට ද කන්නලව් කොට බාරහාර විම පමණි.’’

කොයිම්බතූර්හි පුරාවෘත්ත සහ ජනප්‍රවාද බොහෝ විට එහි ආරක්ෂක දේවතාවිය වන කෝනි අම්මාන් වටා ගෙතී තිබේ.

 

gettyimages 80823312 640x640

එක් ජනප්‍රිය කතාවකින් කියැවෙන්නේ කෝනි අම්මාන් අතීතයේ පූජකයෙකුගේ සිහිනයකින් පෙනී සිටිමින් නගරය විපත්ති සහ යුද්ධ වලින් ආරක්ෂා කරන දේවාලයක් ඉදිකිරීමට මඟ පෙන්වූ බවයි. තවත් පුරාවෘත්තයකට නගරයේ නම ද කෝනි අම්මාන් යන්නෙන් බිඳී ආ එකක් බව ද පැවසෙයි.

ඒ අනුව ඉහත සඳහන් ස්වාමි වරයා ද කෝනි අම්මාන් දේවතාවිය සිය දේව මණ්ඩලයට එක් කර ගෙන ඇතැයි පැතිර ගිය පුවත මත පසුකාලීනව ඔහු ද කොයිම්බතූර්හි වැසියන් ගේ පුද පූජා වලට ලක් වී ඔහුගේ විප්ලවීය මතය ද සමඟ ඔහු පිළිබඳ මතකය ද ජන විඥානයෙන් ගිළිහී ගොස් තිබේ.

ඒ අනුව මෙම සංසිද්ධිය අද වන විට ඉන්දීය සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන් හි නියුක්ත වන්නවුන් ගේ ශාස්ත්‍රීය ලේඛන වල පමණක් තිබෙනු දක්නා ලැබේ.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...