ඉකුත් 04 වන බදාදා දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන 2026 වසරේ ජනවාරි මාසයේ සිට පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධ අංක 25/2025 දරණ චක්‍ර ලේඛය සුපුරුදු පරිදි නිකුත් කරනු ලැබිණ.
එකී චක්‍ර ලේඛයෙහි පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් පත් ඉදිරිපත් කළ යුතු පිළිවෙතත් ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් සහ ඒ සුදුසුකම් වෙනුවෙන් ළකුණු ලබා දීමේ පටිපාටිය ඇතුළු කොන්දේසි සියල්ලත් ළමුන් තෝරා ගන්නා පිළවෙතත් විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කළ යුතු පිළිවෙතත් සඳහන්ව ඇත.
හැම වසරකම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කරනු ලබන පිටු 50 ක් පමණ වන මෙම චක්‍ර ලේඛයට අනුව, පළමු වසරට ළමුන් තෝරා ගන්නා “ගණ” සයක් (06) ඇත.

ඉන් පළමුවැන්න “පාසලට ආසන්න” පදිංචිකරුවන් ය (වගන්ති 03.1). ඉල්ලුම්කාර දෙමාපියන්ගේ හෝ භාරකරුගේ පදිංචිය අනුව, මුළු ළකුණු 100 න් උපරිම ළකුණු 20 ක් “පාසලට ඇති ආසන්නතාව” සඳහා ලබා ගත හැක (වගන්තිය 7.2.1.1). එම වගන්තියෙහි අවසානයට “තද කලු” අකුරින් අවධාරණය කර ඇත්තේ, “මෙම ගණය යටතේ ඉහත කරුණු වලට අදාලව පදිංචිය තහවුරු කිරීම සඳහා හිමිවන ළකුණු උපයා ඇති අයදුම්කරුවන්ට පමණක් මින් ඉදිරියට ඇති කොටස් සඳහා ළකුණු ලබා දිය යුතුය” යන්න ය. ඉන් කියන්නේ පාසලට ඇති “ආසන්නතාව” ළමයා තේරීමේදී තීරණාත්මක සාධකයක් බවය.
පාසලට ඇතුළත් කර ගන්නා ළමුන්ගෙන් සියයට 50 ක් පාසලට ඇති “ආසන්නතාව” මත තෝරා ගනු ලබන පළමු “ගණයට” අයත් ළමුන්ය. නමුත් මේ චක්‍ර ලේඛයෙහි කොතැනකවත් ඉල්ලුම්කරුගේ හෙවත් දරුවාගේ දෙමාපියන්ගේ නැතිනම් භාරකරුගේ පදිංචියෙහි “පාසලට ඇති ආසන්නතාව” අර්ථ ගන්වා නැත. අවම තරමින් පදිංචි නිවසේ සිට පාසලට තිබිය යුතු උපරිම දුර ප්‍රමාණය මෙපමණ යැයි සඳහන්ව නැත.
පළමු වරට පාසල හා පදිංචිය අතර තිබිය යුතු උපරිම දුර, සැතපුම් 02 ක් යැයි තීන්දු කරනු ලැබුවේ 1963 දී බණ්ඩාරනායක අගමැතිනිය යටතේ පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමෙන් පසුව ය. එහෙත් "සැතපුම්" අහෝසි වී දැනට අවුරුදු 45 ට වැඩි ය. දැන් ඇත්තේ "කිලෝ මීටර්" ය. එබැවින් උපරිම දුර කිලෝ මීටර් කොපමණදැයි අමාත්‍යාංශය නිල වශයෙන් කිව යුතුව ඇත.
මේ චක්‍ර ලේඛයට අනුව, එය තීන්දු කිරීමේ බලය පැවරෙන්නේ විදුහල්පති/පතිනිය ප්‍රමුඛ ළමුන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ය. චක්‍ර ලේඛයෙහි 6.2.6 වගන්තියට අනුව, “පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා පත් කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට, ළමුන් තෝරා ගැනීමට අදාලව සියලුම සාධක සළකා බලා, සුදුසු පරිදි තීරණගෙන ක්‍රියාත්මක කිරීමේ බලතල හිමිවේ.” එහිම තව දුරටත් සඳහන් කෙරෙන්නේ, “චක්‍ර ලේඛයෙහි සඳහන් කරුණු පිළිබඳ විග්‍රහ කර ගැනීමද, තෝරා ගැනීමේ ගැටළු පිළිබඳ තීරණ ගැනීමද, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ වගකීම වේ” යනුවෙනි. එබැවින් පාසලට ඇති “ආසන්නතාව” ඔවුන්ට තීන්දු කළ හැකිය.
විදුහල්පති/පතිනියට හා ඔහු හෝ ඇය විසින් පත්කර ගන්නා පළමු වසරට ළමුන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට මෙවැනි අර්ථ විරහිත, අසීමාන්තික බලතල ලබා දීමේදී ඔවුන් දෙමාපියන්ගේ නැතිනම් භාරකරුගේ පදිංචියෙහි “පාසලට ඇති ආසන්නතාව” අර්ථ ගන්වා ගන්නේ කිලෝ මීටර 50 ට 80 ට වැඩි දුර ප්‍රමාණ වලින් බැව් අප කාගෙත් අත්දැකීමකි. කොළඹ නගරයේ අති ජනප්‍රිය ජාතික පාසල් අවට නවතා ඇති පාසල් සේවා වාහන හොරණ, අලුත්ගම, ඇහැළියගොඩ, වරකාපොළ, ගම්පහ, වෙන්නප්පුව වැනි ප්‍රදේශ දක්වා ධාවනය කෙරෙන බවට දැන්වීම් අලවා තිබීමට අමතරව, එම “පාසල් සේවා” වාහන සඳහා පළාත් සභා අවසර ලබා දී ඇතැයිද කී විට, “පාසලට ඇති ආසන්නතාව” මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල අර්ථ ගන්වා ගන්නේ කෙසේද යන්න පමණක් නොව, රාජ්‍ය ආයතන ඒවාට ලබා දෙන සුජාත භාවයත් ඒ සමස්ථ ක්‍රියාපිළිවෙතම විගඩමක් බවට පත් කරන්නකි.

ඒ විගඩම, විදුහල්පති/පතිනිය හා පළමු වසරට ළමුන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද පංගුකාරයන් වන වංචනික, දූෂිත ක්‍රියාපිළිවෙතක් බැව් ඔප්පු වන්නේ, නව වසරට ඇතුළු කරගනු ලබන ළමුන්ගෙන් සියයට 50 ක් වන “පාසලට ආසන්න” පදිංචිකරුවන්ගේ ගණයට අයත් තාවකාලික හා පොරොත්තු ලේඛනවල “නම් සදහන් ළමුන්ගේ පදිංචිය, ස්ථානීය පරීක්ෂණ මගින් තහවුරු කරගත යුතුය” යනුවෙන් අදාල චක්‍ර ලේඛයෙහි 09.3.3 වගන්තියෙහි පැහැදිලිව සඳහන්කර ඇති බැවින් ය.
පසුගිය අවුරුදු කිහිපයේ කිහිප වර මම මෙය කියූවෙමි. ලියුවෙමි. යෝධ දූෂණ ජාලයක් ක්‍රියාත්මක නොවන්නේ නම්, වාර්ෂිකව කිලෝ මීටර 50 ට 80 ට වැඩි දුර සිට ළමුන් කොළඹ මධ්‍යයේ ඇති අති ජනප්‍රිය ජාතික පාසල් වලට ඇතුළත් කළ නොහැක. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ගේ සිට පාසලේ විදුහල්පති දක්වාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් රජයේ සේවකයින්ද හවුල් වන්නාවූත් දේශපාලන අනුමැතියක්ද ඇති, අධ්‍යාපන ඇමතිවරුන්ගේ සිට මුළු රටම දන්නා නමුත් කොළඹ අති ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළු කර ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් දස ලක්ෂ ගණන් මැදපංතික තරුණ දෙමාපියන් වැය කිරීම, පසුගිය දසකයක දෙකක කාලයේ තරගකාරීව වර්ධනය වූවකි. මෙරට දැවැන්තම ප්‍රසිද්ධ දූෂණය මෙය වූවත් එය කිසිවකු කතා නොකරන, සාමාන්‍ය පටිපාටියක් ලෙස දිගටම සිදුවන්නේ එවැනි විශාල බලසම්පන්න හවුලක් ඊට ඇති හෙයිනි.

ඒ සමග තව යමක් කිව යුත්තේ ළමුන් තෝරා ගැනීම සඳහා පත් කෙරෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතිය ගැන ය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු/සාමාජිකාවක ලෙස අදාල පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු/නියෝජිතවරියක පත්කර ගැනීම අනවශ්‍ය වන්නකි. පාසලට ළමුන් තේරීමේ කාර්යයට වඩා වැඩි වැදගත් දායකත්වයක් ලබා දීමේ හැකියාවක් බොහෝ ආදි ශිෂ්‍ය සංගම් වලට ඇත. එනිසා ළමුන් තේරීමට ඔවුන් හවුල් නොකරගත යුතුය. මහ නගරවල ගොඩ නැගී තිබෙන අති ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පාසලේ විදුහල්පති/පතිනිය පත් කිරීමටද බලපෑම් කළ හැකි දේශපාලන හයියක් ඇති සංගම් බැව් අපි දනිමු. ළමුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වල තිබිය යුතු ස්වාධීනත්වය සඳහා එවැනි දේශපාලන බලපෑම් කළ හැකි ආදි ශිෂ්‍ය සංගම්වල නියෝජනයක් ඒවායේ නොතිබිය යුතුය.
අවසන් වශයෙන් කිව යුත්තේ, 2026 වසර සදහා පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ මෙම ක්‍රියාපිළිවෙත හදිසියේ වෙනස් කළ නොහැක. එහෙත් ළමුන් තෝරා ගැනීමේ නිවැරදි භාවය තහවුරු කිරීමේ පියවර ගණනාවක් මේ මොහොතේද ගත හැකිය. වැදගත්ම පියවර වනුයේ විනිවිද භාවය හා වග වීම තහවුරු කිරීම ය. ඒ වෙනුවෙන් පළමුව සිදු විය යුත්තේ ළමයා පදිංචි නිවසේ සිට පාසලට ඇති උපරිම දුර ප්‍රමාණය කොපමණ දැයි අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛය සංශෝධනය කරමින් නිශ්චිත වශයෙන් රටට දැන්වීම ය. එය ළකුණු මත තීන්දු කරන්නක් නොව, අනිවාර්ය සුදුසුකමක් ලෙස පැනවීම ය.

දෙවැන්න විය යුත්තේ “තාවකාලික හා පොරොත්තු ලේඛනවල” නම් සදහන් ළමුන්ගේ පදිංචිය, ස්ථානීය පරීක්ෂණයකින් සනාථ කරගත් බවට සහතිකයක් සමග එම ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම ය. ස්ථානීය පරීක්ෂණයකින් පදිංචිය සනාථ කරගත් බවට වන සහතිකය උල්ලංඝණය වන අවස්ථාවක, එය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් හා ඉල්ලුම්කරු හවුල් වූ අල්ලස් හා දූෂණ ක්‍රියාවක් ලෙස සළකා නඩු පැවරිය හැකි නිමිත්තක් ලෙස ගැසට් කිරීම ය. වග වීම ඇත්තේ එහි ය.
එහෙත් එමගින් පාසල් සදහා ළමුන් ඇතුළත් කිරීමේ නිත්‍ය පියවර ඇතුළත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවන අවශ්‍යතාව කිසි ලෙසකින් තාවකාලික පියවර මගින් නිශේධ නොවන බවද කිව යුතුය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජුලි 06 වන දින



